දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට නියෝග කරයි

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ රැඳී සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ: 27) නියම කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළා ය.
ඒ අනුව, සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා ය.
තවත් නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බව ය.
එමෙන් ම, කැඳවීම් සිදු කරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහය දිය යුතු බවත්, එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදු කරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා යළි කැඳවීමට නියම කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ, අගෝස්තු 21 වන දා ය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව විසින් අගෝස්තු 20 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය.
2022 වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබිණි.
අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය මීට පෙර දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 22 වන දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.














