ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මිලිටරිකරණය: "ශ්‍රී ලංකාවේ අලුත් නම පකිස්ලංකාව"

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපස දී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් 18 වෙනිදාය.

එවක් පටන් මේ වනවිට දින 365 ක් ගෙවී ගොසිනි.

එය ඔහුගේ ධුර කාලයෙන් පහෙන් එකකි.

ගතවගිය වසර ඇතුළත ඔහුගේ පාලනය ලැබූ ජයග්‍රහණ ගැන පොදුජන එක්සත් පෙරමුණ සහ වියත්මග ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ප්‍රශස්ති ගායනා කරද්දී, ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් අසාර්ථක පාලකයෙකු බව දැනටමත් සනාථ කොට ඇතැයි සමගි ජන බලවේගය ඇතුළු ප්‍රධාන විරුද්ධ පක්ෂ මෙන්ම බොහෝ මධ්‍යස්ථ මතධාරීහු ද චෝදනා කරති.

කිසියම් අංශයක් ප්‍රගතියක් ලැබූ විට එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙසින් හුවා දක්වන ජනාධිපතිවරයා, කිසියම් ක්ෂේත්‍රයක අසාර්ථකභාවයක් සම්බන්ධයෙන් නිලධාරීන්ට සහ ජනතාවට දොස් නගන බව ඔහුට එල්ලවන බරපතල චෝදනාවකි.

ජනාධිපතිවරයා බලයට පත්කිරීම පිණිස දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළ මහා සංඝරත්නය පවා වසරකට පසු එවැනි විවේචන එල්ල කිරීම විශේෂත්වයකි.

ජනපතිවරයා එවැනි හැසිරීමක් පෙන්නුම් කරන්නේ ඔහු දේශපාලනයට ආගන්තුකයෙක් නිසාද? නො එසේනම් ඔහු හොඳින්ම දන්නා එකම ක්‍රමය මිලිටරි පාලනය පමණක් නිසා ද?

'ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්'

ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි මෙය "එකිනෙකට වෙළුණු ගැටලු රාමුවක ප්‍රතිඵලයක්," වන "ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි."

මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ඡායාරූප මූලාශ්‍රය, Arjuna Parakrama

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි" - මහාචාර්ය අර්ජුන පරාක්‍රම

"මේක මේ රජයේ මූලාරම්භයේ ඉඳලම තිබුණ මතයක්, හමුදාකරණය තමයි අපට එකම ගැලවීම කියන එක," බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු පැවසීය.

"ජාතිවාදය, ආගම්වාදය පැතිරවීම තමා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ පහසුම ක්‍රියාදාමය මේ ආණ්ඩුව කරන අය දැනගෙන හිටියා. ඒ සඳහා ජනතාව ළදරුවෝ කරන්න ඕන. මේ සඳහා ජනතාවගේ තර්කන හැකියාව, විචක්ෂණය බැහැර කරන්න ඕන. ඒත් අවාසනාවකට, සමාජය මේක තේරුම් ගන්නේ නෑ."

කෙසේ වුවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ "බැලූ බැල්මටම මිලිටරි වැඩියි කියල පේන්න තියන" නමුත් අවශ්‍ය අවස්ථාවල ඉක්මණින් හමුදාව යොදා ගැනීම හේතුවෙන් රටේ බොහෝ ප්‍රශ්න ඉක්මණින් විසඳුන බවය.

"මටත් එහෙම අවධානයක් තිබුණ. හැබැයි ඔවුන්ගේ වැඩපිළිවෙල විශ්ලේෂණය කළාම හමුදාව නැත්නම් මොකද වෙන්නේ කියල මට හිතුණා. ගොඩක් ප්‍රශ්න විසඳුනා හමුදාව යෙදීම නිසා. අනික මිනිස්සුන්ගේ ප්‍රතිචාරය," අමාත්‍යවරයා පැවසීය.

2px presentational grey line
2px presentational grey line

ඉහළ තනතුරු 28 ක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව දැනට සේවයේ නිරතව සිටින සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් 24 දෙනෙකුවත් ඔහු විසින් සිවිල් පරිපාලනය ඇතුළු ආණ්ඩුවේ ඉහළ තනතුරු 28 කට පත්කරනු ලැබ තිබේ.

