පරිගණක අපරාධ: දියණියගේ යැයි පැවසෙන නිරුවත් ඡායාරූප නිසා බැටකන පියෙක්

"වසන්ත" 2016 වසරේ ජුනි මස දිනක උදෑසනින් අවදි වුයේ විභාගයකට සුදානම් වෙමින් සිටින ළමුන් පිරිසකගේ විශ්වාසය ගොඩ නැංවීම සදහා වන දේශනයකට පිටව යෑම සදහායි.
මෙම කතානායකයා "වසන්ත" ලෙස තමාව හඳුන්වන ලෙස කළ ඉල්ලීමට අනුව එනමින්ම මෙහිදී ඔහුව හැඳින්වේ.
කීර්තිමත් ගුරවරයෙකු වන "වසන්ත" විවිධ ඉගෙනුම් ක්‍රම පිළිබඳ පර්යේෂණ කරන්නෙකු ද වෙයි. නමුත් එදින උදෑසන ඔහුට මිතුරෙකුගෙන් ලැබෙන දුරකථන පණිවිඩයකින් කියවුණේ ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ, තම දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ ගණිකාවක් බවට හුවා දක්වා තිබූ සංස්කරණය කළ ඡායාරූප ගණනාවක් හා වීඩියෝ දර්ශන කිහිපයක් සහිත පෝස්ටුවක් සම්බන්ධයෙනි. වසන්තට ද ඒ පෝස්ටුව දකින්නට ලැබුණි.
මුහුණු පොතේ ගිණුමක් හෝ නොමැති තම දියණිය සම්බන්ධව මෙවැනි දෙයක් සිදුවූයේ කෙසේදැයි විමතියට පත්වූ ඔහු වසර අවසානයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටින තම දරුවා මෙය දැන ගැනීම තුළ ඇතිවන ව්‍යාකූලත්වය, පාසල් ගුරුවරියක වන දරුවාගේ මව මෙය දැනගැනීම හරහා මතුවන තත්ත්වය, මෙම සිදුවීම සිය පාසලේ දරුවන් දැන ගැනීම, ගුරුවරුන් දැන ගැනීම මගින් ඇතිවන තත්ත්වය, සිහිවූ විට වසන්ත ඉතා අසීරු අඩියකට පත්විණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහුගේ අරමුණ වුයේ අඩුම තරමින් දරුවාගේ විභාගය අවසන් වනතෙක් හෝ මේ පුවත සඟවා තබා ගැනීමය. ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි වසන්ත තම සමීප මිතුරන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කළ අතර ඔවුන්ගේ අරමුණ වූයේ මෙම ක්‍රියාව සිදුකල පුද්ගලයා කව්රුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමය.

සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ පෝස්ටුව හොඳින් නිරීක්ෂණය කළ ඔවුන්ට තරුණ ගැහැණු ළමයාගේ හැඩරුවට සමාන හැඩරුව සහිත කාන්තාවක් මෙම පෝස්ටුව සකස් කිරීමට උපයෝගී කරගෙන ඇති බවත් ඇයගේ වීඩියෝ දර්ශන හා තරුණ ගැහැණු ළමයාගේ ඡායාරූප මුසුකර අසැබි දර්ශන හා ඡායාරූප නිර්මාණය කර ඇති බවත් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය. අදාළ දැරියගේ ඡායාරූප ඇය යන එන අවස්ථාවල නිවසට ආසන්න ගම් ප්‍රදේශයේම ස්ථාන කිහිපයක දී ලබාගෙන ඇති බවත් ඔවුනට නිරීක්ෂණය විය.
ඇතැම් ඡායාරූප ගෙන තිබුණේ ඇගේ යහළු යෙහෙළියන්ගේ මුහුණු පොත් වලින් හා ඇය අධ්‍යාපනය ලැබූ පාසලේ මුහුණු පොතේ ගිණුමෙන් බව හඳුනාගැනීමට ඔවුනට අපහසු නොවිණි.

ඔවුන්ගේ උපකල්පනය බවට පත්වුයේ ගම් ප්‍රදේශයේ දී ඡායාරූප ගැනීමට ගම් වැසියකුගේ සහය ලැබෙන්නට ඇති බවය. කෙසේ වෙතත් මෙහි මුලාරම්භය සොයා ගැනීමට මත්තෙන් තම දියණිය හා සම වයසේ පසුවන දැරියක ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දී සිය දිවි නසා ගැනීමේ පුවතක් දැනගැනීමට ලැබීමෙන් වසන්ත තවත් භීතියට පත්විය.
