ඔබේ ක්‍රිප්ටො මුදල් ඔබේ ඇස් ඉදිරියේදී ඔබටත් නොදැනීම සොරකම් කරන ක්‍රිප්ටො අපරාධකරුවන් ගැන දන්නවා ද?

A edited image of a hooded hacker holding a phone with a Bitcoin face බිට්කොයින් මුහුණක් සහිත දුරකථනයක් අතැතිව සිටින හිස් වැසුම් පැළඳගත් හැකර්වරයෙකුගේ සංස්කරණය කරන ලද රූපයක්.
ඔබේ ක්‍රිප්ටො මුදල් ඔබේ ඇස් ඉදිරියේදී ඔබටත් නොදැනීම සොරකම් කරන ක්‍රිප්ටො අපරාධකරුවන් ගැන දන්නවා ද?
    • Author, ජෝ ටයිඩි
    • Role, සයිබර් වාර්තාකරු, බීබීසී ලෝක සේවය

ඔබේ ක්‍රිප්ටෝ මුදල් සොරකම් කිරීම ගැන භයානක කරුණක් තිබේ. සියලු ම ගනුදෙනු බ්ලොක්චේන් ලෙස හඳුන්වන ඩිජිටල් ලෙජරයක සටහන් වේ, එබැවින් යමෙකු ඔබේ මුදල් ගෙන එය ඔවුන්ගේ ම ක්‍රිප්ටො මුදල් පසුම්බියේ තැන්පත් කළ ද, එම මුදල් ප්‍රමාණය තවමත් ඉන්ටර්නෙට්හි පෙනෙන්නට තිබේ.

"ඔබගේ මුදල් පොදු බ්ලොක්චේන් එකේ තියෙනවා කියලා ඔබට දැක ගන්න පුළුවන්, නමුත් ඒවා නැවත ලබා ගැනීමට ඔබට කළ හැකි කිසිවක් නැහැ," යනුවෙන් ක්‍රිප්ටො සොරුන් නිසා ඩොලර් 315,000ක් (පවුම් 250,000ක්) පමණ අහිමි වූ හෙලන් පවසයි.

ඇය එම අත්දැකීම සොරෙකු ඔබේ වටිනා දේපළ ඔබට ළඟා විය නොහැකි අගාධයක ගොඩ ගසන ආකාරය නැරඹීම වැනි දෙයක් සමග සමාන කරයි.

එක්සත් රාජධානියේ පදිංචි හෙලන් සහ ඇගේ සැමියා රිචඩ් (එය ඔහුගේ සැබෑ නාමය නොවේ) වසර හතක් පුරාවට Cardano නම් ක්‍රිප්ටෝ මුදල් ඒකක මිල දී ගෙන එකතු කරමින් සිටියහ.

සාම්ප්‍රදායික ක්‍රමවලින් ඉතිරි කරන මුදල්වලට වඩා අගය විශාල ලෙස ඉහළ යාමේ හැකියාවක් ඇති ඩිජිටල් වත්කමක් මත ආයෝජනය කිරීමේ අදහසට ඔවුහු කැමති වූහ. එය අවදානම් සහිත බව ඔවුන් දැන සිටිය ද, තමන්ගේ ඩිජිටල් යතුරු ආරක්ෂිතව තබා ගැනීමට ඔවුහු ප්‍රවේශම් වූහ.

නමුත් කෙසේ හෝ හැකර්වරු ඔවුන්ගේ ක්ලවුඩ් ගබඩා ගිණුමට ඇතුළු වූ අතර, එහිදී ඔවුන් ඔවුන්ගේ ක්‍රිප්ටෝ පසුම්බි සහ ඒවාට ප්‍රවේශ වන ආකාරය පිළිබඳ තොරතුරු ලබාගෙන තිබිණි.

