නිරුවත් සේයාරූ විකුණන රහසිගත ලෝකයේ ඇතුළාන්තය

Panorama reporter Monika Plaha holding a photo with a pixellated image of a woman
    • Author, මොනිකා ප්ලහා සහ පැනොරාමා කණ්ඩායම
    • Role, බීබීසී පුවත් සේවය

සිය පෞද්ගලික තොරතුරු, පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Redditහි (රෙඩිට්) පළ කිරීමෙන් පසුව නිර්නාමික නාඳුනන්නන් පිරිසක් විසින් කරනු ලබන තර්ජන සහ කප්පම් ඉල්ලීම්වලට මුහුණ දීමට කාන්තාවනට සිදුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.

පාවිච්චි කළ සිගරට් ලයිටරයක ආධාරයෙන්, එවැනි නාඳුනන කණ්ඩායමක් මෙහෙයවන පුද්ගලයෙකු නිරාවරණය කිරීමට BBC පුවත් සේවයට හැකිවිය.

"මේකිගේ නිරුවත් පින්තූර පවුම් 5ට දෙනවා, කෙලින්ම මට මැසේජ් කරන්න."

"මේකිගේ වීඩියෝ කීපයක් ලැබුණා, ඒවා හුවමාරු කරගන්න බලාපොරොත්තු වෙනවා."

"අපි මේකිට මොක ද කරන්නේ?"

ඡායාරූප සහ කමෙන්ට්ස් කියවූ වේලාවේ දී මට විශාල අපහසුතාවක් දැනිණි.

එහි ඡායාරූප දහස් ගණනක් විය. ඒ අතර, නිරුවත් හෝ අඩනිරුවත් කාන්තා ඡායාරූප විශාල සංඛ්‍යාවක් තිබිණි. ඊට පහළින්, එම කතුන් ගැන පිරිමි අශිෂ්ට අදහස් පළකරමින් සිටියහ. එම කමෙන්ට් අතර ලිංගික අපචාර කරන බවට තර්ජන ද විය. මා දුටු ඡායාරූප අතරින් වැඩි සංඛ්‍යාවක් මෙහි පළ කිරීමට නොහැකි මට්ටමේ ඒවා ය.

මා මේ ඡායාරූප වෙත පිවිසියේ මිතුරියකගෙන් ලැබුණු ඉඟියක් නිසාවෙනි. ඇය ඉන්ටග්‍රෑම් වෙත පළකළ ඇගේ ඡායාරූපයක් කවුරුන් හෝ බාගතකර Redditහි පළකර තිබිණි. එය නිරුවත් ඡායාරූපයක් නොවූව ද, ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ අසභ්‍ය සහ අපහාසාත්මක බසකිනි. මාගේ මිතුරිය තමන් සහ අනෙකුත් කාන්තාවන් ගැන බියට පත්ව සිටියා ය.

මට හමුව තිබූ දෙය 'වෙළෙඳපොළක්' විය. අසභ්‍ය ඡායාරූප පළ කිරීම, විකිණීම සහ හුවමාරුකර ගැනීම සඳහා තැනුණු නිර්නාමික ගිණුම් සියගණනක් එහි විය. එහි පළකර තිබුණු සියලු ඡායාරූප, ඒවායෙහි පෙනී සිටින කාන්තාවන්ගේ අවසරයෙන් තොරව පළකර ඇතැ යි පෙනෙන්නට තිබුණි.

එය පළිගැනීම සඳහා අසභ්‍ය දර්ශන පළකිරීමෙහි නව ප්‍රවණතාවක් ලෙස පෙනෙන්නට තිබුණු අතර, එහිදී සිදුවන්නේ වෙන්වුණු පෙම්වතුන් පළිගැනීමේ චේතනාවෙන් සිය පෙර පෙම්වතියන්ගේ පුද්ගලික ලිංගික දර්ශන සහ ඡායාරූප අවසරයකින් තොරව පළ කිරීමයි.

