ලිංගික හිංසන හෙළි කරන ශ්‍රී ලාංකික තරුණිය : "මුලින් මට බය හිතුණා; ඒත් මම තීරණය කළා ඒවා හෙළි කරන්න"

මල්කි
ඡායාරූප ශීර්ෂ වැකිය, මල්කි ඕපාත, කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියකි

"මට බයක් දැනුණා, මොකද කවුරුත් මේ දේවල් ගැන කතා කරලා නැහැ. ලංකාවේ මේ දේවල් ගැන කතා කළාම ලේබල් කරන සමාජයක්නේ තියෙන්නේ. ඒකට බය හිතුණා, ඒත් අවසානයේදී හිතුණා මම කරන්නෙත් නැත්නම් කවුද කරන්නේ කියලා, ඒ නිසා මේක පටන් ගත්තා."

මල්කි ඕපාත, කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියකි. ඇය මේ දිනවල සමාජ මාධ්‍යවල අවධානය දිනාගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනය පිළිබඳව සමාජ මාධ්‍යවල හා යූටියුබ් හරහා වීඩියෝ මාලාවක් පළ කිරීමත් සමගය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"මම බස් එකේ වින්ඩෝ සීට් එකේ වාඩි වෙලා යනකොට මගේ එහා පැත්තේ හිටපු මනුස්සයා එයාගේ පෞද්ගලික අවයව නිරාවරණය කරලා හිටියේ. මම එවලේ ම එතැනින් නැගිට්ටා, කෑගහන්න ඕන වුණත් කෑගහන්න බැරි වුණා. මම ඒ වගේ හිංසනයට ලක් වුණාම තමයි මම හිතුවේ මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මම ඒ ගැන මුලින් ම ට්විටර් එකේ දැම්මා." මල්කි ඕපාත බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියාය.

90%ක්!

"මට හිතා ගන්න බැරි විදිහට හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ගොඩක් දෙනා කිව්වා ගැහැණු ළමයි මෙහෙම වුණා ම කතා කරන්න ඕනේ කියලා. එතකොට තමයි මට හිතුණේ මේ ගැන වීඩියෝ කිහිපයක් කරන්න, මොකද වැඩි දෙනෙක්ට මේ පණිවිඩය දෙන්න පුළුවන් එතකොට." ඇය විස්තර කළාය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය තුළ ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ, රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය.

නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ හිංසනයට ලක්වන කාන්තාවන් අතරින් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි.

පෝස්ටරයක්

ඡායාරූප මූලාශ්‍රය, YOUTUBE

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ දෙවැනි යූටියුබ් වීඩියෝ එකේදී මම කතා කරනවා එහෙම සිදුවීමකට මුහුණ දුන්න වේලාවකදී අපිට වෙන දේ ගැන"

කාන්තාවන් ලෙස මෙවැනි සිදුවීම් ඉවසා දරා සිටීම මෙවැනි සිදුවීම් වැඩිවීමට හේතුවක් ලෙස තමන් දකින බව මල්කි ඕපාත බීබීසි සිංහල සේවයට කියා සිටියාය.

"අපි පොඩිකාලේ ඉඳලම අපිට දෙමව්පියන් කියන්නේ අනිත් පැත්තට කතා කරන්න එපා, කෑගහන්න එපා කියලා. ඉතින් අපිට එහෙම කරදරයක් වුණා ම අනිත් පැත්තට කතා කර ගන්න බැහැ."

"ගෙදර ගිහිල්ලත් මේවගේ දෙයක් කියන්න ලැජ්ජයි. කොහොමද ගිහින් තාත්තට හරි අයියට හරි කියන්නේ. අම්මට කියනන්ත් බයයි, ලැජ්ජයි. ඒ තත්ත්වය වෙනස් කරලා මේ දේවල් ගැන විවෘතව කතා කරන්න ඕනේ."

"මගේ දෙවැනි යූටියුබ් වීඩියෝ එකේදී මම කතා කරනවා එහෙම සිදුවීමකට මුහුණ දුන්න වේලාවකදී අපිට වෙන දේ ගැන. එක්කෝ අපි ගල්වෙනවා. නැත්නම් අපිට වේගයෙන් හුස්ම ගන්න තත්වෙට පත්වෙනවා. මේ දේවල් වෙන්නේ පොඩිකාලේ ඉඳල ම අපි මේවට හුරු නැති නිසා කියලා මම හිතනවා." ඇය තව දුරටත් කියා සිටියාය.