යාපනයේ දැරියක් වන ඇය ගැන බලාපොරොත්තු තැබූ තරුණයෙකු ඇගේ ඡායාරූප විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ පවත්වන පොලිසිය සැක මතු කර තිබිණි.
තම දියණිය මෙන්ම ඇයත් අපචාරවල යෙදෙන්නන්ගේ ගොදුරක් බවට පත්වූවා පමණක් නොව ජිවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවීම පිළිබඳව වසන්ත මහත් කනස්සලට පත්විය. මෙම සිද්ධියත් සමග පුවත සැඟවිය නොහැකි බව තේරුම් ගත් වසන්ත තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් වඩා සුදුසු විකල්පයක් ගැන කල්පනා කළේය. ඔහුගේ තීරණය වූයේ කරුණු සැඟවීමට වඩා ඒවා හෙලිකිරීම හා ඊට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර තැබීම වඩා සුදුසු බවය. ඒ අනුව ඔහු තම දියණියට සිදුව ඇති තත්ත්වය සැලකිරීමට තීරණය කළ අතර බිරිඳ ද දැනුවත් කිරීමට තීරණය කරන ලදී.
බිරිඳ, දියණිය සහ තම බාල පුත්‍රයා මේසයට කැඳවූ වසන්ත සිදුව ඇති දේ ඔවුනට සැලකර අපරාධය සිදුකල පුද්ගලයා ඉක්මණින් සොයා නිතියේ රැහැනට හසුකර දෙන බවට ඔවුන් තුළ විශ්වාසය ගොඩනැංවීය. පියෙකුගේ භූමිකාව ප්‍රකට කළ ඔහු ඒ තුළින් අසත්‍ය හා අසභ්‍ය වූ පුවතේ නිර්මාණකරු හඳුනා ගැනීමට පවුලේ සහය ලබාගැනීමට ද සමත් විය.
ව්‍යාකූල අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර දියණියගේ විභාගයට අවම බලපෑමක් වන ලෙස නිවස කළමනාකරණය කර ගැනීමට කැපකිරීමක් කරන ලෙස, දියණිය හැර පවුලේ අනෙක් සියලු දෙනාගෙන් වසන්ත ඉල්ලීමක් ද කරන්නට විය.
කෙසේ නමුත් අපරාධකරු හඳුනා ගැනීම පහසු නොවීය. ඔහු එක පිට එක අලුත් නිර්මාණ කර අන්තර්ජාලයටත් සමාජ මාධ්‍යටත් මුදාහල අතර වසන්ත ගූගල් ඇතුළු අන්තර්ජාල ආයතනවලට ලියමින් දියණිය හා සම්බන්ධ පෝස්ටු ඉවත්කිරීමට කටයුතු කරන්නට විය. දිගින් දිගටම සිදුවූ ක්‍රියාව තුළ වසන්ත වෙහෙසට හා පීඩාවට පත්වූ නමුත් ''මගේ දුව වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්'' යන දැඩි අදිටනින් ක්‍රියා කරන්නට විය.
දින, සති, මාස ගෙවී යද්දී වසන්තට සිය දියණියගේ ඡායාරූප ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් දැරියගේ මිතුරෙකුගෙන් විශ්වසනීය තොරතුරක් දැනගන්නට ලැබුණි. ගමේ තරුණයකු වන ඔහු දැරිය යන එන තැන් වල ගැවසුණ අයෙකු වන අතර මෙම අනාවරණයත් සමග සිදුවීම් එකිනෙක ගලපා ගැනීමට පවුලේ උදවියට හැකිවිය.
වසන්ත දිනක් උදෑසන හිරු වැටෙන්නටත් පෙර "අතට හොඳින් හසුවන මුගුරක්" ද රැගෙන සැක සහිත පුද්ගලයාගේ නිවස කරා රථය පැදවූයේ ඔහුට තරවටු කර තම දියණියට සිදුවූ අපහාසයට විසඳුමක් ලබාගැනීමටය. නිදා සිටි තරුණයා මව්පියන්ගේ ද සහය ඇතිව අවදි කළ ඔහු සියලු තොරතුරු දන්නා බවත් පහරදී පොලිසියට භාර දීමට පෙර මෙහි අග මුල පැවසීමට කෙටි කාලයක් ලබාදෙන බවත් දැඩි හා ස්ථිර ස්වරයකින් තරුණයාට පැවසීය.
