දින 8කින් ලංකාව පුරා තනිව සංචාරය කළ චිත්‍ර ශිල්පිනිය සමන්මලී ලැබූ අත්දැකීම්

මෝටර් බයිසිකලය සමග සිටින සමන්මලී

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SAMANMALI THUSHARAA

    • Author, බීබීසී සිංහල

වසරක අවසානය ළඟා වෙත් ම තම සිහිනයක් සැබෑ කර ගැනීමට එක් කාන්තාවක බලා සිටියේ නොඉවසිල්ලෙනි.

ඒ, ඇය මෝටර් සයිකලයෙන් ශ්‍රී ලංකාව වටා යාමට අවුරුද්දක් පුරා සැලසුම් කළ ගමන ආරම්භ කිරීමට ය.

වේයන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන 39 හැවිරිදි ඇය වෘත්තීයෙන් චිත්‍ර ශිල්පිනියකි.

මීට පෙර ද මෝටර් සයිකලයෙන් තනිව සංචාර කිහිපයක් ගොස් සිටි සමන්මලී තුෂාරා, තමන් සේවය කරන ආයතනයෙන් ගමනට අවශ්‍ය නිවාඩු අනුමත කර ගැනීමෙන් පසු සංචාරය ආරම්භ කිරීම සඳහා වසරක කාලයක් බලා සිටි බව බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවා ය.

වසරක් පුරා හොඳින් සැලසුම් කර දින අටකින් කිලෝමීටර් 1,822කින් ශ්‍රී ලංකාව පුරා ගිය ඇයගේ අත්දැකීම ඇය බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ මේ අයුරිනි.

පෙර සූදානම

"මම මුලින් ම බයික් එකේ දුර ගමනක් ගියේ මාතර. ඒ මගේ තාත්තාගේ අම්මාව බලලා එන්න. ඒ යද්දී ගොඩක් ලස්සන තැන් එහෙම පහු කරගෙන ගියා. ඒ ගමනත් එක්ක මට බයික් එකෙන් සංචාරය කරන්න අදහස ආවා," සමන්මලී තුෂාරා පවසයි.

ඇය සොබාදහමේ ඡායාරූප ගැනීමට උනන්දු අතර මේ නිසා ම ඇය සිය මෝටර් සයිකලයෙන් එවැනි තැන් සොයා යාමට පටන්ගෙන තිබේ.

"ඉර පායන, ඉර බහින එක බලන්න මම ආසයි, එතකොට ඒවගේ ලස්සන දේවල් ෆොටෝ ගන්නත් මම ආසයි. ඒකත් එක්ක මම තනියම මේ විදිහේ ගමන් යන්න පටන් ගත්තා," ඇය පැවසුවා ය.

ඒ අනුව ඇය මීට පෙර අම්පාර, ආරුගම්බේ, පොළොන්නරුව සහ යාපනය වැනි ප්‍රදේශවල සංචාරය කර තිබේ.

නමුත් මෙය එක දිගට ශ්‍රී ලංකාව පුරා ගමන් ගන්නා චාරිකාවක් නිසා ඇය ඒ සඳහා පෙර සූදානම සැලසුම්සහගතව කර තිබේ.

ඒ සඳහා ඇය "ගමනට කලින් බයික් එක සම්පූර්ණ පරීක්ෂාවක් කරලා අඩුපාඩු හැදූ," බව පවසයි.

ඇයට අවශ්‍ය ඇඳුම් වෙන වෙන ම පහසුවෙන් සොයාගත හැකි ආකාරයට අසුරාගෙන ඇති ඇය අත්‍යවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ලියකියවිලි, වැසි කබායක් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ගමනට එක් කරගෙන තිබේ.

මන්නාරම වෙරළ තීරයක ඉර බස යන දර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SAMANMALI THUSHARAA

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඉර පායන, ඉර බහින එක බලන්න මම ආසයි'

පිටත්වීම

දෙසැම්බර් 31 ඇය ආරම්භ කළ මෙම චාරිකාව අවසන් කර ඇත්තේ, ජනවාරි 07 වනදා ය.