The Cardano website on a smartphone ස්මාර්ට් ජංගම දුරකතනයක Cardano වෙබ් අඩවිය

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෙලන් සහ රිචඩ් ධනවත්හු නොවූහ. ඇය පෞද්ගලික සහකාරවරියකි. ඔහු සංගීත රචකයෙකි. සොරකමට පෙර ඔවුන්ගේ Cardano ආයෝජනය වෙනුවෙන් ඔවුන් ඉහළ බලාපොරොත්තු තබා තිබිණි.

2024 පෙබරවාරි මාසයේදී, අත්හදාබැලීමේ සුළු ගනුදෙනුවක් කළ පසු, අපරාධකරුවන් ඉතා වේගවත් සහ නිහඬ සයිබර් ප්‍රහාරයකින් යුවළට හිමි සියලු ම මුදල් තමන්ගේ ම ඩිජිටල් වොලට්වලට මාරු කරගෙන තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව මෙම යුවළ මාස ගණනාවක් පුරාවට ඔවුන්ගේ මුදල් එක් මුදල් පසුම්බියකින් තවත් මුදල් පසුම්බියකට මාරු වන ආකාරය බලා සිටියේ කිසිවක් සිදු කර ගැනීමට නොහැකිව ය. (ක්‍රිප්ටෝ මුදල්වල ඇති ආවේණික පරස්පරතාවක් නම්, සියලු ම ගනුදෙනු ප්‍රසිද්ධියේ නිරීක්ෂණය කළ හැකි නමුත්, පරිශීලකයින්ගේ කැමැත්ත මත, ප්‍රසිද්ධියේ නිරීක්ෂණය කිරීමට නොහැකි ලෙස සැකසිය හැකි වීම ය.)

හෙලන් සහ රිචඩ් ධනවත්හු නොවූහ. ඇය පෞද්ගලික සහායිකාවක වන අතර, ඔහු ගීත රචකයෙකි. ඔවුන්ගේ Cardano ආයෝජන පිළිබඳව විශාල බලාපොරොත්තු ඔවුන්ට තිබිණි.

''අපි දිග කාලයක් තිස්සේ ක්‍රිප්ටො මුදල් ඒකක මිල දී ගනිමින් හිටියේ… මේවා තව තවත් මිල දී ගන්න අපි හැම සතයක් ම වියදම් කළා. මගේ මව්පියන්ගේ මරණයෙන් පස්සේ, මට සිදුවූ වඩාත් ම දරුණු දේ මේ සොරකම තමයි," රිචඩ් පවසයි.

එතැන් පටන් හෙලන් ඔවුන්ගේ මුදල් ආපසු ලබා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින්නී ය. ඇය විවිධ පොලිස් බළකායන්ගෙන් සහ Cardano සංවර්ධකයින්ගෙන් සවිස්තරාත්මක වාර්තා ලබා ගත්තා ය. දැන්, අපරාධකරුවන්ගේ ක්‍රිප්ටො මුදල් පසුම්බියේ ලිපිනය ඇය සතුව තිබුණත්, ඔවුන්ව හෙළිදරව් කිරීම සඳහා කිසිවෙකුට කළ හැකි දෙයක් නොමැත.

හැකර්වරුන් හඳුනා ගැනීමට පෞද්ගලික විමර්ශකයන් යොදවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීම ඔවුන්ගේ සැලැස්මයි.

"ඔබට හිතෙයි ඔබ අසරණ යි කියලා, නමුත් මම දිගට ම උත්සාහ කරනවා," ඇය පවසයි.

ක්‍රිප්ටෝ ප්‍රහාර පිළිබඳ අනාවරණයක්

ගෝලීය වශයෙන්, මේ වන විට පුද්ගලයන් මිලියන 560කට වැඩි පිරිසක් ක්‍රිප්ටෝ මුදල් හිමියන් බවට පත්ව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. නමුත් හිමිකාරිත්වය වැඩිවීමත් සමග ම සොරකම් ද වැඩි වී තිබේ. කොවිඩ් වසංගත කාලය ක්‍රිප්ටෝ මුදල්වල වටිනාකම දැඩි ලෙස ඉහළ යාමට හේතු වූ අතර, ඒ සමග ම ක්‍රිප්ටො කර්මාන්තයට එරෙහි ප්‍රහාරවල ද විශාල වර්ධනයක් දැක ගත හැකි විය.