''මම ගියේ ඇත්තටම ගියේ කොන්ද කඩන්න, මොකද අපි දන්න කියන කෙනෙක්, අපිත් එක්ක මග තොටේදී හොඳට කතා බහ කරන කෙනෙක්. ගමේ ඉඳගෙන මේ වැඩ කරන්න දෙන්න බැහැ,'' යනුවෙන් තවමත් අඩුවක් නොමැතිව පිටවෙන කෝපය පිටකරමින් වසන්ත පවසන්නට විය.
වසන්තගේ උපක්‍රමය සාර්ථක වූ අතර සියල්ල හෙළිකරන්නට වැඩි වෙලාවක් ගතනොවීය. අසැබි දර්ශන නිර්මාණය කළ පුද්ගලයා කව්රුන්ද යන්න ඔහුගේ මුවින් අනාවරණය විය. තමන් සිදු කළේ එම පුද්ගලයා වෙනුවෙන් ඡායාරූප ලබාගැනීම පමණක් බව පවසා ඒවා ලබාගත් දුරකථනය හා ලබාගත් ඡායාරූප ගණනාවක්ද ඔහු වසන්තට ලබාදීමට කටයුතු කර තිබුණි.
සිය දියණිය හා සම වයසේ පසුවන අයකු මෙම අසැබි දර්ශන අන්තර්ජාලයට මුදාහැරි බවත් මෙම පුද්ගලයා ඇය සහභාගිවූ අමතර කුඩා කණ්ඩායම් පංති කිහිපයකට සහභාගී වී ඇති බවත් පසුකාලීනව බැංකුවක සේවයට එක්වී එහි රාජකාරි කරන්නෙකු බවත් හඳුනා ගැනිණි. ඔහු පදිංචිව සිටින්නේ වසන්තගේ නිවසට කිලෝමීටර කිහිපයක දුරින් බවත් හෙළි විය.
සියල්ල අනාවරණය කරගැනීමෙන් පසුව මොහුගේ ක්‍රියාව ඔවුගේ මව්පියන්ට සැල කර සිටීමට වසන්ත කටයුතු කළ අතර අදාළ පුද්ගලයා පසුදා උදෑසන සිය මව්පියන් දෙපලද සමග වසන්තගේ නිවසට පැමිණියේ පොලිසිය වෙත නොගොස් ප්‍රශ්නය සමථයකට ගෙන ඒමේ අරමුණෙනි.
අනතුරුව තරුණයා වසන්තට සහ ඇගේ බිරිඳට වැඳ සමාව ගෙන නැවත වරදක් ඇති නොවන බවට දිවුරා පොරොන්දු වී පිටව යන්නට විය. වසන්ත තම දියණිය පිඩාවට පත්කළ පුද්ගලයාට සමාව දුන් අතර එම සිද්ධිය හිතවතෙකු සමග හෝ නැවත කතාකිරීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී.
එහෙත්, ඉන් සිව් වසරකට පසුව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වසන්තට නැවතත් මිතුරෙකුගෙන් ලැබුණු පණිවිඩයකින් පැවසුණේ ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන (spa) ආයතනයක් වෙනුවෙන් අන්තර්ජාලයේ පළ කර ඇති දැන්වීමක සිය දියණියගේ ඡායාරූපයක් තිබෙන බවකි.
වසන්ත එම ආයතනයට කතාකොට කළමනාකාරිත්වයෙන් මේ ගැන විමසුවිට ඔවුන්ගේ පිළිතුර වී තිබුණේ ''මේක අපිට කුරුණෑගල කෙනෙකුගෙන් ලැබුණේ.'' යනුවෙනි.
ඡායාරූප ලබාදුන් පුද්ගලයා ඇය "කුලී ගණිකාවක්" බවට හඳුන්වාදුන් බවද ඔවුන් වසන්තට පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් වසන්ත මහනුවර නියෝජ්‍ය පොල්ස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර පෙර සිද්ධියේ පුද්ගලයා සම්බන්ධයෙන් ද පුර්ණ දැන්වත් කිරීමක් කරන්නට විය.
