කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින්

Danielle

ඡායාරූප මූලාශ්‍රය, Eliza Hatch

ඡායාරූප ශීර්ෂ වැකිය, "පිරිමි කට්ටියක් බස් එකට නැග්ගා ඉන් එක්කෙනෙක් මා දිහා බලාගෙනම හිටියා පස්සේ මා ගාව වාඩි වුනා"

පොදු ප්‍රවාහන සේවාවලදී සහ මහ මගදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව පුරා බොහෝ රටවල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ඊට වැට බැඳීම සඳහා ලොව පුරා රටවල් විවිධ ක්‍රමවේද අත්හදා බලමින් සිටිති.

කාන්තාවන්ට හිරිහැර කරන පුරුෂයන් ලැජ්ජාවට පත්කරනු පිණිස බ්‍රසීලයේ දුම්රියක පසුගියදා ලිඟු ආසනයක් ද සවිකර තිබුණි.

බ්‍රිතාන්‍යයේ ද පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව බලධාරීහු පවසති.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඡායාරූප ශිල්පිනී එලීසා හැච් මහමග දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන්නීය.

'Cheer Up Luv'

වීඩියෝ ශීර්ෂ වැකිය, කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින්

ඇය එවැනි අත්දැකීම් සහිත කාන්තාවන් සිය කැමරා කාචයට හසු කර ගන්නේ 'Cheer Up Luv' නමැති ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය සඳහාය.

එම ව්‍යාපෘතිය ඔස්සේ තරුණියෝ මහමග දී තමන්ට මුහුණ පෑමට සිදු වූ අත්දැකීම් විස්තර කරති.

2102-13 වසරවලදී 650 ක්ව තිබුණු බ්‍රිතාන්‍ය පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ.

සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කර තිබුණු නමුත් බොහෝ දෙනා ඒ අදහස ප්‍රතික්ෂේප කළහ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් විය

ශ්‍රී ලංකාවේ ද කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය.

එහෙත් ඒ අතරින් පොලිසියේ සහාය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කළේය.

මේ තත්වය යටතේ 'ඇය සුරැකි ගමනකද' මැයෙන් පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අවම කිරීමේ වැඩපිළිවෙලක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නගා තිබේ.

පොදු ප්‍රවාහන සේවාවලදීත්, මහා මගදීත්, වැඩපොළේදීත් තමන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද අනාවරණය කළහ.