මෝසම් වැසි, වාරකන් මැද, සැඟවුණු සංචාරක පාරාදීසයක් සොයා

ශ්‍රී ලංකාව කියූ සැනින් ලෝකයේ බොහෝ දෙනෙකුට මතක් වන එක් පොදු දෙයක් වන්නේ ශ්‍රී ලංකාව සතු වටිනාම සම්පතක් වන සුන්දර වෙරළ තීරයන් ය.
දිවයින වටා පිහිටි මුහුදු තීරය, රට තුළට සංචාකයන් ඇද ගන්නා මාර්ගයකි.
වඩාත් සුන්දර මුහුදු වෙරළ රාශියක් හිමි දකුණු පළාතේ වෙරළ තීරයන්ට යා හැකි මාර්ග ගණනාවක් ම නිරිත දිග මෝසමේ දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් යටව තිබිය දී අප ගමන් කරමින් සිටියේ වයඹ පළාතේ පිහිටි එවැනිම සුන්දර නමුත් තවමත් වැඩි පිරිසකගේ ඇස නොගැටුණු සුන්දර වෙරළ තීරයක් වෙත ය.
වර්ෂාව මධ්‍යයේ උපරිම ජල මට්ටමට ළඟා වෙමින් පැවති ගංගා සහ ඔය කිහිපයක් පසුකරමින් යමින් සිටි අපට හලාවත නගරට ආසන්න වෙත්ම නැගෙනහිර දිශාවෙන් රන්වන් ආලෝකයක් විහිදුවමින් හිරු නැග එන අයුරු දැක ගැනීමට හැකි විය.
කොළඹ - පුත්තලම මාර්ගයේ ගමන් කළ අප කල්පිටිය දෙසට ගමන් කිරීම ඇරඹීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති දීර්ඝතම සහ විශාලතම කළපු අතරින් එකක් වන පුත්තලම් කලපුවට සමාන්තරව ගමන් කරමින් සිටියෙමු.
මාර්ගය දෙපස එක පෙළට වැඩුණු දැවැන්ත පොල්වතු අතරින් සුදු පැහැයෙන් ඉහලට නැගි සුළං පෙති කුළුණු සුන්දරව දිස්වන්නට විය. අපගේ පළමු ගමනාන්තය වූ කුඩාව වෙත ආසන්න වෙත් ම එම සුළං පෙති වඩ වඩාත් ආසන්නයෙන් දැකගැනීමට හැකි විය.
උදෑසන අට පමණ වන විට අපගේ පළමු ගමනාන්තය වූ කුඩාවට ළඟා වී සිටි අතර අප සිටියේ සුන්දර මුහුදු තීරයක් අසලයි. නමුත් ඒ අපගේ අවසන් ගමනාන්තය නොවීය.

ආ ගිය කතා
එදින අපගේ මගපෙන්වන්නා වූයේ පාරිසරික ක්‍රියාකාරිකයෙකු සහ කල්පිටියෙ රජයේ ලියාපදිංචි හෝටල් සංගමයේ ලේකම් ඩබ්.එම්. සුගත් සහ ඔහුගේ සහෝදරයායි. සුගත් කිමිදුම්කරුවෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර ඔහු රැකියාව වශයෙන් මීට පෙර ධීවරයෙකු ලෙස කටයුතු කර තිබේ. අප එහි යන විටත් ඔහු සහ ඔහුගේ සහෝදරයා අපගේ අවසන් ගමනාන්තය වෙත යාමට අවශ්‍ය දෑ ලකලෑස්ති කරමින් සිටිය හ.
"පුත්තලම් කළපුවත් මුහුදත් අතර අර්ධ ද්වීපයක හැටියට තමයි අපි මේ ඉන්න හරිය හැදිලා තියෙන්නේ. අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ ඒකෙ කෙළවරට. ඒ කියන්නේ මුහුදත් කළපුවත් එකතු වන ප්‍රදේශයට," සුදත් මෙම ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම සම්බන්ධයෙන් විස්තර කළේ ය.
අප මෙදින සංචාරය කිරීමට බලාපොරොත්තුවන ප්‍රදේශය සුන්දරත්වයෙන් පමණක් නොව ජෛව විවිධත්වයෙන් ද අනූන ප්‍රදේශයකි. මෙම මුහුදු තීරය සහ කලපුව ආශ්‍රිතව කුඩා දූපත් 36ක් පමණ තිබෙන බව ඔහු පැවසීය. දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් අතර කඳවුරු බැඳීම සඳහා ජනප්‍රිය බත්තලංගුණ්ඩුව දූපත ඉන් එක් දූපතකි.
