දුරකථන, පරිගණක සහ රූපවාහිනී සුඛෝපභෝගී භාණ්ඩද? ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරාවිද?

දුරකථන ආනයනය තහනම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙසින් දිගටම ආනයන තහනම ක්‍රියාත්මක කිරීමත් සමග රට තුළ පවතින විදේශ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ නව නියමයන් කිහිපයක් පසුගියදා මහ බැංකුව ප්‍රකාශයට පත්කළේය.

ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර වැනි භාණ්ඩ ආනයනයත් අත්හිටවූයේ ද යන්න ගැන ඒ සමඟම අවධානයට ලක්විය.

කොරෝනා වසංගතය හමුවේ රටේ විවිධ ප්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීම දුෂ්කර වී ඇති ආකාරය බීබීසී සිංහල සේවය කිහිප විටක්ම වාර්තා කළ අතර දිනපතා ප්‍රවෘත්ති විකාශයන් තුළින් ද නිරන්තරයෙන් එවැනි වාර්තා අසන්නට ලැබේ.

විශේෂයෙන්ම නිසි ආදායමක් නොමැති බොහෝ දෙමවුපියන්ට අධ්‍යාපනය සඳහා සිය දරුවන්ට ජංගම දුරකතනයක් ලබාදීම ඉතා දුෂ්කර බවත් එවැනි වාර්තාවල දැක්වේ.

මෙවන් තත්ත්වයක් හමුවේ වසංගතයක් අවස්ථාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන ජංගම දුරකථන, පරිගණක වැනි දෑ සුඛෝපභෝගී භාණ්ඩ ලෙස හඳුන්වා ආනයන තහනම් කිරීම රටේ අනාගත පරම්පරාවට විශාල ලෙස බලපාන බවට විපක්ෂය චෝදනා නගයි.

ශ්‍රී ලංකා ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත සෙනරත් පවසන්නේ මෙම ජංගම දුරකථන ආනයන තහනම සැලසුම් සහගත උපක්‍රමයක් බවයි. ඔහු පවසන්නේ මෙසේ තාවකාලිකව තහනම් කිරීම ප්‍රශ්ණ සහගත බවයි.

"ලංකාව දුරකථනය සුඛෝපභෝගී භාණ්ඩයක් විදියට හැඳින්වුවට ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ආයතන හඳුන්වන්නේ මෙය අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට. දැන් ජංගම දුරකථනය නැතිව කිසිවක් කරගත නොහැකි තත්වයක් තමයි තියෙන්නේ. අද මිනිහෙක් තමන්ගේ පර්ස් එක ගෙනිච්චේ නැතත් ෆෝන් එක ගෙනියනවා. අද බොහෝ ගණුදෙනු වෙන්නෙත් ජංගම දුරකථනය හරහා. අද බැංකු ගණුදෙනු කරන්නේ දුරකථනය හරහා, බස් ටිකට් ගන්නෙත් දුරකතනය හරහා. ගොවි මහත්තයාගේ පුතත් online වලින් තමයි ඉගෙන ගන්නේ. taxi දුවන එක්කෙනාටත් අද ෆෝන් එකක් ඕන."

ඔහු පවසන්නේ Google දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ Zoom app භාවිත කරන අයගෙන් 87% ක් භාවිතා කරන්නේ Anrdoid උපකරන හරහා බවයි.

ජංගම දුරකථන නිපදවන්නේ අදාළ කාල සීමාවකට බව පෙන්වාදෙන ඔහු, ජංගම දුරකතනයක් පරම්පරා ගණනාවක් භාවිත කළ හැකි උපකරණයක් නොවන බවත් පවසයි.

මහ බැංකු දත්ත වලට අනුව 2020 වසරේ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1847ක් වැයකර ඇති අතර එම මුදල මේ වසරේ මුල් මස හතර තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 647කි.

මෙයින් විදුලි සංදේශ උපකරණ ආනයනය සඳහා 2020 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 386.4ක් වැය වී ඇති අතර ඒ සඳහා මේ වසරේ මුල් මස හතර සඳහා වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 137කි.

මේ අතර වෙරිටේ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සුභාෂිණි අබේසිංහ බීබීසී සිංහල සමග පැවසුවේ මේ අවස්ථාවේ දී ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බවය. එබැවින් රජය විසින් අවම හානියක් සිදුවේයැයි ඔවුන් විශ්වාස කරන ක්‍රියාමාර්ග වලට එළෙඹෙන බව ද ඇය පවසන්නීය.

