"නැතිවුණු බිට්කොයින් ටික හොයාගන්න මට උදව් කළේ හැකර්ලා"

rhonda and megan kampert
ඡායාරූප ශීර්ෂ වැකිය, රොන්ඩා කැම්පර්ට් (වමේ) ඇය සොයාගත් බිට්කොයින් සිය දියණිය වන මෙගන්ගේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සඳහා උපකාරයක් ලෙස භාවිතා කළා ය

රොන්ඩා කැම්පර්ට් බිට්කොයින් උන්මාදය ඇරඹුණු මුල් සමයේ දීම ඊට හැඩගැසුණු අයෙකි.

2013 දී ඇය එකකට ඩොලර් 80ක් පමණ වැය කරමින් බිට්කොයින් හයක් මිල දී ගත් අතර, ඒ කාලයේ මේ පිළිබඳව අන්තර්ජාලයේ අස්කොන්වල පමණක් යන්තමින් කතාබහක් ඇතිව තිබුණා පමණි.

"රේඩියෝ වැඩසටහනක ක්‍රිප්ටෝ සහ බිට්කොයින් ගැන කතා කරනවා ඇහුණට පස්සේ මම ඒ ගැන උනන්දු වුණා," ඇය පවසයි.

"ඒ දවස්වල ඒවා මිලදී ගන්න ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ යි. නමුත් මම කොහොමහරි ඒ ක්‍රියාවලිය හරහා ගිහින් කාසි මිලට ගත්තා."

එක්සත් ජනපදයේ ඉලිනෝයි ප්‍රාන්තයේ වෙසෙන රොන්ඩා එළඹුණු වසරේ දී ඇගේ ඩිජිටල් මුදල්වලින් කොටසක් වියදම් කළ අතර, පසුව එය ඇයට අමතකව ගියේ ය.

2017 වසරේ අගභාගයේ දී බිට්කොයින්වල වටිනාකම ඩොලර් 13,000 දක්වා ඉහළගොස් ඇති බව කියන සිරස්තල දුටු විට උද්යෝගයට පත් ඇය සිය බිට්කොයින් ද මුදල් කරගැනීමේ අභිලාෂයෙන් පරිගණකයට පිවිසුණා ය.

නමුත් එහි දී ගැටලුවක් මතුවිය. ඇයගේ බිට්කොයින් පසුම්බියට (එනම් රහස් අංක, පුද්ගලික යතුරු ආදී දත්ත අඩංගු පරිගණක වැඩසටහනක්) පිවිසීම සඳහා ඇතුළු කිරීමට අවශ්‍ය වන මුරපද තොරතුරු ඇය සතුව තිබුණේ නැත.

"මගේ බිට්කොන් පසුම්බිය හඳුනගන්න ඕනේ කරන ඉලක්කම් කීපයක් මං ඒකෙ ප්‍රින්ටවුට් එකක් ගනිද්දී මඟහැරිලා කියලා මට එතකොට තේරුම් ගියා. මගේ පාස්වර්ඩ් එක ලියපු කඩදාසියක් මං ළඟ තිබුණත්, මගේ වොලට් ID එක මොකද්ද කියලා මං දැනගෙන හිටියේ නැහැ," රොන්ඩා පවසයි.

"ඒක හරි නරක අත්දැකීමක්"

මම මාස ගාණක් තිස්සේ පුළුවන් හැම විදියටම උත්සාහ කරලා, අන්තිමේ ඒ ගැන බලාපොරොත්තු අත්හැරියා."

පසුගිය වසන්තය වන විට බිට්කොයින්හි වටිනාකම ඩොලර් 50,000ට වඩා ඉහළගොස් තිබුණි. එය, ඊට වසර අටකට පෙර රොන්ඩා විසින් ගෙවා තිබූ මුදල මෙන් 600 ගුණයකටත් වඩා වැඩි අගයකි.

ඇයට සිය බිට්කොන් සොයා ගැනීමේ නව අධිෂ්ඨානයක් ඇතිවූයෙන් උදව් සොයා අන්තර්ජාලයට පිවිසුණු ඇයට ක්‍රිප්ටෝ "ට්‍රෙෂර් හන්ටර්ලා" දෙදෙනෙකු වූ ක්‍රිස්, සහ චාලි බෲක්ස් නම් පියෙකු සහ පුතෙකු හමුවිය.

chris and charlie brooks
ඡායාරූප ශීර්ෂ වැකිය, චාලි සහ ක්‍රිස් බෲක්ස් පවසන්නේ, පසුගිය වසර තුළ ඉලක්කම් හතක වටිනාකමෙන් යුත් බිට්කොයින් නැවත ලබාගැනීමට ඔවුනට හැකිවූ බව යි

"ඒ දෙන්නා එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා තරමක් කතාබහ කළාට පස්සේ, මට මතක ඇති තොරතුරු ඒ අයට ලබාදෙන්න තරම් විශ්වාසයක් ඇතිවුණා. ඉන් පස්සේ මම ඉවසීමෙන් බලන් හිටියා," ඇය පැවසුවා ය.