ඇය මෙම ගමන පුරා පැයට කිලෝමීටර් 40-50 අතර වේගයක් පවත්වා ගත් බව ඇය පැවසුවා ය.

"රාත්‍රී 7 වෙන්න කලින් නවාතැනට ගියා. රෑ කෑමත් අරගෙන, නවාතැන් තෝර ගනිද්දී මම ගූගල් රිවීව් එහෙම බලලා තමයි තෝරා ගත්තේ. අදාළ දවසේ උදේ තමයි නවතින තැන හොයාගෙන කතා කළේ," ඇය විස්තර කළා ය.

"ඒ වගේ ම මම හරි ම සාමාන්‍ය සහ සැහැල්ලු ඇඳුම් ඇඳලා ගියේ. ඒක මට පහසුවක් වුණා වගේ ම මට ලොකු අවධානයක් ලැබුණේත් නෑ," ඇය පවසයි.

"මම නවාතැනට ගියාට පස්සේ හොඳ විවේකයක් ගත්තා. විවේකයක් ගත්තා ම මහන්සි දැනෙන එක අඩුයි," සමන්මලී පවසයි.

ඒ අනුව ඇය එම දින අටේදී පහත පරිදි ගමන් කර තිබේ.

  • පළමු දිනය වේයන්ගොඩ සිට කල්පිටිය
  • දෙවන දිනය කල්පිටිය සිට මන්නාරම
  • තුන්වන දිනය මන්නාරම සිට යාපනය
  • හතරවන දිනය යාපනය සිට මුලතිව්
  • පස්වන දිනය මුලතිව් සිට ත්‍රිකුණාමලය
  • හයවන දිනය ත්‍රිකුණාමලය සිට ආරුගම්බේ
  • හත්වන දිනය ආරුගම්බේ සිට වැලිගම
  • අටවන දිනය වැලිගම සිට වේයන්ගොඩ
සමන්මලී

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SAMANMALI THUSHARAA

'එයා සංඥා භාෂාවෙන් මගෙන් ඇහුවේ මම අරන් ගිය කැමරාව ගැන'

සමන්මලීට අතරමගදී හමුවූ අය සමග කතා කිරීමේදී බොහෝ දෙනෙකු ඇය තනිව යන සංචාරය පිළිබඳව පුදුමයට පත්වූ බව ඇය පැවසුවා ය.

"මම නැවතුණු තැන්වල අය එහෙම ගොඩක් පුදුම වුණා මම එහෙම යනවා කිව්වා ම. හැබැයි ඒ අය ගොඩක් සතුටු වුණා, ඒ වගේ ම මට ලොකු සහයෝගයක් දුන්නා," ඇය සිහිපත් කරයි.

"විදේශීය කාන්තාවකුත් නෙවෙයි, ලංකාවේ ම කෙනෙක් නිසා එයාලා තවත් පුදුම වුණා. විස්තර එහෙම අහනවා ගමන ගැන."

ඇය යාපනය ප්‍රදේශයේ සංචාරය කළ දිනයේදී ඇයට තවත් අපූරු අත්දැකීමක් ලැබී තිබිණි.

යාපනයට ගිහින් නවතින තැනින් බඩු තියලා මම කයිට්ස් පැත්තට ගියා. එතන ජැටියකින් ඒ වෙලාවේ පාලම් පාරුවක් පිට වෙන්න හදමින් හිටියේ. මම ගිහින් ඇහුවා මමත් එන්න ද කියලා. කීයක් ගන්නවා ද කියලා. සල්ලි එපා එන්න කියලා මට කිව්වා. මම බයික් එකත් අරගෙන ම ඒකට නැග්ගා," ඇය පැවසුවා ය.

එහිදී ඇයට හමුවූ අයෙකු පිළිබඳව ද ඇය සිහි කළා ය.

"ඒ පාරුවේ හිටියා කෙනෙක්, එයාට කතා කරන්න බෑ. එයා සංඥා භාෂාවෙන් මගෙන් ඇහුවේ මම අරන් ගිය කැමරාව ගැන. මමත් පුළුවන් විදිහට කිව්වා කැමරාවක් කියලා."

