කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු සහ ගුරුවරියන් අතර සිදුවූ බව කියන වීඩියෝ ඇමතුම් සිදුවීම: නීතිය සහ අප මෙතෙක් දන්නේ මොනවා ද?

නිදන කාමර කවුළුව හරහා හිරු එළිය වැටෙන බිත්තියක් මත තරුණයෙක් තම සෙවනැල්ල ඡායාරූපයක් ගනිමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

කොළඹ නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු වීඩියෝ ඇමතුම් ලබාගෙන ගුරුවරියන් සිව් දෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරතවූ බව කියන සිද්ධියක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී.

ඇතැම් පිරිස් එම සිදුවීමට මුහුණ දුන් බව කියන ශිෂ්‍යයාගේ මෙන් ම ගුරුවරියන්ගේ ඡායාරූප ද පළ කර ඇති අතර තවත් පිරිසක් ඊට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් බව කියන සබැඳි ද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා ආකාරය නිරීක්ෂණය විය.

කෙසේ වෙතත්, තවත් පාර්ශ්වයන් ඔවුන්ගේ පෞද්ගලිගත්වයට සමාජ මාධ්‍ය මගින් සිදු කරන හානිය ප්‍රබල ලෙස විවෙචය කර ඇත.

බීබීසී සිංහල මේ සිදුවීම පිළිබඳව සොයා බැලීමක් කළේ ය.

අප දන්නා තොරතුරු මොනවා ද?

මෙම සිද්ධියට මුල් වූ ශිෂ්‍යයා අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බව බීබීසී සිංහල කළ සොයා බැලීමකදී වාර්තා විය.

ඔහු, අවස්ථා කිහිපයකදී වීඩියෝ ඇමතුම් ලබා ගෙන එම පාසලේ ම බව කියන ගුරුවරුන් සිව් දෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරත වන අතරතුර එය පටිගත (screen record) කර ඇති අතර පසුව එය වෙනත් පාර්ශවයක් විසින් ඉන්ටර්නෙට් වෙත මුදා හරිනු ලැබ ඇති බව එම වාර්තාවල තවදුරටත් සඳහන් විය.

මෙම සිදුවීම පිළිබඳව ස්වාධීනව තොරතුරු තහවුරු කර ගැනීමට බීබීසීය උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

කෙසේ වෙතත්, අදාළ පාසල පිහිටා ඇති ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත මේ සම්බන්ධව පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

පාසලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ, මෙය යම් කාලයකට පෙර සිදුව ඇති සිදුවීමක් බවත් මේ වන විට අදාළ ශිෂ්‍ය නායකයා ඇතුළු පාසලේ සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලය ම විසුරුවා හැරීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇති බව ත් ය.

CERT සහ පරිගණක අපරාධ විමශර්න කොට්ඨාසයට පැමිණිල්ලක්

මෙම සිදුවීම පිළිබඳව ඊට මුහුණ දී ඇති ශිෂ්‍යා විසින් මීට සති තුනකට පමණ ඉහතදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT) වෙත පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේ ය.

අදාළ වීඩියෝ දර්ශන "එළියට ගොස් ඇති බවට" ඔහු තම පැමිණිල්ලේදී සඳහන් කර තිබේ. අනතුරුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය ඔහුට ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙසට උපදෙස් දී ඇත.

ඒ අනුව, එවැනි පැමිණිල්ලක් ලැබුණේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා බීබීසීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමශර්න කොට්ඨාසයෙන් විමසීමක් කළේ ය.

"පැමිණිල්ලක් කියන්නේ, ඒකට ඉවත් කිරීමක් සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙනවා. ඉල්ලීමක් කරලා තියෙනවා," එහිදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

අදාළ පැමිණිල්ල ලැබුණු කාල වකවානුව පිළිබඳව කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, පැමිණිල්ල ලැබී "ලොකු කාලයක් නෑ," යනුවෙනි.

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස?

ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීමෙහි නීතිමය තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා බීබීසී සිංහල නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත සම්බන්ධ කර ගත්තේ ය.

ඔහු සඳහන් කළේ, ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අවරුදු 16ක් බව ය.

"දණ්ඩ නීති සංග්‍රහය සහ අනෙක් නීතීවලට අනුකූලව ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් කැමැත්ත දෙන්න පුළුවන් අවුරුදු 16ට පස්සේ. ගැහැනු දරුවෙකුටත්, පිරිමි දරුවෙකුටත් ඒක අදාළයි.

"එතකොට 16ට වඩා වැඩි නම් ගැහැනු දරුවෙකු වුණත්, පිරිමි දරුවෙකු වුණත්, කැමැත්තෙන් ලිංගිකව හැසිරෙන්න පුළුවන්. ඒක වීඩියෝ විදිහට කළත්, ඔන්ලයින් කළත්, එවැනි දෙයක් කිරීමට නෛතිකව බාධාවක් නැහැ. ඒක දූෂණයක් විදිහට සලකන්නෙත් නැහැ," ඔහු පැහැදිලි කළේ ය.

"නමුත් අවුරුදු 18ට අඩු නම්, කිසියම් ආකාරයකින් ඒ දරුවාව බලහත්කාරයෙන් යොදා ගෙන තිබෙනවා නම්, එතකොට කියන්න පුළුවන්, ඒක බරපතළ ලිංගික අපයෝජනයක් කියලා," නීතිඥවරයා පැවසීය.

ලිංගික ප්‍රකාශන 'ලීක්' කරන්න පුළුවන් ද?

නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත බීබීසී සිංහල වෙත පැවසුවේ, ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ, "අසභ්‍ය පින්තූරයක් හෝ වීඩියෝවක් තමන්ගේ කැමැත්තෙන්වත් ප්‍රසිද්ධ අවකාශයට මුදා හරින්න පුළුවන් කමක් නැහැ," යනුවෙනි.

ඔහු පැවසුවේ, යම් පාර්ශවයක් විසින් එවැනි වීඩියෝ හෝ ඡායාරූප ප්‍රසිද්ධ අවකාශයට මුදා හරින්නේ නම්, එම පාර්ශවයට එරෙහිව සිවිල් නීතිය සහ අපරාධ නීතිය යටතේ පියවර ගත හැකි බව ය.

එහිදී අගතියට පත්වන පාර්ශවය දරුවෙකු නම්, ළමාරක්ෂණ අධිකාරියට ඒ පිළිබඳව ක්‍රියාත්මක විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"සිවිල් නීතිය යටතේ, ඉතා පැහැදිලිව ඒක අපහාසයක් වෙනවා. එතකොට ඒ පාර්ශවල කීර්ති නාමයට වන හානිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. වන්දි ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා," නීතිඥවරයා පැහැදිලි කළේ ය.

'වීඩියෝ හුවමාරු කර ගැනීම සහ හාස්‍යයට ලක් කිරීම වරදක්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එවැනි වීඩියෝ දර්ශන හෝ ඡායාරූප හුවමාරු කර ගැනීම නීතියෙන් වරදක් බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පැවසීය.

"ඒක ඉතා පැහැදිලිව දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. පරිගණක අපරාධ පනත යටතේත් නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒක අදාළ පුද්ගලයාගේ අවසරයෙන් තොරවනේ අරගෙන තියෙන්නේ.

"අනෙක් පැත්තෙන්, තවත් පිරිසක් මීම්ස් හදනවා, ඒ ගැන විහිළු කරනවා, පින්තූර එහෙම දාලා. එහෙම කරලා පාසලට හෝ, අදාළ ළමයින්ට හෝ ගුරුවරුන්ට, වීඩියෝ එක ලීක් නොකරත්, ඒ ගැන විවිධ කටකතා හෝ විහිළු ආකාරයෙන් අදහස් පළ කිරීමත් නීත්‍යනුකූලව වරදක්.

ඔහු තවදුරටත් පැහැදිලි කරමින් මෙලෙස පැවසීය.

"මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ක්‍රියාත්මකයි. එතකොට ඒ පනත හරහා, ඔය හැම ෆේස්බුක් පෝස්ට් එකට ම පවා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කමක් තියෙනවා."

නීතිඥවරයා පෙන්වා දුන්නේ, අදාළ ගුරුවරියන්ට ද ඒ සම්බන්ධයෙන් නීතියමය පියවර ගත හැකි බව ය.

"වාරණ නියෝග පවා ලබා ගන්න පුළුවන්. මේක වෛරල් කරන්න දායක වන අයට විරුද්ධව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

"ගුරුවරියන් කියන්නේ රජයේ සේවකයින් නේ. එයාලට විරුද්ධව මේ කාරණය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් තියලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක අධ්‍යාපන අමාත්‍යංශයට කරන්න පුළුවන්.

"හැබැයි එහෙම නැතුව, අපරාධමය වරදක් කියලා ගුරුවරියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ," ඔහු පැහැදිලි කළේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පියවරක් ගෙන තිබේ ද යන්න විමසීමට බීබීසී සිංහල අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

ප්‍රශ්නගත පාසල් ශිෂ්‍යයා මෙම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ අවකාශයට මුදා හැරීමට සම්බන්ධ වී ඇති නම්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීතිඥවරයා සඳහන් කළේ ය.

"පාසලට පුළුවන්, සදාචාරාත්මක කාරණා පදනම් කරගෙන විනය පරීක්ෂණයක් තියලා, ඒ ළමයාව ඉවත් කරන්න වැනි දෙයක් කරන්න. හැබැයි ළමයත් 18 වැඩි නම් ඒක කරන එක යුක්ති යුක්ත නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්ටර්නෙට් වෙත මුදා හැරි වීඩියෝ ඉවත් කරන්න බැරි ද?

ඉන්ටර්නෙට් වෙත යම් පාර්ශවයක් විසින් මුදා හරින ලද තම පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කිරීමට හැකියාවක් පවතින්නේ දැයි බීබීසී සිංහල ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයෙන් විමසීමක් කළේ ය.

එහිදී එහි නිලධාරියෙකු පැවසුවේ, ප්‍රසිද්ධ අවකාශයට මුදා හැර ඇති එවැනි වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව ය.

එමෙන් ම පෞද්ගලික පණිවිඩ හරහා හුවමාරු වන වීඩියෝ හෝ ඡායාරූප යම්තාක් දුරකට ඉවත් කිරීමේ හැකියාව පවතින බව ද එම නිලධාරියා පැවසීය.

"කාන්තාවන්ට වෙන ම ප්ලැට්ෆෝම් එකක් එක්සත් රාජධානි රජයෙන් හඳුන්වා දීලා තියෙනවා https://stopncii.org/ කියලා. ඒකට පැමිණිලි කළා ම, එතනින් ඒක නතර කරනවා," යැය එම නිලධාරියා පැවසුවේ, සිය පෞද්ගලික ඡායාරූප ඉන්ටර්නෙට් අවකාශයෙන් ඉවත් කිරීමට කාන්තාවන් සඳහා ඇති සේවාවක් පිළිබඳව සඳහන් කරමිනි.

අදාළ අන්තර්ගතය ඉවත් කළ ද පසුව වෙනත් පාර්ශවයක් විසින් යළි එය ඉන්ටර්නෙට් වෙත මුදා හැරීමක් සිදු කරන්නේ නම්, ඒවා ද මෙම සේවාව මගින් ඉවත් කිරීමට හැකි බව එම නිලධාරියා පැවසීය.

"අපි ඉවත් කරන්නේ දැනට දාලා තියෙන එක. අනාගතයේදී එන්න පුළුවන් ඒවා එහෙම ඉවත් වෙන්නේ නැහැ. කෙනෙක් අපිට අදාළ ලිනක්ස් දුන්නා ම අපිට ඉවත් කරන්න පුළුවන්."