මෙම පෞද්ගලික ඡායාරූප දහස් ගණනක් ප්‍රේක්ෂකයින් පිරිසක් සමඟ බෙදාගන්නවා පමණක් නොව, නිර්නාමිකභාවයේ වෙස් මුහුණ පිටුපස සැඟවී සිටින පිරිමින් - මෙම කාන්තාවන්ගේ සැබෑ ජීවිතයේ අනන්‍යතා හෙළි කිරීමට එක්ව ක්‍රියාකරන අතර එය 'ඩොක්සිං' ලෙස හැඳින්වේ.

කාන්තාවන්ගේ ලිපිනයන්, දුරකතන අංක සහ සමාජ මාධ්‍ය ගිණුම් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන අතර, ඉන්පසු මෙම කාන්තාවන් අශ්ලීල ලිංගික කමෙන්ටු, තර්ජන සහ කප්පම් ගැනීම්වලට ඉලක්ක කෙරෙයි.

අන්තර්ජාලයේ ඉතා අඳුරු මුල්ලක අතරමංවූවාක් මෙන් මට දැනුනත්, මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලාවක් හරහා ය.

Reddit වෙබ් අඩවිය එය ප්‍රසිද්ධ කරනුයේ, "ඉන්ටර්නෙට්හි මුල් පිටුව" යනුවෙනි. එයට දෛනිකව පිවිසෙන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 50ක් පමණ වේ. එක්සත් රාජධානියේ එම සංඛ්‍යාව මිලියන 4කි. එහි විවිධ ක්‍ෂේත්‍රයන්ට හා මාතෘකාවන්ට අදාළ සමූහයන් නිර්මාණය කර පවත්වාගෙන යාමට ද පරිශීලකයින්ට ඉඩ දී තිබෙන අතර ඒවා 'subreddit' (සබ්රෙඩිට්) ලෙස හඳුන්වයි. Subreddit බහුතරයක් හානිකර නොවන නමුත් ආන්දෝලනාත්මක ලිංගික දර්ශන පළකිරීම සම්බන්ධයෙන් ද Reddit වෙබ් අඩවියට නරක ඉතිහාසයක් ඇත.

2014 වසරේ දී ජනප්‍රිය පුද්ගලයින්ගේ පෞද්ගලික ඡායාරූප රාශියක් Redditහි පළකර තිබිණි. ඉන් වසර සතරකට පසු, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මුහුණු අසභ්‍ය වීඩියෝ දර්ශන මත එඩිට් කිරීමට 'ඩීප්ෆේක්' නම් කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ තාක්ෂණයක් භාවිතා කළ කණ්ඩායමක් Reddit වෙබ් අඩවියෙන් නෙරපා හරිනු ලැබූහ.

මෙම මතභේදාත්මක සිද්ධිවලට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සමාගමක් වන Reddit සමාගම, පෞද්ගලික හෝ ලිංගික දර්ශන සහ ඡායාරූප ඒවායෙහි පෙනී සිටින්නන්ගේ අවසරයකින් තොරව පළකළ නොහැකි ආකාරයට නීති දැඩි කිරීමට පියවර ගත්තේ ය.

මට අවශ්‍ය වූයේ, එවැනි ඡායාරූප තවමත් Redditහි බෙදාහදාගන්නේ කෙසේ ද, සහ ඉන් පීඩාවට පත්වූවන්ට එය දැනෙන ආකාරය කෙබඳු ද යන්න තේරුම් ගැනීමට ය.

එය පසුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයාගැනීමට ඉන්පසු මට අවශ්‍යවිය.

Short presentational grey line

Reddit සමාගමේ තහනම ක්‍රියාත්මක නොවන බව මට දැකිය හැකිවිය.

එක්සත් රාජධානිය පුරා කාන්තාවන්ගේ ලිංගික ඡායාරූප පළ කිරීම සහ හුවමාරු කිරීම වෙනුවෙන්ම ක්‍රියාත්මක වන සබ්රෙඩිට්ස් විශාල සංඛ්‍යාවක් අපට හමුවිය.

මා පරීක්ෂාකළ පළමුවැන්න දකුණු ආසියාතික කාන්තාවන් කෙරෙහි අවධානය යොමුකර තිබූ අතර එහි පරිශීලකයින් සංඛ්‍යාව 20 000 ඉක්මවා තිබිණි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඉංග්‍රීසි, හින්දි, උර්දු සහ පන්ජාබි යන භාෂාවලින් අදහස් දැක්වූ එම ප්‍රජාවේම පිරිමින් බව දක්නට ලැබිණි. ඇතැම් කාන්තාවන් හඳුනාගැනීමට මට හැකිවූයේ, ඔවුන්ට විශාල සමාජ මාධ්‍ය අනුගාමිකයන් (followers) පිරිසක් සිටි බැවිනි. මා පෞද්ගලිකව දන්නා කිහිප දෙනෙක් ද ඒ අතර වූහ.

එහි ඡායාරූප 15 000කට අධික සංඛ්‍යාවක් විය. අප එම ඡායාරූප අතරින් දහසක් පමණ නැරඹූ අතර කාන්තාවන් 150 දෙනෙකුගේ අසභ්‍ය ලිංගික ඡායාරූප හමු විය. එම ඡායාරූපවලට පළකර තිබූ අදහස්වලින් ගම්‍ය වූයේ එම කාන්තාවන් ලිංගික භාණ්ඩ ලෙස අමානුෂික තත්ත්වයකින් සලකන බවකි. කිසිදු කාන්තාවක් එම වෙබ් මණ්ඩපයේ (forum) පෙනී සිටීමට සිය අවසරය දී නොතිබුණු බව මට විශ්වාස ය.

Graphic showing a sample of comments from the Reddit forum
ඡායාරූප ශීර්ෂ වැකිය, නිර්නාමික පරිශීලකයෝ කාන්තාවන්ගේ සේයාරූ බෙදාහදාගන්නා අතරේ නොහොබිනා අදහස් හා තර්ජන ද පළකරති

මාගේ මිතුරියගේ වැනි ඇතැම් ඡායාරූප, කාන්තාවන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකළ අසභ්‍ය නොවන ඡායාරූප විය. නමුත් ඒවා පවා මෙහි පළකර තිබුණේ නොහොබිනා අදහස් සහ ඇතැම් අවස්ථාවල දී අදාළ කාන්තාවන්ගේ දුරකතන සහ පරිගණක හැක්කර ඒවායෙහි නිරුවත් ඡායාරූප තිබේදැ යි සොයා බලන ලෙසට සිදුකළ ඉල්ලීම් ද සමගිනි.

අප සම්බන්ධ කර ගත් එක් කාන්තාවක් පවසන්නේ, ඇය ඉන්ස්ටග්‍රෑම්හි පළකළ කෙටි ටී ෂර්ට් එකකින් සැරසී සිටින උඩුකය ඡායාරූපයක් කිසිවෙකු හෝ උපුටාගෙන ඇයට ලිංගික අතවර සිදුකරන බවට වන කමෙන්ට්ස් ද සමඟ එක් සබ්රෙඩිට් එකක පළ කිරීමෙන් පසු, තමාට දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මක සහ ලිංගික පණිවුඩ ලැබෙන බව ය.

සබ්රෙඩිට් ෆෝරම්වල සැරිසරන පිරිමි කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම සහ විකිණීම ද සිදුකරති. මෙම ඡායාරූප සිය සහකරු සමඟ බෙදාගත් සෙල්ෆි ඡායාරූප මිස පොදු පරිහරණය සදහා අවසර දුන් ඡායාරූප නොවන බව පෙනී යයි .

ලිංගික ක්‍රියාවන්හි යෙදෙන අවස්ථාවල රහසිගත ලෙස රූගත කරන ලද වීඩියෝ දර්ශන ද ඒ අතර වේ.

'මම උඹව හොයාගන්නම්'

එක් පණිවුඩ සමූහයක දැක්වුණේ, මුඛ සංසර්ගයේ නිරතවන නිරුවත් කාන්තාවකගේ ඡායාරූප රැසකි.

"කවුරු ළඟ හරි මේ ***ගේ වීඩියෝ එකක් තියෙනවා ද?" නිර්නාමික පුද්ගලයෙකු ඇයට නින්දාසහගත නමකින් අමතමින් ඇසීය.

"ඒකිගේ ඔක්කෝම ටික මගේ ළඟ තියෙනවා. පවුම් 5කට දෙනවා," තවත් අයෙක් කීය.

"ඒකිගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් මොනවා ද?," තුන් වැන්නෙක් ඇසීය.

