ලිංගික හිංසනය: මෙක්සිකෝව කළඹන 'ලිඟු ආසනය'

The so-called "penis seat" appeared in a viral video showing commuters on Mexico City's metro

ඡායාරූප මූලාශ්‍රය, youtube

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලිඟු ආසනය' ඇතුලත් වීඩියෝවක් ලක්ෂ හතකට අධික පිරිසක් නරඹා තිබේ

මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබුණි.

"මේක අසික්කිතයි," ඇතැමෙක් කීහ.

"මේ සීට් එක අවමානයක්, අපහසුවක්."

සැබවින්ම එහි අරමුණ වී තිබුණේත් එයයි.

එම උමං දුම්රියේ ආසනයකට පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව කාවද්දා තිබුණේ එහි ගොඩවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට සහ අවමානයට ලක්කිරීමේ අරමුණිනි.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ "පුරුෂයන්ට පමණක්" වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙනි.

"මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය," යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබුණි.

The video showed men sitting down on the seat and then jumping up again in shock

ඡායාරූප මූලාශ්‍රය, youtube

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසනයේ වාඩිවන පුරුෂයන් ගැස්සී යළි නැගිටින අයුරු වීඩියෝවේ දැක්වේ

"එහෙත් ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් දිනපතා මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට සාපේක්ෂව මෙය නොලසකා හැරිය හැකි තරම් වන අපහසුතාවකි."

මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තුව නොවේ.

එය, පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාව මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳවදැනුවත් කිරීමේ අරමුණින් තාවකාලිකව එය සවිකරනු ලැබුවේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසිනි.

එහෙත් මෙක්සිකෝවාසීන්ගෙන් එයට පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

ගතවගිය දින දහය ඇතුලත මෙම ආසනය පිළිබඳ වීඩියෝවක් ලක්ෂ හතකට අධික පිරිසක් නරඹා තිබෙන අතර, ඇතැමුන් එම අදහසට ප්‍රසංශා කළ නමුත් "පුරුෂෝත්තමවාදී" බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කළහ.

Mexico City's metro has women-only carriages

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙක්සිකෝ උමං දුම්රියේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි

මෙක්සිකෝවේ අගනුවර පොදු ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලක් මුළුල්ලේම පවතින්නේ යහපත් වාතාවරණයක් නොවේ.

ලොව පුරා රටවල පොදු ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව 2014 දී YouGov ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව, මෙක්සිකෝ නගරයේ උමං දුම්රිය සේවයට හිමිවූයේ පහලම (නරකම) ස්ථානයයි.

එය මැඩපැවැත්වීම පිණිස වසර ගණනාවක් මුළුල්ලේ නගර බලධාරීහු විවිධ වැඩසටහන් දියත් කළහ; කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ දුම්රිය මැදිරි හඳුන්වාදීම, කාන්තාවන් උදෙසා වෙන් වූ බස් රථ සේවයක් සහ "ප්‍රචණ්ඩත්වයේ දියණියෝ" නම් චිත්‍ර ප්‍රදර්ශනයක් ඒ අතර විය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවලදී, මහමගදී සහ වැඩපොලේදී තමන් මුහුණදෙන වේදනාබර අත්දැකීම තරුණියන් සහ කාන්තාවන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවය වෙත ද හෙළි කළහ.

තමන් හිංසනයට ලක්වූ අවස්ථාවලදී කිසිදු පුරුෂයකු එය වැළකීමට මැදිහත් නොවූ බව එක් තරුණියක් ඉතා කණගාටුවෙන් සඳහන් කළාය.

ලිංගික හිංසනය යනු ශ්‍රී ලංකාවේ දඬුවම් ලැබෙන අපරාධයක් බව සිය සමීක්ෂණයකට සහභාගිවූවන්ගෙන් අඩකට වැඩි පිරිසක් නොදැන සිටි බව මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.