එමෙන්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) වෙතද පැමිණිලි කර විමර්ශනයක් කර දියණියට සිදුවන අසාධාරණය ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
නමුත් වසන්ත බලාපොරොත්තු වූ ආකාරයේ විමර්ශනයක් එමගින් සිදුනොවූ අතර පසුගිය ජනවාරි මස 08 වැනිදා නැවත වරක් සිය දියණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් ප්‍රදර්ශනය වීම මත වසන්ත ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට පැමිණිලි කරන්නට විය.
වසන්තගේ කෝපය ඉහවහා ගියේ සිය දියණිය විභාගයකට සූදානම් වන සෑම මොහොතකම සිදුවෙන මෙම නොහොබිනා ක්‍රියාව ගැන තමන් පැමිණිලි කළ ආයතනවලින් හෝ නිසි විසදුමක්, පිළිසරණක් නොමැතිවීම සම්බන්ධයෙනි.
වසන්ත දිගින් දිගටම අනුමාන කරනුයේ මෙය නැවත නැවතත් සිදුකරනුයේ අන් කිසිවෙකු නොව පෙර වැරැද්ද සිදු කළ පුද්ගලයාම බවය.

වසර ගණනාවක් නීතියේ පිහිට පැතූ වසන්ත පිහිටක් නොලද පසුබිමක ඔහු පෙර සැක කළ පුද්ගලයා සොයා ඉකුත් ජනවාරි මස දිනක ඔහුගේ සේවා ස්ථානයට (බැංකුවට) පිවිසි අතර පසුව බැන වැදීම්, පහරදීම් ආදී සිදුවීම්වලින් අනතුරුව දෙපාර්ශවයටම පොලිසියේ සිර මැදිරිය තුළ රාත්‍රිය ගතකිරීමට ද සිදුවිය.
ඉන් වසන්තගේ ගැටලුව විසඳෙනවා වෙනුවට තවත් සංකීර්ණ වූ අතර දැන් එය සමථ මණ්ඩලය හමුවේත් ඉන් එය විසඳාගත නොහැකි වුවහොත් විසඳුමක් වෙනුවෙන් අධිකරණයට යෑමටත් සිදුවේ. දැන් සිදුව තිබෙන්නේ සිද්ධිය ඉතා සංකීර්ණ වීමය.
''මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි 08 වැනිදා පැමිණිලි කළා කරුණාකර මේ ගැන හොයා බලල විසඳුමක් දෙන්න කියල. නමුත් සිදුවූ දෙයක් නැහැ. අනතුරුව මම ජනවාරි 25 වැනිදා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂවරයාගෙන් ලිඛිත විමසීමක් කරනවා මගේ පැමිණිල්ල ගැන ඔබතුමාලා ගත්ත තීරණය කුමක්ද යනුවෙන් අහල නමුත් අද වනතුරු (මාර්තු 2 දින) වනතෙක් පිළිතුරක් නැහැ."
"මම මගේ දරුවා වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්නවා,'' යැයි වසන්ත බීබීසී සිංහල සේවයට පැවසුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ක්‍රියාකාරිත්වය ගැන ඉතා කනස්සල පළකරමිනි.
මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවැනි ලිඛිත පැමිණිලි ලැබීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි අතර තමන් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවය.
මේ අතර SLCERT ආයතනයේ ප්‍රකාශකයකු පැවසුවේ මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් තම ආයතනයට කළ හැක්කේ අදාළ සමාජ මාධ්‍ය හරහා එවැනි පෝස්ටු ඉවත් කිරීමට මැදිහත් වීම පමණක් වන අතර නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය වෙත පැමිණිලි කළ යුතු බවය.
පරිගණක අපරාධ පැමිණිලි 14 000 ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර සර්ට් (CERT) ආයතයන හෙවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය කළ අනාවරණයකට අනුව පසුගිය වසරේ (2020) ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ එම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657 ක් ලැබී ඇත.
මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් තැපෑල වංචා කිරීම් 55 මේ වාර්තා අතර දැක්වේ.