"මේ භාණ්ඩ ආනයනය තහනම් කිරීම ආර්ථිකයට අවම බලපෑමක් ඇතිවෙයි කියල ඔවුන් හිතනවා වෙන්න පුළුවන්. මොකද අපේ ආනයන හා අපනයන එක තැන පල්වෙනවා දැනට අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ආනයන හෝ අපනයන වර්ධනය වීමක් වෙලා නෑ. දැනටත් අපි ආනයනය කරන්නේ අපිට ඕන කරන ද්‍රව්‍ය විතරයි. එහෙම එකේ අපිට තව අඩුකරන්න දෙයක් ඉතිරිවෙලා නෑ මේ වෙලාවේ. අපි ඉන්ධන හරි අපේ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය හරි ආනයනය අත්හිටවුවොත් අපිට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේවා තමයි අවම බලපෑම තියෙන භාණ්ඩ හැටියට හිතනවා වෙන්න පුළුවන්," යනුවෙන් ඇය පැවසීය.

subhashini-abeysinghe

ඡායාරූප මූලාශ්‍රය, subhashini abeysinghe

ඡායාරූප ශීර්ෂ වැකිය, සුභාෂිණි අබේසිංහ

එහෙත් ඇය පැවසුවේ අද පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන් පමණක් නොව බොහෝ දෙනෙකු මාර්ගගත ක්‍රමය අනුව රාජකාරීවල නියැලෙන හෙයින් ජංගම දුරකථන, පරිඝණක ආදිය තවදුරටත්සුඛෝපභෝගී භාණ්ඩ නොවන බවය.

සුභාෂිණි අබේසිංහ පවසන්නේ රට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඇති හෙයින් එයින් ගොඩ ඒමට අවශ දිර්ඝකාලින, ස්ථිර, විධිමත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතු අතර, මෙවැනි තීරණ තාවකාලික තීරණ පමණක් බවත් ඒ මගින් දිගුකාලින විසඳුම් ලබාගත නොහැකි බවයි.

"අපිට ස්ථිර තීරණ නැතිව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ. අපි දැක්කා අපේ සංවර්ධන බැඳුම්කර විකුණාගන්න බැරිව ඉන්න විදිහ. අපිට මේ වෙලාවේ ඕන අපි කෙරෙහි විශ්වාශය ගොඩ නගා ගන්න. එහෙම නැතිව අපිට ණය ගන්නවත් ආයෝජන ගෙන්න ගන්නවත් බෑ. ඒකයි මේ වෙලාවේ අපිට IMF එකේ සහය ඕන. IMF එකෙන් සල්ලි නෙමෙයි ඒ අය එක්ක අපි ගිවිසුම් ගත උනහම වගවීමක් තියෙනවා ඒ අය නිරන්තර සොයාබැලීම් කරන නිසා ආයෝජකන්ට අපේ ආර්ථිකය පිළිබඳව විශ්වාසය ඇති වෙනවා," යැයි ඇය පැවසීය.

'ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවශ්‍ය නෑ'

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවේ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය අත්හිටවීම සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් පැවති නමුත් මෙතෙක් එය පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ රටේ ආර්ථිකයට කිසිම ගැටලුවක් ඇති නොවන අතර, සැලසුම් කර ඇති ආකාරයට රටට අවශ්‍ය විදේශ විනිමය ලබාගැනීමට රජය ක්‍රියාකර ඇති බවත් ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

"සියලුම අංගයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාර්ථකව සහ ස්ථායි භාවයකින් ගෙන යන්නට අපට හැකිවෙනවා ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා කියන එක මම නැවත වරක් හැමෝටම මතක් කර දෙන්න කැමතියි."

ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලබාගැනීමේ දී විවිධ කොන්දේසි පනවන බැවින් එවැන්නක් අවශ්‍ය නොවන බවයි.

"මම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හිගිල්ල නෙගොෂියේට් කරපු කෙනෙක්. මේ රටේ වැඩිම stand by facility එක ලබාගත්තේ මම මහ බැංකු අධිපතිවරයා හැටියට ඉන්න කාලේ දී. ඒ නිසා මම හොඳටම දන්නවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ගණුදෙනු කරන විදිහ. එහෙම ගනුදෙනු කරනකොට එන අහියෝගත් මම හොදටම දන්නවා. ඒ අයගේ ස්ථාවරය ගැනත් යම් කිසි අත්දැකීමක් මට තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීම් ඔස්සේ තමයි මේ කතා කරන්නේ, මේ අවස්ථාවේ අපේ මතය තමයි අපිට IMF එකට යන්න අවශ්‍යතාවයක් නෑ. යම්කිසි රටකට පුලුවන්නම් තමාගේ ආර්ථික කටයුතු කරගෙන යන්න බාධාවකින් තොරව. යම් කිසි පීඩනයක් තිබුනත්. යම් කිසි අභියෝගයක් තිබුනත්," ඔහු පැවසීය.

මේ අතර විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව විදේශ විනිමය පනතේ වගන්ති යටතේ නියමයක් නිකුත් කරන ලද අතර එය 2021 ජූලි 02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනවල පළ කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2021 ජූලි 02 වනදා සිට ආරම්භ වන මාස හයක (06) කාල සීමාව සඳහා ගෙන ඇති අත්හිටුවීම් හෝ සීමාකිරීම් වලට අනුව සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා හෝ සීමා කිරීම් සිදුකර ඇත.