"අන්තිමේ දී අපි වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ වෙලා ඒ කටයුතු සියල්ල සිද්ධවෙන විදිය බැලුවා. ක්‍රිස් බිට්කොයින් වොලට් එක විවෘත කළාම ඔන්න ඒවා ඒකෙ තිබුණා. මට දැනුණේ පුදුම සහනයක්!"

රොන්ඩාගේ පසුම්බියේ බිට්කොන් තුනහමාරක් වූ අතර, ඒ වන විට ඒවායේ වටිනාකම ඩොලර් 175,000ක් විය.

"මම ක්‍රිස්ට යි චාලිට යි ඒ අයගේ ගාස්තුව වුණු 20% දුන්නා. ඊට පස්සේ මම මුලින්ම කළේ මගේ දුව මෙගන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල වියදමට මගේ බිට්කොයින්වලින් ඩොලර් 10,000ක් ගන්න එක."

තමා ඉතිරිය මුදල දෘඪාංග පසුම්බියක (බිට්කොයින් දත්ත ඕෆ්ලයින් මාධ්‍යයක ගබඩා කරන පෙන්ඩ්‍රයිව් එකක් වැනි ආරක්ෂක උපාංගයක්) දමා අගුලු දැමූබව ඇය පවසයි. ඇගේ නව දෘඪාංග පසුම්බිය සඳහා වූ පිවිසුම් මුරපදය ඇගේ මතකයේ හොඳින්ම තැන්පත්වී ඇත.

රොන්ඩා අපේක්ෂා කරන්නේ දැනට එකක් ඩොලර් 43,000ක් බැගින් වන කාසිවල වටිනාකම නැවතත් ඉහළ යනු ඇති බව යි. දැනට කොටස් වෙළඳපොළ විකුණුම්කරුවෙකු ලෙස රැකියාවේ යෙදෙන ඇය ඉන් ඉවත්වූ කලෙක විශ්‍රාම අරමුදල ලෙස භාවිතා කරන්නේ මෙම ක්‍රිප්ටෝ මුදල් බව ඇය විස්තර කරයි.

බිලියන ගණනක් වටිනා නැතිවූ බිට්කොයින්

රොන්ඩා වැනිම උපකාර අවශ්‍ය බොහෝදෙනෙක් වර්ථමානයේ සිටිති.

ක්‍රිප්ටෝ පර්යේෂකයන්ගේ එක් දාම විශ්ලේෂනයක ඇස්තමේන්තුවකට අනුව, සංසරණයේ ඇති බිට්කොයින් මිලියන 18.9න් මිලියන 3.7ක්ම අයිතිකරුවන් විසින් අහිමි කරගත් ඒවා ය. එමෙන්ම විමධ්‍යගත ක්‍රිප්ටෝ මුදල් "ලෝකයට" කිසිදු පාලකයෙකු ද නැත. එබැවින් ඔබේ ක්‍රිප්ටෝ පසුම්බියට ඇතුළුවීමට අවශ්‍ය තොරතුරු ඔබට අමතක වුවහොත්, පිළිසරණ පැතිය හැකි ස්ථානයක් නැති තරම් ය.

ක්‍රිස් සහ චාලි ඇස්තමේන්තු කරන්නේ ඔවුන්ගේ සේවාව වැනි - පරිගණකය මඟින් විශාල ඉලක්කම් සංඛ්‍යාවක් ඇතුළුකර උත්සාහ කරමින් නිවැරදි මුරපද ආදිය අනුමාන කිරීමේ ක්‍රමයක් භාවිතා කරන - සේවා තුළින් මෙලෙස අස්ථානගත වූ බිට්කොයින්වලින් 2.5%ක් නැවත ලබාගත හැකිබව යි. ඒවායේ අගය ඩොලර් බිලියන 3.9ක් පමණ වේ.

ක්‍රිස් ඔහුගේ ව්‍යාපාරය වූ 'ක්‍රිප්ටෝ ඇසෙට් රිකවරි' 2017 දී ආරම්භ කළ නමුත්, ඉන්පසු වසර කිහිපයක්ම වෙනත් ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළේ ය. එය යළිත් ආරම්භ කිරීමට හේතුවූයේ ඔහුගේ පුත් චාලි සමග සිදුකළ සංවාදයකි.

