මුරපදයක් භාවිත කිරීමේ දී ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු

Password

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අද වන විට බහුතරයක් දෙනා මුහුණදෙන ගැටලුවක් වී ඇත්තේ සිය අන්තර්ජාල යෙදුම් හෝ දුරකථන සඳහා යොදා ඇති මුරපද (Password) ශක්තිමත් ද යන්න යි.

දිනෙන් දින වැඩි වශයෙන් සයිබර් අවකාශය සමග ගනුදෙනු කරන ජනතාව සිය බැංකු කටයුතුවල සිට බොහෝ දෛනික කටයුතු සඳහා මේ වන විට දුරකථනය හෝ පරිගණකය භාවිත කිරීමට පෙළඹී සිටිති.

නමුත් නොදැනුවත්භාවය නිසා හෝ වංචාකරුවන්ගේ කූඨ උපක්‍රමවලට හසුවීමෙන් සැලකිය යුතු පිරිසක් සයිබර් අවකාශයේ වින්දිතයින් බවට පත්වන අවස්ථා අපට ඕනෑතරම් අසන්නට ලැබෙයි.

‘මුරපදය කවුරුත් දැනගන්න ඕනේ නැහැ’

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් නීතිවේදී ඩිල්ශි ප්‍රනාන්දු කියා සිටියේ, විශේෂයෙන් කාන්තාවකට තමන් සයිබර් අවකාශයේ දී යොදනු ලබන මුරපදයන් අතිශයින්ම වැදගත් වන බවය.

එය වෙනත් කෙනෙකු දැනගැනීම අනවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.

"පාස්වර්ඩ් එකක් කියන්නේ ඕනෑම කෙනෙකුට ඉතා වැදගත්. ගැහැණු ළමයෙක්ගේ සංවේදී තොරතුරු වෙන්න පුළුවන්, අපි තවත් කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න කැමති නැති දේවල් අපේ එකවුන්ට් එකක තියෙන්න පුළුවන්. අපි සෝෂල් මීඩියා එකවුන්ට් එකක් හැදුවත් අපේ පුද්ගලික තොරතුරු දාලානේ ඒක හදන්නේ. ඒ වගේ දේවල් අපි වෙනත් කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න කැමති නැති වෙන්න පුළුවන්."

"සමහරක් වෙලාවට අපි ටික්ටොක් වගේ එකක් ගමුකො. ගැහැණු ළමයි සමහර වෙලාවට ටික්ටොක් වීඩියෝ හදලා ඒවා පබ්ලික් දාන්නේ නැහැ. ඒවා ප්‍රයිවට් තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන ඉන්නේ එයා ඒවා පබ්ලික් ෂෙයාර් කරන්න තියෙන අකමැත්ත නිසානේ. ඉතිං එයාගේ පාස්වර්ඩ් වෙන කෙනෙක්ගේ ළඟ තියෙනව නම් හරි හොරෙන් ගන්නවා නම් හරි ඒක ඒ ගැහැණු ළමයාගේ පුද්ගලිකත්වයට ලොකු හානියක්. ඕනෑම කෙනෙකුට තමන්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන් පාස්වර්ඩ් එක කියන්නේ වැදගත් එකක්. ඒක වෙන කෙනෙක් දැනගන්න ඕනේ නැහැ."

සයිබර් අවකාශයේ පීඩාවට ලක්වූ අය

සයිබර් අවකාශයේ මුරපද හේතුවෙන් පිඩාවට පත්වූ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද නීතිවේදී ඩිල්ශි ප්‍රනාන්දු මෙලෙස අදහස් දක්වා සිටියා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මම දන්න කට්ටිය එහෙම අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා. මේ මෑතක දී මම දන්න ආන්ටි කෙනෙක්ට එයාගේ ෆේස්බුක් එකේ ඉන්න මිතුරෙක් එවලා තියෙනවා ලින්ක් එකක් එයාගේ මැසෙන්ජර් ගිණුමට. එයා කියලා තියෙනවා 'මගේ ෆේස්බුක් ගිණුමේ මුරපදය වෙනස් කළා, එයාට ලින්ක් එක තෝරගන්න ආවම මම අර දන්න ඇන්ටිගේ එකවුන්ට් එකට තමයි ලින්ක් එක ඇවිල්ලා තියෙන්නෙ' කියලා එයා බොරුවක් කියලා තියෙනවා. අර ආන්ටි නොදැනුවත්කම නිසා අර ලින්ක් එක ක්ලික් කරලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා අර ආන්ටිගේ ෆේස්බුක් ගිණුම හැක්වෙලා තියෙනවා. පස්සේ අර ආන්ටිගේ ෆේස්බුක් ගිණුම හරහා ගොඩක් අසභ්‍ය දේවල් ශෙයාර් වෙලා තියෙනවා.