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා, විශ්‍රාමික මේජර් ජනරාල් කේ බී එගොඩවෙල, කෝවිඩ්19 සෞඛ්‍ය සුබසාධන අරමුදලේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පදවිය හොබවන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් පදවිය ද දරයි.

මේ අතර හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට පත්කිරීම ප්‍රබල අවධානයට තුඩු දී ඇති තවත් පත්වීමකි.

ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වමින්, බ්‍රිතාන්‍යයේ කොරෝනාවෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ විෂයානුබද්ධ, තාර්කික දැනුමක් නොමැති පුද්ගලයන් කොරෝනා පාලනයට බාධාවක් බවය.

වෛද්‍ය තුෂ් වික්‍රමනායක ගේ සටහනක්

ඡායාරූප මූලාශ්‍රය, facebook/Tush Wickramanayake

ශ්‍රී ලංකාවේ නිරෝධායන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම හමුදා සෙබළුන් යෙදවීම රෝගය පාලනයට උපකාරයක් නොවන බව ඇය පෙන්වා දී තිබුණි.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම ද ඒ අදහස අනුමත කරයි.

"හමුදා නිලධාරියෙක් කියන්නේ වෛද්‍යවරයෙක් ද? ඔහු නිරෝධායන විශේෂඥයෙක් ද?" මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

"මෙතන වෙලා තියෙන්නේ, අපි දැන් සුජාත කරලා තියෙන්නේ හමුදාව තමා අපේ ගැලවුම්කරුවෝ කියල."

'කෝවිඩ් බලකායේ ඉන්නේ හමුදාපති විතරක් නෙවෙයි'

හමුදාපතිවරයා සම්බන්ධයෙන් මතුවන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, හමුදාපතිවරයා කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවය.

ඔහු එම තනතුරට පත්කරනු ලැබුවේ කොරෝනාවෛරස වසංගතය සම්බන්ධයෙන් රට පුරා බියක් පැතිර යමින්, ජනතාව නිරෝධායනයෙන් පලා යන්නට උත්සහ කළ අවස්ථාවක බව පවසන මොහාන් සමරනායක, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනෙක් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය දරන බවත් සඳහන් කළේය.

"ටාස්ක් ෆෝස් එක හැමදාම ජනාධිපතිතුමා හමුවෙලා සාකච්ඡා කරනවා. එතන හැම දෙනාම ඉන්නවා. GMOA සභාපති පවා ඉන්නවා," ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පැවසීය.

වසංගත පාලනයට හමුදාව යෙදවීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එය අනුමත කරයි.

කෝවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ එවැනි වසංගතයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ පැවතියේ ඉතා අඩු පහසුකම් වුවත් හමුදාව මැදිහත්වීමෙන් ඉතා ඉක්මණින් නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.

"මුලින් බලහත්කාරෙන් මිනිස්සු ගෙනිච්චේ. හැබැයි ඒ මිනිස්සු යනකොට ගියේ අඬලා, හමුදාවට කවි ලියල."

2px presentational grey line
2px presentational grey line

'සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් නෑ'

වරාය අධිකාරියේ සභාපති වශයෙන් හිටපු හමුදාපති, විශ්‍රාමික ජනරාල් දයා රත්නායකත්, විශ්‍රාමික මේජර් ජනරාල් ඩී එම් එස් දිසානායක පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙසිනුත් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර පදවිය හොබවන හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂක ක්‍රම තහවුරු කරන ජනාධිපති කාර්ය සාධක බලකායේ ද ප්‍රධානියාය.

"මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි. මීට පස්සේ හමුදා සුදුසුකම සියලු දේටම අවශ්‍යයි," මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසයි.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක සහ කාටුන් ශිල්පිනියක වන ශානිකා සෝමතිලක ජනපතිවරයාගේ පාලනය පිළිබඳ සිය අදහස මෙසේ කාටුනයකින් දක්වා තිබුණාය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවෙකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වන ඉරාජ් වීරරත්න, සජිත් ප්‍රේමදාස බලයට පත්වූයේ නම් ඉතා අසාර්ථක පාලකයෙකු බවට පත්වනු ඇති බව පැවසෙන ට්විටර් පණිවුඩයක් පළ කොට තිබුණි.

