නව පැකේජ හඳුන්වා දීම හරහා දුරකතන සමාගම් පාරිභෝගිකයින්ගේ මුදල් 'ගසා කනවා' ද?

Phone use

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

මලීෂ තම මවගේ ජංගම දුරකතනය සඳහා පැකේජයක් සක්‍රීය කර තිබුණේ මීට වසර දෙකකට පමණ පෙර ය. ඒ, එවකට ඔහුගේ මව භාවිත කරමින් සිටි දුරකතන ජාලය විසින් හඳුන්වා දෙනු ලැබ තිබුණු පැකේජයකි.

මෙම පැකේජය හරහා ඕනෑ ම ජාලයක් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ මාධ්‍ය වෙත නොමිලේ පිවිසීමට හැකි වූ අතර, දිනකට ගිගාබයිට් එක බැගින් මසකට ගිගාබයිට් 30ක ප්‍රමාණයක් ලබා දී තිබිණි.

එහි මුදල් අවසන් වූ පසු පැකේජය යළි සක්‍රීය කර ගැනීමට ඔහුට වැය කිරීමට සිදුවූ මුදල 2024 ජනවාරි 1 වන දා 15% සිට 18% දක්වා ඉහළ දැමූ එකතු කළ අගය මත බද්ද අනුව ඉහළ ගියේ ය.

ඔහු නව ගාස්තු යටතේ අදාළ පැකේජය සක්‍රීය කර තිබිණි.

"මම දවස් දෙක තුනකට කලින් ගියා පැකේජ් එක දාන්න කොමියුනිකේෂන් එකට. එතකොට එතන ඉන්න කෙනා කියනවා දැන් ඒ පැකේජ් එක නැහැ, වෙනස් වෙලා තියෙන්නේ, ඒකෙ ගාණ වැඩියි කියලා," මලීෂ බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු මෙම පැකේජය මීට පෙර තම මවට සක්‍රීය කර දී තිබුණේ රු. 769ක මුදලකට ය.

මලීෂ යනු, මෙම ලිපිය සඳහා අප වෙත පදනම සකසා දුන් පුද්ගලයාගේ සැබෑ නම නොවේ. එය ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට අප විසින් භාවිත කරනු ලබන අන්වර්ථ නාමයකි.

මලීෂ ලද අත්දැකීමට හා සමාන අත්දැකීමක් මධූ (සැබෑ නම නොවේ) ද ලැබුවා ය.

2024.10.05 වන දින සිට ඇය මෙතෙක් රු. 988ක මුදලක් ගෙවා සක්‍රීය කර ගත් පැකේජය ලබා ගත නොහැකි බව දන්වමින් ඇයට එම මාසයේදී ම ඇය සේවා ලබා ගන්නා ජංගම දුරකතන ජාලයෙන් කෙටින් පණිවිඩයක් ලැබිණි.

ඒ වෙනුවට, 1,298ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙස එම කෙටි පණිවිඩය ඔස්සේ ඇයට අදාළ සමාගම විසින් දැනුම් දෙනු ලැබ තිබිණි.

ඉකුත් මස ඇයට නව පැකේජයක් හඳුන්වා දෙමින් තවත් කෙටි පණිවිඩයක් ලැබිණි. ඒ සඳහා අය කෙරෙන ගාස්තුව රු. 1,989කි.

මෙය මලීෂ සහ මධූට පමණක් සීමා වුණු අත්දැකීමක් නොවේ. තමන් මෙතෙක් භාවිත කළ පැකේජ දැන් ක්‍රියාත්මක නොවන්නේ දැයි ඇතැම් පාරිභෝගිකයින් දුරකතන සමාගම්වල ෆේස්බුක් පිටුවල පළ කර තිබුණු පෝස්ට්වල කමෙන්ට් කර ඇති අයුරු ද අප කළ සොයා බැලීමකදී නිරීක්ෂණය විය.

මේ, පාරිභෝගිකයින් මැසිවිලි නගන, ඔවුන් පවසන පරිදි දුරකතන සමාගම් "දිනෙන් දින" විවිධ පැකේජ හඳුන්වා දෙමින් ඔවුන්ගෙන් "අසාධාරණ ලෙස" මුදල් අය කර ගන්නා ආකාරය පිළිබඳව බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

'ඒ පැකේජ් එක නෑ දැන්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මලීෂ මුහුණ දුන් ගැටලුව පිළිබඳව කරුණු විමසා දැන ගැනීම සඳහා අපි ඔහුගේ මව භාවිත කරන දුරකතන ජාලයේ පාරිභෝගික සේවා අංශය අමතා එහි නියෝජිතවරියක වෙත මෙම ප්‍රශ්නය යොමු කළෙමු.

ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ නියෝජිතවරිය මෙලෙස පිළිතුරු දුන්නේ ය.

"769 පැකේජ් එක ඇත්ත ම කියනවා නම් දැන් නැහැ. හැබැයි දීර්ඝ කාලීනව පාවිච්චි කරපු කස්ටමර්ස්ලට විතරක් ඔෆර් එකක් වශයෙන් ඒක දිගට ම ඇක්ටිවේට් කරන්න පුළුවන්. අනිත් අයට දාන්න බැහැ සර්," ඇය සඳහන් කළේ ය.

ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් ඇය පැවසුවේ, තෝරා ගත් අංක කිහිපයකට පමණක් එම පැකේජය සක්‍රීය කළ හැකි බව ය.

"මාස 6ක් 769 පැකේජ් එක දිගට ම පාවිච්චි කරපු කස්ටමර්ස්ලට විතරක් දිගට ම දාන්න පුළුවන්. එක මාසයක් හරි මිස් කරලා තිබ්බා නම් ඒක දාන්න වෙන්නේ නැහැ සර්. මීට කලින් දාපු නැති අයටත් දාන්න බැහැ," ඇය පැවසුවා ය.

කෙසේ වෙතත්, එම පැකේජය මගින් මීට පෙර ලබා දුන් ඩේටා ප්‍රමාණය හෝ අනෙකුත් පහසුකම් සීමා කර නොමැති බව ද ඇය සඳහන් කළා ය.

අනතුරුව, අදාළ දුරකතන ජාලය විසින් එම පැකේජය වෙනුවට හඳුන්වා දෙනු ලැබ ඇති නව පැකේජය පිළිබඳව අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.

"එතකොට අලුතින් එක්දාස් ගාණකට දාලා තියෙන්නේ, 12GB කියලා?," අපි ප්‍රශ්න කළෙමු.

ඊට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවා ය.

"ඒක අලුත් කනෙක්ෂන්ස්වලට දාන්න පුළුවන් පැකේජ් එකක්. පරණ කනේක්ෂන්ස්වලට දාන්නත් පුළුවන්."

"අර 30GB දීපු එක 12GBවලට අඩු කරල ද එතකොට?" අපි පෙරළා ප්‍රශ්න කළෙමු.

එහිදී ඇය "ඔව්" ලෙස පිළිතුරු දෙමින් සඳහන් කළේ, මේ පිළිබඳව සැප්තැම්බර් මස 1 වන දා සිට නව සබඳතා ලබා ගත් පාරිභෝගිකයින් දැනුවත් කළ බව ය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "769 මිස් කරන්නේ නැතුව දාන්න ඕනේ. ලිස්ට් එකෙන් අයින් වෙන්න පුළුවන් නම," යනුවෙනි.

මධූගේ ගැටලුව ද අප අදාළ දුරකතන සමාගම වෙත යොමු කළ අතර, එහිදී එහි නියෝජිතවරියක සඳහන් කළ, මධූ භාවිත කරමින් සිටි 1,198 පැකේජය තමවත් ක්‍රියාත්මක කළ හැකි බව ය.

මේ සම්බන්ධයෙන් අප තවත් සමාගමකින් විමසීමක් කළ අතර එම සමාගම ද සඳහන් කළේ පැවති පැකේජවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ය.

නමුත් අප ප්‍රශ්න කළ රු. 547 පැකේජය සක්‍රිය කර ගත හැක්කේ ඔන්ලයින් රීලෝඩ් එකකින් හෝ වෙළෙඳ සලක් හරහා සිදු කරන ඍජු රීලෝඩ් කිරීමකින් බව එම නියෝජිතවරිය අප හා පැවසුවා ය.

"අර කෝඩ්ස් හරහා ඇක්ටිව් කර ගන්න බැහැ 547. කෝඩ්ස් හරහා ඇක්ටිව් වෙන්නේ 797," ඇය පැවසුවා ය.

මෑතකදී දුරකතන ගාස්තුවල සංශෝධනයක් සිදු කළේ ද යන්න පිළිබඳව ද අපි ඇයගෙන් විමසීමු.

"නෑ, නෑ කිසි ම ගාස්තු සංශෝධනයක් වුණේ නැහැ. අලුතින් හඳුන්වා දෙන පැකේජස් දෙකක් තමයි තියෙන්නේ. 797යි, 1,599යි. අනෙක් පැකේජස් ටික එහෙම ම තියෙනවා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

'ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, තියෙන ටැරිෆ් ප්ලෑන් එකේ මිල වැඩි කළා කියලා'

මලීෂ සහ මධූ ඇතුළු පාරිභෝගිකයින් මුහුණ දී ඇති මෙම ගැටලුසහගත තත්ත්වය පිළිබඳව විමසීම සඳහා අප ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ සම්බන්ධ කර ගත්තේ ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට ක්‍රියාත්මක වන ගාස්තු පැකේජ සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් නව "ටැරිෆ් ප්ලෑන්ස්" අනුමත කර ගෙන ඇති බව ය.

"ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, තියෙන ටැරිෆ් ප්ලෑන් එකේ මිල එක වැඩි කළා හරි, තියෙන එකේ බෙනිෆිට්ස් අඩු කළා කියලා," ඔහු පැහැදිලි කළේ ය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් මෙසේ ද පැවසීය: "ටැරිෆ් ප්ලෑන් එකක් මාකට් එකට දැම්මට පස්සේ, ඒකට ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා නම්, ඒ සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන කෙනෙකුට ඒ ගොල්ලෝ අනිවාර්යයෙන් ම ඒ කොන්දේසිවලට අවම වශයෙන් අවුරුද්දක් ඒ සර්විස් එක දෙන්න ඕනේ. අවුරුද්දෙන් පස්සේ ඒ අයට පුළුවන් ඕනේ නම්, අපිට යෝජනා කරන්න අඩු කරන්න හරි, වැඩි කරන්න හරි, ටැරිෆ් රිවිෂන් එකකට."