ප්‍රධාන ගොඩබිමේම කොටසක් වන අප ඒ වන විට රැඳී සිටි වෙරළ ආසන්නයේ සිට කළපුව අතර සැලකිය යුතු යම් දුරක් තිබූ නමුත් එය ඉදිරියට යත්ම කෙමෙන් කෙමෙන් පටු වෙයි. එදින බීබීසී සිංහල අපගේ ප්‍රයත්නය වූයේ එම සුන්දර වෙරළ වෙත ගමන් කිරීමයි.

වාරකන් හමුවේ කළපුව හරහා ගමන
නිරිතදිග මෝසමත් සමඟ වාරකන් කාලය එළැඹී තිබුණෙන් අප ගමන් කිරීමට බලාපොරොත්තු වූ සුන්දර වෙරළ තීරයට යාමට අප තෝරාගත්තේ මුහුද හරහා යාම නොව කළපුව හරහා බෝට්ටුවෙන් යාමටයි.
අප බෝට්ටුවකින් යාමට අදහස් කරගෙන සිටි ගමන යාමට තිබෙන තවත් ක්‍රමයක් වන්නේ වැලි සහිත දුෂ්කර මාර්ගවල ගමන් කිරීමට සුදුසු වාහනයකින් බිම් තීරුව දිගේ ඉදිරියට ගමන් කිරීමයි. මෙම ප්‍රවාහන ක්‍රම දෙක ම එකකට එකක් වෙනස් වූ සුන්දර අත්දැකීම් ලබා දෙයි.
බිම් තීරුව හරහා වාහනයකින් ගමන් කරන සංචාරකයෙකුට වම් පසින් නිල්පැහැ අහසත් නිල්පැහැ සාගරයත් යාවෙන ක්ෂිතිජය දිස්වන අතර, දකුණු පසින් කළපුව හා ඈතිස් දිස්වන කොළපැහැති කඩොලාන පරිසරයේ සුන්දරත්වය එකවර විඳිය හැකියි. කළපුව හරහා ගමන් කරන්නේ නම් බිම් තීරුව පටු ස්ථානවල දී එක් පසෙකින් සුන්දරවෙරල තීරය සහිත බිම් තීරුවත් අනෙක් පසින් කඩොලාන පරිසරයත් නරඹමින් යා හැකිය.

ලංකාවටම එකයි - මුහුදේ පැරිෂුට්
අප බෝට්ටුවට ගොඩවන ස්ථානය අවට තිබූ සර්ෆින් ආම්පන්න සහ පොල් අතුවලින් වටකෙරුණු කුඩා මඩුවල ස්වරූපයක් ගත් ස්ථාන සම්බන්ධයෙන් අප සිතේ ඇති වූ කුහුලත් සමඟ බෝට්ටුවට ගොඩ වූ අප සමඟ අපගේ මඟ පෙන්වන්නා වූ සුගත් දොඩමළු වූවේ ය.
"මේ දැකපු සර්ෆින් ආම්පන්නවලින් කරන්නේ කයිට් සර්ෆින් කියන ක්‍රිඩාවේ නිරත වෙන එක. කයිට් සර්ෆින් කියන්නේ පැරිෂූටයක ආධාරයෙන් සර්ෆින් ක්‍රීඩාවේ නියැළීම. මුහුදේ කයිට් සර්ෆින් කරන්න කලින් බහුතරයක් අය ඒකට පුහුණුවීම් කරන්නේ කළපුවේ," ඔහු විස්තර කළේ ය.

මේ සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ විදේශිකයන් බව පෙනෙන්නට තිබුණි. ඒ වන විටත් අප ගමන් කළ බෝට්ටුවට සමාන්තරව තවත් බෝට්ටුවක් යාත්‍රා කරමින් සිටියේ විදේශිකයන් පිරිසක් සමඟයි. එහි සිටි විදේශිකයෝ සතුටින් සිනාසෙමින් කෑගසමින් අප පසු කර ගියහ. ඔවුන් ගමන් කරමින් සිටියේ මුහුදේ ඇති දූපත් ආසන්නයේ මෙම පැරිෂූට් යොදාගෙන කරන රළ මත ලෙස්සා යාමේ ක්‍රිඩාව සිදු කිරීමට බව අපගේ මඟපෙන්වන්නා විස්තර කළේ ය.