"ඒ වගේම මගේ මිතුරියකට සිදුවුණු සිදුවීමක් තියෙනවා. මගේ මිතුරිය ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තා කෙනෙක් එක්ක. ඒ කාලයේ දී පාස්වර්ඩ් මාරුකරන් තියෙනවා. ඒ දෙන්නගේ සම්බන්ධතාවය බිඳ වැටිලා නෙමෙයි, නමුත් ගැහැණු ළමයා පිරිමි ළමයට කීකරු වෙන්නේ නැති අවස්ථාවල දී ඒක ඒ පිරිමි ළමයා අවියක් විදිහට පාවිච්චි කරලා තියෙනවා, 'ඔයාගේ පාස්වර්ඩ් එක මං ළඟ තියෙනවා. ඒ නිසා මම කියන විදිහට ඉන්න, මම ඔයාගේ හැම දෙයක්ම දන්නවනේ කියලා'. මේක බ්ලැක්මේල් කරනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒ දෙන්නගේ සම්බන්ධතාවය ඇතුළෙ දි එහෙම තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මම දැනුවත්ව," නීතිවේදී ප්‍රනාන්දු ප්‍රකාශ කළා ය.

අන්තර්ජාල භාවිතාවේ දී කාන්තාවන් පහසුවෙන් වින්දිතයින් බවට පත්වන ආකාරයක් දක්නට ලැබෙන අතර, එයට බොහෝ විට හේතු වන්නේ ඔවුන් භාවිත කරනු ලබන මුරපද ආරක්ෂිත නොවීම සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය අවම වීම හේතු වී තිබේ.

අන්තර්ජාල භාවිතාවේ දී කාන්තාවන් පහසුවෙන් වින්දිතයින් බවට පත්වන ආකාරයක් දක්නට ලැබෙන අතර, එයට බොහෝ විට හේතු වන්නේ ඔවුන් භාවිත කරනු ලබන මුරපද ආරක්ෂිත නොවීම සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය අවම වීම බව සයිබර් විශේෂඥයින් පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තර්ජාල භාවිතාවේ දී කාන්තාවන් පහසුවෙන් වින්දිතයින් බවට පත්වන ආකාරයක් දක්නට ලැබෙන අතර, එයට බොහෝ විට හේතු වන්නේ ඔවුන් භාවිත කරනු ලබන මුරපද ආරක්ෂිත නොවීම සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය අවම වීම බව අවම වීම හේතු වී තිබේ.

‘පාස්වර්ඩ් එක දුන්නේ නැත්නම් ප්‍රශ්න එනවා’

සයිබර් අවකාශය භාවිත කරනු ලබන බොහෝ තරුණ ගැහැණු ළමුන්ට ඒ සම්බන්ධයෙන් වන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇත්තේ අවම දැනුමක් බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දෙයි.

ඔහු පවසා සිටියේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් මේ වන විට ඉතා වැදගත් වී ඇති බවයි.

"විශේෂයෙන් ගැහැණු ළමයින්ට මේ සයිබර් සිකියුරිටි එක ගැන අවෙයානස් එක ගිහිල්ලා නැහැ. සයිබර් සිකියුරිටි එක පැත්තෙන්, පාස්වර්ඩ් සිකියුරිටි පැත්තෙන්, ඔන්ලයින් සිකියුරිටි පැත්තෙන් වන අවෙයානස් එක ගිහිල්ලා නැහැ."

"ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා ඉන්නවා; රිලේෂන්ෂිප් එකකට ආපු ගමන්ම බෝයිෆ්‍රෙන්ඩ් ඉල්ලනවා පාස්වර්ඩ් එක ෆෝන් එකේ. එතකොට එයා කරන්නේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක, සෝෂල් මීඩියාවල පාස්වර්ඩ් ෂෙයාර් කරනවා. එතන අවදානමක් තියෙනවා. වෙන මොකුත් නෙමෙයි අපි මේ ගැන සමාජයේ ඕනෑ තරම් දැකලා තියෙනවා. ගොඩක් ප්‍රශ්නවලට මුල මෙන්න මේක යි. පාස්වර්ඩ් එක ෂෙයාර් කරනවා. පස්සේ සම්බන්ධය නතර වෙනවා. සම්බන්ධය නතර වුණාට අනෙක් පාර්ශවය පාස්වර්ඩ් එක දන්නවා. ඒ නිසා ඇක්සස් කරනවා එකවුන්ට් එකට. ඒ නිසා එතනිත් විවිධ සමාජ ගැටලු පැන නගිනවා."

සයිබර් අවකාශය භාවිත කරනු ලබන බොහෝ තරුණ ගැහැණු ළමුන්ට ඒ සම්බන්ධයෙන් වන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇත්තේ අවම දැනුමක් බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සයිබර් අවකාශය භාවිත කරනු ලබන බොහෝ තරුණ ගැහැණු ළමුන්ට ඒ සම්බන්ධයෙන් වන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇත්තේ අවම දැනුමක් බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දෙයි.

"සාමාන්‍යයෙන් අපි තරුණ ගැහැනු ළමයින්ට කියනවා තමන්ගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ෂෙයාර් කරන්න එපා කියලා බෝයිෆ්‍රෙන්ඩ් එක්ක වුනත්. ඒගොල්ලෝ කියනවා, 'අපි පාස්වර්ඩ් එකදුන්නේ නැත්නම් සම්බන්ධයට ප්‍රශ්නයක් එනවා' කියලා. ඒක මෙතැනදී සමාජීය ගැටලුවක් වෙලා," ඔහු පැවසීය.

"ඉතින් අපි අර පාස්වර්ඩ් සේෆ්ටි (මුරපදයේ ආරක්ෂාව) කියන එක සයිබර් සිකියුරිටි පැත්තෙන් විතරක් නෙමෙයි සමාජීය පැත්තෙනුත් පැහැදිලි කරන්න ඕන. මේක හැමෝමත් එක්ක හුවමාරු කර ගන්න එපා, මේක ඔබගේ පෞද්ගලික දෙයක් කියලා."

"අපි ඇත්තටම බොහොම මහන්සි වෙනවා මේ ප්‍රශ්නය සමාජයට යවන්න. පාස්වර්ඩ් එක කියන්නේ මේක, මේක හරි වැදගත්, කෙනෙකුගේ පෞද්ගලික ඩේටා වැදගත්, ඩේටා ප්‍රයිවසි කියන මේ ඔක්කොම දේවල් ළමයින් ඇතුළු හැමෝටම උගන්වන්න ඕන," හෙතෙම ප්‍රකාශ කළේ ය.

"තාක්ෂණය හැමෝගෙම අතේ තියෙනවා, තාක්ෂණය ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කොහොමද කියන දැනුවත්කමයි නැත්තේ. ඒක දන්නේ බොහොම ටික දෙනයි. ඒක තමයි ගැටලුව. මේක ඉස්සරහට මීට වැඩිය වැඩි වෙයි අපිට තේරෙන විදිහට. ගොඩක් වෙලාවට එඩියුකේෂන් පැත්තේ, අවෙයානස් පැත්තෙන් ලොකු උත්සහයක් දරන්න වෙනවා මේ වරද හරිගස්ස ගන්න," වෛද්‍යාලංකාර වැඩිදුරටත් සඳහන් කළේ ය.

Don't give your OTP

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Central Bank

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද පණිවිඩයක්

ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමට ලබාදීමේ දී ඇතිවන ගැටලු

ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබාදීමේ දී එහි ඇති පෞද්ගලික ජායාරූප ආදිය වෙනත් පාර්ශව අතට පත්වීමෙන් විවිධ ගැටලු ඇතිවන බැවින්, ඒ සම්බන්ධයෙන් ද අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පවසයි.