අපයෝජනය, වෛරය හා පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් වලට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන 47 කි. දුරකථන වෙත අනවසරයෙන් ඇතුළුවීම් 06 ක්, වෙබ් අඩවි සම්මුතිය උල්ලංඝනය කිරීම් 76 ක්, අනිෂ්ට මෘදුකාංග ගැටලු 09 ක්, තතුබෑම් 15 ක්, බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම් 01 ක්, සේවාදායකයා සම්මුතියකට ලක්විමේ එක් සිද්ධියක් හා වෙනත් අපරාධ සිදුවීම් 35 ක් මෙම වාර්තාවට ඇතුළත් වේ.
සර්ට් ආයතයනයේ ප්‍රකාශිකාවක පැවසුවේ පරිගණක අපරාධ සම්බන්ධ තොරතුරු තම ආයතනය විසින් විමර්ශන සදහා පොලිසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන අතර වෙබ් ජාල වලින් පෝස්ටු ඉවත් කිරීම වැනි අවශ්‍යතා සඳහා තාක්ෂණික සහය අවැසි නම් පමණක් ලබාදෙන බවද ඇය පැවසීය.
අසභ්‍ය චිත්‍රපට සමීක්ෂණය
මේ අතර ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීම් හා සමීක්ෂණ සිදුකරන ක්‍රියාකාරී ආයතනයක් වන The Grassrooted Trust සංවිධානය 2016 වසරේදී කළ සමීක්ෂණකදී අසභ්‍ය චිත්‍රපට නරඹන ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනවරණය කරගෙන ඇත.
එහි අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පැවසුවේ මාර්ගගත ක්‍රමයට Bakamoono.lk යන වෙබ් අඩවිය හරහා පුද්ගලයින් 800 ක් ප්‍රතිචාර දැක්වූ එම සමීක්ෂණය ක්‍රියාත්මක කෙරුණු බවය. එහිදී ප්‍රධාන වර්ග කිරීම් 4 ක් යටතේ අසැබි වෙබ් අඩවි වෙත පිවිස මෙම චිත්‍රපට නැරඹීමට පුද්ගලයින් නැඹුරුවක් දක්වන බව හෙළිවී යැයි ඇය පැවසීය.
ශ්‍රී ලංකා (sri lankan), ගැහැණු යහළුවන් (girl friend), යොවුන් (teenege) හා homemade (නිවාස සහ පුද්ගලික ස්ථාන) එම වර්ග 04යි .

ඡායාරූප මූලාශ්‍රය, පබා දේශප්‍රිය
'' අපිට පෙනී ගියා මෙම පෝන් සයිට්ස් වල තිබෙන චිත්‍රපට වෙනුවෙන් මුල්‍ය වටිනාකමක් ලබා දී තිබෙන බව. homemade කැටගරි එකට යන පුද්ගලයින්ගෙන් 34% ක් ප්‍රකාශ කර තිබුණා එම චිත්‍රපට වල පෙනී සිටින චරිත තමන් වීඩියෝ කරන බව දැනගෙනම ඒවාට පෙනීසිටිය බව. තවත් 29% ක් කියල තිබුණා තමන් කැමැත්තක් දක්වන්නේ රහසිගතව වීඩියෝ කළ දර්ශන සහිත චිත්‍රපට සදහා කියල. ඒ කියන්නේ මේවට මුල්‍ය වටිනාකමක් දීල තියෙනවා." යනුවෙන් ඇය පැවසීය.
ඇය තවදුරටත් පැවසුවේ තරුණ ගැහැණු හා පිරිමි ළමයින් ප්‍රේම සම්බන්ධතා පවත්වන කාලයේදී පුද්ගලිකව කරන වීඩියෝ කිරීම් හා ඡායාරූප පසු කාලීනව මෙම "පෝන් සයිට්ස්" වලට ඇතුළත් කර ඇති බවය. එසේ සිදුවන්නේ තම පෙම්වතිය අමනාප වීම වැනි පුද්ගලික හේතු මුල්කරගෙන විය හැකි බව පවසන ඇය පෙන්වා දෙන්නේ ඊටත් එහායින් මේ දර්ශන සදහා මුදල් වටිනාකමක් ලබාදී ඇති බවකි.