අයේෂා - ඇගේ සැබෑ නම නොවේ - තමන්ගේ වීඩියෝ කිහිපයක් මෙම සබ්රෙඩිටයේ හුවමාරු වන බව සොයාගත්තේ පසුගිය වසරේ දී ය. ඇය විශ්වාස කරන්නේ, තම හිටපු සහකරුවෙකු අදාළ වීඩියෝ දර්ශන රහසිගතව රූගත කර ඇති බව ය.

ඇයට දරා ගැනීමට සිදුවූයේ ඇගේ විශ්වාසය බිඳ දැමීම පමණක් නොවේ. ඇගේ පෞද්ගලික තොරතුරු ෆෝරමය තුළ පළකිරීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවූ හිංසන සහ තර්ජන මාලාවකට මුහුණදීමට ද ඇයට සිදුවිය.

"උඹ මාත් එක්ක නිදාගත්තේ නැත්නම් මම මේවා උඹේ අම්මා තාත්තට යවනවා. මම ඇවිත් උඹව හොයා ගන්නම්... උඹ මාත් එක්ක සෙක්ස් කරන්න කැමති වුණේ නැත්නම්, මම උඹව දූෂණය කරනවා," ඇයට හිංසා කළ පුද්ගලයින් ඇගේ තවත් ඡායාරූප ඉල්ලා ඇයට තර්ජනය කිරීමට ද උත්සාහ කර තිබිණි.

"පාකිස්ථාන ගෑණු ළමයෙකුට විවාහයට කලින් ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වෙන්නවත් ඒ වගේ දෙයක් කරන්නවත් අයිතියක් නෑ. ඒක අනුමත කරන්නේ නෑ," ඇය පවසයි.

අයේෂා සමාජ ආශ්‍රයෙන් ඈත්වූ අතර නිවසින් බැහැරට යාමත් නතර කළා ය. අවසානයේ සියදිවි හානිකර ගැනීමට උත්සහ කිරීම දක්වා එය දුරදිග ගියේ ය. එම උත්සාහයෙන් පසු, තමන්ට සිදුවූ දෙය සිය දෙමාපියන්ට කීමට ඇයට සිදුවිය. එය දැනගත් ඇගේ මව සහ පියා මානසික අවපීඩනයට ලක්වූ බව ඇය පවසයි.

"සිද්ධවෙන සියල්ල ගැන වගේම, මම ඒගොල්ලන්ව ඒ තත්ත්වෙට ඇදලා දාපු එක ගැනත් මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා," ඇය කීවා ය.

ඇය කිහිප විටක්ම Reddit සමාගම ඇමතුවා ය. එවැනි එක් අවස්ථාවක ඇගේ එක් වීඩියෝවක් ක්ෂණයකින් ඉවත් කළ ද, අනෙක් වීඩියෝව ඉවත් කිරීමට සිව්මසක් ගත විය. මකා දැමූ වීඩියෝව ඒ වන විටත් වෙනත් සමාජ මාධ්‍යවල පළකර තිබුණු අතර, මාසයකට පමණ පසු අදාළ සබ්රෙඩිට් එකෙහි යළි පළ කර තිබිණි.

අයේෂා ලැජ්ජාවට පත් කළ සහ ඇයට හිරිහැර කළ subreddit ෆෝරමය නිර්මාණය කරනු ලැබ තිබුණේ Zippomad නමින් පෙනී සිටි පුද්ගලයෙකු විසිනි - එම නාමය අවසානයේ දී ඔහු සොයා ගැනීමට හෝඩුවාවක් සැපයීය.

Graphic showing a sample of comments from the Reddit forum, discussing obtaining personal details
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆෝරමයේ පරිශීලකයින් කාන්තාවන්ගේ සැබෑ ජීවිතයේ තතු සොයාගැනීමට සහ ඔවුන්ගේ පුද්ගලික තොරතුරු බෙදාගැනීමට එක්ව කටයුතු කරයි

ෆෝරමයක මොඩරේටර්වරයෙකු වූ Zippomad, ඔහුගේ subreddit ෆෝරමය Redditහි නීති අනුගමනය කරන බවට වග බලාගත යුතුව තිබිණි. නමුත් ඔහු කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි.

