ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම තවදුරටත් සිදුකළ හැකි ද?

Woman holding a phone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පෙබරවාරි මාසයේ දී, සේල්ස්ෆෝර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාක් බෙනියෝෆ් ප්‍රංශ පොලිනීසියාවේ නිවාඩු නිකේතනයක තාක්ෂණයෙන් නිදහස්වූ දින 10ක් ගත කිරීමට 'ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක්' (digital detox) ගත් බවට ප්‍රවෘත්ති පළ විය. කුඩා කණ්ඩායමකට උපාංග භාවිතය කෙටි කලකට නතර කිරීම සාක්ෂාත් කරගත හැකි සිහිනයක් නමුත්, බොහෝ දෙනෙකුට, විශේෂයෙන් වර්තමානයේ දී, එය කළ නොහැකි දෙයකි.

දින කිහිපයකට තිරවලින්, සමාජ මාධ්‍යවලින් සහ වීඩියෝ සම්මන්ත්‍රණවලින් විවේකයක් ගැනීම ආදී ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම සඳහා එම උපාංග සම්පූර්ණයෙන් ම පාහේ අත පොවන මානයෙන් දුරස් කර තැබීම අවශ්‍ය වේ. එමඟින් ළඟාකර ගන්නා ඉලක්ක වන ආතතිය හෝ කාංසාව අඩු කිරීම සහ භෞතික ලෝකය සමග නැවත සම්බන්ධ වීම ප්‍රශංසනීය වේ. තාක්‍ෂණයෙන් වැළකී සිටින කාල පරිච්ඡේදවලින් ලැබෙන විද්‍යාත්මකව ඔප්පු කළ ප්‍රතිලාභ නොමැතිවුව ද, ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම (digital detox) බොහෝ දෙනෙකු ප්‍රිය කරන අභියෝගයක් බවට පත්වීම එමඟින් නතර කර නැත.

නමුත් පර්යේෂකයන් 'digital detox' යන වචනය පළමු වරට භාවිතා කළ 2012 වසරේ සිට එම අභියෝගය ඉටු කිරීම වඩා දුෂ්කර වී ඇත. යෙදුම් (apps) සහ සමාජ මාධ්‍ය ඒවායේ ආරම්භක අවස්ථාවල තිබුණු කාලයේ දී පවා තිරවලට (screens) වැදගත් තැනක් හිමි විය. නමුත් වෙන කවරදාකටත් වඩා, අපගේ ජීවිත තාක්‍ෂණයෙන් ඉවත් කළ නොහැකි අදට සාපේක්ෂව 2012 වසරේ දී ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීමට (digital detox) උත්සහ කිරීම පහසු කාර්යයක්වීමට ඉඩ තිබිණි. අප වෙළෙඳසල්වල දී ගෙවීම් කටයුතු සිදු කරන්නේ අපගේ දුරකතනවලිනි. රැකියා කටයුතු කරන්නේ අපගේ පරිගණක සහ ටැබ්ලට් පරිගණකවලින් වන අතර, අපි යෙදුම් හරහා සබඳතා පවත්වන්නෙමු. වසංගතයෙන් පසු අපගේ ජීවිත සහ තාක්‍ෂණය අතර ඇති සම්බන්ධතාව තවත් තීව්‍ර වී ඇත.

2023 වසරේ දී ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම: ආරම්භ කරන්නේ කොහෙන් ද?

දුරකතනවලින් නිදහස් දින කිහිපයක් ගත කිරීම සඳහා මනුෂ්‍ය වාසයක් නැති දුර ප්‍රදේශයකට යාම හැරුණුකොට, ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම බොහෝ දෙනෙකුට තවදුරට ත් කළ නොහැකි දෙයක් බව විශේෂඥයින් පවසයි.

"තාක්ෂණය දැන් බොහෝ දුරට අපේ කොටසක් වෙලා. අපි බැංකු කටයුතු කරගන්නේ ඇප් එකකින්, රෙස්ටුරන්ට්වල මෙනූ එක කියවන්නේ ෆෝන් එකෙන් වගේ ම ව්‍යායාම කරන්නේ ස්ක්‍රීන් එකකින් පේන උපදෙස් බලාගෙන," තිර-කාල (screen-time) කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු වන සියැටල්හි එමිලි චර්කින් පවසයි. "ඒක අපේ ජීවිතවලට පුදුම විධියට කාවැදිලා තියෙන්නේ. අපි දුරකතනවලින් නිදහස් සතියක් ගත කරන්න යන්නේ කියලා කිව්වොත්, ඒකෙන් අදහස් වෙන්නේ අසාර්ථකත්වය සඳහා අපි අපිව සකස්කර ගන්නවා කියන එක."

