සමාජ මාධ්‍ය හරහා සිදුවූ බව කියන අපහාසවලට එරෙහිව CID යාම සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

Minister Wasantha samarasinghe

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | WASANTHA SAMARASINGHE

    • Author, බීබීසී සිංහල

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය වන නිමෝදි වික්‍රමසිංහ යන දෙදෙනා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින බව කියන කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට උක්ත අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුක්තව ලිපියක් නිකුත් කර තිබුණේ, ඔක්තෝබර් 09 වන දින ය.

ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතවලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිතවලට මෙන් ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට ද හානි වන අයුරින් සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් ප්‍රචාරය වෙමින් පවතින බව එම ලිපියේ සඳහන් විය.

එම නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

එම ලිපියේ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක නම් සඳහන් කර ඇති අතර ඒවා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව මෙවැනි සිදුවීම් කිහිපයක් සිදුවූ අතර, බොහෝ අවස්ථාවලදී එම සිද්ධිවලට සම්බන්ධ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යාම සිදුවිය.

එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගිය අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු කිහිප දෙනෙක් සිටිති.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය වන නිමෝදී වික්‍රමසිංහ යන දෙදෙනා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින බව කියන දේවල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට උක්ත අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කළ ලිපිය

ඡායාරූප මූලාශ්‍රය, MINISTRY OF TRADE, COMMERCE, FOOD SECURITY AND COOPERATIVE DEVELOPMENT

ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍යංශය නිකුත් කර තිබූ නිවේදනය

'හොඳ ම දේ තමයි මේකට රාජ්‍යය ගාවගන්නේ නැතුව ඉන්න එක'

නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා බීබීසී සිංහල වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, අපහාස බව කියන සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි සිදු කිරීම වක්‍රාකාරයෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් බව ය.

"සාපරාධී අපහාස නීතිය රටේ අහෝසි කරලා තියෙන පසුබිමක කට්ටියත් එකතු කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න පුරුදු වෙලා තියෙනවා," ඔහු පැවසුවේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මේකෙන් වක්‍රව කරන්න හදන්නේ වක්‍ර තර්ජනයක් කිරීම ද කියන කාරණාවත් තියෙනවා. මෙහෙම මොකක් හරි වුණොත් අපි සීඅයිඩී යනවා, බලාගෙන යි මෙහෙම කළොත් කියලා, ඒක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අනියමින් බලපාන්න පුළුවන්."

ඔහු පවසන්නේ, දේශපාලන සංස්කෘතිය තුළ කලක පටන් මේ අපහාස කිරීමේ ලක්ෂණ පැවතීගෙන ආ බව ය.

"මේ ප්‍රවණතාව එක්තරා ආකාරයක විහිළුවක්. ලංකාවේ දේශපාලනය හැදිලා තියෙන්නේ ම එකිනෙකාට මඩ ගැසීම, අපහාස කිරීම හරහා ම තමයි. දේශපාලනය තුළ ඒ මඩ, අපහාස, අවලාද විඳදරා ගැනීම සහ ඒවාට ප්‍රතිඋත්තර දීමට ඇති සංයමයකුත් දේශපාලනඥයා සතුව තිබිය යුතු යි කියලා අපි හිතනවා," ඔහු පැවසුවේ ය.

එයින් අදහස් වන්නේ, අපහාස කිරීම අනුමත කිරීමක් නොවන බව ද ඔහු පවසයි.

"අපි කොයි වෙලාවකවත් අපහාස කිරීම හෝ බොරු මඩ ගහන එක අනුමත කරන්නේ නෑ. ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ එවැනි දේවල් කරන්නේ කොහොම ද කියලා අපි හිතන්න ඕනේ. නමුත් දේශපාලනය තුළ හැම පක්ෂයක් ම ඕක කළා. අපි ඒක අනුමත නොකළත් සාපරාධී අපහාසය අහෝසි කරලා තියෙන මොහොතක මේ වගේ දේවල් කරන එකෙන් මිනිස්සු ඇත්තක් වුණත් කියන්න තියෙන ඉඩ අඩු වෙන්න පුළුවන්. ඒක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට වක්‍රව බලපාන්න පුළුවන්. "

මේ නිසා කළ යුත්තේ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍යය සම්බන්ධ කර නොගැනීම බව ද මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පවසයි.

"හොඳ ම දේ තමයි මේකට රාජ්‍යය ගාවගන්නේ නැතුව ඉන්න එක. සීඅයිඩී එක කියලා කියන්නේ රාජ්‍යයේ ආයතනයක්. අමාත්‍යංශයක් කියන්නේ රාජ්‍යයේ ආයතනයක් ඒවා ආණ්ඩුව විසින් මෙහෙයවනවා වුණාට."

"මෙතනදි කරන්න තියෙන හොඳ ම දේ තමයි සිවිල් අපහාසයක් වුණා කියලා දිසා අධිකරණයක පෞද්ගලිකව නඩුවක් දාගන්න එක. ඒක කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම තියෙද්දී නීති පොතේ නැති සාපරාධී අපහාසය වගේ එකක් ඉස්සරහට ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ."

'ආයෙත් පාරක් සාපරාධී අපහාස නිතිය ගේන්න උත්සහ කරනවා ද කියන එක තමයි ප්‍රශ්නේ'

අමාත්‍යවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයෙකුට අපහාසයක් සිදුවූ බවට අමාත්‍යංශය මට්ටමින් නිවේදන නිකුත් කිරීම සහ පැමිණිලි කිරීම රාජ්‍ය හා රාජ්‍ය බලය අවභාවිත කිරීමක් ද වන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ද පවසයි.

"කාට හරි අපහාසයක් වෙන්නේ ඒක පෞද්ගලිකව. අමාත්‍යංශයට නෙවෙයි අපහාස වෙන්නේ. අමාත්‍යංශ මට්ටමින් නිවේදන දානවා, පැමිණිලි කරනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා ඒ හරහා විමර්ශනයක් කර ගන්නවා. ඒක පැහැදිලිව ම එතකොට රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය අවභාවිත කිරීමක් වෙනවා," ඔහු පවසයි.

"තමන්ගේ බලය පාවිච්චි කරලා තමයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හරහා කරන්න බැරි විමර්ශනයක් කර ගන්න හදන්නේ."

අවශ්‍ය නම් අමාත්‍යවරයාට පෞද්ගලිකව නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති බව ඔහු පැවසුවේ ය.

"අමාත්‍යවරයාට කරන්න තියෙන්නේ එයාට අපහාසයක් වුණා නම් එයාට කරුණු පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැතිනම් අපහාසයක් කියලා හිතෙනවා නම් දිසා අධිකරණයේ සිවිල් නඩුවක් දාන්න පුළුවන්. එතනින් එහාට ගිහින් මේක අපරාධයක් බවට පත් කරන්න හදන එක බරපතළ යි," ඔහු පෙන්වා දෙයි.

"ඔන්ලයින් අවකාශයේ මේ වගේ දේවල් වෙන එක ගැන කියලා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගෙනාවා. ඒකට ජාතික ජන බලවේගයත් විරුද්ධ වෙනවා."

කෙසේ නමුත් මෙලෙස එක දිගට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ආකාරයේ පැමිණිලි ලැබීම ප්‍රශ්නසහගත බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවසයි.

"එක දිගට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබුණා. මොකක් ද ඒකෙ අරමුණ? නීතියකුත් නැතිව එහෙම පැමිණිලි කරන්නේ බය කරන්න ද?, එහෙමත් නැතිනම් ආයෙත් පාරක් සාපරාධි අපහාස නිතිය ගෙන්න උත්සහ කරනවා ද කියන එක තමයි ප්‍රශ්නේ."

"එතකොට ඒක පැහැදිලිව ම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධාවක් වගේ ම බලය අවභාවිත කිරීමක් වෙනවා."

ඇමති වසන්තගේ ප්‍රතිචාරය

මෙම සිදුවීම සමබන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා බීබීසී සිංහල විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ දුරකතනය හරහා සම්බන්ධ කර ගත් අතර, ඇමතුම ලබා ගත් පසු ඔහු පැවසුවේ, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ඒ පිළිබඳව විමසන ලෙස ය.

එහිදී නැවතත් අප විසින් එම ප්‍රතිචාරය අමාත්‍යවරයාගෙන් ලබා ගත යුතු බවට පැවසූ අතර අමාත්‍යවරයා නැවතත් පැවසුවේ ඒ සඳහා මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කරගන්නා ලෙස ය.

ඉන්පසුව බීබීසී සිංහල විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ සම්බන්ධ කරගත් අතර, ඔහුට මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය දැන ගැනීමට අවශ්‍ය බව දැනුම් දෙන ලදී.

අමාත්‍යවරයා ඒ මොහොතේ රැස්වීමකට සමබන්ධ වී සිටින නිසා පසුව ඔහුගේ ප්‍රතිචාරය ලබා දීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ ය.

කෙසේ වෙතත්, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් අමාත්‍යවරයාගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

අපහාසයක් සිදු වුණොත් කළ යුත්තේ කුමක් ද?

යමෙකුට අපහාසයක් සිදුවූ බව හැඟෙන්නේ නම් දිසා අධිකරණයක සිවිල් අපහාස ආණ්ඩුවක් ගොනු කිරීමට හැකි බව බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ නීතිඥ දිනූෂා ලක්මාලි පැවසුවා ය.

"එතකොට පෙන්වන්න අවශ්‍ය වෙනවා මේ විදිහට අපහාසයක් වෙලා තමන්ට හානියක් වෙලා තියෙනවා කියලා. ප්‍රසිද්ධියේ සිද්ධ වුණු අපහාසයක් නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න කියලා හරි, අලාභයක් වෙලා තියෙනවා නම් ඒ මුදල ගෙවන්න කියලා හරි ඉල්ලන්න පුළුවන්," ඇය පැවසුවා ය.

කෙසේ වෙතත්, අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් නිසා එවැනි නඩුවක වගඋත්තරකරුවන් ලෙස නම් කරන අය වෙත සිතාසි යොමු කිරීමට යම් කාලයක් ගත වන බව ඇය පැවසුවා ය.

"සිවිල් නඩු විධාන සංග්‍රහයේ දක්වලා තියෙනවා සිවිල් අපහාස නඩුවක් ගොනු කරන්නේ කොහොම ද කියලා. ඒ ඇරෙන්න මීට පෙර ලබා දී තියෙන නඩු තීන්දුවලට අනුව තමයි සිවිල් අපහාස නඩු විභාග වෙන්නේ," ඇය එහි නීතිමය පසුබිම පැහැදිලි කරමින් පැවසුවා ය.

නීතිඥ දිනූෂා පවසන්නේ, එවැනි නඩුවක වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරෙන අයට කරුණු ඉදිරිපත් කිරීමේදී යම් ව්‍යතිරේඛ පවතින බව ය.

"තමන් ඒ ප්‍රකාශය කළේ අපහාස කිරීමේ අරමුණකින් කියලා නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම්, ඒ වගේ ම ඒක පොදු මහජන යහපත උදෙසා කරපු දෙයක් කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එතන ව්‍යතිරේඛ තියෙනවා. ඊට අමතරව ප්‍රකාශයේ සඳහන් කරුණු සත්‍ය තොරතුරු නම් ඒ ගැනත් අධිකරණය සලකා බලනවා."