'මම ගරිල්ලා භටයෙක්! යුද්ධෙ හිටියේ': නන්දන ගුණතිලකගේ දේශපාලන ගමන් මග දෙස ආපසු හැරී බැලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook / Getty Images
- Author, බීබීසී සිංහල
ජනතා විමුක්ති පෙරමුණෙන් "ජාතික දේශපාලනයට" පිවිස පසුව එහි "ප්‍රතිපත්තිමය වශයෙන් සිදුවූ වෙනස්කම්" පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් පළ කරමින් දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වුණු චරිතයක් වූ නන්දන ගුණතිලක ජනවාරි 18 වන දා අභාවප්‍රාප්ත විය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 63 වන වියේ පසුවිය.
සරසවියේදී ම සක්‍රීයව දේශපාලනයේ නිරත වූ ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු ද විය. ඔහුගේ සමකාලීන දේශපාලනඥයෙකු සඳහන් කළේ, ඔහු වඩාත් ඵලදායී වූයේ පානදුර නගර සභාවේ, නගරාධිපති ධූරය දැරූ සමයේ බව ය.
මේ, ඔහුගේ දේශපාලන ගමන් මග පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.
පෞද්ගලික තොරතුරු
1962 වසරේදී වාද්දුව ප්‍රදේශයේ උපන් එම්.ඩී. නන්දන ගුණසේන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ය.
ඔහුගේ පියා ගුරුවරයෙකු වූ අතර ඔහුට සොයුරු සොයුරියන් සිව් දෙනෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරීපත් වන ඔහු ශිෂ්‍ය දේශපාලනයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස සිය දේශපාලනය ජීවිතයට අත්පොත් තබයි.
ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපියක දැක්වෙන්නේ, නන්දන ගුණතිලක 1976 සිට 1983 දක්වා එක්සත් ජාතික පක්ෂයට ළැදිව සිටි අතර එහි සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ද වූ බව ය.
වාමාංශික දේශපාලනය
ඉන් අනතුරුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග සරසවි සිසුවෙකුව සිටියදී ම 1984 වසරේදී සම්බන්ධ වූ බව ධර්මන් වික්‍රමරත්න සිය ලිපියේ සඳහන් කර තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, තමන් "පූර්ණ කාලීන දේශපාලනය වෙනුවෙන් තම උපාධිය අත්හැරි" බව නන්දන ගුණතිලක ඉකුත් වසරේ ෆේස්බුක්හි පළ කළ සටහනක දැක්විණි. "මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක්," එහි සඳහන් විය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ඔහු 1994 වසරේදී එහි ප්‍රධාන ලේකම් ධූරයට පත් විය. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම් සහ දේශපාලන මණ්ඩල සභික විමල් වීරවංශ මෙලෙස ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
"1994 මහ මැතිවරණයට පෙර සිට ම, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබිණි. එහිදී සෝමවංශ අමරසිංහ සහේදරයා මූලිකව කළ සටන තුළ නන්දන ද වූයේ ය. පසුව නන්දන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් තනතුරට ද පත් කෙරිණි, ටිල්වින් සිල්වා සිටියේ සිර ගෙදර ය. ටිල්වින් සිල්වා දඬුවම් ලැබ සිරගෙදරින් නික්ම ආ විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට ප්‍රධාන ලේකම් තනතුර ලබා දෙන මෙන් ය. කී සැණින් නන්දන එම ඉල්ලීමට අවනත විය," එහි සඳහන් විය.
නන්දන ගුණතිලගේ සමකාලීනයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ ද සිය ෆේස්බුක් ගිණුමේ ඔහුගේ අභාවය පිළිබඳව සඳහන් කරමින් සඳහන් කර තිබුණේ, "ඔහු ද අප මෙන් ම, 1987-89 කැරැල්ලේ භූමිකාවක් සිදු කළ අයෙකි. මර්දනයෙන් පසු ඔහු නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා මුල් වී කටයුතු කළේ ය," යනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉකුත් වසරේ පළ කළ ෆේස්බුක් සටහනක නන්දන ගුණතිලක එවකට ඔහු ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉටු කළ කාර්යයන් සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබා දී තිබිණි.
"මම ගරිල්ලා භටයෙක්..!!! ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි. යුද්ධෙ හිටියෙ..!!!"
ජනාධිපතිවරණ අපේක්ෂකයා
1999 වසරේ පැවති ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකි ලෙස නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණින් ඉදිරිපත් විය.
ඔහු සහභාගී වූ 2024 විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනකදී ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ "වමේ පොදු අපේක්ෂකයා" ලෙස බව ය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඔහු වෙත කෙරුණු ඉල්ලීම මුලදී "මානුෂීය" හේතු දක්වමින් ප්‍රතික්ෂේප කළ ද පසුව ඔහු ඒ සඳහා "තම පෞද්ගලික කැමැත්ත හා ජීවිතය පිළිබඳ කරුණු පසෙක තබමින්," එකඟ වූ බව විමල් වීරවංශ සිය ෆේස්බුක් සටහනේ දක්වා තිබේ.