මිනිසුන් තාක්ෂණය මත අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන බැවින්, ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් (digital detox) ගැනීම තවදුරටත් සාධාරණ ඉලක්කයක් ලෙස නොපෙනේ. නමුත් ඒවායින් මුළුමනින් ම ඈත්වීමට අපට බල නොකර, අපගේ තාක්ෂණික උමතුව අඩු කරන වඩා ත් යථාර්ථවාදී විසඳුමක් තිබිය හැකිය.

ස්ක්‍රීන්ස්, ස්ක්‍රීන්ස්, ස්ක්‍රීන්ස්

මිනිසුන් දැනටමත් ඇති තරම් කාලයක් සිය උපාංග සමග කාලය ගතකර තිබුණ ද වසංගත සමයේ දී තිර (screen) කාලය තීව්‍රවිය. විශේෂයෙන් ම අනෙක් අය සමග සම්බන්ධවීමට වෙනත් ක්‍රම භාවිත කිරීමට වෙනුවට රටවල් වසා දමා තිබුණු කාලයේ ඔවුහු තිර දෙස වැඩි කාලයක් බලා සිටියහ. නමුත් මිනිසුන්ට තම නිවෙස්වලින් පිට වී සමාජගත වීමට නිදහස තිබුණ ද එම පුරුදු නැතිවී ගොස් නොමැත.

2022 වසරේ දී ලීඩ්ස් විශ්වවිද්‍යාලයයේ අධ්‍යයනයකින් හෙළිවූයේ, බ්‍රිතාන්‍ය වැඩිහිටියන්ගෙන් 54%ක් වසංගතයට පෙර භාවිත කළාට වඩා දැන් නිරන්තරයෙන් තිර (screen) දෙස බලා සිටින බව ය. සමීක්ෂණයට ලක්වූවන්ගෙන් අඩක් දිනකට පැය 11ක් හෝ ඊට වැඩි කාලයක් තිර දෙස බලා සිටියි. සියයට පනස් එකක් දෙනා පූර්ව වසංගත සමයට වඩා කාලයක් විවේකය හා විනෝදය සඳහා තිර දෙස බලා සිටින්නේ, 27%ක් දෙනා රැකියා ස්ථානයේ දී තිර භාවිතය වැඩිකර ඇති පසුබිමක ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම තිර කාලය වැඩිවීම අප එකිනෙකා සමග සබඳතා පවත්වන ආකාරය ද වෙනස් කර ඇත. අපි වට්ස්ඇප් සමූහ තුළ තුළ ප්‍රජාවන් (communities) ගොඩනගා ගෙන ඇති බැවින්, මාස දෙකකට වරක්වත් පවුල සමග ආහාර ගැනීම වෙනුවට FaceTime ඇමතුම් ආදේශවීම සහ තවත් බොහෝ දේ නිසා අර්බුදකාරී සබඳතා වඩා ත් ඩිජිටල්කරණය වී ඇත. කොවිඩ්-19 අපගේ බොහෝ සම්බන්ධතා ඩිජිටල් ක්ෂේත්‍රය තුළට තල්ලු කළ අතර, ඒවායින් බොහොමයක් ගෘප් චැට් සහ වීඩියෝ ඇමතුම් වැනි තාක්ෂණික පරිසර තුළ දිගට ම පවතියි. එයින් අදහස් කරන්නේ, ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම යනු ඔබ ඔබේ ආයතන ප්‍රධානියා සමග ස්ලැක් (Slack) ඔස්සේ සිදු කරන නීරස සංවාද පසෙක තබා හුස්මට ගැනීමට කාලය සාදා ගැනීම පමණක් නොව, ඔබේ සමීපතම සහ ආදරණීයයන් සමග යම් කාලයක් සඳහා සබඳතා කපා හැරීම ය.