එයට ප්‍රතිචාර වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය පිළිබඳව ශානිකා සෝමතිලක මෙවැනි කවි පෙළක් ද සටහන් කොට තිබිණ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

'ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබිල නෑ'

ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුල් බැසගත් විශ්වාස 4 ක් තිබෙන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ අදහසය.

"රණවිරුවන් වරදක් කරන්නේ නෑ කියන එක, එයින් එක විශ්වාසයක්," යනුවෙන් පවසන ඔහු,"නමුත් මේක සාක්ෂිවලට පටහැනි දෙයක්. උදාහරණයක් විදියට දැන් නාවික හමුදාවේ කොරෝනා පැතිරෙන එක වලක්වගන්න බැරි වුණා."

පැවති යහපාලන ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්ෂාව අවදානමේ හෙලූ බව, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එල්ල වූ බරපතල චෝදනාවකි.

ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමන් ජනපති පදවියට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේ, "ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස" බව පවසමිනි.

The damaged Shangri-La hotel in the Sri Lankan capital, Colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන්නේ, "මේ රටේ ඊයෙත් අදත්, හෙටත් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ," යනුවෙනි.

"අපිට දේශසීමා පිළිබඳ පිටරටින් එන ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ, අපි විසින්ම හදාගත්ත දේවල් ඇරෙන්න. නමුත් පාස්කු ප්‍රහාරය වගේ ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙනව."

"ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙන්නේ චීනයට, ඉන්දියාවට, ඇමෙරිකාවට රට විකුණන එකෙන්."

මේ අතර ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වන සමගි ජන බලවේගයේ මොරටුව නාගරික මන්ත්‍රීනි ලිහිණි ප්‍රනාන්දු පවසන්නේ, බලයට පත්වී වසරකට පසුවත් පාස්කු ප්‍රහාරකයන් සොයා ගැනීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

රියදුරු බලපත්‍ර මුද්‍රණයත් හමුදාවට

විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ නෙලුම් කුළුණේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, බ්‍රිගේඩියර් සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) ප්‍රධානියාය. විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ආයතනයේ ප්‍රධානී තනතුරට සහ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරට පත්කොට තිබේ.

තවත් එවැනි පත්වීම් කිහිපයක් පහත වගුවල දැක්වේ.

පත්වීම්
පත්වීම්

මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ද යුද හමුදාව විසින් සිදු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳුදා නිවේදනය කළේය. ට්විටර් ජාලය ඔස්සේ ඒ ගැන අදහස් දක්වමින් එඩින්බරා විශ්විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය විග්‍රහ කොට තිබුණේ, "ප්‍රජාතන්ත්‍රවාදී වරමක් මතින් මිලිටරි පාලනයකට නතුවීමක්" ලෙසිනි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

ජනපති හිටපු ද්විත්ව පුරවැසියෙක්

"දේශීය සහ විදේශීය සියලු සතුරන්ට එරෙහිව අවි අතට ගෙන" ඇමෙරිකා එක්සත් ජනපදය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී එහි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එය හදිසියේ අත්හල පමණින් ඒ ප්‍රතිඥාව එක්වරම අවලංගු වෙන්නේ දැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රශ්න කරයි.

"මෙතන පැහැදිලිවම ලැදියාවන් අතර ගැටුමක් (conflict of interst) තියෙනවා. ඒත් මම අහන්නේ ඒක නෙවෙයි. මම අහන්නේ අවුරුදු 10 ක් විතර එහෙම ප්‍රතිඥාවක් ගත්ත කෙනෙකුගේ ඒක එකපාරට අයින් කරන්න පුලුවන්ද කියල."

නව පුරවැසියන් පිරිසක් ඇමෙරිකානු ධජය අතැතිව එක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ දිවුරුම් දෙන අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව පුරවැසියන් පිරිසක් ඇමෙරිකානු ධජය අතැතිව එක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ දිවුරුම් දෙන අවස්ථාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පුරවැසියෙකු වීම සම්බන්ධ ප්‍රශ්නයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දුන්නේ ප්‍රතිප්‍රශ්නයක් නගමිනි.

