ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ ජංගම දුරකතනයක් ඔබට ඇත්නම් ඉදිරියේදී කුමක් සිදුවෙයි ද?

ලියාපදිංචි නොකළ ජංගම දුරකතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය පිළිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලියාපදිංචි නොකළ ජංගම දුරකතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව විසින් පසුගිය දා නිකුත් කරන ලද නිවේදනය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පැවසුවේ එළඹෙන ජනවාරි මස 28 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි නොකළ ජංගම දුරකතන තහනම් කිරීම මහජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවය.

ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ දත්තන් අනුව 2024 වසරේ තෙවන කාර්තුව වන විට මෙරට තුළ ජංගම දුරකතන සබඳතා සංඛ්‍යාව මිලියන 27.5ක් බව සඳහන් වේ.

IMEI එක බ්ලොක් වෙන්නේ කොහොම ද?

නීති විරෝධී අයුරින් ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපාංග මෙරටට රැගෙන ඒම වැළැක්වීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකරන ලද ජංගම දුරකතන තහනම් කිරීම සිදුකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේය.

"මුලින්ම කියන්න ඕන දැනට මෙරට භාවිත කරන කිසිම දුරකතනයක් මේ මාසේ 28 වෙනි දා ඉදලා ක්‍රියාත්මක වෙන නව පියවර අනුව අවහිර කිරීමට ලක්වන්නේ නැහැ, ඒ දුරකතන භාවිත කරන ජනතාවට එහෙම වුණොත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා.

නමුත් මේ මාසේ 28 වෙනි දාට පස්සේ මිල දී ගන්න ජංගම දුරකතන අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. මොකද ජනවාරි 28 ඉදලා මේ තීරණය ක්‍රියාත්මක වෙනවා."

"මෙතැනදී අපි දැනට ලංකාවේ භාවිත කරන ඔක්කොම ජංගම දුරකතනවල IMEI විදුලි සංදේශන කොමිෂන් සභාවේ දත්තවල තියෙනවා. ඒ දත්ත සහ ජංගම දුරකතන සේවා සපයන්නන් ගෙන් ජංගම දුරකතනවලට ලබා දී ඇති සිම්පත් වල සඳහන් වෙලා තියෙන IMEI අංක අපි වයිට් ලිස්ට් එකට ඇතුළත් කරනවා."

"ඒ කියන්නේ දැනට තියෙන ජංගම දුරකතනවලට නීත්‍යනුකූලභාවයක් ලබා දෙන එක. එතනින් පස්සේ අලුතෙන් එන භාවිතයට එන ජංගම දුරකතන ලියාපදිංචි ද නැද්ද කියන එක අපිට දැන ගන්න පුළුවන් වෙනවා."

"මේකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි රටට නීත්‍යනුකූල නොවන විදිහට ජංගම දුරකතන රටට ගෙන එන එක වැළැක්වීම. මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා," අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

Director General TRCSL
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මේ මාසේ 28 වන දාට පස්සේ මිල දී ගන්න ජංගම දුරකතන අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. මොකද ජනවාරි 28 ඉඳලා මේ තීරණය ක්‍රියාත්මක වෙනවා."

ජංගම දුරකතනය නීත්‍යනුකූල ද කියා දැන ගන්නේ කොහොම ද?

පාරිභෝගිකයෙකු ජනවාරි මස 28 වන දායින් පසුව මිල දී ගනු ලබන ජංගම දුරකතනයක්, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබේ ද කියා දැන ගන්නේ කෙසේදැයි බීබීසී සිංහල නැගු ප්‍රශ්නයට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"නව ක්‍රමවේදය අනුව ජනවාරි 28 වන දායින් පස්සේ මිල දී ගන්න ජංගම දුරකතනයකට සිම් පතක් ඇතුළත් කළාම කෙටි පණිවිඩයක් ලැබෙනවා ස්වයංක්‍රීයව ඒ මිලදී ගත්ත දුරකතනය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකක් නෙවේ නම්."

"ඒ පණිවිඩය අපි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරිභෝගිකයාට යොමු කරනවා. මොකද අද වෙද්දී රටේ සිදුවන වංචා ක්‍රියාවන් රැසකට හේතුව වෙලා තියෙන්නේ ජංගම දුරකතන. මේ නිසා ජංගම දුරකතනය නිත්‍යානුකූල එකක් වීම පාරිභෝගිකයාගේ ආරක්ෂාවට වැදගත්," අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

"ලංකාවේ ඉන්න ඥාතියෙක්ට තෑගී දෙන්න හරි තමන්ගේ පාවිචියට විදේශය රටක සිට අරන් එන ජංගම දුරකතන කිසිම බාධාවකින් තොරව ලියාපදිංවි කරන්න අවසර තියෙනවා."
ඡායාරූප ශීර්ෂ වැකිය, "ලංකාවේ ඉන්න ඥාතියෙක්ට තෑගී දෙන්න හරි තමන්ගේ පාවිචියට විදේශය රටක සිට අරන් එන ජංගම දුරකතන කිසිම බාධාවකින් තොරව ලියාපදිංවි කරන්න අවසර තියෙනවා."

තෑගි ලැබෙන ජංගම දුරකතනවලට මොකද වෙන්නේ?

මෙරට සිටින පුද්ගලයෙකුට ත්‍යාගයක් වශයෙන් හෝ විදේශ රටකට ගොස් ආපසු පැමිණෙන විට පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන එන ජංගම දුරකතන ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට අවස්ථාවක් තිබෙන බව ඔහු පැවසුවේය.