සාගම්වලට අවශ්‍ය පරිදි ඔවුන් නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට තම ආයතනය වෙත අනුමැතිය සඳහා ඉල්ලුම් කරන බව ද ඔහු පැවසීය.

"අපි හිතමු ඒ විධියට එන ටැරිෆ් ප්ලෑන් එකක්, ඔපරේටර් හැමදා ම ඒ ටැරිෆ් ප්ලෑන් එක කස්ටමර්ට දෙන්න ඕනේ කියල එකක් නැහැ. හැබැයි දීපු එක්කෙනෙකුට ඒ සර්විස් එක දෙන්න ඕනේ. ඒ අය සබ්ස්ක්‍රයිබ් කරලා නම්. අවුරුද්දෙන් පස්සෙත් ඔපරේටර්ට නවත්තන්න බැහැ. ඒක ලාභදායි නැත්නම්, ඒක වෙනස් කරගන්න ඕනේ, ටැරිෆ් රිවිෂන් එකකට අපිට එවලා," ඔහු පැහැදිලි කළේ ය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ දක්වා මෙරට මේ වන විට ඉන්ටර්නෙට් සේවා සපයන ප්‍රධාන සමාගම් 5ක් පවතින බව ය.

'ඩේටා පැකේජ්වලින් තමයි මේ ගසා කෑම කරන්නේ'

"මටත් කතා කරලා කියනවා පැකේජ් මාරු කරන්න කියලා. අපි හැබැයි කන්ඩිෂන් එකක් විදිහට ඕනේ එකකට එකඟ වෙනවා. නමුත් පොදුවේ ගත්තා ම අපිට අයිතියක් තියෙන්න ඕනේ, අපේ ආදායමට සරිලන ආකාරයට අපේ පැකේජ් එක තෝරා ගන්න," මෙම ගැටලුව පිළිබඳව බීබීසී සිංහල යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ඩේටා පැකේජ් හරහා පාරිභෝගිකයින්ගෙන් අනිසි ලෙස මුදල් අය කිරීම් සිදුවන බව ය.

"කොමිෂන් සභාවේ අවසරය මත තමයි මේක කරන්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා අලුතින් පැකේජ් එකක් ආවා ම, පාරිභෝගිකයාට බල කරනවා මේක ගන්න කියලා. ඒකට මාරු වෙද්දී මුලින් අපිට සහනයක් දෙනවා, පළවෙනි මාසේ. හැබැයි ඊට පස්සේ බලනකොට අපි අහුවෙලා. ඩේටා පැකේජ් විශේෂයෙන් ම. ඩේටා පැකේජ්වලින් තමයි මේ ගසා කෑම කරන්නේ," ඔහු අවධාරණය කළේ ය.

දැඩි නීති රීති පැනවීම මගින් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව සභාපතිවරයා පැවසීය.

"විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයා ආරක්ෂා කරන එක පැත්තක තියලා , සේවා සපයන ආයතන ආරක්ෂා කරන්න යනවා. පාරිභෝගිකයින්ට විශ්වාසයක් නැහැ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එක්කත්. නියාමන ආයතන පක්ෂපාති වෙලා තියෙනවා සමාගම්වලට," ඔහු වැඩිදුරටත් පැවසීය.

'වෙනස්වන භාවිත රටාවන්ට සරිලන අන්දමින් අමතර ප්‍රතිලාභ පිරිනැමීමට සැලසුම් කර ඇති නව පැකේජ'

බීබීසී සිංහල අපි පාරිභෝගිකයින් මුහුණ දෙන මෙම ගැටලුව සම්බන්ධයෙන්ශ්‍රී ලංකාවේ සන්නිවේදන සම්පාදන සමාගමක්වන ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුමගෙන් විමසීමක් කළෙමු.

අප යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ, වෙනස්වන භාවිත රටාවන්ට සරිලන අන්දමින් අමතර ප්‍රතිලාභ පිරිනැමීමට සැලසුම් කර ඇති නව පැකේජ මගින්, තම ගනුදෙනුකරුවන්ට හොඳ ම වටිනාකමක් ලබා දීමට තම ආයතයනය කැපවී සිටින බව ය.

එමෙන් ම තම ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති සියලු ම පැකේජ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිසි පරිදි අනුමත කරනු ලැබ ඇති බව සහතික කරන බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.

පාරිභෝගිකයින්ට විවිධ විකල්ප අතරින් තෝරා ගැනීම් සිදු කළ හැකි අතර අමතර ගාස්තුවකින් තොරව පැකේජ මාරු කිරීමට හැකි බව ද ඔහු සිය පිළිතුර මගින් වැඩිදුරටත් පැවසීය.