"මම කොලේජ් එකේ නිවාඩු කාලෙක හිටියේ. මම එහෙ මෙහෙ සංචාරය කළා. නමුත් වැඩි හරියක් මම කළේ ගෙදරට වෙලා තාත්තා එක්ක ව්‍යාපාරික අදහස් සාකච්ඡා කර කර හිටියේ," මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන චාලි පවසයි.

"අපට ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ අදහසක් ඇති වුණා. ඒ නිසා ඊළඟ සති කීපය තුළ අපි සර්වර් කීපයක් ගෙදර ගෙනැත් ඔක්කොම නැවත ක්‍රියාත්මක කළා.

නිව් හැම්ප්ෂයර්හි වෙරළබඩ පිහිටි සිය පවුලට අයත් නිවසේ සිට වැඩෙහි යෙදෙන පිය-පුතු දෙදෙනාට, 2021 නොවැම්බර් මාසයේ දී අවසන් වරට බිට්කොයින් මිල ඉහළ ගිය පසු අනාගත ගනුදෙනුකරුවන්ගෙන් දිනකට විද්‍යුත් තැපැල් සහ ඇමතුම් 100කට වඩා ලැබී තිබුණි.

මේ වන විට එහි මිළ පහත වැටී ඇති හෙයින් ඔවුන් දෙදෙනා පෙර දී අවසන් කරගත නොහැකි වූ වැඩකටයුතුවල යෙදෙයි.

ව්‍යාපාරය කෙතරම් හොඳින් සිදුවෙමින් පවතිනවා ද යත්, සිය පරිගණක විද්‍යා උපාධිය අවසන් කිරීමේ අදහසක් චාලිට නැත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හාස්‍යයට ලක්කරමින් ඔවුන් පැවසුවේ තමා 'සදාකාලික බලාපොරොත්තු සුන්වීමක' සිටින බව යි.

ගනුදෙනුකරුවන්ගේ දුර්වල මතකයෙන් හෝ සේවාදායකයින්ගේ අවුල් සහගත ලිපි ලේඛනවලින් තොරතුරු ලබාගෙන හෝ පිවිසුම් තොරතුරු උත්පාදනය කිරීම සඳහා සැඟවුණු හෝඩුවාවන් සොයමින් හෝ සිදුකරන මෙම ක්‍රියාන්විතය සාර්ථකවීමට ඇත්තේ 30%ක අවස්ථාවක් පමණක් බව ඔවුහු පවසති.

එසේ සාර්ථක වන අවස්ථාවල වුව ද, බොහෝවිට ඔවුන් පසුම්බියේ අන්තර්ගතය ගැන බලාපොරොත්තු කඩවීමට පත්වේ.

"වොලට් එක ඇතුළේ තියෙන්නේ මොනවා ද කියලා අපි දන්නේ නැති නිසා, අපේ කාර්යයට වටිනා මුදලක් ඒකෙ තියෙනවා කියලා සේවාදායකයා කිව්වම අපට ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවා," චාලි පවසයි.

"ගිම්හානයේ දී අපට පැමිණිල්ලක් ලැබුණා, අයිතිකාරයා අපට කිව්වේ එයාට බිට්කොයින් 12ක් තියෙනවා කියලා. අපි ඔහුත් එක්ක ඉතාම වෘත්තීමය මට්ටමෙන් ගනුදෙනු කළාට, අපි ස්ක්‍රීන් එක පිටිපස්සේ ඉඳන් උඩ පැන පැන හිටියේ හොඳ ගාණක් හම්බවෙයි කියලා හිතාගෙන.

"මේ වැඩේට අපි පැය 60ක් විතර කාලයක් සර්වර් එක යෙදෙව්වා වගේම, තවත් පැය 10ක් විතර සේවාදායකයා එක්ක එකතු වෙලා සියලුම දත්ත එකතු කළා.

"ඊළඟට වීඩියෝ කෝල් එකක් අරන් වොලට් එක විවෘත කරද්දී ඒක සම්පූර්ණයෙන්ම හිස්."

ක්‍රිස් සහ චාලි පවසන්නේ මෙතෙක් සිය බිට්කොයින් පසුම්බියෙහි අන්තර්ගතය අවතක්සේරු කර ඇත්තේ එක් සේවාදායකයෙකු පමණක් බව යි. එහි වූ මුදල මේ දක්වාම ඔවුන් විසින් සොයාගත් විශාලතම අගය ගත්තේ ය. එහි වටිනාකම බිට්කොයින් ඩොලර් 280,000කි.

පසුගිය වසර තුළ 'ඉලක්කම් හතක' වටිනාකමින් යුත් (නිශ්චිත අගය ප්‍රකාශ නොකළේ ය) බිට්කොයින් නැවත ලබාගැනීමට උපකාර කළ බව ඔවුන් පවසයි.