"ලංකාවේ ඉන්න ඥාතියෙක්ට තෑගී දෙන්න හරි තමන්ගේ පාවිචියට විදේශ රටක සිට අරන් එන ජංගම දුරකතන කිසිම බාධාවකින් තොරව ලියාපදිංවි කරන්න අවසර තියෙනවා. එතැනදී අදාළ ජංගම දුරකතනය මිලදී ගත්ත රිසිට් පත හරි එහෙමත් නැත්නම් ලියුමක් හරි තිබ්බනම් මේ දුරකථනය කිසිම බාධාවකින් තොරව ලියාපදිංචි කිරීම සිදුකරන්න පුළුවන්," අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

ව්‍යාපාරිකයින් මෙවැනි අවස්ථාවලදී තමන්ගේ වෙළෙඳ අභිලාෂයන් ඉටු කර ගැනීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ලංකාවට එන විදෙස් සංචාරකයින්ට මේ නීතිය බලපානවා ද?

මෙරටට සංචාරය කිරීමට පැමිණි විදේශිකයින් සිය පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන එන ජංගම දුරකතන ලියාපදිංචි කළ යුතුදැයි බීබීසී සිංහල විමසූ විට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ, "දැනට ලංකාවේ සංචාරය කිරීමට එන සංචාරකයින් එද්දී එයාලගේ ෆෝන් එක රේගුවට වාර්තා වනවා. එහෙම එන විදේශිකයන් ඔවුන්ගේ ජංගම දුරකථනයට සිම් පත් ලබා ගන්නේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දීලා. ඒ සිම් එක ලබා ගනිද්දී එයාගේ දුරකථනයේ IMEI එක රෙජිස්ටර් වෙනවා"

"එහෙම ගන්න සිම් පත ඔවුන් ලංකාවෙන් යන දවසට භාවිතයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. බැරි වෙලාවත් ඒ එන විදේශිකයෙකු තමන්ගේ දුරකතනය මෙහෙ ලංකාවේ ඉන්න කෙනෙක්ට තෑග්ගක් විදිහට දීලා ගියා කියන්න. ඔහු මුලින්ම භාවිත කරපු සිම් එක වෙනුවට වෙන සිම් එකක්නම් හාවිත කරන්නේ ලංකාවේ ෆෝන් එක ගත්ත කෙනා, අන්න එතැනදී අනිවාර්යෙන්ම අලුත් සිම් එක දාපු ගමන් එයාට කෙටි පණිවිඩයක් ලැබෙනවා ජංගම දුරකථනය ලියාපදිංචි කර ගන්න කියලා," අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

' දැනට ලංකාවේ සංචාරය කිරීමට එනවා. එද්දී එයාලගේ ෆෝන් එක රේගුවට වාර්තා වනවා. එහෙම එන විදේශිකයන් ඔවුන්ගේ ජංගම දුරකතනයට සිම් පත් ලබා ගන්නේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය ලබාදීලා. ඒ සිම් එක ලබා ගනිද්දී තමයි එයාගේ දුරකථනයේ IMEI එක රෙජිස්ටර් වෙනවා.'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අඩුවට දුරකතනයක් මිල දී ගන්න බැරි වෙයි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අද වන විට වෙළෙඳපලේ ජංගම දුරකතන මිල ගණන් පරීක්ෂා කිරීමේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති ජංගම දුරකතන විකිණීම සිදුකරන අලෙවිකරුවන් පාරිභෝගිකයින්ගෙන් අය කරන මිලට සාපේක්ෂව අඩු මිලකට සාමාන්‍ය දුරකතන අලෙවිසැල්වලින් TRC ලියාපදිංචි නොකරන ලද ජංගම දුරකතනයක් මිල දී ගැනීමට හැකියාව ඇත.

නව නීතිය හරහා ජංගම දුරකතන ගෙන්වීමේදී සිදුකරන ලියාපදිංචි කිරීමේදී ජනතාවට අඩු මිලකට දුරකතනයක් මිල දී ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙයිදැයි බීබීසී සිංහල විමසීමක් සිදුකළේය.

"සමහර කෙනෙක්ට කියන්න පුළුවන් පුද්ගලයෙක්ට අඩුවට ජංගම දුරකතනයක් ගන්න තිබ්බ අවස්ථාව මේකෙන් නැති වෙනවා කියලා. නමුත් අද වෙද්දී TRC එකේ ලියාපදිංචි කරලා කියන ස්ටිකර් එක පෙන්නලා වැඩි ගානකට දුරකතන විකුණනවා."

"නමුත් මෙතනදී අපි උත්සාහ කරන්නේ රටට එන හැම දුරකතනයක්ම නීත්‍යනුකූලව ලියාපදිංචි කරලා පාරිභෝගියෙක්ට ඕනෑම තැනකින් එකම මිලකට මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්න".

"මොකද අපි දකිනවා සමහර තැන් තියෙනවා එකම ජංගම දුරකතන වර්ගය මිල ගණන් කිහිපයකට විකුණනවා. වායුසමීකරණය කරපු ප්‍රදර්ශනාගාරවල තියලා දුරකතන විකුණන සමාගම් වගේම සාමාන්‍ය දුරකතන අලෙවිසැල්වල තියන් විකුණන දුරකතනවලට එකම රටේ මිල දෙකක් කියන්න බැරි වෙනවා. විකුණුම්කරුවන් අතර ඇතිවන තරගකාරිත්වය එක්ක ජනතාවට අඩු මුදලකට දුරකතනයක් මිල දී ගන්න අවස්ථාව තියෙනවා."

"විශාල ප්‍රමාණයෙන් දුරකතන ගෙන්වන සමාගම් අධික ලාභයක් ලබනවා. මොකද එයාලා එක පාර විශාල දුරකතන සංඛ්‍යාවක් ඇණවුම් කරද්දී ලබන වට්ටම් එක්ක බැලුවම. නමුත් ඒකෙ වාසිය ජනතාවට යන්නෙන් නැහැ," අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.