දේශබන්දු තෙන්නකෝන් ගැන ඔබ මෙම තොරතුරු දැන සිටියා ද?

Deshabandu Tennakoon

ඡායාරූප මූලාශ්‍රය, Deshabandu Tennakoon | Facebook

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකා ඉතිහාසයේ "පළමු වරට" පාර්ලිමේන්තු කමිටුවක් විසින් වරදකරු කරන ලද පොලිස්පතිවරයා බවට දේශබන්දු තෙන්නකෝන් පත් විය.

මේ බව කතානායක ජගත් වික්‍රමරත්න ජූලි 22 පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පති ධූරයට කරන ලද්දේ 2023 නොවැම්බර් 29 වන දා ය.

2024 පෙබරවාරි 26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී තිබුණු බලතල අනුව ඔහු මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු නමුත් 2024 ජූලි 24 දින එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

දේශබන්දු තෙන්නකෝන්: පාර්ලිමේන්තුව පත් කළ කමිටුවෙන් වරදකරු වීම දක්වා

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පති ධූරයට පත් කළේ ය.

Image copyright by Facebook

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය 'යුක්තිය' මෙහෙයුම ඇරඹීය.

වැලිගම පිහිටි W15 හෝටලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගියේ ය. පසුව එම වෑන් රථයේ සිටි පුද්ගලයන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවට තොරතුරු අනාවරණය විය. මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගියේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පත් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඔහුව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලදී.

හෝකන්දර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවාස පරික්ෂාවට ලක් කෙරිණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඔහුව තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු බවට පාර්ලිමේන්තුවෙන් පත් කළ පරීක්ෂණ කමිටුව විසින් ඒකමතිකව තීන්දු කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

පෞද්ගලික තොරතුරු

ටී.එම්. වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් 1971 මාර්තු මස 7 වන දා උපත ලැබීය.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබිණි.

1998 වසරේ පෙබරවාරි 23 වන දා ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වුණු ඔහු 2031 වසරේ මාර්තු 7 වන දා විශ්‍රාම යාමට නියමිතව තිබිණි.

පොලිස් සේවයේ මෙතෙක් දැරූ තනතුරු

දේශබන්දු තෙන්නකෝන් 2006 වර්ෂයේදී පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබූවේ ය.

අනතුරුව ඔහු 2006 – 2009 කාලය තුළ බස්නාහිර පළාතේ නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළේ ය.

2011වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබන ඔහු 2012 – 2015 කාල සීමාව තුළ මාතර පොලිස් කොට්ඨාසය භාර නිලධාරියා වශයෙන් කටයුතු කළේ ය.

ඔහු නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් වීම් ලබන්නේ 2015 වර්ෂයේදී ය.

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද, පසුව බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන් ම අපරාධ, අපරාධ බුද්ධි සහ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද ඔහු කටයුතු කළේ ය.

2019 වර්ෂයේ නොවැම්බර් මස 29 වන දින වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වූ ඔහු 2020 වසරේ ජනවාරි මස 1 වන දා දින සිට එම තනතුරේ ස්ථිර පත්වීම් ලැබීය.

2019 වසරේ දෙසැම්බර් මස 5 වන දා සිට ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

පාස්කු ප්‍රහාරය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2019 අප්‍රේල් මස 21 වන දා කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු දිවයින පුරා ඉලක්ක 8කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ - උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.

ඔහුගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වසරේ සැප්තැම්බර් මස 20 වන දා පංච පුද්ගල කොමිසමක් පත් කළේ ය.

කොමිසම විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ විය.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයේදී හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

2021 වසරේදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට ඔහු ෆේස්බුක් ඔස්සේ තර්ජනය කිරීමේ සිදුවීම ක් ද වාර්තා විය. මේ සම්බන්ධයෙන් තරිඳු ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ගොනු කරනු ලැබ තිබිණි.

'අරගලය'

මේ අතර, 2022 මැයි මස 9 වන දා ගාලු මුවදොරදී ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට සිදු වූ පහර දීම මුල් කර ගෙන එම සිදුවීම වළක්වා ගැනීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැඳී සිටි කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට 2022 ජූලි මස 9 වන දා ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ඇතුළු වීමෙන් පසු එහි කාමරයක තිබී හමු වූ රුපියල් එක් කෝටි හැත්තෑඅට ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් මුදල කොටුව පොලිස් ස්ථානයට භාර දීමෙන් අනතුරුව ඒ ගැන අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල විය.

ඊට පසු දින එනම්, ජූලි මස 10 වන දා කොළඹ, ගංගාරාමය ප්‍රදේශයේදී දේශබන්දු තෙන්නකෝන්ට පුද්ගලයින් පිරිසක් පහර දීමට උත්සහ කළ අතර එහිදී එක් පුද්ගලයෙකු ඔහුගේ හිසට හිස් වැසුමකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් එවකට මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එම පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මීට අමතරව, බස්නාහිර පළාත තුළ සිදුවූ මහජන විරෝධතා සහ මහජන අරගලය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කිහිපයක් ගොනු කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් හෝ නිලන්ත ජයවර්ධන, පුරප්පාඩුව පැවති පොලිස්පති ධූරය සඳහා පත් කිරීමට සලකා බැලීම "සහමුලින් ම නතර කර දමන්නැයි" ඉල්ලමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත 2023 වසරේ ජූනි 26 වන දින ලිපියක් යොමු කරනු ලැබ තිබිණි.

W15 හෝටලය

2023 වසරේ මාතර වැලිගම පිහිටි W15 හෝටලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා යාමේ සිදුවීම දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

ඒ, එම වෑන් රථයේ සිටි පුද්ගලයන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවට තොරතුරු අනාවරණය වීමත් සමග ය.

මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙක් මිය ගියේ ය.

ඒ අනුව, 2025 පෙබරවාරි 28 වන දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

කෙසේ වෙතත්, දින ගණනාවක් ඔහු පොලිසියෙන් සැඟව සිටීම සමාජය දැඩි කතාබහක් නිර්මාණය කළ අතර 2025 මාර්තු 19 වන දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනතුරුව 2025 අප්‍රේල් 10 දින ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.