"ගොඩක් වෙලාවට ලංකාව වගේ රටවල අපි දකින කාරණාවක් තමයි ෆෝන් එක දෙනවා රෙපෙයාර් කරන්න. ෆෝන් එක දුන්නම ඒකේ තියෙන අනවශ්‍ය ඉමේජස්, තමන්ගේ පර්සනල් ඩේටා සමහරවිට ඒ රෙපෙයාර් කරන කෙනා කොපිකර ගන්නවා අවසරයකින් තොරව. මේකට සමහර දුරකථන නිෂ්පාදකයින් හඳුන්වා දීලා තියෙනවා වෙනම විශේෂාංගයක්. ඒක ඒ අය හඳුන්වන්නේ "මේන්ටෙනන්ස් මෝඩ්" (Maintenance Mode) කියලා.

"ඔබගේ ජංගම දුරකථනය හදිසියේ හෝ අලුත්වැඩියා කිරීමට ස්ථානයකට භාර දෙන විට මේ කියන "මේන්ටෙනන්ස් මෝඩ්" විශේෂාංගය සක්‍රිය කරලා දෙන්න. එවිට අලුත්වැඩියා කරන පුද්ගලයාට ඔබගේ පෞද්ගලික ජායාරූප හෝ ඩේටාවලට ඇතුල්වෙන්න අවස්ථාව හිමිවනේ නැහැ," ඔහු සඳහන් කළේ ය.

ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබාදීමේ දී එහි ඇති පෞද්ගලික ජායාරූප ආදිය වෙනත් පාර්ශව අතට පත්වීමෙන් විවිධ ගැටලු ඇතිවන බැවින්, ඒ සම්බන්ධයෙන් ද අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව වෛද්‍යාලංකාර පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබාදීමේ දී එහි ඇති පෞද්ගලික ජායාරූප ආදිය වෙනත් පාර්ශව අතට පත්වීමෙන් විවිධ ගැටලු ඇතිවන බැවින්, ඒ සම්බන්ධයෙන් ද අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව විශේෂඥයින් පවසයි.

ශක්තිමත් මුරපදයක් සකසා ගැනීමට අවශ්‍ය මූලික කරුණු හතර මොනවා ද?

සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශ ගිණුම් සඳහා වඩාත් ආරක්‍ෂිත මුරපදයක් සකසා ගැනීම ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂණ විශේෂඥ දසුන් හෑගොඩ ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, සයිබර් අවකාශය තුළ ශක්තිමත් මුරපදයක් සකසා ගැනීමේ දී අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයක් ඇති බව යි.

"සයිබර් අවකාශයේ තියෙන තර්ජනවලින් බේරෙන්න තමයි අපි පාස්වර්ඩ් එකක් දාන්නේ. පාස්වර්ඩ් එහෙක මූලික කරුණු කිහිපයක් තියෙනවා. ඒ සඳහා අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන විශේෂයෙන් අවධානය යොමු කිරීම වැදගත්," ඔහු පවසයි.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ කරුණු සඳහන් කළේ ය:

  • මුරපදයේ දිග (Password length): සාමාන්‍යයෙන් නිර්දේශ කෙරෙන, අකුරු 12ක සිට 16ක් පමණ දක්වා දිග මුරපදයක් යොදා ගන්න.
  • මුරපදයේ සංකීර්ණබව (Complexity): මුරපදය සැකසීමේ දී අංක, කැපිටල් හා සිම්පල් අකුරු සහ විවිධ කැරැක්ටර්ස් (@, # වැනි) ආදිය භාවිතා කරන්න.
  • මුරපදය සඳහා නිශ්චිත රටා භාවිතා නොකරන්න: උදාහරණයක් ලෙස 1, 2, 3, 4 යන අනුපිළිවෙලින් යුත් අංක හෝ A, B, C, D යන එක පෙළට ඇති අකුරු භාවිතා නොකරන්න.
  • කාටත් පොදු දෙයක් මුරපදය ලෙස භාවිත නොකොට, තමන්ට විශේෂිත වූ දෙයක් මුරපදයක් සකසාගන්න.
  • පෞද්ගලික තොරතුරු භාවිතා නොකරන්න: තමන්ගේ නම, උපන්දිනය, සුරතලාගේ නම ඇතුළු පෞද්ගලික තොරතුරු මුරපදයන් සඳහා ඇතුළත් කර ගැනීමෙන් වළකින්න. ඒවා ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුමාන කිරීමේ හැකියාව පවතියි. තමන්ට මතක තබාගත හැකි නමුත් වෙනත් අයෙකුට අනුමාන කිරීමට නොහැකි ආකාරයේ විශේෂ සංකේතයක් මුරපදයක් සැකසීමේ දී යොදා ගත හැකියි.
පාස්වර්ඩ් ජෙනරේටරයක් යනු අහඹු අක්ෂර, අංක ආදිය යොදාගෙන ඉතා ආරක්‍ෂිත මුරපද සකසා දෙන යෙදුමකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාස්වර්ඩ් ජෙනරේටරයක් යනු අහඹු අක්ෂර, අංක ආදිය යොදාගෙන ඉතා ආරක්‍ෂිත මුරපද සකසා දෙන යෙදුමකි.