2025 වසර ක්‍රිප්ටො අපරාධකරුවන්ට තවත් වාසිදායක වසරක් වූ අතර, බ්ලොක්චේන් විශ්ලේෂණ සමාගමක් වන Chainalysisහි විමර්ශකයන්ට අනුව, සම්පූර්ණ සොරකම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4කට වැඩි විය. 2020 සිට වාර්ෂික අගය එක ම මට්ටමක පවතී.

A crowd of people cross London Bridge ලන්ඩන් පාලම හරහා ගමන් කරන පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය වැඩිහිටියන්ගෙන් 12%ක් පමණ, එනම් දළ වශයෙන් මිලියන 7ක් පමණ, ක්‍රිප්ටෝ-වත්කම් හිමි කරගෙන ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ක්‍රිප්ටෝ සමාගම්වලට එල්ල වන දැවැන්ත සයිබර් ප්‍රහාරවලින් බොහෝ මුදල් සොරකම් කරනු ලැබේ. උදාහරණයක් ලෙස, උතුරු කොරියානු හැකර්වරු 2025 පෙබරවාරි මාසයේදී ක්‍රිප්ටෝ හුවමාරු Bybit වෙතින් ඩොලර් බිලියන 1.5ක් පැහැර ගත්හ.

මෙහිදී සිදුවූ අලාභයන් සහ අනෙකුත් බහුතර සිදුවීම්වල අලාභයන්, විශාල මූල්‍ය සම්පත් ඇති ක්‍රිප්ටෝ සමාගම් විසින් ආවරණය කරනු ලබන බැවින්, පුද්ගලයන්ට එයින් සිදුවන බලපෑම සාමාන්‍යයෙන් අඩු ය. නමුත් 2025 වසරේදී පෞද්ගලික ක්‍රිප්ටෝ ආයෝජකයන් ඉලක්ක කරගත් ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබිණි.

Chainalysisහි පර්යේෂණ අනුව, මෙවැනි පෞද්ගලික ප්‍රහාර 2022 වසරේදී 40,000ක් පමණ සිට, පසුගිය වසර වන විට 80,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

අනවසරයෙන් ඇතුළුවීම, වංචා කිරීම හෝ බලහත්කාරයෙන් සොරකම් කරන ලද මුදල සියලු ම ක්‍රිප්ටෝවල වටිනාකමෙන් 20%ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර එහි වටිනාමක ඩොලර් මිලියන 713 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

නමුත් සියලු ම වින්දිතයින් සොරකම් ප්‍රසිද්ධියේ වාර්තා නොකරන බැවින් එම සංඛ්‍යාව බෙහෙවින් වැඩි විය හැකි බව සමාගම පවසයි. එවැනි අවස්ථාවලදී, ඔබ තනිව ම මුහුණ දීමට සිදුවිය හැක.

Chainalysis විසින් පෞද්ගලික ආයෝජකයන්ට එරෙහි ප්‍රහාර "ක්‍රිප්ටෝ අපරාධවල අඩුවෙන් ලේඛනගත වූ නව සීමාව" ලෙස විස්තර කර ඇත.

මුදල් ඒකකවල වටිනාකම ඉහළ යාමත් සමග බහුතර පිරිසක් ආයෝජකයන් ලෙස ක්‍රිප්ටෝ ලෝකයට ඇතුළු වීම මෙම අපරාධ ප්‍රමාණය ඉහළ යාමට හේතු වූ බවත්, ප්‍රධාන සේවාවන්හි ආරක්ෂාව වැඩිදියුණු වීම නිසා "ප්‍රහාරකයන් පහසු ඉලක්ක ලෙස සැලකෙන පුද්ගලයන් වෙත හැරී යාමට" ඉඩ ලැබී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ක්‍රිප්ටො මුදල් හිමියන්ට තර්ජනය කර රහස්‍ය අංක ලබා ගැනීමේ 'Wrench attacks'

සොරුන් ලොව ඕනෑ ම ස්ථානයක සිටිය හැක.