ඡන්ද 344,173ක් ලබා ගනිමින් ඔහු ජනාධිපතිවරණ සටනේ තෙවන ස්ථානය ලබා ගත් අතර ඡන්ද 4,312,157ක් ලබා ගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නැවතත් ජනාධිපති ධූරයට තේරී පත්වූවා ය.
ඡන්ද සටනේ දෙවන තැන පසු වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. ඒ ඡන්ද 3,602,748ක් ලබා ගනිමිනි.
පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව අවුරුදු 9ක ව්‍යවස්ථාදායක සේවා කාලයක් ඇති නන්දන ගුණතිලක මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2000 වසරේ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි.
එම සන්ධානයේ සභාපතිවරයා ලෙස පත්වූයේ ද ඔහු ය.
වමට තිත
කෙසේ වෙතත්, 2005 වසරේදී නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන අතර විමල් වීරවංශ සඳහන් කළේ, ඒ "2005 ජනාධිපතිවරණය හා බැඳුණු බෙදීමේ කෙළවර" බව ය.
"කුඩා ලිපියක් දේශපාලන මණ්ඩලයට එවූ ඔහු එතැන් සිට නිහඬ විය," ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.
අනතුරුව ඔහු විමල් වීරවංශ සමග 2008 වසරේ ජාතික නිදහස් පෙරමුණ බිහි කිරීමෙහි ලා කටයුතු කරන අතර එහි පළමු ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් විය.
එම වසරේදී ම ජාතික නිදහස් පෙරමුණ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය සමග සම්බන්ධ වන අතර නන්දන ගුණතිලක එම රජයේ වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය (2009-2010) සහ සංචාරක අමාත්‍ය (2009) තනතුරු දරමින් රාජ්‍ය පාලනයට දායක විය.
අනතුරුව ඔහු 2014 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළේ ය.
ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, "පාදඩ, රස්තියාදුකාර ආර්ථිකයක් මේ හදල තියෙන්නේ... කුඩුකාරයෝ ධනපති වෙලා, ජාවාරම්කාරයෝ ධනපති වෙලා, කැසිනෝකාරයෝ ධනපති වෙලා, කොමිස්කාරයෝ ධනපති වෙලා. හිතල බලන්න විශේෂයෙන් ම 2010 න් පස්සේ නිර්මාණය වෙච්ච ධනපතියෝ කොහොම දියුණු වෙච්ච මිනිස්සුද කියලා," යනුවෙනි.
තමාට නායකයෙකු වීමේ අපේක්ෂාවක් නොමැති බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම දායකත්වය ලබා දෙන බවත් එහිදී නන්දන ගුණතිලක ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, පසුව ඔහු රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වන අතර 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන සඳහා සහයෝගය දැක්වීය.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් දෙවරක් පානදුර නගර සභාවේ නගරාධිපති ධූරයට තේරී පත් විය.
නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් වීම පිළිබඳව අතුල එම්. ගමගේ ෆේස්බුක්හි මෙලෙස සටහන් කර තිබිණි.
"අද නන්දන ගුණතිලක ගැන බොහෝ සටහන් ලියැවී ඇත. ප්‍රතිපත්තිමය කරුණක් නිසා ජවිපෙන් ඉවත්වීම එකකි. (එහෙත් නන්දන ඉවත්වීම ප්‍රතිපත්තිමය තීරණයක් නොවේ)
"එලෙස ඉවත්වී තමන්ගේ දැනුම, කැපවීම, අධිෂ්ඨානය රට වෙනුවෙන් වෙනත් ආකාරයකට යෙදවිය හැකිව තිබුණි. එහෙත් වූයේ කුමක් ද?
"රාජපක්ෂගේ බලලෝභී, ජාතිවාදී දේශපාලන ගොහොරුවේත්, එතැනින් තම සහෝදරයන්, සහෝදරියන් අමු, අමුවේ පුළුස්සා මරා දැමූ වික්‍රමසිංහගේ එජාප නරකාදියේත් පැසීමයි."
ආන්දෝලනාත්මක ප්‍රකාශ
වත්මන් රජය විවේචනය කරන්නෙකු ලෙස නන්දන ගුණතිලක ප්‍රකට වූයේ ඔහු සිදු කළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙනි.
ඔහු මුල් අවධියේ සිට ම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වීම මෙන් ම ප්‍රතිපත්ති මත විශ්වාසය තැබීම ඒ සඳහා ඔහුට ඉවහල් වුණු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ඔහුගේ අභාවය පිළිබඳව බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසීය.