"ඔබතුමා අවංකව හිතනවද ... ශ්‍රී ලාංකිකයෙක් එවැනි ප්‍රතිඥාවක් දෙන්නේ අවංකවමද නැත්නම් ඒ රටේ හොඳ රස්සාවක් කරගෙන හොඳින් ජීවත්වෙන්න ඕන නිසාද? මම නම් හිතන්නේ නෑ කිසිම ශ්‍රී ලාංකිකයෙක් අවංකව එහෙම ප්‍රතිඥාවක් දේවි කියල," ඇමතිවරයා සිනහසෙමින් පැවසීය.

ශ්‍රී ලංකාව මිලිටරීකරණය කරන බවට එල්ලවන චෝදනාව ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "කියමනට ඒක කියනවා. ඒත් උදාහරණයකට බලන්න ජනරාල් මුණසිංහ. ඔහු ලංකාවේ ඉන්න අංක එකේ පැතලොජිස්ට්. හැම දෙනාටම හමුදාවේ ඉහළට යන්න බෑ. අනික හමුදාවෙන් එලියට ආවම ඔහු සිවිල් පුරවැසියෙක් වෙනවා. ඉතින් ඔහු වයස 40-45 දි විශ්‍රාම යනවා නම් ඔහුගෙන් සේවයක් ගැනීමේ වරදක් තියෙනවද?," යනුවෙන් ප්‍රශ්න කළේය.

"යම් විදිහේ සාමාන්‍ය තත්ත්වෙට වැඩිය ඒ අයගේ භාවිතාව අපි දකිනවා. ඒ නිසා මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන් තව අවුරුදු කිහිපයකින්."

Gotabaya Rajapaksa is a controversial figure in Sri Lankan politics

ඡායාරූප මූලාශ්‍රය, Reuters

'ඒකාධිපතියෙක්'

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ලිහිණි ප්‍රනාන්දු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය "තනිකර ඒකාධිපතියෙක් ගේන්න ගෙනාපු ව්‍යවස්ථාවක්," බවය.

"ජනාධිපතිතුමා මිලිටරි පසුබිමකින් එන නායකයෙක්. එතුමා කවදාවත් පළාත් සභාවක තියා ප්‍රාදේශීය සභාවක වත් හිටපු කෙනෙක් නෙමේ. එතුමාට තියෙන්නේ හැමදේටම අණ දෙන මානසිකත්වයක්. ඒ වගේම එතුමා හැම දෙයක්ම බලන්නේ මිලිටරි කෝණයකින්," ඇය කියා සිටියාය.

වසංගත රෝග පිළිබඳ විශේෂඥ කමිටුවක් පත්නොකොට "හැමදේම හමුදාවට භාර දී ඇති," බව පවසන නීතිවේදිනී ලිහිණි ප්‍රනාන්දු, "දැන් රට පුරාම බියක් ඇතිකරලා," යනුවෙන් ද ආණ්ඩුවට චෝදනා කරන්නීය.

ලිහිණි ප්‍රනාන්දු

ඡායාරූප මූලාශ්‍රය, facebook/ lihini fernando

තවදුරටත් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂක මහාචාර්ය අර්ජුන පරාක්‍රම, හමුදාව යනු "ජනාධිපතිවරයා ඉතා පහසුවෙන් ගනුදෙනු කරන, ඔහු comfortable, එකම ආයතනය" වන අතර, "එයාව විවේචනය කරන්න බෑ, තරහ යනවා. එතකොට එයාට tantrum එකක් (ක්ෂණික කෝපයක්) එනවා. එයා දන්නේ හමුදා භාෂාව පමණයි," යනුවෙන් ද බීබීසී සිංහල සේවය සමග පැවසීය.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවා "ඉතිහාසයේ පළමු වතාවට මෙතන බයක් තියෙනවා," යනුවෙන් කියා සිටි ඔහු, "කැබිනට් ඇමතිලා පවා බයයි. දැන් කැබිනට් එකේ තීන්දුවක් ගත්ත කියනවා. සමහරු නෑ කියනවා," යැයි ද පෙන්වා දුන්නේය.