පැමිණිලි හේතුවෙන් Reddit සමාගම ඔහුගේ සබ්රෙඩිට් ෆෝරමය වසා දැමීමට පියවර ගත් අවස්ථා තුනකදී ම ඔහු නැවත එම ෆෝරමය නිර්මාණය කළ බව මට දක්නට ලැබිණි. ෆෝරමය අලුත් කරන ලද සෑම අවස්ථාවක දී ම ඔහු එකම නමෙහි වෙනස් අනුවාදයන් භාවිතා කර තිබූ අතර, පුනරුච්ඡාරණය කෙරුමට නොහැකි තරම් අප්‍රසන්න වාර්ගික අපවාදයක් ඊට ඇතුළත් විය. මේ සියලු ෆෝරමයන් එකම අන්තර්ගතයන්ගෙන් යුක්තවූ අතර ඒ සියල්ල වටාම දසදහස් ගණනක followersලා ද එක්රැස්ව සිටියහ.

මේ නිරුවත් ඡායාරූප වෙළෙඳාමට නමක් දීමට ඉන්ටර්නෙට් අපයෝජන පිළිබඳ විශේෂඥයින්ට සිදුවන තරමට මෙය පුළුල් වී ඇත: එය හඳුන්වන්නේ 'රැස්කරන්නන්ගේ සංස්කෘතිය' යනුවෙනි (collector culture).

මෙවැනි අන්දමේ සයිබර් අපයෝජන පිළිබඳ විශේෂඥවරියක වන ඩර්හැම් විශ්වවිද්‍යාලයයේ නීතිය පිළිබද මහාචාර්ය ක්ලෙයාර් මැක්ග්ලින් මෙසේ පවසයි: "මේක විකෘති හෝ අමුතු ආකාරයේ ආශාවන් හෝ මානසිකත්වයන් සහිත සීමිත පිරිසක් කරන සංසිද්ධියක් නෙවෙයි. මේ වගේ පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒක පිරිමි දසදහස් ගණනක වැඩක්."

පිරිමින් දසදහස් ගණනක් සැරිසරන විශාල වෙබ් අඩවිවල මෙන්ම, කුඩා, පෞද්ගලික චැට් කණ්ඩායම්වල ද මෙසේ ඡායාරූප විකිණෙතැ යි මහාචාර්ය මැක්ග්ලින් පවසයි.

ඡායාරූපයේ පෙනී සිටින්නියගේ එකඟත්වයෙන් තොරව පළ කෙරෙන රූප විශාල එකතුවක් ගොඩනැගීමෙන් මෙවැනි පිරිමින් මෙම සමූහයන් තුළ සිය තත්ත්වය පවත්වාගෙන යන බව පවසන ඇය, මෙසේ උමතුවෙන් ඡායාරූප ගබඩා කිරීම නිසා ඒවා සදහටම ඉවත්කර දැමීම අපහසුබව කියා සිටියි. අයේෂා අත්දුටු පරිදි, එවැනි වීඩියෝ අන්තර්ජාලයේ වෙනත් ස්ථානයකින් නැවත මතුවෙයි.

Reddit වෙබ් අඩවියෙන් සිය ඡායාරූප ඉවත්කර ගැනීමට උත්සාහ කළ කාන්තාවන් හත් දෙනෙකු මට පැවසුවේ, එම සමාගම තමන්ට ප්‍රමාණවත් සහයක් නොදුන්නේයැ යි හැඟීගිය බව ය. Reddit සමාගම සිය ඡායාරූප කිසිවක් මකා නොදැමූ බව ඉන් කාන්තාවෝ සිව්දෙනෙක් පැවසුවෝ ය. ඇතැම් කාන්තාවන්ට සිය ඡායාරූප ඉවත්කරනා තෙක් මාස 8ක කාලයක් බලා සිටීමට සිදුව තිබිණි.

Reddit සමාගම අපට පැවසුවේ, ඔවුන් අනුමැතියකින් තොර ලිංගික ඡායාරූප 88 000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ඉවත් කළ අතර, මෙම ප්‍රශ්නය "අතිශය බරපතළ" ලෙස සලකන බව ය.