"ශ්‍රී ලංකාවේ කයිට් සර්ෆින් කරන එකම පැත්ත තමයි මෙහෙ. මුලින් ම විදේශිකයන් ඇවිල්ලා තමයි පුහුණු කළේ. පුහුණු කරන්න නම් ඒකට අදාල පාඨමාලාවක් සම්පූර්ණ කරලා බලපත්‍රයක් ගන්න අවශ්‍යයි. ඒකට ලක්ෂ කීයපයක් වියදම් වෙනවා. දැන් මේ පැත්තේ ලංකාවේ අය මේ විදිහට කයිට් සර්ෆින් පාසල් පටන් අරන් තියෙනවා. අපි දැකපු පොල් අතු මඩු විදිහට තිබුණේ ඒ ස්ථාන," සුදත් පවසයි. සුදත්ගේ පුත්‍රයාත් එලෙස කයිට් සර්ෆින් ක්‍රීඩාව විදේශීය සහ දේශීය සංචාකයන්ට පුහුණු කරන අයෙකි.

ජෛව විවිධත්වයෙන් ඔප වැටුණු සුන්දරත්වය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අප මහත් කුහුලෙන් බලා සිටි අවසන් ගමනාන්තයට යාමට අප බෝට්ටුවට ගොඩ වූ ස්ථානයේ සිට කිලෝමීටර් 20කට ආසන්න දුරක් පැවතියෙන්, අප ගමන් ගත් බෝට්ටුව හී සැරයක් මෙන් කළපුව දිගේ වේගවත් ගමනක සිටියේ ය. වාරකන් හේතුවෙන් හා නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගිය කළපුවේ නැගි රැළි ප්‍රභල ලෙස බෝට්ටුව සමඟ භයංකාර ලෙස ගැටෙමින් තිබුණි. අප ආරක්ෂිත කබා පැළඳ සිටි නමුත් ඇතැම් අවස්ථාවල ඉහළට නැගි රැල්ලේ වතුර බිඳුවලින් ගැලවීමට අපට ඉඩක් නොවී ය.
අප උදෑසන මෙම ප්‍රදේශයට ළඟාවන අතරතුර දී බොහෝ ස්ථානවල ඩොල්ෆින් මසුන් නැරඹීමේ පහසුකම් පිළිබඳ දැන්වීම් පුවරු දැකගැනීමට හැකි විය. අපගේ මගපෙන්වන්නා පැවසුවේ මෙම දීර්ඝ වෙරළ තීරය ආසන්න මුහුදේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඩොල්ෆින් මසුන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි.
"මේ මුහුද ලස්සනටම තියෙන කාලය තමයි දෙසැම්බර් ඉඳන් මැයි මාසෙ වෙනකන්. ඒ කාලයට මුහුද ලස්සන නිල් පාටට තියෙනවා. ඒ වගේ ම ඒ කාලයට වෙරළ තව ටිකක් පළල් වෙලා ඉඩ හැදෙනවා. මේ කාලයට අපට පුළුවන් ඩොල්ෆින් මාළු රංචු නිරීක්ෂණය කරන්න යන්න. බෝට්ටුවලින් මුහුදේ ගිහින් මේ ඩොල්ෆින් මාළු රංචු බලන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
එමෙන් ම මෙම වෙරළ තීරය තුළ කැස්බෑවුන් බිත්තර දැමීම ද සිදු කරන ප්‍රදේශයකි. කලින් කලට විවිධ පක්ෂීන් ද නිරීක්ෂණය කිරීමට හැකි බව සුදත් පැවසුවේ ය.
සුදත් පවසන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන මුහුදුබත් වූ කාලයේ විශාල ජලජ ජීවීන් ප්‍රමාණයක් මෙම කල්පිටිය ආශ්‍රිත වෙරළ තීරයට ගොඩ ගැසූ බවයි.
"නැව ගිළුණ කාලේ සෑහෙන්න සත්ත්වයන් වෙරළට ගොඩ ගැහුවා. කැස්බෑවෝ, මාළු සෑහෙන්න ප්‍රමාණයක් මේ විදිහට ගොඩ ගැහුවා."