"ඉතින් හමුදාකරණයේ ප්‍රතිඵලය තමා, විකල්ප මතවාද, විසම්මුතිය, සාමාන්‍ය සාකච්ඡාව පවා සම්පූර්ණයෙන් බැහැරවීම. උදාහරණයක් විදියට විසිවෙනි සංශෝධනය ගැන මහා ඝෝෂාවක් කළ විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ, වාසුදේව මේ හැමෝම එකපාරටම නිහඬ වුණා."

"ඇත්තටම හමුදාකරණය කියන්නේ සොල්දාදුවන්ට තැන දීම නෙමේ. හමුදාකරණය කියන්නේ හමුදා නායකයන් පාලනයට එකතු වීම. නැතුව ආබාධිත සොල්දාදුවන්ගේ ප්‍රශ්න විසඳෙනව කියන එක නෙමේ. එතෙන්දි සියලු ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප මිරිකෙනවා, අධිකරණය පවා යටපත් වෙනවා."

කෙසේ වුවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, "අපි බයෙන් දේශපාලනය කරන්නේ නෑ. රටේ නායකයා හැටියට ගරුත්වයක් තියෙනව. ඒත් අපි එකඟ නොවෙන දෙයක් තිබුණොත් පැහැදිලිව කතා කරනවා," යනුවෙනි.

ජනපති හමුදා ප්‍රධානීන් සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

'පකිස්ලංකාව'

එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම විග්‍රහ කරන පරිදි, ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ හමුදාව විසින් සමස්ත රාජ්‍ය දේහය සහ පරිපාලනය පාලනය කරනු ලබන පාකිස්තානය පවතින තත්ත්වයටය.

"පකිස්තානය තමා අපේ පරමාදර්ශය වෙලා තියෙන්නේ. රටේ සියලුම දේ පාලනය කරන්නේ හමුදාව. ඒ තත්ත්වෙට තමා මේ එමින් තියෙන්නේ. ජනාධිපතිවරයා පවා තරමක් දුරට ප්‍රශ්න කරන්න පුළුවන්, ඒත් හමුදාව ප්‍රශ්න කරන්න බෑ," ඔහු පවසයි.

"හමුදාව සුජාත කිරීමේ ස්ථාවරය තමා හැම දේටම හමුදාව යොදා ගැනීම. හමුදාව නැතුවම බෑ කියල පෙන්නීම. මේ ජවනිකාව ඉතා සියුම් විදියට ජන මනසේ සකස් කරමින් ඉන්නේ. දැන් මෙයාල එක පැත්තකින් අරන්තලාව ගැන පරීක්ෂණ පවත්වනවා. ඒත් කවදාවත් අතුරුදහන් වූවන් ගැන පරීක්ෂණ කරන්නේ නෑ."

උදාහරණයක් ලෙස දිනපතා උදෑසන කෝවිඩ් තත්ත්වය පිළිබඳ හමුදාපතිගෙන් තත්ත්ව වාර්තාව විමසන මාධ්‍ය ඒ කිසිවක් ප්‍රශ්න නොකරන්නේ යැයි පෙන්වා දෙන මහාචාර්යවරයා, පාකිස්තානය පවතින්නේ ද මෙවැනි තත්ත්වයක් බව සඳහන් කළේය.

"මේක එක වචනෙකින් කීවොත්, අපේ රටේ අලුත් නම පකිස්ලංකාව."

"අන්තිමට ගෝඨාභය ගේ උරුමය (legacy) වෙන්නේ මේකයි. ඔහු රට විනාශ කරනවා, අනික මේක පකිස්තානය වගේ හමුදා පාලිත රටක් කරනවා."

එහෙත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

"ලංකාවේ කිසි දවසක ඒ දේ කරන්න බෑ. පාකිස්තානේ උත්පත්තියෙන්ම එහෙමයි. පාකිස්තානේ පාලනය කරන්න බෑ මිලිටරි නැත්නම්. ඒත් ලංකාවේ ජීවිතේට එහෙම වෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු හරිම සංවේදීයි, ඔවුන් ඉක්මණින් ප්‍රතිචාර දක්වනවා (react). ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ මොහොතේ එහෙම තර්ජනයක් නෑ, එහෙම වෙනවා නම් ඒකට සමාජයේ ඉඩකුත් නෑ," අමාත්‍යවරයා අවධාරණය කළේය.