අවසරයකින් තොරව පළ කරන ලද පෞද්ගලික ඡායාරූප සොයා ඒවා ඉවත්කිරීම සඳහා කාර්යමණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් ඇති බවත්, ස්වයංක්‍රීය මෙවලම් භාවිතා කරන බවත් එම සමාගම පවසයි. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, අදාළ ෆෝරම වසා දැමීම ආදී පියවර හරහා තම සමාගම නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බව ය.

"මෙවැනි අන්තර්ගතයන් [පළකිරීම] වැළැක්වීමටත්, හඳුනාගැනීමටත්, ක්‍රියාත්මකවීමටත් මීට වඩා වේගවත්ව සහ නිවැරදිව කටයුතු කළ යුතු බව අපි දන්නවා. ඒ වගේම, මෙම ඉලක්කය සපුරාගැනීම සදහා අපි අපේ කාර්ය මණ්ඩලය, මෙවලම් සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් ආයෝජනය කරමින් සිටිනවා," Reddit සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.

තාක්ෂණික සමාගම් මෙන් ම එක්සත් රාජධානියේ ක්‍රියාත්මක නීතිය ද, සිය පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයේ පළවීමෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමේ අරගලයක නිරතව සිටියි.

Georgie, who went to police after her ex-partner shared explicit images of her online
ඡායාරූප ශීර්ෂ වැකිය, නීතියේ සිදුරක් නිසා සිය පෙර සහකරු තම පුද්ගලික පින්තූර බෙදාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ජෝර්ජි පවසයි

තමා ඇමතූ නාදුනන පුද්ගලයෙකු, තම අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයේ පළව ඇතැ යි දැනුම්දීමෙන් පසු ජෝර්ජී පොලිසියට ගියා ය. එම ඡායාරූප ලබාගත හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් බව ඇය දැන සිටියා ය.

"ඒ වෙනකොටත් කීදෙනෙක් ඒ පින්තූර දැකලා තිබුණා ද කියලා මට හිතාගන්න බැහැ. ඒ වගේම තවත් කට්ටිය ඒවා බලන එක නතර කරන්න ක්‍රමයකුත් නෑ. මේ මොහොතේත් මිනිස්සු ඒවා බලනවා ඇති," ඇය පවසයි.

එම ඡායාරූප පළකළේයැ යි පිළිගන්නා බව ඇගේ හිටපු පෙම්වතා ඇයට කෙටි පණිවුඩයකින් දැනුම් දී තිබුණු අතර, "එයා මට රිදවන්න හෝ මාව අපහසුතාවට පත් කරන්න එහෙම කළේ නැතිබව" ඔහු තමන්ට පැවසූ බව ඇය සඳහන් කළා ය.

ඔහුගේ මෙම පාපොච්චාරණය නීතියේ හිඩැසක් බවට පෙරළී තිබිණි. අසභ්‍ය දර්ශනවලට එරෙහිව එක්සත් රාජධානියේ ක්‍රියාත්මක නීති අනුව, අවසරයකින් තොරව පුද්ගලික ඡායාරූප පිටතට නිකුත් කරන පුද්ගලයා වින්දිතයාට පීඩාවක් ඇති කිරීමට එසේ සිදුකර ඇතැ යි සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය. එම අවශ්‍යතාව ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ස්වාධීන උපදේශක ආයතනයක් වන The Law Commission රෙකමදාරු කර තිබුණත්, මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අන්තර්ජාල ආරක්ෂණ පනතට එම වෙනස්කම ඇතුළත් කර නොමැත.

Short presentational grey line

අයේෂා ඇතුලු දකුණු ආසියානු කාන්තාවන් ඉලක්ක කර ගනිමින් Redditහි ෆෝරමයක් නිර්මාණය කරන ලද Zippomad හසුකර ගැනීමට මට අවශ්‍ය විය. ඔහු ෆෝරමයේ පළකර ඇති පැරණි කමෙන්ටු මා කියවා බැලූ අතර, ඔහුගේ සත්‍ය නම, විද්‍යුත් තැපැල් ලිපිනය හෝ සැබෑ ඡායාරූප පිළිබඳ කිසිදු සඳහනක් එහි නොවීය. ඔහුගේ යූසර්නේම් එක මඟින් පමණක්, ඔහු කවුරුන් ද යන්න සෙවීම සදහා ඉඟියක් ලැබිණි. ඔහු Zippo සන්නාමය දරන ලයිටර එකතුකරන්නෙකු වූ අතර ඉන් එක් ලයිටරයක් විකිණීමට ඉදිරිපත්කර තිබිණි. ඒ අනුව මම ව්‍යාජ ගිණුමක් භාවිතා කරමින් ඔහු හා සම්බන්ධ වී, එම ලයිටරය මිල දී ගැනීමට ඉදිරිපත් වීමි.