ඔක්තෝබර් මාසයේදී ක්‍රිප්ටෝ විශ්ලේෂණ සමාගමක් වන එලිප්ටික්හි බ්ලොක්චේන් පර්යේෂකයින් අනතුරු ඇඟවූයේ, උතුරු කොරියානු රාජ්‍ය අනුග්‍රහය ලත් හැකර්වරුන් ධනවත් ක්‍රිප්ටෝකරන්සි හිමිකරුවන් ඉලක්ක කිරීම ඉහළ යමින් පවතින බව ය. වෙනත් රටවල ද වංචාකරුවෝ සහ හැකර්වරු බහුලව සිටිති.

දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ, 22 හැවිරිදි එවන් ටැන්ජ්මන්, Social Engineering Enterprise ලෙස හඳුන්වන ක්‍රිප්ටෝ සොරුන් කණ්ඩායමක සාමාජිකයෙකු විමේ වරද පිළිගත්තේ ය. ඔවුන් 2023 ඔක්තෝබර් සහ 2025 මැයි අතර කාලය තුළ ඩොලර් මිලියන 260කට වඩා සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඇත.

අභිචෝදකයින් චෝදනා කරන්නේ, ඔවුන් සොරකම් කළ දත්ත භාවිත කරමින් ක්‍රිප්ටෝ මුදල්වලින් පොහොසත් පුද්ගලයන් ඉලක්ක කරගෙන, තමන් ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන ලෙස පෙනී සිටිමින් වින්දිතයින් ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරු කිරීමට පොළඹවා ඇති බව ය.

A private jet takes off from Los Angeles International Airport (LAX) ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (LAX) පුද්ගලික ජෙට් යානයක් පිටත් වන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සමාජ ඉංජිනේරු ව්‍යවසාය' නමැති කල්ලියේ සාමාජිකයින් පෞද්ගලික ජෙට් යානා සහ අනෙකුත් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා සොරකම් කරන ලද ක්‍රිප්ටෝ මුදල් වියදම් කර ඇති බව කියනු ලැබේ.

ඇතැම් නඩුවලදී නීතිඥවරුන් පවසන්නේ, ක්‍රිප්ටො ගබඩාවල රහස්‍ය යෙදුම් අඩංගු දෘඪාංග සොරකම් කිරීම සඳහා කල්ලිය නිවෙස් බිඳීම් සංවිධානය කර ඇති බව ය.

සොරකම් සහ කොල්ලකෑම් ඉතා සුලභ වී ඇති අතර, දැන් ක්‍රිප්ටො ප්‍රජාව තුළ ඒවා සඳහා භාවිතයේ පවතින යෙදුමක් තිබේ - "wrench attacks" අපරාධකරුවන් ස්පැනර් භාවිත කර වින්දිතයින්ට තර්ජනය කර තිබීම ඊට හේතුව ය.

පසුගිය අප්‍රේල් මාසයේදී, ස්පාඤ්ඤයේ ක්‍රිප්ටො අපරාධකරුවන් පිරිසක්, පිරිමි පුද්ගලයෙකුගෙන් සහ කාන්තාවකගෙන් ඔවුන්ගේ ක්‍රිප්ටො මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සහ ක‍ර තිබිණි.