'අලියෙක් හම්බ වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා'

ඇය මෙම ගමනේදී ශ්‍රී ලංකාවේ විශාලතම වනෝද්‍යාන දෙකක් වන විල්පත්තු සහ යාල වනෝද්‍යාන සීමාවන් පසු කර යා යුතු විය. එම වනෝද්‍යාන හරහා යාමට නොහැකි නිසා රට අභ්‍යන්තරයෙන් ගමන් කර තිබේ.

"මම බලාපොරොත්තුවෙන් හිටියා මට අලියෙක් හම්බ වෙයි කියලා. නමුත් අලියෙක් මේ ගමනේදී හම්බ වුණේ නෑ. මුලතිව් හරියේදී කැළේ එහෙමත් තිබුණු නිසා මම හිතුවෙන් අලියෙක් මුණ ගැහෙයි කියලා."

නමුත් ඇයට මුලතිව් ප්‍රදේශයේදී වෙනත් අමුත්තෙකු හමුවූ බව ඇය පැවසුවා ය.

"මුලතිව් ඉඳලා නයාරු පැත්තට ඒ කියන්නේ කෝකිලායි කලපුව පැත්තට යනකොට එහෙම පාරවල් හරි ම පාළුයි. ඒ පාරෙන් මට යන්න බැරි වුණා පහුගිය දවස්වල පාලම කැඩිලා තිබුණ නිසා. එතනින් ආපස්සට එනකොට මට ටැමිල් අම්මා කෙනෙක් හම්බ වුණා," ඇය පැවසුවා ය.

"ඒ පාරේ බස් අඩුයි. ඒ අම්මා හෙල්මට් එකකුත් දාගෙන පාරට වෙලා බලාගෙන ඉන්නවා බයික් එකක් නවත්වලා යන්න. එයා මම එද්දිත් අත දාලා ඒ විදිහට නැවැත්තුවා. නවත්වලා දෙමළෙන් කිව්වා මුලතිව්වලට යන්න ඉන්නේ කියලා. ඊට පස්සේ මම එයාව මුලතිව්වලින් දාගෙන ගියා," ඇය පැවසුවා ය.

ගමන සඳහා වියදම් වූ මුදල

මෙම සංචාරය සඳහා ඇයට වියදම් වූ මුදල් සම්බන්ධයෙන් ද ඇය තොරතුරු බෙදා ගත්තා ය.

මෙම ගමන සඳහා ඇයට ඉන්ධන සඳහා වියදම් වූ මුදල රු. 9,650කි.

එමෙන් ම නවාතැන් සඳහා ඇයට වියදම් වී ඇති මුදල රු. 21,000කි.

ආහාර සඳහා අය වැය කර ඇති මුදල 11,470කි.

ඒ අනුව ඇයට දින අටක සංචාරය සඳහා ආසන්න වශයෙන් වැය වී ඇති මුදල රු, 42,000කි.

'මීළඟ සැලසුම මන්දාරම් නුවර යන එක'

වසරක් පුරා සැලසුම් කළ සංචාරය අවසන් කර ඇය නැවත වේයන්ගොඩ නිවසට පැමිණ ඇත්තේ, 2026 ජනවාරි 06 වන දා ය.

මාර්ග නීති කඩ නොකොට, කිසිදු ආකාරයක අපහසුතාවකට පත් නොවී නැවත පැමිණීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ඇය පැවසුවා ය

"කල්පිටියේදී මාව පොලිසියෙන් චෙක් කළා. ඊට පස්සේ වෙන තැන්වලින් නම් චෙක් කළේ නෑ," ඇය පැවසුවා ය.

එහිදී බීබීසී සිංහල ඇය මීළඟට යන සංචාරය පිළිබඳව ද සමන්මලීගෙන් විමසී ය.

"මම මීට කලින් මන්දාරම් නුවර ගියා. ඒ වෙලාවේදී මට එක පවුලක් හමු වුණා," ඇය පැවසුවා ය.

"එයාලා මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. පහුගිය දවස්වලදී ඇති වුණු තත්ත්වයත් එක්ක එයාලට කරදර වුණා."

"ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා එයාලව බලලා එන්න මන්දාරම් නුවර ගිහින් එන්න," සමන්මලී පැවසුවා ය.