වංචාකරුවන්ට සම්බන්ධ WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි

WhatsApp on App Store displayed on a phone screen is seen in this illustration photo taken in Krakow, Poland on June 7, 2025.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඔස්මන්ඩ් චියා
    • Role, ව්‍යාපාරික වාර්තාකරු, බීබීසී ප්‍රවෘත්ති

WhatsApp විසින් ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරන වංචාකරුවන්ට සම්බන්ධ ගිණුම් මිලියන 6.8ක් මෙම වසරේ මුල් භාගයේදී ඉවත් කරනු ලැබ ඇතැයි මෙටා සමාගම පවසයි.

මෙටා සමාගමට අනුව, ඒවායින් බොහොමයක් බලහත්කාරයෙන් ශ්‍රමය භාවිත කර අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන වංචා මධ්‍යස්ථානවලට සම්බන්ධ ය.

තම දුරකතන සබඳතා ලැයිස්තුවේ නොමැති අයෙකු විසින් පරිශීලකයෙකු 'ගෲප් චැට්' එකකට සම්බන්ධ කරනු ලැබුවහොත්, එහිදී සිදුවිය හැකි වැනි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීම සඳහා WhatsApp මගින් හඳුන්වා දුන් වංචා වැළැක්වීමේ නව පියවරට සමගාමීව මෙටා සමාගම මේ බව නිවේදනය කළේ ය.

අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් හැක් කිරීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරනු ලබන ගෲප් චැට්වලට පරිශීලකයින් සම්බන්ධ කිරීමේ වඩාත් පොදු උපක්‍රමය මර්දනය කිරීමට මෙමගින් ඉලක්ක කරයි.

"සයිබර් අපරාධ මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක වීමට පෙර එම ගිණුම් කල්තියා හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට WhatsApp පියවර ගත්" බව මෙටා සමාගම පැවසීය.

එක් අවස්ථාවකදී, ස්කූටර් කුලියට දීමේ ව්‍යාජ පිරමීඩ යෝජනා ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය පෝස්ට්වලට ලයික් කිරීම සඳහා මුදල් ගෙවූ කාම්බෝජ අපරාධ කණ්ඩායමකට සම්බන්ධ වංචා ජාවාරමක් අඩපණ කිරීමට මෙටා සහ ChatGPT හිමි සමාගම වන OpenAI සමග WhatsApp කටයුතු කළේ ය.

පරිශීලකයින් රවටා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිර්මාණය කිරීමටවංචාකරුවන් ChatGPT භාවිත කර ඇති බව සමාගම පැවසීය.

සාමාන්‍යයෙන්, වංචාකරුවන් සමාජ මාධ්‍ය හෝ පෞද්ගලික පණිවිඩ යෙදුම් ඔස්සේ සංවාද ගොඩ නගා ගනීමට පෙර කෙටි පණිවිඩයක් මගින් ඉලක්ක ගත පුද්ගලයින් සමග සම්බන්ධ වන බව මෙටා සමගම පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගෙවීම් හෝ ක්‍රිප්ටෝ මුදල් වේදිකා භාවිත කරමින් මෙම වංචා සාමාන්‍යයෙන් සිදු කරන බව එය වැඩිදුරටත් සඳහන් කළේ ය.

"හරි ලේසියෙන් දෙයක් දෙනවා කියලා කියන්නේ, එතන සෑම කෙනෙකුට ම කෙරෙන අනතුරු ඇඟවීමක්: පොරොන්දු වූ ප්‍රතිලාභ හෝ ඉපැයීම් ලබා ගැනීමට ඔබ කලින් ගෙවීමක් කළ යුතු වෙනවා."

මියන්මාරය, කාම්බෝජය සහ තායිලන්තය වැනි අග්නිදිග ආසියානු රටවල සිට ක්‍රියාත්මක වන සයිබර් අපරාධ මධ්‍යස්ථාන, ජනතාවගෙන් බිලියන ගණනින් ඩොලර් වංචා කරන බව ප්‍රසිද්ධ කරුණකි.

මෙම මධ්‍යස්ථාන පුද්ගලයින් රැකියා සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන අතර, පසුව ඔවුන්ට වංචා සිදු කිරීමට බල කෙරෙයි.

කලාපයේ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සිදුවිය හැකි වංචා පිළිබඳව සැලකිලිමත් වන ලෙස ත්, තම ගිණුම් හැක් වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා WhatsAppහි ද්වි-පියවර සත්‍යාපන විශේෂාංගය (two-step verification) වැනි වංචා-විරෝධී උපක්‍රම භාවිත කරන ලෙස ත් ය.

උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ, පණිවිඩ යෙදුම් හරහා ලැබෙන ඕනෑ ම අසාමාන්‍ය ඉල්ලීමක් සම්බන්ධයෙන් විමසිලිවත්ව කටයුතු කරන ලෙස පොලිසිය පරිශීලකයින්ට දන්වා තිබේ.