මෑතක දී තල්මසුන් 14දෙනෙකුද ඔහුගේ හෝටලය ඉදිරිපස පිහිටා ඇති වෙරළට ගොඩගසා තිබේ. ගම්වාසීන් සහ නිලධාරීන් එක්ව තල්මසුන් දසදෙනෙකු ඉතා දුෂ්කරව මුහුදට යවා ඇති නමුත් තල්මසුන් හතරදෙනෙකු මියගොස් තිබේ.

නිල්වන් මුදුතෙර අසල ධවල සුරුවම
අපගේ වේගවත් බෝට්ටු ගමන අතරතුර ධීවර ගම්මාන කිහිපයක් ද පසුකරමින් ගිය අතර, ධීවරයෝ දැල් එලා, එම දැල් තිබෙන ස්ථානවල සිට දැල් මගහැර යන ලෙස අනෙක් බෝට්ටුවලට සංඥා කරති.
ගමන් ආරම්භ කළ ස්ථානයේ සිට පෑයකට ආසන්න ගමනකින් පසු අපට නිල්පැහැ පසුබිමේ සුදු පැහැති යමක් දර්ශනය වීම ආරම්භ විය. ආසන්නවත්ම කුරුස තුනක දර්ශනය පැහැදිලිව පෙනීම ආරම්භ වූ අතර අප සිටියේ අපගේ ගමනාන්තය වූ උච්චමුනේ වෙරළ තීරය ආරම්භ වන ප්‍රදේශයේ මෑතක ඉදිකිරීම් අවසන් කර ඇති සුන්දර කතෝලික දේවස්ථානයක් අභියසයි.
මෙම දේවස්ථානය ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙරළ ආසන්නයේ ඉදිකර ඇති වේලන්කන්නි දේවස්ථානයට සමාන ගෘහ නිර්මාණ ශිල්පයකින් යුතුව සාදා නිම කර ඇති බව අපගේ මගපෙන්වන්නා විස්තර කළේ ය. සති අන්ත දිනවල සහ නිවාඩු දින වල දී මෙම වෙරළ තීරයට කතෝලික බැතිමතුන් විශාල සංඛ්‍යාවක් දේවස්ථානය වැඳපුදාගැනීමට පැමිණෙන බව දේවස්ථානයේ ස්ථානභාර නිලධාරියෙකු ලෙස කටයුතු කරන හැත්තෑ හැවිරිදි රොබට් ඩයස් පැවසුවේ ය.
"අපේ අය ඉස්සර ඉඳන් වේලන්කන්නි පල්ලිය වඳින්න යනවා ඉන්දියාවට. මේ පල්ලිය හදලා තියෙන්නේ ඒ පල්ලියට විදිහට. ඉන්දියාවේ ගිහින් තියෙන අය කියනවා මේ පල්ලිය ඒ වගේ කියලා. වෙලන්කන්නි මාතාවගේ සුරුවම ගෙනාවෙත් ඉන්දියාවෙන්. ඉන්දියාවේ පියතුමන්ලත් ආවා පල්ලිය විවෘත කරන්න," ඔහු විස්තර කළේ ය.
දේවස්ථානයට යම් සැලකිය යුතු සංචාරකයන් පිරිසක් පැමිණිය ද උච්චමුනේ වෙරළ තවමත් වැඩි පිරිසකගේ අවධානයට ලක් නොවූ වෙරළක් බව දේවස්ථානය ආශ්‍රිතව සිටි ජනතාව සමඟ සාකච්ඡා කිරීමේ දී පැහැදිලි විය.

බිම් තීරුවේ අවසානය - උච්චමුනේ වෙරළ
දේවස්ථානයෙන් පිටත් වී නැවත බෝට්ටුවට නැග අපගේ ගමන ආරම්භ කළේ උච්චමුනේ වෙරළ තීරය අවසන් වන ස්ථානයට ගමන් කිරීමටයි. ප්‍රධාන ගොඩබිම අවසානය සනිටුහන් වන්නේ එම ස්ථානයෙන් ය. දූපත් රාශියක් ද අප පසුකර ගිය අතර අවසානයේ දී අප ළඟා වූයේ උච්චමුනේ වෙරළ තීරයටයි.