"එතුමා විශ්වාස කළේ, ජනප්‍රිය දේශපාලනය නෙවෙයි, ප්‍රතිපත්ති පිළිබඳ කාරණා. ඒ නිසා තමයි ඔහුට පුළුවන්කම ලැබුණේ, ඔහු කිසි ම තනතුරක් නොදැරුවත් රජයේ අඩුපාඩුකම් පෙන්වලා දෙන්න.
ඒ වගේ ම ඔහු තමන් සාමාජිකත්වය දරපු [පක්ෂයේ] අලගිය මුලගිය තැන්, ප්‍රතිපත්ති වෙනස් වීම, එහි නායකයින්ගේ දෙබිඩි පිළිවෙත්, ඔවුන්ගේ වංචනික දේශපාලනය පිළිබඳව අපි කාටත් වඩා හොඳට ගැඹුරින් සහ විශ්වාසවන්ත තොරතුරු දැනගෙන හිටියා," ඔහු පැවසීය.
ඉකුත් වසරේ ෆේස්බුක් සටහනක් තබමින් නන්දන ගුණතිලක සඳහන් කර තිබුණේ, "87 - 90 ජවිපෙන් කළ සියලු ඝාතනවලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු," යනුවෙනි.
එය සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කළ ප්‍රකාශයක් වූ අතර, එක් අවස්ථාවකදී ඔහු සහභාගී වූ රූපවාහිනී වැඩටසහනකදී පවා ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කෙරිණි.
තමා "මනුෂ්‍ය ඝාතන සිදු නොකළ" නමුත් "ඒ වෙච්ච ඝාතනවල වගකීම භාර ගන්නවා," යනුවෙනි ඔහු එහිදී පැවසීය.
තවත් අවස්ථාවකදී ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ ය.
"මම කැඳවපු නීති කමිටුවේ හිටපු එක්කෙනෙක් තමයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්," ඔහු පැවසීය.
තමා එවකට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස කටයුතු කළ බවත් මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා තමන් සතුව අත්සන් ලේඛන පවා ඇති බවත් ඔහු එවකට යූටියුබ් නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, පසුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ද ඔහු ආන්දෝලනාත්මක අදහස් දැක්වූ අයෙකි.
'සියයට සියයක් ම දූෂණයෙන් තොර පුද්ගලයෙක්'
නන්දන ගුණතිලක යනු, අවංකව දේශපාලනයේ නිරතවූ පුද්ගලයෙක් බව එක්සති ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.
"මට 100% සහතිකයක් දෙන්න පුළුවන්, එතුමා අවංකව දේශපාලනය කරපු කෙනෙක්. සියයට සියයක් ම දූෂණයෙන් තොර පුද්ගලයෙක් කියලා අවංකව ම කියන්න පුළුවන්. ඒක හැමෝට ම දෙන්න පුළුවන් සහතිකයක් නෙවෙයි," ඔහු පැවසීය.
පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීම හේතුවෙන් ඔහු විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් බව ඔහු සඳහන් කළේ ය.
"එතුමා වෙන රැකියාවක් කළෙත් නැහැ, පූර්ණ කාලීනව දේශපාලනය කළේ. නීත්‍යනුකූලව තමන්ට ලැබුණු දීමනාවක් ඇරෙන්න, වෙන කිසි දෙයක් ලබා ගත්තේ නැහැ. ඒ නිසා ම එතුමා ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණ දුන්නා. දේශපාලන තනතුරු නැති අවස්ථාවලදී එතුමාට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා," මන්ත්‍රීවරයා පැවසීය.
"ඔහුගේ දේශපාලන ජීවිතයේ වඩා ඵලදායී කටයුත්ත ඔහු කළේ, නගරාධිපතිවරයා වශයෙන්. පානදුර නගරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"1994න් පස්සෙ අද වෙනකං හැමදාම කුලී ඇනෙක්ස්වල හිටියෙ. ෆුල් ටයිම් වැඩ කරල අහුවුණ නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුණාට දීපු වදවලින් වෙච්ච ආබාධවලට කාලයක් බෙහෙත් කළා.
"මහ ගේ විකුණල නඩුවලටයි බෙහෙත්වලටයි වියදම් කරා. ඒව ඒවට ම ඉවර වුණා... අද වෙනකං රස්සාවක් කරේ නෑ. ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ," මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක්හි සටහනක් තබමින් නන්දන ගුණතිලක සඳහන් කර තිබිණි.
ඔහුගේ සමකාලීන දේශපාලනඥයෙකු වන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ද ඔහු පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
"මට ඔහු බිංදුවයි... නන්දන ගුණතිලක අපේ පක්ෂය ගොඩගන්න කැපකිරීම් කළ මිනිසෙකි. එයට මම ඔහුට දේශපාලන ලකුණු 10ක් දෙමි. නන්දන ගුණතිලක
පක්ෂය විනාශ කිරීමට කැප කිරීම් කළ මිනිසෙකි. එයට මම ඔහුට ඍණ ලකුණු 10ක් දෙමි. 10-10 = 0," එහි සඳහන් විය.