තාක්ෂණයේ දියුණුවත් සමග එන මුරපද සැකසුම

සයිබර් අවකාශයේ මුරපද සකසා ගැනීමේ දී වර්තමානයේ ඇති තාක්ෂණයේ දියුණුවත් සමග කටයුතු කිරීමෙන් ආරක්‍ෂිත මුරපදයක් සකසා ගැනීමේ හැකියාවක් දැන් ඕනෑම අයෙකු සතුවන බව සයිබර් ආරක්ෂණ විශේෂඥ දසුන් හෑගොඩ පවසා සිටියේ ය.

"දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක පාස්වර්ඩ් ජෙනරේටර්ස් තියෙනවා. අපිට පුළුවන් මේ පාස්වර්ඩ් ජෙනරේටර් එකක් භාවිත කරන්න. ඒ හරහා ශක්තිමත් වගේම අහඹු මුරපදයක් සකසා දෙනවා," ඔහු පවසා සිටියේය.

පාස්වර්ඩ් ජෙනරේටරයක් යනු අහඹු අක්ෂර, අංක ආදිය යොදාගෙන ඉතා ආරක්‍ෂිත මුරපද සකසා දෙන යෙදුමකි.

මුරපදයක් පහසුවෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

"මුරපදයක් සැකසීමෙන් පසු එය ආරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල දී ඕනෑම කෙනෙකු මුහුණදෙන ගැටලුවක්. තමන්ට අමතකවීමක් සිදුවුවහොත් හෝ එය ආරක්ෂිතව තබා ගැනීමට බොහෝ දෙනා වෙහෙසෙනවා."

සයිබර් ආරක්ෂණ විශේෂඥ හෑගොඩ පවසා සිටියේ වර්තමානයේ එම ගැටලුවට විසඳුමක් ලැබී ඇති බව යි.

"අපිට පාස්වර්ඩ් මැනේජර් එකක් භාවිත කරන්න පුළුවන්. පාස්වර්ඩ් මැනේජර් එකක් කියන්නේ මෙහෙම යි. එක එක සයිට්වලට අපි පාස්වර්ඩ් ගොඩක් හදාගත්තට පස්සේ ඒවා හසුරුවා ගන්න අමාරුයි. ඉතිං පාස්වර්ඩ් මැනේජර් එකක් යූස් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබ භාවිතා කරන අන්තර්ජාල යෙදවුමේම මේවා තියෙනවා. ඒ වගේම මුදල් ගෙවලා හෝ නොමිලේ පාස්වර්ඩ් මැනේජර් එකක් භාවිතා කරන්න දැන් පුළුවන්. ඒ වගේම මේ වගේ පාස්වර්ඩ් මැනේජර් එකක් භාවිතයට තෝරා ගැනීමේ දී ඒවා නියමිත ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට සකසා ඇති එකක් ද කියලා සොයා බැලීමත් වැදගත් වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශ ගිණුම් සඳහා වඩාත් ආරක්‍ෂිත මුරපදයක් සකසා ගැනීම ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශ ගිණුම් සඳහා වඩාත් ආරක්‍ෂිත මුරපදයක් සකසා ගැනීම ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

මුරපදයක් භාවිත කිරීමේ දී මේ වැරැද්ද කරන්න එපා!