වෙරළ තීරයට ළඟා වූ වහාම අපට දිස් වූ එක් දසුනක් වූයේ විවිධ මුහුදු ජීවීන්ගේ කොටස් වෙරළට ගසාගෙන පැමිණ ඇති අන්දමයි. කලාතුරකින් වෙරළ තීරයන්හි හමුවන කිරිගරුඬ පැහැයෙන් දිලෙන විවිධ හැඩයන්ගෙන් යුතු බෙලිකටු රාශියක් වෙරළ පුරා දැකගත හැකි විය.
අප සිටියේ මීටර් කිහිපයක් පළල වැලි තීරුවකය. අපගේ එක් පසෙකින් අනන්තය නොපෙනෙණ මහ මුහුදයි. අනෙක් පසින් කොළපැහැ කඩොලාන පසුබිමින් යුතු කළපුවයි. වාරකන් සමය වුවත් වෙරළ තීරය ආසන්නට පැමිණි රළ පහරවල් අපගේ දෙපා සුමුදු ලෙස සිපගත්තේ අප එම වෙරළ තීරයට පිළිගන්නාක් මෙන් ය. ඇතැම් සංචාරකයන් මෙම ස්ථානයේ සිට වෙරළ දිගේ ආපසු ප්‍රධාන ගොඩබිම දක්වා පයින් යෑම මෙන් ම, වැලි සහිත බිම් වල ගමන් කළ හැකි වාහනවලින් සංචාරය කරන බව අපගේ මග පෙන්වන්නා විස්තර කළේ ය. මෙම වෙරළ තීරය නොගැඹුරු වෙරළ තීරයක් වන අතර ඈතින් කයිට් සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි පිරිසකගේ පැරිෂුට් අහසේ සරුංගල් දිස්වන්නක් මෙන් දැකගත හැකි විය. වර්ණවත් පැරිෂුට් ඒ මේ අතට සුළං දිශාවට ගමන් කරන ආකාරය වෙරළේ සිටි අපට දැකගත හැකි විය.

වෙරළේ සිට බලනවිට එක් එක් පසින් විශේෂ භූමි සලකුණු දැකගත හැකි විය. කළපුවත්, මුහුදත් හමුවන බිම් තීරුවේ අවසන් ස්ථානයට ගොස් ඉදිරිය බැලූ විට ඈතින් කැළෑවක දර්ශනක් දැකගැනීමට හැකි වූ අතර, ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කොටස් බව අපගේ මගපෙන්වන්නා වූ සුගත් විස්තර කළේ ය.
"අපි මේ ඉන්න තැන ඉඳලා කෙලින් ම බැලුවම ඈතින් පේන්නේ විල්පත්තුවට අයිති කැළෑව. එතනින් ටිකක් දකුණු අත පැත්තට වෙන්න කන්දක් වගේ උස කොටසක් ඈතින් පේනවා. ඒ තමයි විජය කුමාරයා ඉන්දියාවේ ඉඳන් ඇවිත් ලංකාවට ගොඩ බැස්ස තම්බපණ්ණි අඩවිය. වම් පැත්තේ මුහුදෙ ටිකක් ඈතින් පේන්න තියෙන්නේ බත්තලංගුණ්ඩුව දූපත. ඒ ආසන්නයේ තියෙන තව දූපත් කීපයක් තියෙනවා. පුහුණු වෙලා ඉන්න කයිට් සර්ෆින් පදින සංචාරකයන් ඒ හරියේ තමයි කයිට් සර්ෆින් පදින්නේ," සුගත් පවසයි.
මෙම වෙරළ තීරයේ ඇතැම් සංචාරකයන් කඳවුරු බඳින බව සුගත් පැවසුවේ ය.
"වාරකන් කාලය ඉවර වුනාම මේ වෙරළ තව ලොකු වෙනවා. ඒ වගේ ම මුහුදු රැල්ල හරි පැහැදිලියි. මේ වෙරළ තව ටිකක් පාත් වෙනවා. ඒ කාලයට සමහර අය ඇවිල්ලා කඳවුරු බඳිනවා. ඒ කාලයටම තමයි ඩොල්ෆින්ලා, කැස්බෑවො එහෙමත් බලන්න පුළුවන්."
"තවම මේ පැත්තේ වෙරළ බලන්න එන ප්‍රමාණය අඩුයි. පල්ලිය වඳින්න එන අය එතැනින් හැරිලා යනවා. නමුත් ලංකාවේ කයිට් සර්ෆින් තියෙන එකම පැත්ත මෙහෙ නිසා විදේශීය සංචාරකයන් යම් ප්‍රමාණයක් මේ පැත්තට එනවා" සුගත් විස්තර කළේ ය.
