ලලිත්-කූගන්: 'බලාපොරොත්තු අත හරින්න එපා'

වසර හතරකට පෙර යාපනයේදී අතුරුදන් වූ ලලිත් - කූගන් මානව හිමිකම් ක්‍රියාධරයින් සම්බන්ධයෙන් බලාපොරොත්තු අත් හැර නොගන්නා ලෙසත් ලලිත් - කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත්ව පැවැත්වෙන බවටත් ජාතික සංවාද ඇමති මනෝ ගනේශන් ලලිත් කුමාර් වීරරාජ්ගේ පියා ආරුමුගම් වීරරාජ්ට සහතික විය.
ලලිත් - කූගන් අතුරුදන්වීම යනු හුදෙක් සාමාන්‍ය සිදුවීමක් නොවන බව කී ඇමතිවරයා එම අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නීත්‍යානුකූල පරීක්ෂණ විධිමත් කිරීමේ වගකීම භාර ගත්තේය. එසේම ලලිත් කුමාර් වීරරාජ් අතුරුදන් වී වසර 04ක් ගෙවී තිබියදී තමන් ඔහුගේ පියා දුටුවේ පළමු වරට බවද ඇමතිවරයා කීය.
ඇමතිවරයාගේ කාර්යාලයේ මහජන දිනය වූ ඊයේ (31) දිනයේදී මෙම හමුවීම සිදු විය.
පියාගේ විශ්වාසය

2011 දෙසැම්බර් 09වැනිදා යාපනයේදී පැහැර ගැනීමට ලක් වූ මානව හිමිකම් ක්‍රියාධරයින් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් සමාජයේ කිසිදු විශමාචාර හෝ නීති විරෝධී ක්‍රියාවක නිරත නොවූ බවත් ඔවුන් අතුරුදන් වූයේ යුද සමයේ අතුරුදන්වූවන් සෙවීමට ගොස් බවට තමන් සතුව සාක්ෂි තිබෙන බවත් ආරුමුගම් වීරරාජ් පැවසීය.
"ඇමතිතුමා ඇහුවා මට පුතා ඉන්න එක ගැන විශ්වාසද කියලා. මම කිව්වා මට සීයට සීයක් ඔහු ඉන්න එක ගැන විශ්වාසයි කියා. ඇමතිතුමා මට කිව්වා ඒ තියෙන බලාපොරොත්තු අත් හැර ගන්න එපා. ආණ්ඩුව මේ ගැන වගකීමෙන් සොයන බව. හෙට (31) මගේ පුතාගේ උපන්දිනය. වසර හතරක් ගිය තැනදීත් ආණ්ඩු වෙනසක් සිදු වූ අවස්ථාවේදීත් මට පුතා ගැන තොරතුරක් සොයා ගන්න පුළුවන් වෙයි කියා මට විශ්වාසයි. එයාගේ අතුරුදන් වීමට හේතුව අතුරුදන් වූ අය ගැන සෙවීමයි. ඒ ගැන සාක්ෂි සහිත ලියකියවිලි බොහොමයක් මගේ ගෙදර තියෙන බව මම ඇමතිතුමාට කිව්වා. අනිත් එක ඒ කාලේ සී. අයි. ඩී. එකෙන් මගේ නිවසට පමිණ කළ අනතුරු ඇඟවීම් ගැනත් මම ඇමතිතුමාට කීවා."

ලලිත් කුමාර් වීරරාජ් සැලකිය යුතු කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වී සිටි අතර පසුව ඉන් ඉවත් වී වර්තමානයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් සමග දේශපාලන කටයුතුවල නිරත විණි. කූගන් මුරුගානන්දන් යනු යාපනයේ අතුරුදන්වූවන් සෙවීම වෙනුවෙන් ලලිත් කළ වැඩසටහන්වලට සහය වූ අයෙකු වේ.