වසංගතය පැවති කාලය තුළ ඉහළ ගිය ඔන්ලයින් ඔස්සේ ආදර සබඳතා ගොඩනගා ගැනීම වඩා ත් ප්‍රචලිත වීමත් සමග, මිතුරන් ඇති කර ගැනීම සඳහා තාක්ෂණය ද ප්‍රධාන තැනක් ගෙන තිබේ. BBC Worklife විසින් නිරීක්ෂණය කරන ලද Bumble [ඔන්ලයින් ඔස්සේ ආදර සබඳතා ගොඩනගා ගැනීමට ඇති යෙදුමක්] දත්තවලට අනුව, එම dating app එකෙහි ගැලපෙන මිතුරන් සොයා ගැනීම (friendship matchmaking) සඳහා ඇති අතුරු නිෂ්පාදනයක් වන Bumble BFF වෙත 2020 වසරේ සිට ඇදී ආ පරිශීලකයින්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබේ. 2021 වසරේ අවසානය වන විට Bumbleහි සිටින මිලියන 42 පරිශීලකයින්ගෙන් 15%ක් පමණ BFFහි මිතුරන් සොයමින් සිට ඇති අතර, එය 10%කට වඩා අඩුවෙන් පෙර වසරේ පැවති ප්‍රමාණයට වඩා ඉහළයාමකි. තව ද, 2022 වසර අවසානය වන විට, මිතුරන් සොයා ගිය පිරිමි පරිශීලකයින් ගණන තවත් 26%කින් වැඩි විය.

"දැන් තියෙන තාක්ෂණවලින් බොහොමයක්, හොඳට හෝ නරකට, යම් දේවල් කිරීමට පහසු කරන ආකාරයක්," සංවේදක, උපාංග සහ යෙදුම් 700කට වඩා වැඩි ගණනක් සමග තමාගේ ම සම්බන්ධිත පැවැත්ම නිරීක්ෂණය කරන ලේඛක ක්‍රිස් ඩැන්සි පවසයි. "බොහෝ දරුවන්ට, බොහෝ දෙමාපියන්ට, බොහෝ සහකරුවන්ට, බොහෝ මිතුරන්ට - මම ඒක කියන්න අකමැතියි, ඒත් තාක්ෂණය නැතිව සබඳතා පවත්වා ගෙන යන්නේ කොහොම ද කියලා ඒ අයට අමතක වෙලා."

A full digital detox might be unrealistic, but there are ways to lessen our tech obsession without fully disconnecting

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිජිටල් උපාංග භාවිතයෙන් මුළුමනින් ම විරාමයක් (full digital detox) ගැනීම යථාරූපී නොවන දෙයක් වන නමුත් සම්පූර්ණයෙන් ම ඈත් නොවී අපගේ තාක්ෂණික උමතුව අඩු කරන ක්‍රම තිබේ

වෙනත් දෘෂ්ටිකෝණයකින් බලමු

දෙමුහුන් රැකියා (දූරස්ථව හා කාර්යාලයේ සිට යන දෙයාකාරයෙන්ම වැඩ කිරීම) සහ දෙමුහුන් සම්බන්ධතා (භෞතිකව සහ ඔන්ලයින් ඔස්සේ සබඳතා පැවැත්වීම) සඳහා එක ම අවස්ථාවක දී යොමු වීම ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම (digital detox) පිළිබඳ සම්ප්‍රදායික අදහස යල් පැන ගිය එකක් කරනවා පමණක් නොව, මුළුමනින් ම පාහේ කළ නොහැකි දෙයක් බවට පත් කරයි. ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම යනු, කාංසාව සමනය කරන කෝකටත් තෛලයක් ලෙස හුවා දක්වන අතර, එය මිනිසුන් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරන උපාංග තිරවලින් ඉවතට ඇද දමා ඔවුන් වර්තමාන මොහොත සමග නැවත සම්බන්ධ කරයි. නමුත් මිනිසුන්ගේ ජීවිත සහ තිර වෙන කවරදාට ත් වඩා වෙන් කළ නොහැකි දෙයක් වන බැවින්, උපාංගවලින් දුරස් වීම යහපත්යැ යි සිතීම එය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ විට ඔබ වඩා ත් කනස්සල්ලට පත් කිරීමට හේතු විය හැකි ය.