අප වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් සිටින අතරතුර ධීවර රැකියාවට ගොස් මාළු රැගෙන එන බෝට්ටුවක් වෙරළට සේන්දු විය.
උච්චමුනේ වෙරළේ ධීවරයෝ

බෝට්ටුව වෙරළට සේන්දු වූ පසු එහි සිටි ධීවරයන් දෙදෙනා ඔවුන් දැල් දමා අල්ලාගත් මාළු වෙරළෙන් තබන ආකාරය දුටු අපි ලහි ලහියේ ඒ දෙසට ඇවිද ගියෙමු. උච්චමුනේ ප්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ධීවරයෙකු වන හතලිස් හත් හැවිරිදි අන්තෝනි ලැජ්ජාශීලී නමුත් මිතුරු සිනහවකින් යුක්තව අප සමඟ දොඩමළු විය.
"මගේ තාත්තත් මුහුදු රස්සාව කළේ ඊට පස්සෙ මමත් මුහුදු රස්සාවට ගියා. දැන් මගේ පුතාත් කරන්නේ මුහුදු රස්සාව,"අන්තෝනි පැවසුවේ ය.
"ඉස්සර නම් මේ පැත්තට කවුරුත් ආවේ නෑ. කැළේ පැත්ත එල්ටීටීඊ එකේ අය අල්ලගෙන හිටියනේ. ඒ කාලෙ අපි මේ පැත්තේ හවස හයෙන් පස්සේ බෝට්ටුවල යන්නේ නෑ. ඒ පැත්තෙන් එල්ටීටීඊ එක. මේ පැත්තෙන් නේවි එක. දෙපැත්තෙන් ම කරදරයක් වෙන්න පුළුවන්. ඒත් යුද්ධෙ ඉවර වුණාට පස්සෙ එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ," අන්තෝනි සිහි කරයි.
"ඊට පස්සෙ ඉතින් පල්ලිය හැදුණම මිනිස්සු එන්න ගත්තා පල්ලිය බලන්න. තව පිටරට අයත් එනවා කයිට් සර්ෆින් පදින්න. තවම වැඩිය කට්ටිය මේ හරියටම එන්නේ නෑ,"ඔහු මිත්‍රශීලීව සිනාසෙමින් පැවසුවේ ය.

ඒ අතරතුර මසුන් මිලට ගැනීමට කල්පිටියේ සිට පැමිණි අතරමැදියෙකු ධීවරයන්ගේ මසුන් අස්වැන්න මිලට ගෙන පිටත්ව ගියේ ය.
"අපි ඉපදුන දවසේ ඉඳන් මේ වෙරළේ තමයි ජීවත් වෙන්නේ. ඒත් මේ පැත්තේ කිසිම කෙනෙක්ට ඔප්පු නෑ. ඒ වගේ ම මේ හරියේ ඉස්පිරිතාලයක් නැති නිසා බෝට්ටුවේ ගැස්සි ගැස්සි කල්පිටි ගෙනියන්න වෙනවා. ඉතින් හරි අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ,"අන්තෝනි නැවතත් පැවසුවේය.
මෙම වෙරළ තීරය ආශ්‍රිත ධීවර ජනාවසවල ජීවත් ජනයා විදුලිය ලබා ගන්නේ සූර්යය බලයෙන් බව අප සමග අදහස් දැක්වූවෝ කියා සිටියහ.
උච්චමුනේ හුදෙකලා වෙරළ තීරයේ සුන්දරත්වය විඳගත් අප නැවත ඒමට පිටත් වූයේ කයිට් සර්ෆින් ක්‍රීඩාව පුහුණුවෙන විදේශීය සංචාකයන් සොයා යෑමේ අරමුණින් ය.
මහවැසි මැද සරුංගල් පදින්නන් සොයා
අප නැවත ඒමට පිටත් වී මද දුරක් යත් ම වර්ෂාවක් ඇද වැටීමට පටන් ගත් අතර අප ගමන් කරමින් සිටියේ වර්ෂාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. වැසි බිඳු වේගයෙන් අපවෙත පැමිණියේ ඊතල වර්ෂාවක් මෙන් ය. වර්ෂාවත් සමඟ ඈතින් දිස් වූ සර්ෆින් සරුංගල් පහළට එන බවක් දැකගැනීමට හැකි වූ අතර අප ගමන ආරම්භ කළ ස්ථානය පැමිනෙණ විට විදේශිකයන් පිරිසක් වර්ෂාව පහව යනතෙක් වෙරළේ රැඳී සිටින ආකරය දැකගැනීමට හැකි විය.