ඔහු සාකච්ඡාවක් සඳහා එකඟවූයේ ය. ඒ අනුව, කාන්තාවන් විශාල පිරිසකගේ පෞද්ගලිකත්වය කෙළෙසමින් ෆෝරම් නිර්මාණය කළ පුද්ගලයා මුහුණට මුහුණ හමුවීමට අපගේ උපායදූත වාර්තාකරුට හැකිවිය.

ඔහුගේ නම හිමේෂ් ෂින්ගාඩියා ය. ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවකු වන අතර දැවැන්ත සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. මෙම ක්‍රියාදාමය පසුපස සිටින්නේ එවැනි පුද්ගලයෙකුයැ යි මම කිසිසේත් අපේක්ෂා නොකළෙමි.

Himesh Shingadia, who set up a Reddit forum which shared women's private images, pictured at a meeting with an undercover reporter
ඡායාරූප ශීර්ෂ වැකිය, හිමේෂ් ෂින්ගාඩියා පවසන පරිදි ඔහු මෙම රෙඩිට් ෆෝරමය නිර්මාණය කර ඇත්තේ "දකුණු ආසියානු කාන්තාවන් අගය කිරීමට" ය

පැනොරාමා විසින් ඔහු සම්බන්ධකර ගැනීමෙන් අනතුරුව ෂින්ගාඩියා ඔහුගේ සබ්රෙඩිට් ෆෝරමය මකා දැමීය. ප්‍රකාශයක් මඟින් ඔහු පවසා සිටින්නේ, "දකුණු ආසියානු කාන්තාවන් අගය කිරීම" අරමුණු කරගෙන එම ෆෝරමය නිර්මාණය කළ බව ය. පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් සිටි හෙයින් ෆෝරමය පාලනයකර ගැනීමට නොහැකි වූ බව ඔහු පැවසුවේ ය.

තමන් කිසිවෙකුගේ පෞද්ගලික තොරතුරු හුවමාරුකර නොගත් බවත්, ඡායාරූප අලෙවි නොකළ බවත්, කාන්තාවන් ඉල්ලීම් කළ විට ඔවුන්ගේ ලිංගික දර්ශන ඉවත් කිරීමට සහාය දුන් බවත් ඔහු පැවසීය.

"Zippomad අතිශයින් අපහසුතාවට හා ලජ්ජාවට පත්ව සිටින අතර මෙමඟින් ඔහුගේ සැබෑ පෞරුෂය නිරාවරණය නොවේ," අදාළ නිවේදනයේ දැක්වේ.

අප Reddit සමාගමට පෙන්වා දුන් ඒ හා සමාන තවත් ෆෝරම කිහිපයක් එම සමාගම විසින් ඉවත්කෙරිණි.

එමඟින් අදහස් වන්නේ අවසානයේ කාන්තාවන් දහස්ගණනකගේ ඡායාරූප ඉවත් කෙරුණු බව ය. එහෙත්, එම සුළු සහනය ඔවුන්ට ලැබුණේ අනවශ්‍ය නිරාවරණය වීමකින් ඇති වූ වේදනාවකින් පසුව ය.

තවත් කාන්තාවන් මෙම ජාවාරමේ වින්දිතයන් බවට පත්වීම වැළැක්වීම සදහා තාක්ෂණික සමාගම් සහ නීති සම්පාදකයින් යම් වෙනසක් කළ යුතුව තිබේ.

සිය ඡායාරූප පළ කළ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් ජෝර්ජී පවසන්නේ ද එවැනි අදහසකි: "ඔහුට දඬුවම් කරන්න මට ඕන නෑ. මට ඕන ඔහු එවැනි දෙයක් නැවති නොකර සිටීම පමණ යි."