දෘඪාංග හැක් කිරීම

මේ පිය-පුතු දෙපළ මේ වන විට වර්ධනය වෙමින් පවතින සදාචාරවත් හැකර් කර්මාන්තයේ යෙදෙන දෙදෙනෙකි. ඔවුන් සිය කුසලතා භාවිතාවෙන් නැතිවූ ක්‍රිප්ටෝකරන්සි ආපසු ලබා ගැනීමට උපකාර කරයි.

ජෝ ග්‍රෑන්ඩ් යනු මේ වෘත්තියේ යෙදෙන තවත් අයෙකි. නවයොවුන් වියේ දී 'හැක් කිරීම' ආරම්භ කළ ඔහු, 1998 දී 'කිංපින්' යන සිය අන්තර්ජාල නාමයෙන් පෙනී සිටිමින් එක්සත් ජනපද සෙනෙට් සභාව හමුවේ අන්තර්ජාල අවදානම් පිළිබඳව සාක්ෂි දීම නිසා හැකර් ප්‍රජාව අතරේ ප්‍රසිද්ධියට පත්විය.

Joe Grand celebrates with client Dan Reich, after unlocking a crypto-wallet containing $2m

ඡායාරූප මූලාශ්‍රය, Joe Grand

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝ ග්‍රෑන්ඩ්, සිය සේවාදායක ඩෑන් රයික්ගේ ඩොලර් මිලියන 2ක් අඩංගු ක්‍රිප්ටෝ පසුම්බිය අගුළු හැරීමෙන් පසු සතුට සමරයි

තීටා නම් ක්‍රිප්ටෝකරන්සි ඩොලර් මිලියන 2ක් අඩංගු දෘඪාංග මුදල් පසුම්බියක් විවෘත කළ ආකාරය ගැන ඔහු මෑතක දී කළ YouTube වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ විදුලි වේගයෙන් පැතිරී ගියේ ය.

පෝට්ලන්ඩ්හි පිහිටි සිය වැඩපොළේ දී ක්‍රමයක් සොයා ගන්නා තුරු, මාස ගණනක තිස්සේ දෘඪාංග මුදල් පසුම්බි හැක් කිරීම සඳහා සූදානම්වීමටත්, පුහුණුවීමටත් ජෝට සිදුවිය.

ප්‍රශ්නගත පසුම්බියේ කලින් සොයාගත් දුර්වලතා දෙකක් ඒකාබද්ධ කිරීමෙන් පසු, ප්‍රවේශමෙන් සහ කාලානුරූපීව විදුලි සැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අදාල පසුම්බියේ පින් කේතය ලබාගත හැකි බව ඔහු සොයාගත්තේ ය.

"ක්‍රිප්ටෝ වොලට් එකක් විවෘත කරගත්තම, ඕනෑම ආරක්ෂක උපක්‍රමයක් පැරැද්දුවම, ඒක මීට කලින් කොපමණ වාර ගණනක් කරලා තිබුණා වුණත් ඒක දැනෙන්නේ මැජික් එකක් වගේ," ඔහු පවසයි.

"ඒ වොලට් එක හැක් කරන්න බව මගේ පරීක්ෂණවල දී මම කීප වතාවක්ම ඔප්පු කළත්, ඒක ඇත්තටම විවෘත කරපු දවසේ මම හිතේ කරදරෙන් හිටියේ, මොකද මේ වගේ වැඩක දී මොකක් වෙයි ද කියලා කියන්න බැරි නිසා. අපට ලැබෙන්නේ එක අවස්ථාවක් විතරයි. සුළු වරදකින් මුළු වොලට් එකම විනාශ වෙලා, කාසි සදහටම නැතිවෙලා යාමේ අවදානමක් තියෙනවා."

"වොලට් එක විවෘත කිරීම විශාල උත්තේජනයක් වුණා. මම හිතන්නේ, මේක හරියට "ට්‍රෙෂර් හන්ටින්වලම" (නිධන් සෙවීම) තාක්ෂණික අනුවාදයක් වගේ."

ජෝගේ සාමාන්‍ය රැකියාව වන්නේ සිය නිෂ්පාදනයන් හැකර්වරුන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේදැ යි නිෂ්පාදකයින්ට ඉගැන්වීම වුවත්, මේ වන විට තමාට අස්ථානගත වූ ක්‍රිප්ටෝකරන්සි ආපසු ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් යුත් පුද්ගලයින්ගෙන් බොහෝ ඇමතුම් ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කරයි.

"මගේ කාලය කැපකර සෙවීමට තරම් විශාල ධනයක් සහිත වොලට් එකක් තිබෙනවා නම්, අපි එතකොට උත්සාහ කරලා බලනවා."