සුගත්ගේ පුත්‍රයාවන බලපත්‍රලාභී කයිට් සර්ෆින් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සචින් දේවින්ද විදේශීය සංචාරකයෙකුට කයිට් සර්ෆින් මූලික දැනුම ලබා දෙමින් සිටියේ ය. ඒ වෙත ගිය අපට එම විදේශීය කාන්තාව සමග කතා කිරීමේ අවස්ථාව ද හිමිවිය. ස්ටෙෆනි ජර්මනියේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ පළමු වතාවටය.

ඇය ශ්‍රී ලංකාවේ සති හතරක් රැඳී සිටීමට අපේක්ෂා කරන අතර ඇගේ පළමු සතිය ඇය කයිට් සර්ෆින් අත්දැකීම ලබා ගැනීමට වෙන් කළ බව ඇය පැවසුවා ය.
"මම ඇවිත් තවම දින කිහිපයයි. නමුත් හැමදෙයක් ම හොඳයි. මට ටිකක් නිදහසේ මගේ නිවාඩුව ගත කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා තමයි මම කයිට් සර්ෆින් ඉගෙන ගන්න මෙහෙට එනවා කියන සැලසුමෙන් ආවේ. ඇත්තටම මට ශ්‍රී ලංකාව ගැන තියෙන්නේ හරිම සතුටුදායක හැඟීමක්," ස්ටෙෆනි පැවසුවා ය.
ඇය සිය කයිට් සර්ෆින් ගුරුවරයා සමග පුහුණු කටයුතු නැවත අරඹා, නැවත අප වෙත පැමිණියා ය.
"ඔයාලා දන්නවද මම ශ්‍රී ලංකාවට එන්න වැඩියෙන් ම හේතුවුණේ මොකක්ද කියලා? ශ්‍රී ලංකාව තමයි කාන්තාවන්ට තනිව සංචාරය කරන්න හොඳම රට," යැයි ඇය ඉතාම ප්‍රීතිමත් සිනාවකින් යුක්තව පැවසුවා ය.
එතැනින් තරමක් ඔබ්බට ඇවිද ගිය අපට තවත් විදේශිකයන් තිදෙනෙක් හමු වූ අතර එක් අයෙක් මොරොක්කෝ ජාතික කයිට් සර්ෆින් පුහුණුකරුවෙකි. අපගේ මගපෙන්වන්නා පැවසුවේ විදේශීය පුහුණුකරුවන් පවා මෙම ප්‍රදේශයේ කයිට් සර්ෆින් පුහුණු කිරීම් කරන බවයි. ඔහු සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකට පළමුවරට පැමිණි ස්විට්සර්ලන්ත ජාතිකයෙකු සහ ලිතුවේනියානු ජාතික කාන්තාවක් සිටිය හ. ඔවුන් ද ඉතා සතුටින් බීබීසී සිංහල සමඟ සිය අත්දැකීම් බෙදාගැනීමට එක් වූහ.
"ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළවල් හරිම ලස්සනයි. මේ පැත්ත මම හරිම ආස ප්‍රදේශයක්. මම ආයෙත් අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සුන්දර මුහුදු වෙරළ, ආරුගම්බේ වගේ ගොඩක් තැන්වල සංචාරය කරන්නත් බලාපොරොත්තුවෙනවා," මොරොක්කෝ ජාතික යසීන් බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

"ඔයා දන්නවද මම ලංකාවට ආව වෙලාවේ ඉඳන් දැක්කේ හරිම මිත්‍රශීලීව හිනාවෙලා ඉන්න මිනිස්සු. අපේ රටවල්වල දකින්න අමාරුත් ඒ හිනාව තමයි," ඔහු පැවසුවේ ය.
ඇග්නි ද ශ්‍රී ලංකාව තුළ තමාට මෙතෙක් සුරක්ෂිතභවයක් දැනී ඇති බවත් ඇය ද මෙම වෙරළ තීරයේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වීමට බලාපොරොත්තුවෙන් පැමිණි බවත් පැවසුවා ය.