"මට තාක්ෂණය පාවිච්චි කරන එක නතර කරන්න බෑ. විවිධ හේතු නිසා අපිට තිර දිහා බලන්න සිද්ධ වෙනවා," එක්සත් රාජධානියේ ටීසයිඩ් විශ්වවිද්‍යාලයයේ ඩිජිටල් සමාගම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සීනා ජොනීඩි පවසයි. "මට නම්, ඒක තාක්‍ෂණය කෙරේ ඇති 'ආශා සහගත බැඳීමෙන්' යම් කාලයකට ඉවත් වීමක්". ජොනීඩි පැහැදිලි කරන්නේ 'ආශාසහගත බැඳීමක්' යනු, පුද්ගලයෙකුට යමක් අවශ්‍යවන්නේ එය සතුට ගෙන දෙනබව ඔවුන් විශ්වාස කරන නිසායැ යි කියන බෞද්ධ සංකල්පයක් බව ය. ඇත්ත වශයෙන් ම, මෙහි දී එය නිල් ආලෝකය නිසා සිදුවන ඩෝපමින් ජනනය කිරීමක් පමණි [ඉලෙක්ට්‍රොනික තිරවලින් නිල් පැහැති ආලෝකයක් නිකුත් වේ. නිල් ආලෝකයට නිරාවරණයවීමෙන් මොළයේ ඩෝපමින් නිෂ්පාදනය උත්තේජනය වේ. ඩෝපමින් යනු ස්නායු සම්ප්‍රේෂකයකි. එය සතුට පිළිබඳ හැඟීම් ඇති කිරීමට සම්බන්ධ වේ].

තාක්‍ෂණය මුළුමනින් ම කපා හරිනවා වෙනුවට, ජොනීඩි 'ඩිජිටල් සතිය' පුරුදු කරයි. "මම තාක්‍ෂණය අරමුණුසහගතව භාවිත කරනවා කියලා කිසිදු සැකයක් නෑ," ඔහු පවසයි. සම්පූර්ණයෙන් ම ඩිජිටල් මෙවලම් භාවිතයෙන් විරාමයක් ගැනීම වෙනුවට, 'ඩිජිටල් සතිය', තාක්‍ෂණය මුළුමනින් ම කපා හැරීම ගැන අඩු කනස්සල්ලට පත් වීමට සහ එය චේතනාන්විතව භාවිතා කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම ඇතැම් පුද්ගලයින් සඳහා වඩා ත් ප්‍රායෝගික විය හැකි ය. ඇබ්බැහි වන අමනෝඥ උඩ පහළ ගමන් කිරීමෙන් (scroll) නොමඟ යාම වෙනුවට ජොනීඩි විශ්වාස කරන්නේ, ඩිජිටල් මෙවලම් පිළිබඳව සිහිකල්පනාව ඇති පරිශීලකයින්ට ඔවුන් උපාංගයකට සම්බන්ධ වී ඇති බවක් දැනෙනවාට වඩා තාක්‍ෂණය සමග ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කළ හැකි බව ය.

මිනිසුන්ට සම්පූර්ණයෙන් ම තිරවලින් (screen) ඉවත්ව යා නොහැකිවුව ද, ප්‍රවීණයන් පවසන පරිදි, විශේෂිත තාක්ෂණික භාවිත රටා කෙරෙහි අවධානය යොමු කිරීම තාක්‍ෂණය වඩා ත් චේතනාන්විතව භාවිත කිරීමට උපකාර වනු ඇත. "මම, මම දුරකතනයේ කරන කාර්යයන්ගේ වෙලාව තබාගන්නා විවිධ මෙවලම් (tracking tools) භාවිත කිරීමට පටන් ගත්තා," ඔරිගන්හි මානව විද්‍යාඥ ඇම්බර් කේස් පවසයි. තමන් දිනකට 80 වතාවක් Instagram වෙත පිවිසෙන බව ඇයට වැටහීමෙන් අනතුරුව ඇය One Sec නම් ඇප් එක බාගත කළා ය. One Sec යනු, පරිශීලකයින්ට ඔවුන්ගේ දුරකතනයේ යෙදුම් විවෘතකර ප්‍රවේශවීමට පෙර ගැඹුරු හුස්මක් ලබා ගැනීමට සලස්වන ප්ලගින් එකකි. එය, යෙදුමකට ඇතුළුවීමට පෙර මොහොතක් ගත කිරීමට පරිශීලකයාට බල කරන අතර පුරුද්දක් ලෙස නිරායාසයෙන් ම ඊට ඇතුළුවීමෙන් වැළකී සිටීමට උපකාරී වේ.