ස්පාඤ්ඤ පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයාගේ කකුලට වෙඩි තබා තිබූ බව සහ ඔහු සහ ඔහුගේ සහකාරිය පැය කිහිපයක් සිර කර තබාගෙන, අපරාධකරුවන් ඔවුන්ගේ ක්‍රිප්ටො වොලට් වෙත ප්‍රවේශය ලබා ගැනීමට උත්සහ කර ඇති බව ය. අවසානයේ කාන්තාව නිදහස් කළ ද, ඇගේ සහකරු අතුරුදන්ව සිටි අතර පසුව ඔහුගේ දේහය වනාන්තර ප්‍රදේශයකින් සොයා ගන්නා ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේදී පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඩෙන්මාර්කයේදී තවත් පුද්ගලයන් හතර දෙනෙකුට චෝදනා එල්ල කර ඇත.

මේ හා සමාන සිදුවීම් කිහිපයක් ප්‍රංශයෙන් ද වාර්තා වී තිබේ. එක් සිදුවීමක පැහැර ගැනීමට තැත් කිරීමක් දැක්වෙන සිදුවීමක් වීඩියෝ පටයක සටහන් වී ඇත.

A still from a video shows two men in black trying to drag a woman into their white van කළු ඇඳුමින් සැරසුණු පිරිමින් දෙදෙනෙකු සුදු වෑන් රථයට කාන්තාවක් ඇදගෙන යාමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක ඡායාරූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, French social media

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුණු ආවරණ පැළඳ ගත් කල්ලියක් විසින් පැරිසියේදී ක්‍රිප්ටෝකරන්සි මුදල් සමාගමක විධායක නිලධාරියෙකුගේ දියණිය සහ තරුණ මුණුපුරා පැහැර ගැනීමට උත්සහ කළහ.

2025 වසරේදී වාර්තා වූ තවත් සිද්ධියකදී, ක්‍රිප්ටො කරන්සි ආරක්ෂණ සමාගමක් වන Ledger හි සම-නිර්මාතෘවරයෙකු වන ඩේවිඩ් බැලන්ඩ්, මධ්‍යම ප්‍රංශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහුගේ බිරිඳ සමඟ පැහැරගෙන ගොස් තිබිණි.

දින කිහිපයකට පසු පොලිසිය ඔවුන්ව මුදා ගැනීමට සමත් වූ නමුත් කප්පම් ගැනීමේ උත්සහය හමුවේ බැලන්ඩ්ගේ ඇඟිල්ලක් කපා දමා තිබිණි.

මැයි මාසයේදී වාර්තා වූ තවත් ප්‍රහාරයකදී, බැලන්ඩ්ගේ පියා ද පැහැරගෙන ගොස් තිබූ අතර, ඔහු ද පසුව මුදා ගත් නමුත් අපරාධකරුවන් ඔහුගේ අතේ ඇඟිල්ලක් ද කපා දමා තිබිණි.

French police (file picture) ප්‍රංශ පොලිසිය (සංරක්ෂිත ඡායාරූපය)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිප්ටෝ මුදල් දෘඪාංග සමාගමක් වන ලෙජර්හි සම-නිර්මාතෘ ඩේවිඩ් බැලන්ඩ්, ඔහුගේ බිරිඳ සමග මධ්‍යම ප්‍රංශයේ ඔවුන්ගේ නිවසින් පැහැරගෙන ගොස් දින කිහිපයකට පසු පොලිසිය විසින් බේරා ගන්නා ලදී.

ප්‍රසිද්ධියේ වාර්තා වන්නේ සුළු ප්‍රමාණයක් බැවින් "wrench attacks" කොතරම් ප්‍රචලිත ද යන්න නිශ්චිතව තීරණය කිරීම අපහසු ය.

මෙවැනි සොරකම් වර්ධනය වන පෞද්ගලික ක්‍රිප්ටෝ සොරකම් ගැටලුවේ කුඩා කොටසක් පමණක් බව පෙනෙන්නට තිබේ.

බොහෝ අපරාධකරුවන් උත්සහ කළ සහ විශ්වාස කළ හැකි අනවසරයෙන් ඇතුළුවීමේ හෝ වංචා කිරීමේ ශිල්පීය ක්‍රම මත විශ්වාසය තබා කටයුතු අතර සමාගම්වලට එල්ල වන දැවැන්ත සයිබර් ප්‍රහාරවලදී සොරකම් කරන ලද දත්ත බහුල වීම නිසා ඒවා පහසු වෙමින් පවතී.

පසුගිය මාසයේ ක්‍රිප්ටෝ හුවමාරු Coinbase නිවේදනය කළේ පාරිභෝගික දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

'බිට්කොයින් මිලියනපතියන් බිහිවීම බහුල වෙයි'

"බිට්කොයින් කෝටිපතියන් බිහිවීම බහුලව සිදුවෙමින් පවතින නිසා දත්ත යනු පොදු ගැටලුවක් වන අතර, ඉලක්ක ලැයිස්තුව විශාල කරන දත්ත රැසක් තිබෙනවා," ක්‍රිප්ටෝ ආරක්ෂක සමාගමක් වන Havenහි නිර්මාතෘ මැතිව් ජෝන්ස් පවසයි.

බීබීසී ය වෙත අදහස් දැක්වූ හැකර්වරයෙකුට අනුව, Gucci සහ Balenciaga ඇතුළු සුඛෝපභෝගී වෙළෙඳ සන්නාමවල මව් සමාගම වන Kering සමාගමේ මෑතක සිදුවූ නවතම දත්ත සොරකම ඒ සඳහා කදිම උදාහරණයකි.

එම දත්ත ගබඩාවල මිලියන ගණනක ගනුදෙනුකරුවන්ගේ නම් සහ ඔවුන් සම්බන්ධ කර ගත හැකි තොරතුරු පමණක් නොව, ඔවුන් වෙළෙඳසල්වලදී වැය කළ මුදල් ප්‍රමාණය ද පෙන්වා තිබිණි.

බීබීසී වෙත අදහස් දැක්වූ හැකර්වරුන් පැවසුවේ, විශාල ලෙස මුදල් වැය කරන පාරිභෝගිකයින් ඉලක්ක කර ගැනීම සඳහා ඔහු ඩොලර් 300,000ක මුදලකට spreadsheets මිල දී ගත් බව ය.

මේ දක්වා අවම වශයෙන් ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝවලින් බහු Coinbase පරිශීලකයින්ට වංචා කිරීම සඳහා තවත් සොරකම් කරන ලද දත්ත ගබඩාවක විස්තර සමග මෙම තොරතුරු භාවිත කළ බව ද ඔහු පිළිගත්තේ ය.

A shopper walks past a Gucci store in a shopping mall in San Diego සැන් ඩියාගෝ හි සාප්පු සංකීර්ණයක Gucci වෙළඳසැලක් පසුකර යන පුද්ගලයෙක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Gucci සහ Balenciaga ඇතුළු සුඛෝපභෝගී සන්නාමවල මව් සමාගම වන Keringහි, පාරිභෝගික තොරතුරුවලට බලපාන දත්ත සොරකමක් සිදුවිය.

Havenහි මැතිව් ජෝන්ස් කියා සිටියේ, ඔහුත් ක්‍රිප්ටෝ සොරකම් සඳහා මුහුණ පා ඇති බැවින් එම අත්දැකීම ඔහුට අමතර ආරක්ෂක විශේෂාංග සමග ක්‍රිප්ටෝ වොලට් එකක් ලබා ගැනීමට පෙළඹවූ බව ය.

ඔහු කියා සිටියේ, පරිශීලකයාට පමණක් මුදල් ඒකක යොමු කළ හැකි බව තහවුරු කිරීම සඳහා අඛණ්ඩ ජීව විද්‍යාත්මක පරීක්ෂණ සහ පරිශීලකයාගේ නිවස හෝ වැඩ ස්ථානයෙන් පිටත සිදු විය හැකි ගනුදෙනු අවහිර කිරීම සඳහා geofencing වැනි විශේෂාංග දැන් අවශ්‍ය බව ය. ඔහු තවදුරටත් ඩිජිටල් වොලට් එකට "panic button" එකක් එක් කිරීම සිදු කරමින් සිටී.