"මම සහ යානික් ශ්‍රී ලංකාවට ආවේ නේපාලයේ සංචාරයක් අවසන් කරලා. දැන් අපි කයිට් සර්ෆින් ඉගෙන ගනිමින් ඉන්නවා. අපි සතියක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අපි නැවත ශ්‍රී ලංකාවට එන්නත් බලාපොරොත්තු වෙනවා," ඇග්නි සිය අත්දැකීම විස්තර කළේ එලෙසින් ය.
එම සංචාරකයන් ශ්‍රී ලංකාව පිළිබඳ සහ සුන්දර වෙරළ තීරයන් සම්බන්ධයෙන් බොහෝ දෑ කතා කළ හ.
'සුන්දර වෙරළ අපිරිසිදු කරන්න එපා'
ඔවුන් සමඟ සාකච්ඡා කිරීමේ දී ස්විට්සර්ලන්ත ජාතික සංචාරකයෙකු වූ යානික් පැවසුවේ ශ්‍රී ලාංකිකයන් සිය රට සතු වටිනා වෙරළ තීරයන් රැක ගැනීමට මීට වඩා උනන්දු විය යුතු බවයි.
"මම ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළෙන් එළියට ඇවිත් මෙහෙට එන අතර මග දැක්කේ සම්පූර්ණයෙන් ම කොළ පාට විතරයි. සෑහෙන්න ගස් වවලා තිබුණා. මට ඒ කොළ පාට දැක්කම ගොඩක් සතුටු හිතුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. නමුත් වෙරළ තීරයට ආවට පසුව මම දැකපු කණගාටුදායක දෙයක් තමයි වෙරළේ සමහර තැන් වල කුණු එකතුවෙලා තියෙන එක. ඔබේ රටට හරිම සුන්දර පරිසරයක් හිමිවෙලා තියෙනවා. මම දන්නේ නෑ ඇයි ඔබ ඒවා රැකගන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැත්තේ කියලා," යානික් පැවසුවේ ය.

සුන්දර වෙරළ අසුන්දර කරන කසළ ගැටලුව
වෙරළ තීරයේ ඇතැම් තැන් පොලිතින්, ප්ලාස්ටික් වැනි කසළ සහ ධීවරයන්ගේ දැල්වලට හසුවන නමුත් ආහාරය ගැනීමට නුසුදුසු නිසා ඉවත දැමූ මසුන් නිසා තරමක් අපවිත්‍ර වී තිබුණි.
"මෙතැනට එක එක පැතිවලින් කුණු ගොඩගහනවා. සමහර කාලවලට ඉන්දියාවේ කුණුත් එනවා. ඒවා වල තියෙන ලේබල්වලින් හඳුගන්න පුළුවන් ඉන්දියාවේ කියලා. එතකොට අපි ඒවා දන්වන්න ඕන ආයතනවලට කතා කරලා කියනවා," සුගත් පැවසුවේ ය.
මෙම වෙරළ ආසන්න මුහුදේ ඇති කොරල්පර පිරිසිදු කිරීමට ද වරින් වර කටයුතු කරන බව ඔහු පැවසුවේ ය.
ඔහු කිමිදුම්කරුවෙකු ලෙස කටයුතු කළ කාලයේ දී එම කොරල්පර ආශ්‍රිතව එකතු වී තිබූ ධීවරයන් විසින් ඉවත දැමූ දැල්වල කොටස් වල ඡායාරූප කිහිපයක් ඔහු අපට පෙන්වීය.
"අපි අපට පුළුවන් විදිහට මේ පැත්ත සුද්ද කරනවා. කුණු දාන අයත් නොදා ඉන්න සැලකිලිමත් වෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් මේකට හරි වැඩපිළිවෙළක් යෙදුවොත් වෙරළේ ස්වභාවික සුන්දරත්වය සහ ජෛව විවිධත්වය රැකගෙන මේ පැත්තේ සංචාරක කර්මාන්තය තවත් ඉහළට ගෙන යන්න පුළුවන්," සුගත් කියා සිටියේ අපට සුන්දර ගමනාතයක මතක සටහන් ඉතිරි කරමිනි.
සංචාරක සටහන : අමන්දිකා කුරේ
ඡායාරූප : තාරක සම්මාන්