විවේකය සඳහා ඔබේ දුරකතනයේ උඩ පහළ ගමන් කිරීමේ (scroll) පුරුද්දෙන් මිදීමට කේස් නිර්දේශ කරන අතර, ඇය යෝජනා කරන්නේ ඔබට අවශ්‍ය නොවන විට ඔබේ දුරකතනය වෙනත් ස්ථානයක තැබීම ප්‍රයෝජනවත් විය හැකි බව ය. "මිනිස්සු සිගරට් ගහනවා වගේ ඔවුන්ගේ දුරකතනයට ඇලෙනවා," කේස් පවසයි. "නිකම් ඉන්න පුළුවන් වෙලාවක් ලැබුණාම, ඒක අනිත් අයගේ අදහස්වලින් පුරවා ගන්නවා." ඒ වෙනුවට, ඔබ වටා ඇති අවකාශය දෙස බලා විවේකීව සිටින්නැ යි ද, විනාඩියකට කම්මැලිකමෙන් සිටින්නැ යි ද ඇය පවසයි.

අවසාන වශයෙන්, ප්‍රවීණයන් පවසන පරිදි, ඉලක්කය විය යුත්තේ තාක්ෂණය කපා හැරීම, සම්පූර්ණයෙන් ම නැවත්වීම හෝ එසේ කිරීමට මනස පීඩනයට පත්කර ගැනීම නොවේ. මිනිසුන්ට තවමත් ඊමේල් පණිවිඩයක් යැවීමට හෝ කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය වන නමුත්, ඔන්ලයින් අන්තර්ගතයන්හි වන අවධානය වෙනතක යොමු කරන විවිධ දේවලට හසු නොවී එය සිදුකළ හැකි ය.

ඩැන්සි මෙම ප්‍රවේශය "ග්‍රේ ඩෙටොක්සිං" (grey detoxing) ලෙස හඳුන්වයි. එනම්, ඔබ සම්පූර්ණයෙන් ම තාක්ෂණයේ ගිලීමක් හෝ තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වීමක් නොවේ. ඒ සඳහා ඇත්තේ එක් මඟක් පමණක් නොවේ. ඔබට හිතාමතා ම එකිනෙකා සමග සම්බන්ධ වන මාර්ගයක් ලෙස ඔබේ උපාංග භාවිත කළ හැකි වන පරිදි ලයික්ස්, කමෙන්ට්ස්, ෂෙයාස් ආදී සමාජ මාධ්‍යවල ඇති සියලු දත්ත ඉවත් කරන යෙදුමක් හෝ ප්ලග්-ඉන් එකක් ස්ථාපනය (install) කිරීම, එසේ නොවේ නම්, ආදරණීයයන් සමග දුරකතන හුවමාරුකර ගැනීම ආදිය ඇයගේ තාක්ෂණික ක්‍රමවලට ඇතුළත් වේ. "සෑම සති අන්තයක ම මම මගේ සැමියාගේ දුරකතනය භාවිත කරන අතර ඔහු මගේ දුරකතනය භාවිතා කරනවා" ඩැන්සි පවසයි. ඔවුහු එකිනෙකාගේ පණිවිඩවලට පිළිතුරු දෙන අතර එකිනෙකාගේ ගිණුම් හරහා සංගීතයට සවන් දෙති. "එය සැබවින් ම එයාලගෙ ජීවිත තුළ ගිලීයාමේ ක්‍රමයක්," ඩැන්සි පවසයි. එනම්, ඔවුන්ගේ ඩිජිටල් ජීවිතය හා බොහෝ විට පෞද්ගලික ජීවිතය යන්න ය.

ඔබ ප්‍රකෝටිපතියෙකු නොවේ නම්, 2012 වසරේ ඩිජිටල් උපාංග භාවිතයෙන් විරාමයක් ගැනීම යල් පැන ගිය අදහසක් විය හැකි නමුත්, එයින් අදහස් කරන්නේ අපි අපගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ අමනෝඥ ලෙස ස්ක්‍රෝල් (scroll) කළ යුතු බව නොවේ.

සතියක් අපගේ දුරකතන නොමැතිව ජීවත්වීමට උත්සහ කිරීමෙන් අප වඩාත් කනස්සල්ලට පත් කර ගැනීම වෙනුවට, අපට අපගේ පෞද්ගලික ජීවිතයට සුදුසුයැ යි හැඟෙන ආකාරයෙන් නොවැළැක්විය හැකි තිර කාලය (screen time) සමග ගනුදෙනු කළ හැකි ය. ඒ සඳහා පොලිනීසියාවට යාම අත්‍යවශ්‍ය නොවේ.