"මේ දවස්වල මිනිස්සු ඩොලර් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සමග එහෙ මෙහෙ යනවා, වොලට්වල තබා ගත හැකි මුදලට හෝ එකවර සොරකම් කර ගත හැකි මුදලට කිසිදු සීමාවක් නැහැ," ඔහු පවසයි.

'ඔබේ ම බැංකුව' බවට පත්වීම

මැතිව් ජෝන්ස්ගේ ක්‍රිප්ටෝ වොලට් එක එම කර්මාන්තය "self custody" ලෙස ප්‍රවර්ධනය කරන අදහසකි.

Havenහි යෙදුම Metamask සහ Trustwallet යෙදුම්වලට සමාන වේ. Trezor සහ Ledger වැනි වෙනත් සමාගම් USB වැනි භෞතික උපාංග ලබා දෙන නමුත් අදහස සමාන වේ: ඔබට ඔබේ ම බැංකුව විය හැකි යි.

නමුත් යම් ආරක්ෂණයක් නොමැතිවීම නිසා මෙම අමතර නිදහසත් සමග අමතර අවදානමක් ද පවතී.

ඔබේ ම භාරකාර මුදල් පසුම්බියකින් ඔබේ කාසි සොරකම් කර ඇත්නම්, ඔබට පැමිණිලි කිරීමට ක්‍රිප්ටෝ හුවමාරුවකට පවා යා නොහැක.

"ඔබේ ම බැංකුවක් වීමේ" නිදහස ඉහළ යමින් පවතින අවදානම් ඉක්මවා යනවා දැයි විමසූ විට, ජෝන්ස් එය එලෙස සිදු කරන බව අවධාරනය කරයි.

"බැංකු සැබෑවට ම තම ගනුදෙනුකරුවන්ට වග කියන්නේ නැහැ. බොහෝවිට අසම්පූර්ණ හේතු මත පදනම්ව ඔවුන්ට ඔබේ ගිණුම තහනම් කිරීමට හෝ වසා දැමීමට බලය තිබෙනවා," ඔහු තර්ක කරයි.

ඔහු පවසන්නේ, සාම්ප්‍රදායික මූල්‍ය ආයතන විසින් ගිණුමකින් මුදල් මාරු කරනු ලබන්නේ ඇයි ද යනුවෙන් සිදු කරන විමසීමට තමා විරුද්ධ වූ බව ය.

හෙලන් සහ රිචඩ් තමන්ගේ ම බැංකුවක් ලෙස කටයුතු කිරීම තෝරා ගැනීමෙන් පසු ඔවුන්ගේ සියලු කාසි අහිමි විය. එය ඔවුන්ට විශේෂයෙන් වේදනාකාරී වූයේ බොහෝ මුදල් හිමිව තිබුණේ රිචඩ්ගේ මවගේ මරණයෙන් පසු ඇගේ නිවස විකිණීම හේතුවෙනි.

"මගේ අම්මාගේ මුදල් ඔක්කොම නැති වුණා, ඇය මගේ අනාගතය වෙනුවෙන් කළ සියලු කැපකිරීම් සොරකම් කරලා. අපට සංගීත භාණ්ඩ සහ අපගේ මෝටර් රථය විකිණීමට සිදුවුණා, අපි ටික කාලයක් ගෙයක්වත් නැතුව හිටියා." රිචඩ් පවසයි.

එහෙත් ඔවුන් ක්‍රිප්ටෝකරන්සි සම්පූර්ණයෙන් ම අත්හරින්නේ නැත. ඔවුන්ට නැති වූ මුදල් ආපසු හිමිවන්නේ නම් හෝ ඉතිරිකිරීම් ප්‍රමාණවත් ලෙස රැස් කරන්නේ නම්, ඔවුන් ඍජුව ක්‍රිප්ටො මුදල් ආයෝජනයට නැවත යොමුවීමට සැලසුම් කරයි.

Top image credit: Getty Images