"කුමන ක්‍රමයකට හෝ අන්තර්ජාලයට මුදාහැර තිබෙන දර්ශන පසුව මොඩිෆිකේෂන් විදිහට අන්තර්ජාලයේ දහස් ගණනින්, මිලියන ගණනින් පිටපත් වෙනවා. ඇතැම්විට අදාළ ගැහැණු ළමයාවත් දන්නේ නැහැ මේවා මේ සයිට්ස් වල තියෙනවා කියල. නමුත් ඒවා දැනගන්නාවිට ඔවුන් බරපතල පීඩාවකට පත්වෙනවා. එම පිඩාව එල්ල කරන්නේ පරිගණක අපරාධ කරුවන්. ඔවුන් මිලදී ගන්නා හෝ වෙනත් ක්‍රමයකට එකතු කරගන්නා දර්ශන, ඡායාරූප භාවිත කර මේ සිද්ධියට මුහුණ පා සිටින ගැහැණු ළමුන් මෙන්ම පිරිමි අයද පිඩාවට ලක්කර මුදල් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග පැවසීය.
ඇය තවදුරටත් පැවසුවේ ඇතැම් අය දැන් සිටින රැකියාවේ තරාතිරම, දරුවන් බිරිඳ හෝ සැමියා සමග සිටින පවුල් පසුබිම යන කරුණු මත මෙන්ම අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය ආදී ස්ථාන වෙත මේවා යොමුවනු ඇතැයි ඇති බියට මෙම පුද්ගලයන්ට මුදල් ලබාදීමට පෙළඹෙන බවය.
"ඇතැම් ගුරුවරුන්ගෙන් අපිට පැමිණිලි ලැබී තිබෙනවා මෙවැනි සිදුවීම් ගැන. ඇතැම්විට මිට අවරුදු පහළොවකට විස්සකට පෙර ඡායාරූප ගත් ඒවා තමයි මේ. තම ඉතා විශ්වාස ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග ආදරයෙන් බැඳුනු කළ ගත් වීඩියෝ හෝ ඡායාරූප ඔවුන්ටත් නොදැනී කරදරකාර සෙවනැල්ලක් ලෙස පසුපස එනවා." යනුවෙන් පබා දේශප්‍රිය පැවසීය.
"තවත් කණ්ඩායමක් ඉන්නවා තමන් ළඟ කිසිම ඡායාරූප නැහැ. ඔවුන් විවිධ ක්‍රම මගින් දුරකථන අංකය හොයාගෙන ගැහැණු ළමුන්ට කතා කර කියනවා අපි ළඟ ඔබගේ නිරුවත් පින්තූර තියෙනවා ප්‍රසිද්ධ නොකරන්නනම් තව පින්තූර 5 ක් එවන්න කියල, සමහරු බයට ඔවුන්ට පින්තූර යවනවා, පසුව එම පින්තුරම ඔවුන් අවභාවිත කරනවා.''
පබා දේශප්‍රිය පවසන්නේ මෙවැනි පීඩාවකට ලක්වන අයෙකු සම්බන්ධයෙන් සමාජය ප්‍රතිචාර දක්වන ස්වරූපය ද ඉතා කණගාටු දායක බවය. ගෘහස්ථව පවතින ප්‍රචණ්ඩත්වය ගැන දන්නා ගැහැණු ළමයෙකු මෙවැනි පීඩාවක් මව්පියන්ගෙන් වසන් කරනවා පමණක් නොව අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජීවත්වීමට පවා පෙළඹෙන බව සඳහන් කළාය.
''අපි හඳුනා ගත් එක් දැරියක් අපරාධකරුවකුගේ දිනපතා ලිංගික අවශ්‍යතා වෙනුවෙන් හිංසනයට ලක්වෙලා හිටියා. ඇයට මේ ගැටලුව කියන්න කෙනෙක්, තැනක් නැහැ. විසදුමක් වෙනුවෙන් මැදිහත්වෙන්න කෙනෙක් හිටියේ නැහැ. සැබවින්ම සිදුවිය යුත්තේ රටේ මුලික අධ්‍යාපන ප්‍රතිපත්තිවලටම මෙම විෂය ඇතුළත් කිරීමයි. ඒ තුළින් ගැහැණිය නැතිනම් කාන්තාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු තුළ කුඩා කාලයේදීම ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කළ හැකියි. එවැනි ආකල්ප වර්ධනයක් සහිත පුරවැසියකු කවදාවත් තමන් ආදරයෙන් බැඳුනු පෙම්වතියගේ නිරුවත් පින්තුරයක් අපරාධ කරුවෙකු අතට පත් කරන්නේ නැහැ."
තවත් කියවන්න:









