රජයේ ඇමතිවරුන් දෙදෙනෙකුට සහ ඉහළ නිලධාරියෙකුට අභියාචනාධිකරණයෙන් නොතීසි

ධම්මික යටිකිඳ සහ කේඩී ලාල්කාන්ත

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

මෙරට ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 28 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කරන ලදී.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

මෙම පෙත්සම අද (සැප්: 11) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලත් ඉදිරියේ කැඳවනු ලැබිණි.

පෙත්සම්කාර පාර්ශවයේ තර්ක

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන්නේ ය.

මෙරට තුළ කෘෂිකාර්මික කටයුතු, වනාන්තර, වගුරු බිම්, ජනාවාස යනාදී අංශ සඳහා වෙන් කළ යුතු ඉඩම් මෙන් ම ඒවායේ සීමාවන් නිසි පරිදි හඳුනාගෙන වෙන් කර නොමැති වීම නිසා පාරිසරික මෙන් ම අනෙකුත් අර්බුද රාශියක් මතු වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු පැවසුවේ, ඒ නිසා මෙරට ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී තිබෙන බව ය.

දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විධිමත් ඉඩම් කළමනාකරණ සැලැස්මක් නොමැති වීම හේතුවෙන් නිසි ඵලදායීතා ඉලක්කවලට ළඟා වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම සම්බන්ධයෙන් එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පාර්ශ්ව කීපයකට නොවැම්බර් මස 28 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි නියෝග කළේ ය.