යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ගැන අධිකරණය ගත් තීරණය

Yoshitha Daisy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව යළි සැප්තැම්බර් මස 22 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

මෙම නඩුව අද (ජූලි 28) කොළඹ මහාධිකරණ මිනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊ මේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26ක් සහ පෙන් ඩ්‍රයිව් කීපයක් පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ නඩුව නැවතත් සැප්තැම්බර් මස 22 වන දා කැඳවීමට දින නියම විය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.