මල්කි
ඡායාරූප ශීර්ෂ වැකිය, "එතකොට මට තේරුණා අපි හැමදාම කතා කරන්නේ කාන්තාවන්ට වෙන හිංසන ගැන විතරයි, පිරිමි ළමයින්ටත් මේ දේවල් වෙනවා කියලා"

පොදු ප්‍රවාහන සේවය තුළ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සිදුවීම්, ඊට මුහුණ දීමේදී කාන්තාවකට ඇතිවන මානසික තත්ත්වය සහ එහිදී ගත හැකි ක්‍රියාමාර්ග වැනි දෑ ගැන සමාජය දැනුවත් කිරීම තම අරමුණ බව ඇය පවසන්නීය.

"ඇත්තට ම ගොඩක් අය මගේ වීඩියෝ එකෙන් පස්සේ ඒගොල්ලන්ට වෙච්ච දේවල් හෙළි කරලා තිබ්බා. මටත් පොඩි කාලේ මෙහෙම වුණා බස් එකේ යනකොට කියලා ගැහැණු ළමයි කියලා තිබ්බා. ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයිනුත් කියලා තිබ්බා එයාලටත් මේ දේවල් වෙලා තියෙනවා කියලා"

"එතකොට මට තේරුණා අපි හැමදාම කතා කරන්නේ කාන්තාවන්ට වෙන හිංසන ගැන විතරයි, පිරිමි ළමයින්ටත් මේ දේවල් වෙනවා කියලා" මලකි තමන්ට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව තොරතුරු හෙළි කළාය.

නින්දේ පසුවන බව අඟවා...

මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2017 වසරේදී කළ සමීක්ෂණයකදී, හිංසනයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පවසා ඇත්තේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය.

ඉන් 52%ක් පැවසුවේ, විවිධ පුද්ගලයන් සිය ලිංගික අවයවය තම සිරුරේ ස්පර්ශ කිරීමට උත්සහ කළ බවය. අශෝභන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව, හිංසනයට ලක්වූ කාන්තාවන්ගෙන් 52.25%ක් පැවසූහ.

පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බර වීම, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, පය පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුර දෙස බලා සිටීම, අසභ්‍ය වදන් පැවසීම, දුරකතන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකතනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට තමන් මුහුණ දුන් බව පැවසු කාන්තාවන්ගේ ප්‍රතිශතය 60%කි.

මල්කි
ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ගේ ළමයව, අක්කව, නංගිව ඒ විතරක් නෙවෙයි මල්ලිව වුණත් පරිස්සම් කර ගන්න අපි ගෙදර වගේ ම සමාජයේත් මේ දේවල් ගැන එළිපිට කතා කරන්න ඕනේ"

119 හෝ 1938 අමතන්න

"අපි ගොඩක් වෙලාවට හිතනවා නොදැනුවත්ව වුණා, එහෙම නැත්නම් නින්ද ගිහිල්ල නිසා වෙනවා ඇති කියලා. ඒත් සමාජය තුළ අවබෝධයක් නැහැ මිනිසුන් මේ දේවල් වුවමනාවෙන් කරන්නේ කියල. ඉතින් අපි ඒ දේවල් ගැන කතා කරන්න ඕනේ. මම ඉදිරියට මේ ගැන මගේ වීඩියෝස්වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා."

"හැම තිස්සෙ ම ගමනේ, කාර්ය බහුල ජීවිත තියෙන්නේ. ඒවත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. සමහර මිනිස්සුන්ට විකෘති මනස් තියෙන්නේ. ඉතින් තමන්ගේ ළමයව, අක්කව, නංගිව ඒ විතරක් නෙවෙයි මල්ලිව වුණත් පරිස්සම් කර ගන්න අපි ගෙදර වගේ ම සමාජයේත් මේ දේවල් ගැන එළිපිට කතා කරන්න ඕනේ." මල්කි විනෝදි ඕපාත කතා බහ අවසන් කරමින් කියා සිටියාය.

පොදු ප්‍රවාහන සේවයකදී ඔබත් හිංසනයකට ලක්වුවහොත් ඊට විරෝධය පළකර මුලින් ම කොන්දොස්තරවරයා හෝ අවට සිටින අය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී.

ඉන් අනතුරුව වහාම 119 හෝ 1938 යන අංක අමතා සහාය පතන ලෙස පොලිසිය දැනුම් දෙන අතර බොහෝ දෙනා මේ ගැන පැමිණිලි යොමු කිරීමට මැලිකමක් දැක්වීම නිසා හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ හැකි තත්ත්වයක් පවතින බව පොලිසියේ මතය වී තිබේ.

තවත් කියවන්න: