ගෝඨාභය රාජපක්ෂ:යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සත්‍ය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (International Truth and Justice Project -ITJP) නීතිඥවරුන් සිංගප්පූරු නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් භාර දී තිබේ.
2009 දී ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයේ අවසන් කාලසීමාව තුළ ගෝඨාභය රාජපක්ෂ විසින් ජිනීවා ප්‍රඥප්තීන් බරපතළ ලෙස උල්ලංඝණය කළ බවට පැමිණිල්ල විසින් චෝදනා කර සිටියි.
මෙය සර්වභෞමික අධිකරණ බලය යටතේ සිංගප්පූරුවේ ජාතික මට්ටමින් අධිචෝදනා ගොනු කළ හැකි අපරාධ බවට පිටු 63ක පැමිණිලි ලියවිල්ලෙන් තර්ක කර සිටියි.
ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් මාස ගණනාවක් තිස්සේ පැවැති මහජන විරෝධතා හමුවේ ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූලි 14වැනිදා සිංගප්පූරුවට පලා ගියේය.
ඒ, ජූලි 13 වැනිදා වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත්ව යාමෙන් අනතුරුවයි.
"ආණ්ඩුවේ ඇඳවැටීමට ආර්ථික බිඳවැටීම බලපෑ නමුත් ශ්‍රී ලංකාවේ අර්බුදය ඇත්ත වශයෙන්ම සම්බන්ධ වන්නේ දශක තුනක් හෝ ඊටත් වැඩි කාලයක් කරා දිව යන බරපතළ ජාත්‍යන්තර අපරාධ ගණයේ ලා සැලකෙන සාපරාධී ක්‍රියා පිළිබඳ ව්‍යූහාත්මක දණ්ඩ මුක්තියට" යැයි සත්‍ය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා ප්‍රකාශ කළාය.
"මෙය හුදෙක් දූෂණය සහ ආර්ථික අවකළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. සමූහ කෲරකම් හා සම්බන්ධ සාපරාධී ක්‍රියාවන් ට අදාළ වගඋත්තර දායකත්වය පිළිබඳ ප්‍රශ්නයකි." ඇය පෙන්වා දුන්නාය.
පැමිණිල්ල මඟින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන විමර්ශනය කොට අධි චෝදනා ගොනු කරන ලෙස සිංගප්පුරු නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
පැමිණිලි ලියැවිල්ල ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර වන්නේ 2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන කාලයේ දී ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ඔහු කළ භූමිකාවට අදාළවයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ජිනීවා ප්‍රඥප්තීන් ද, ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කළ බව පැමිණිලි ලියවිල්ල තර්ක කරයි.
වෙනත් සාහසික අපරාධවලට ගෝඨාභය රාජපක්ෂගේ හවුල්කාරිත්වය පෙනී යන්නේ යැයි සිංගප්පූරු බලධාරීන් වෙත පැමිණිල්ල ගොනු කරන ලද ජාත්‍යන්තර නීතිඥ මඩුල්ලේ අයෙකු වන ඇලෙක්සැන්ඩ්‍රා ලිලී කැතර් කියා සිටියාය.
"සර්වභෞමික අධිකරණ බලය පිළිබඳව සංකල්පයන් අදහස් කෙරෙන්නේ සමස්තයක් වශයෙන් මානව වර්ගයාට අදාළ වන නිශ්චිත අපරාධයක් ඇති බවත්, එම අපරාධ සිදු කරන ලද්දේ කොහෙදිද, කවුරුන් ට එරෙහි කා විසින්ද යන කරුණු නොතකා ඔවුන්ට එරෙහිව දේශීයව අධි චෝදනා ගොනු කිරීමට රාජ්‍යයන් බැඳී සිටින බව" ද ඇය අවධාරණය කළාය.
එබැවින් තමන්ගේ නීති භාවිත කොට යුක්තිය ලබා දීම මඟින් ශ්‍රී ලංකාවේ විවිධ ජන ප්‍රජාවන් ට එරෙහිව සිදුකළ බරපතළ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ බිහිසුණු ඉතිහාසයක් හිමි පුද්ගලයකුගෙන් ලෝකය ආරක්ෂා කිරීමට සිංගප්පූරුව ලැබුණු අවස්ථාවක් බවත් ඇය පෙන්වා දුන්නාය.
සමූහ අපරාධකරුවන් සම්බන්ධයෙන් කළ යුතුව ඇත්තේ ඔවුන් නඩු විභාගයට මුහුණ දීමට සැලැස්වීම මිස ඔවුන්ට වීසා නිකුත් කරනු ලැබීම නොවන බව ද පැමිණිලි පාර්ශවය අවධාරණය කර සිටියි.
සිංගප්පූරුවේ විපක්ෂ දේශපාලකයෙකු වන කෙනත් ජෙයරත්නම් සිංගප්පුරුවේ දී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන විමර්ශනයක් කර ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා වන ඉල්ලීම පිළිගෙන ඇත.
සිය ආකල්පය වන්නේ ගෝඨාභය රාජපක්ෂ පැය විසි හතරක් ඇතුළත රටින් පිටමං කර දැමිය යුතු බව යැයිද ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුක්තිය පසිඳලීම සඳහා උපරිම බලපෑම් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ යුතු අතර ස්වකීය ජාත්‍යන්තර බැඳීමෙන් සිංගප්පූරුව පෙරට ආ යුතු බවද ඔහු කියා සිටියේය.
ගෝඨාභය සහ ඔහුගේ සහෝදරයා, සිරියාවේ ජනපති බසාර් අල් අසාද් හා රුසියාවේ ජනපති පුටින් මෙන්ම යුද අපරාධකරුවන් හා සමූහ ඝාතකයින් සේ සලකා අධිකරණය හමුවට පැමිණිය යුතු බවද කෙනත් ජෙයරත්නම් අවධාරණය කළේය.













