යුද සමයේ අතුරුදහන් වූවන් මරණයට පත් වෙලා - ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබේ.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් සමග කොළඹ පැවති සාකච්ඡාවකදීය.
ඒ අනුව අතුරුදහන් වී සිටින පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම සඳහා පියවර ගනු ඇති බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් අවම වශයෙන් පැමිණිලි 65,000 ක් ලැබී තිබුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2016 වසරේදී පිළිගෙන තිබිණ. එම සංඛ්‍යාව 100,000 ඉක්ම විය හැකි බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය 2017 වසරේ නිකුත් කළ වර්තාවක දැක්වේ.
සිය ආදරණීයයන්ට සිදු වූයේ කුමක්දැයි යන්න දැන ගැනීමේ අරමුණින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වසර ගණනාවක් පුරා විරෝධතාවලට සහභාගි වෙමින් සිටිති.
සිය ඥාතීන් තවමත් ජීවතුන් අතර සිටින්නේය යන්න ඉන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වූ නමුත් එවැනි පුද්ගලයන් ආරක්ෂක හමුදා යටතේ රඳවා සිටින බවට වූ අදහස ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. අතුරුදහන් කිරීම්වලට එරෙහිව හඬ නැගීම සඳහා මෙන්ම සිය ඥාතීන්ගේ මතක සටහන් නොනැසී පවත්වා ගැනීමේ අරමුණින් උතුරේ දෙමව්පියෝ දිනපතා නිහඬ උද්ඝෝෂණවල යෙදෙති.
පසුබිම

අවුරුදු 26 ක් පුරා පැවති රුදුරු ගැටුම්වලින් අනතුරුව 2009 මැයි මසදී ශ්‍රී ලංකා හමුදාව විසින් එල්ටීටීඊ කැරලිකරුවන් පරාජයට පත් කරනු ලැබීය. ගැටුම්වලින් ලක්ෂයකට ආසන්න පිරිසක් මියගිය බව තක්සේරු කෙරේ.
සිංහල බෞද්ධ බහුතරයේ ආධිපත්‍යයට යටත් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ වෙනම රාජ්‍යයක් අවශ්‍ය වී සිටි දෙමළ කැරලිකරුවන් අතර හටගත් යුද ගැටුම ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර බෙදීමක් දක්වා වර්ධනය විය.
යුද්ධයේ අවසන් වකවානුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එල්ටීටීඊ සංවිධානයට එරෙහි සටනට නායකත්වය දුන් ප්‍රධානීන් අතරින් එක් අයෙකි. සිංහල ජනයා අතර ඔහු විරුවෙකු ලෙස සැලකෙන නමුත් දෙමළ ප්‍රජාව ඔහු ගැන දක්වන්නේ අවිශ්වාසයකි.
විශේෂයෙන්ම යුද්ධයේ අවසාන අදියරයේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශවයටම චෝදනා කළේය.
යුද්ධයේ අවසාන අදියරයේදී යටත් වීමට උත්සහ කළ හෝ හමුදා භාරයට පත් එල්ටීටීඊ කැරලිකරුවන් මරා දමා ඇති බවට චෝදනා එල්ල වේ. ඒ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන නිකුත් වී ඇතත් ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
යුද්ධයෙන් පසුවත් බලහත්කාර අතුරුදහන් වීම් සිදු වූ අතර එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂගේ විරුද්ධවාදීන් ලෙස සැලකුණු ඇතැම් ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් සහ ක්‍රියාධරයන් යළි දැක ගැනීමට නොලැබිණි.
රාජපක්ෂ පාලනය පවසන්නේ අතුරුදහන් කිරීම්වලට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවය. තමන්ට එරෙහිව පවතින යුද අපරාධ චෝදනා "පදනම් විරහිත" බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර බීබීසී වෙත පැවසීය.
ආණ්ඩුව පවසන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, pmdnews.lk
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හැනා සිගර් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයට අනුව අතුරුදහන් වූවන්ගෙන් බහුතරය එල්ටීටීඊ සංවිධානය විසින් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබූ පුද්ගලයන්ය.
"අතුරුදහන් වූවන්ගේ ගැටලුවට විසදුම් දීම සඳහා වන සිය සැලසුම ජනාධිපති රාජපක්ෂ පෙන්වා දුන්නා. මේ අතුරුදහන් වූ පුද්ගලයන් ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇති බව ඔහු පැහැදිලි කළා," යනුවෙන් නිවේදනයේ දැක්වේ.
"අතුරුදහන් වූවන්ගේ පවුල් පවා ඒ ගැන දන්නවා. නමුත් කුමක් සිදු වීද යන්න ඔවුන් දන්නේ නැති නිසා ඔවුන් අතුරුදහන් වූ බව කියනවා," යනුවෙන් ජනාධිපතිවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව මරණ සහතිකයක් නොමැතිව අදාළ පුද්ගලයන්ගේ ඥාතීන්ට ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් හෝ දේපල සම්බන්ධයෙන් කටයුතු කළ නොහැක.
ශ්‍රී ලංකා හමුදා සහ එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරනු ලැබ ඇතැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යුද අපරාධ අධිකරණයක් ස්ථාපනය කරන ලෙස එක්සත් ජාතීන් සහ මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනා කළහ.
එය අභ්‍යන්තර කටයුත්තක් බවත් අදාළ චෝදනා පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පවසමින් එවක් පටන් බලයට පත් වූ ආණ්ඩු එවැනි සියලු උත්සහයන්ට විරෝධය දැක්වූහ.