මුරපදයක් භාවිත කිරීමේ දී, එය සෑම යෙදුමක් සඳහාම භාවිතයට ගැනීම සුදුසු නොවන බව ද සයිබර් ආරක්ෂණ විශේෂඥ හෑගොඩ පවසා සිටියේ ය.

"පාස්වර්ඩ් එකක් දානකොට තමන් ඒක හැම තැනටම දාන්නත් හොඳ නැහැ. උදාහරණයක් වශයෙන් බැංකුවට, සමාජ මාධ්‍ය ගිණුම් සඳහා එකම මුරපදයක් භාවිතයට ගැනීම ආරක්‍ෂිත නැහැ. උදාහරණයක් විදිහට, ඔබ භාවිතයට ගන්න මුරපදය වෙනත් කෙනෙකුට ලැබුනොත් ඔහුට හැකියාව තියෙනවා ඔබගේ අනෙක් සේවාවන්වලට ගිහිල්ලා මුරපදය යොදලා ඇතුල්වෙන්න. ඒ නිසා සයිට්වලට වෙනස් වෙනස් ආකාරයේ මුරපද භාවිත කරන්න.

"එමෙන්ම බැංකු කටයුතු සඳහා යොදාගනු ලබන මුරපද නිතිපතා වෙනස් කර ගැනීම ඉතා වැදගත්. බැංකුව වුවත් දැනුම් දෙනවා මාස තුනකට වරක් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මුරපද වෙනස්කර ගන්න කියලා. මේ හරහා පුද්ගලයෙකුගේ දත්ත වෙනත් අයෙකුගේ අතට පත්වීමට ඇති ඉඩකඩ සීමා වෙනවා."

මුරපදයක් තවත් ආරක්ෂිත කර ගැනීමේ ක්‍රමයක්

Cropped hand of woman using mobile device with Two-Factor Authentication (2FA) security while logging in securely to her laptop

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ මුරපදය තවත් ආරක්‍ෂිතව තබා ගැනීමට 'මල්ටි ෆැක්ටර් ඔතන්ටිකේෂන්' ඉතා වැදගත් ය

ඔබ විසින් භාවිතයට ගන්නා අන්තර්ජාල යෙදවුමට යොදාගනු ලබන මුරපදය තවත් ආරක්‍ෂිතව තබා ගැනීමට 'මල්ටි ෆැක්ටර් ඔතන්ටිකේෂන්' (multi factor authentication) ඉතා වැදගත් බව ද හෑගොඩ කියා සිටියේ ය.

"දැන් ගොඩක් සයිට්වල තියෙනවා 'මල්ටි ෆැක්ටර් ඔතන්ටිකේෂන්' (multi factor authentication) හෙවත් 'බහු සාධක සත්‍යාපනය' කියලා. අපි හිතමු යූසර් නේම්/ පාස්වර්ඩ් එක යොදලා ඇතුල්වෙන්න යනකොට ඔබගේ ජංගම දුරකථනයට වන් ටයිම් පාස්වර්ඩ් එකක් එවනවා. ඒක ඊමේල් එකක් ආකාරයෙන් හෝ කෙටි පණිවුඩයක් මගින් ඔබට ගෙන්න ගන්න පුළුවන්. මේක ලංකාවෙත් තියෙනවා. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල මෙම පහසුකම දැන් භාවිතයට ගැනෙනවා. බැංකු යෙදුම්වලත් මේක තියෙනවා.

"යම් විදිහකින් තමන්ගේ මුරපදය වෙනත් අයෙකුගේ අතට පත්වුණත් කෙටි පණිවිඩය හරහා ලැබෙන අංකය නොමැති නිසා හැකර් කෙනෙකුට හෝ අනවශ්‍ය විදිහට ලොග් වෙන්න හදන කෙනාට ඒක කරගන්න බැරිවෙනවා," හෑගොඩ ප්‍රකාශ කළේ ය.

සයිබර් අවකාශය තුළ ඔබ සුරක්ෂිතව සිටීමට අනුගමන කළ යුතු කරුණු හයක්

සයිබර් අවකාශය තුළ තමන්ගේ පෞද්ගලික දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳව සහතිකය ඇත්තේ අදාළ පුද්ගලයා සිය ඩිජිටල් තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන පදනම මත බව සයිබර් ආරක්ෂණ විශේෂඥ දසුන් හෑගොඩ කියා සිටියේ ය.

"අපි හිතමු කාන්තාවක් හෝ පිරිමි කෙනෙක් හෝ තමන්ගේ ඔන්ලයින් හැබිට්ස්, තමන් කොහොමද තමන්ගේ තියෙන මේ ඩිජිටල් ඉන්ෆොමේෂන් ටික ආරක්ෂා කර ගන්නේ කියන එක මත තමයි තමන් කොතරම් සුරක්ෂිත ද, නැද්ද කියලා බලපාන්නේ. තමන් සල්ලි තියෙන පුද්ගලයෙකු වෙන්න පුළුවන්, සල්ලි නැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නැත්නම් තමන් හොඳට ඉගෙනගත්ත කෙනෙක් හෝ ඉගෙනගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ කරුණු කිහිපය ගැන අවධානය යොමු කිරීමෙන් ඩිජිටල් අවකාශය තුළ ඔබේ සුරක්ෂිත බව වැඩිකර ගන්න යොදා ගන්න පුළුවන්."

  • මුරපදයේ ශක්තිය සහ එය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න
  • මුරපදයක් සඳහා ද්වි සාධක සත්‍යාපනය (Two factor authentication) යොදා ගැනීම
  • තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙන මෘදුකාංග (Software) නිසි පරිදි යාවත්කාලින කිරීම. ඒ වගේම තමන් භාවිතයට ගනු ලබන පරිගණකයට ඇන්ටිවයිරස් මෘදුකාංගයක් (Anti- Virus Software) යොදා ගැනීම
  • තමන් පිවිසෙන වෙබ් අඩවිවල ආරක්‍ෂිත සත්‍යාපනයක් තිබේද යන්න ගැන අවධානයෙන් සිටීම
  • වයස්භේදයකින් තොරව සයිබර් අවකාශය සම්බන්ධයෙන් තොරතුරු ඉගෙන ගැනීම ද බොහෝ විට වැදගත් වේ. උදාහරණයක් ලෙස, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට (E-mail) යම් අයෙකු එවනු ලබන ඊමේල් ලිපිය පිෂින් ප්‍රහාරයක් (phishing attack) ද කියා දැන ගැනීමට හැකි අයුරින් ඔබේ සාමාන්‍ය දැනීම වැඩිදියුණු කිරීම
  • සමාජ මාධ්‍ය ගිණුම්වල සහ ජංගම දුරකථනවල ඇති පෞද්ගලිකත්ව සැකසුම (privacy setting) ක්‍රියාකාරි කිරීම: මේ හරහා ඔබේ ජායාරූප අනවශ්‍ය පාර්ශවයන්ට නැරඹීමට හෝ ඒවා ලබා ගැනීමට ඇති මාර්ග අහුරා දමයි

ඔන්ලයින් බැංකු කටයුතුවල දී භාවිත කරන අන්තර්ජාල පහසුකම් ගැන සැලකිලිමත් වන්න

ආපනශාලා, හෝටල් හෝ පොදු ස්ථානවල දී ලබාදෙන වයි-ෆයි (Wifi), එසේත් නැත්නම් අන්තර්ජාල පහසුකම් හරහා ඔන්ලයින් හරහා බැංකු කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව සයිබර් ආරක්ෂණ විශේෂඥ හෑගොඩ පැවසීය.

"අපි මේ ඔන්ලයින් බෑන්කින් වගේ දේවල් පබ්ලික් වයි-ෆයිවලින් භාවිත කරන්න හොඳ නැහැ. තමන්ගේ ගෙදර තියෙන ඩේටා කනෙක්ෂන් එක හෝ වයි-ෆයි සේවාව හරහා පමණයි එම සේවය භාවිත කරන්න ඕන. එතකොට පොදුවේ නොමිලේ වයි-ෆයිවලින් බැංකු කටයුතු හෝ සමාජ මාධ්‍ය කටයුතුවල යෙදීම සුදුසු නැහැ," ඔහු පැවසුවේ ය.