රාජිත, රතන හිමි, ශෂීන්ද්‍ර සහ ලන්සා: හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය අද ලබා දුන් තීන්දු

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Getty Images
- Author, බීබීසී සිංහල
පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු දේශපාලඥයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වූ නඩුකර හතරක් අද (අගෝස්තු මස 29) දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි.
ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සම්බන්ධයෙන් වන නඩුකර හතරක් මෙලෙස අධිකරණය හමුවේ විභාගයට ගැනිණි.
1. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න සැප්තැම්බර් 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ය.
අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
2012 වසරේ මැයි මස 19 වන දා "සී වූ ප්‍රයිවට් ලිමිටඩ්" නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න අනුමැතිය ලබා දී තිබූ බව අගෝස්තු 12 වන දා අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා ය.
මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තා කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීම සාමාන්‍ය පිළිවෙත වුවත්, මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බව සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා ය.
එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර, ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ "වැලිගොව්වා" නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබා දීමට සිදුවූ බව ත් ඇය පැවසුවාය.
මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි ඇය සඳහන් කළාය. ඒ අනුව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදී.
සැකකාර හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම හමුවට මෙන්ම අධිකරණය හමුවට ඉදිරිපත් නොවී දින ගණනාවක් සැඟව සිටිමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා ඇප අයදුම් පෙත්සම් කිහිපයක් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2. අතුරලියේ රතන හිමි
වරෙන්තු නිකුත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරවීමෙන් පසුව ලබන සැප්තැම්බර් මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගිය දා නියෝග කළේ ය.
ඒ, අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට වන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස සිදු කළ දැනුම් දීම නොසලකා සැගව සිටින බවට විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමට අනුවයි.
2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු අතුරලියේ රතන හිමිට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ලබා ගැනීම සඳහා තමන් පැහැරගෙන ගොස් ඊට කැමැත්ත පළකළ බව දැක්වෙන ලිපියකට බලහත්කාරයෙන් අත්සන් ලබා ගත් බවට විමලතිස්ස හිමියන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
3. ශෂීන්ද්‍ර රාජපක්ෂ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (අගෝස්තු 29) නියම කළේ ය.
ඒ අනුව සැකකරු ලබන සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
4. නිමල් ලන්සා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගිනිඅවි අඥා පනත යටතට ගැනෙන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනා ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළේ ය.
2006 මාර්තු 08 වන දා රුද්‍රිගුගේ සුනිල් විල්බට් සිල්වා යන අයගේ නිවසට රාත්‍රියේ පිරිසක් සමග ඇතුළු වී වෙඩි තැබීම, ලක්ෂ 28ක දේපළ හා රන් භාණ්ඩ මංකොල්ල කෑම ඇතුළු ගිනිඅවි අඥා පනතේ 26 වන වගන්තිය යටතේ ඇප ලබා දීමට නොහැකි වරදක් සිදු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත්, ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් ගොනු කරමින් ප්‍රධාන පොලිස් පරික්ෂක විල්ලෝරා ආරච්චි කරුණු දක්වමින් සඳහන් කළේ 2006.03.08 දින රාත්‍රි 10.30ට පමණ ජෝසප් මයිකල් පෙරේරා මාවතේ නිවසකට ඇතුළු වී දේපළ කොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති බව යි.
එම නඩුව සඳහා ඊයේ දින (අගෝස්තු මස 28) නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු බවත් ඒ අනුව නිමල් ලන්සා සහ බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබු බව සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි මත පෙනී යන බැවින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ද ඔහු පැවසුවේය.
ඒ අනුව මෙම පුද්ගලයන් දෙදෙනා අද (අගෝස්තු මස 29) උදෑසන කොච්චිකඩේ පොලිසියට පැමිණි බවත් එහිදී ඔවුන් අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරික්ෂකවරයා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වරද සිදුකර ඇති බැවින් තවදුරටත් විමර්ශන සිදු වන පසුබිමක් තුළ සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව යි.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ එම ගිනිඅවි සොයාගෙන ඇති ද යන්නයි.
එම ගිනි අවි හෝ මංකොල්ල කෑ භාණ්ඩ සොයාගෙන නොමැති බව පිලිතුරු දෙමින් පොලිස් පරික්ෂකවරයා පැවසුවේය.
පැමිණිලිකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු සඳහන් කළේ මෙම පැමිණිලිකරු සහ විත්තිකරුවන් එකල පක්ෂ දෙකකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වු බවත් මේ වන විට ඔවුන් හොඳ මිතුරන් බැවින් මෙම නඩුව සමථයකට පත් කරගැනීමට දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන පැමිණිලිකරු මහකොමසාරිස් කාර්යාලය හරහා දිවුරුම් ප්‍රකාශයක් එවා ඇති බව යි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එලෙස සමථයකට පත් වන්නට යන්නේ වසර 19ක් ගතවන තුරු යුක්තිය ඉටු නොවීම පිළිබඳව කලකිරීමෙන් බව තම අධිකරණයට හැගී යන බවයි.
එමෙන් ම වසර ගණනාවකට පසුව වුව ද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු විම සම්බන්ධයෙන් තම අධිකරණය සලකා බලන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.
එමෙන් ම මෙහිදී වරදක් සිදු කර ඇති බව තම අධිකරණයට පෙනී යන බවත් එබැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත් ලබන සැප්තැම්බර් මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේ ය.
එමෙන් ම නීතිපතිවරයාට උදෘත යැවීම සඳහා කඩිනමින් විමර්ශන අවසන් කර විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
සැකකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සහ බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කර තිබේ.














