ලලිත් කූගන් අතුරුදහන් වීම : ගෝඨාභය ගේ තවත් නඩුවකට අතුරු තහනම් නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි දීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඔවුන් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධයෙන් ගොනු කර ඇති හබයාස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා තමාට මේ මස 27 වන දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව සිය පෙත්සමේ සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක හේතුන් මත තමාට එම අධිකරණය හමුවට ගොස් සාක්ෂි දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සඳහන් කර තිබිණ.
උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයක පිහිටි අධිකරණයක සාක්ෂි දීම සඳහා තමා සූදානම් බවත් පෙත්සමේ දැක්වේ.
පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉහත කී අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
අනතුරුව පෙත්සම දෙසැම්බර් මස 3 වනදා කැඳවීමට ද නියම කෙරිණ.

2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.
මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය.
පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවිණ.
ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතුවල නිරතව සිටි ඔවුහු එම පක්ෂය කොටස් දෙකකට කැඩීමෙන් පසු පෙරටුගාමී පක්ෂයට සහය දැක්වූහ.
ඇවන්ගාර්ඩ් නඩුව
මේ අතර ගාලු වරාය අසල මුහුදේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවන් ලෙස නම්කර තිබූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකු අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සඳුදා (සැප්තැම්බර් 23) නියෝග කළේය.
මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් දුන් ලිඛිත අනුමැතියට අදාල පිටපත් එම කොමිසම විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් නඩුව තවදුරටත් විභාග කිරීමට බලයක් නොමැති බව ද මහේස්ත්‍රාත් අධිකරණය එහිදී සඳහන් කර තිබිණ.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරිණ.
ඒ අනුව විත්තිකරුවන් නිදහස් කරන නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, නිසි නීතිමය පටිපාටි අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇතැයිද පැවසීය.
ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබිණ.
පසුව එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් මහාධිකරණය එය ද ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග අහෝසි කර තමන් සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා නැවත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.
අභියාචනාධිකරණය ඉහත කී නියෝගය නිකුත් කර තිබුණේ, අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව තීන්දු කරමිනි.
ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු මෙන්ම පාලිත ප්‍රනාන්දු සහ බී. එගොඩවෙල යන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනකුද සෙසු විත්තිකරුවන් අතර සිටියහ.
නඩුවේ අටවන විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කර තිබේ.
එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකාව නිදහස් කිරීමට දැනටමත් අධිකරණය විසින් තීරණය කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය විත්තිකාරියගේ නීතිඥවරයාට දැනුම් දී සිටියේ ඇය නිදහස් කරනු ලැබුවද, දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයින් නැවත අධිකරණය හමුවේ පෙනී සිට වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට පියවර ගන්නා ලෙසය.
ද්විත්ව පුරවැසි භාවය ගැන පරීක්ෂණයක්
2005 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඇමෙරිකානු පුරවැසියෙකු වශයෙන් සිටියදී සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ගෝඨාභය රාජපක්ෂ පුරවැසි පනත, ආගමන හා විගමන පනත සහ මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන අය විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව කියා සිටි රහස් පොලිසිය එම පැමිණිලිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද දැනුම් දී තිබේ.
වැඩි දුරටත් කරුණු දැක්වූ රහස් පොලිසිය මෙම පරීක්ෂණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය ඉකුත් 20 වනදා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කර ඇති බවත් ,එම ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන තමන් වෙත ලබාදෙන මෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකට නියෝග නිකුත් කරන මෙන්ද ඉල්ලා තිබේ.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අනතුරුව අදාළ වීඩියෝ දර්ශන රහස් පොලිසිය වෙත ලබා දෙන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් වෙත නියෝග කරනු ලැබීය.
රහස් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තා මගින් සඳහන් කර තිබෙන්නේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් ය.
ඊට අමතරව ඔහු සිය දිවිත්ව පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළව විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලිකරුවන් සඳහන් කරන කාරණය පිළිබඳව ද විදේශ අමාත්‍යාංශය, ඇමරිකානු කොන්සල් කාර්යාලය යනාදී ආයතන වෙතින් තොරතුරු ලබා ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද රහස් පොලිසිය වැඩිදුටත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.
කියවන්න:










