ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර IDH රෝහලේ: "ජීවිතාරක්ෂාව තහවුරු කරන්න"

ශානි අබේසේකර

ඡායාරූප මූලාශ්‍රය, Twitter/sunanda deshapriya

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අංගොඩ IDH ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර තිබේ.

හෘදයාබාධ සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන ඔහුගේ ජීවිතාරක්ෂාව පිළිබඳ "බරපතල ප්‍රශ්නයක් තිබෙන" බැවින් ඔහු අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවන මෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිකුරාදා (නොවැ. 27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ, අත්අඩංගුවේ සිටියදී කෝවිඩ්-19 ආසාදනය වී ඇති ශානි අබේසේකර මහර බන්ධනාගාරයේ සිට පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙන ගොස් තිබුණු බවය.

"මම බොහොම මානුෂීය ඉල්ලීමක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමාගේ සෞඛ්‍යමය තත්ත්වයත්, ආරක්ෂාමය තත්ත්වයත් අවබෝධ කරගෙන, එතුමාව ඔය කිලෝමීටර් දෙසීයකට වැඩි ප්‍රමාණයකට දුර ඈත ප්‍රදේශයක නිරෝධායන කඳවුරක නොව, IDH රෝහලට යවන්න කියල," ඔහු පැවසීය.

මේ අතර ගල්ලෑල්ල නිරෝධායන කඳවුරේ දී බ්‍රහස්පතින්දා (නොවැම්බර් 26) හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇතැයි The Leader වෙබ් අඩවිය වාර්තාකර තිබුණි.

කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කෙරෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට සෞඛ්‍ය පහසුකම් සැලසීම සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම බව හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මේ අතර මහර රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගතකර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසමේ රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර තිබුණි.

"මෙය අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරනු ඇති බවට බරපතල අවධානයක් යොමුවී තිබේ. අප මේ ලිපිය ලියන්නේ මේ පැමිණිල්ල කෙරේ ක්ෂණික අවධානය යොමු කොට ඔබේ බාරයේ ඉන්නා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටීමටයි," යනුවෙන් ද ලිපියේ දැක්විණ.

ඉන් අනතුරුව නොවැම්බර් 26 වෙනි දින ද රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය යළිත් වරක් බන්ධනාගාර බලධාරීන්ට ඒ පිළිබඳ සිහි කැඳවීමක් කර තිබිණ.

මානව හිමිකම් කොමිසම යොමු කළ ලිපිය

"ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨතම රහස් පරීක්ෂකයා ලෙස බොහෝ දෙනකුගේ ගෞරවාදරයට පාත්‍රවී සිටි" ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා සිටිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අන්තර්ජාල පෙත්සමක් ද ආරම්භ කරනු ලැබ තිබේ.

ජනපතිගෙන් චෝදනාවක්

විපක්ෂනායකවරයා සහ මානව හිමිකම් කොමිසම ද පෙන්වාදෙන ආකාරයට ඔහුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් සහ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කවරේ දැයි විමසීම පිණිස සම-කැබිනට් ප්‍රකාශකවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බර් 24 වෙනි දින භික්ෂූන් වහන්සේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.

"ශානි අබේස්කර එයාට හිතාගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි, බුද්ධි අංශය හිරේ දාන්නයි. මාව හිරේ දාන්නයි. එච්චර විතරක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ, නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නෙවෙයිනේ," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

දේශපාලන බලපෑම් මත රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට ශානි අබේසේකරට එසේ චෝදනා එල්ල වන නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු අවස්ථා ගණනාවකදීම පැවසුවේ තමන් සිදු කරන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බවය.

ශානි අබේසේකර යනු කවුද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධ විමර්ශන භාරව කටයුතු කළ නිලධාරියෙකි.

  • පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර
  • රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය
  • කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
  • භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය
  • මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
  • රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.

එම සිදුවීම් වලට අමතරව,

  • රෝයල් පාර්ක් ඝාතනය
  • අඟුලාන ද්විත්ව මිනීමැරුම
  • උඩතලවින්න ඝාතනය
  • මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නීතිපතිගේ 'දෙබිඩි ප්‍රතිපත්තිය'

අපරාධ නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා කොට රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම බ්‍රහස්පතින්දා ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනුණු අතර, ඊට අදාළ තීන්දුව දෙසැම්බර් මස 07 දින ප්‍රකාශයට පත්කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දී තිබිණ.

එහිදී ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධය පළ කර තිබිණ.

කෙසේ වුවත්

  • හිටපු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ලබා සිටින පිල්ලෙයාන් මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට විරෝධය පළ නොකළ
  • මූල්‍ය වංචා චෝදනා යටතේ නඩු පවරනු ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශගතවීමට අවසර දීම සඳහා විරෝධයක් නොදැක්වූ
  • මිනීමැරුමට වරදකරු වූවෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අනුමැතිය දුන්
  • ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා ලබා සිටින පුද්ගලයෙකුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි බවට නිගමනය කළ

නීතිපතිවරයා ශානි අබේසේකර සම්බන්ධයෙන් එවැනි දැඩි ස්ථාවරයක් අනුගමනය කිරීම ගැන ඇතැම් මාධ්‍ය වාර්තාවල විශේෂයෙන් සඳහන් කර තිබුණි.

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් සැකකරුවන් පිළිබඳ එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරවාරයේ ශ්‍රී ලංකාවේ බරපතලම අපරාධ ගණනාවක් පිළිබඳ විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් "දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන" බවට එල්ලවන චෝදනා ගැන ප්‍රතිචාරය කවරක් දැයි, බීබීසී සිංහල සේවය නීතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතිවේදිනී නිශාරා ජයරත්නගෙන් ලිඛිතව සහ දුරකථනය ඔස්සේ කළ විමසීම්වලට මෙතෙක් පිළිතුරක් ලැබී නැත.

මේ අතර ශානි අබේසේකරට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් දැරූ ස්ථාවරය ගැන යළි සලකා බලන මෙන්, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අහිම්සා, නීතිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබිණ.

රිමාන්ඩ් භාරයේ දී ඔහුට සලකන ආකාරය පිළිබඳව ද අහිම්සා ඇතුළු පිරිස බරපතල අවධානය පළ කර තිබිණ.

කියවන්න: