කෙහෙළියට එරෙහි ප්‍රතිදේහ එන්නත් නඩුව: ඇමුණුම් මුද්‍රණ වියදම කෝටිය පනී, ඇමුණුම් ප්‍රමාදයෙන් නඩුව කල් දමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍ර සමග භාරදිය යුතු ඇමුණුම් මේ දක්වා මුද්‍රණය කර ලැබී නොමැති බැවින් එම අධිචෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වන දා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කර තිබූණ ද ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නා ය.
ඇමුණුම් මුද්‍රණයට වැය වන වියදම
මෙම නඩුවට අදාළ එක් විත්තිකරුවෙකු වෙනුවෙන් ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866565/-ක් වැය වන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ ආකාරයෙන් විත්තිකරුවන් දොළොස් දෙනෙකු වෙනුවෙන් අදාළ ඇමුණුම් මුද්‍රණය කිරීමට නියමිතව තිබෙන බවත් ඇය කියා සිටියා ය.
ඒ අනුව, විත්තිකරුවන් 12 දෙනා සඳහා ඇමුණුම් මුද්‍රණය කිරීමට වැය වන මුදල රුපියල් 10,398,780.00කි.
එම ඇමුණුම් ලැබීමට දින 21ක් පමණ ගත වනු ඇති බවට රජයේ මුද්‍රණාලායාධිපතිවරයා දැනුම් දී ඇති නිසා දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීමක් කළා ය.
ඒ අනුව, අදාළ නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමට අධිකරණය නියම කළේ ය.
අද අධිකරණයේදී මොක ද වුණේ?
මෙම නඩුව අද (ජූලි 11) මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එම අවස්ථාවේදී නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම් කර සිටි සුදත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව දැනුම් දෙනු ලැබී ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එමෙන් ම, තවත් විත්තිකරුවෙකු වන වෛද්‍ය සැපයීම අංශයේ හිටපු වෛද්‍යවරයෙකු වන ජයනාත් බුත්පිටිය අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු විදේශගතව සිටින බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය.
ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන සුදත් ජනක ප්‍රනාන්දු නමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, ඔහු මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා ය.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරු මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කළේ ය.
තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැති විත්තිකරු 2023 වසරේ දෙසැම්බර් මස 11 වන දා රාජකාරී නිවාඩු මත එක්සත් රාජධානියට ගොස් සිටින අතර, 2024 වසරේ පෙබරවාරි මස 09 වන දා ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බව සඳහන් කළා ය.
ඔහු මේ වන තෙක් දිවයිනට පැමිණ නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඇය දැනුම් දුන්නා ය.
ඔහු හිතාමතා ම අධිකරණය මග හරින පුද්ගලයෙකු බවට පැහැදිලි දැනුමක් තිබෙන බැවින් මෙම රතු නිවේදන ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ඇය සඳහන් කළා ය.
අනතුරුව අදාළ නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමට දින නියම කෙරිණි.
චෝදනා 13ක්
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කරනු ලැබ තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රණ කුමාර හේරත්, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර තිබේ.
එම සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රහසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරු ඇතුළත් වෙති.
ඊට අමතරව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ද ඊට ඇතුළත් වෙති.
එමෙන් ම, මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.














