'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' - ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත්: 'ඖෂධයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගුයි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දෙන ලද ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) ඖෂධයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවට ත්, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් (Rituximab) නමැති ප්‍රතිදේහ එන්නත්වල අඩංගු වී ඇත්තේ 'ලුණු වතුර බවටත්' ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට ජූනි 19 දැනුම් දුන්නා ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛන පරීක්‍ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඖෂධ මිල දී ගැනීමට අවසර දුන් බව ත්, මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල සම්පූර්ණයෙන් ම වගකිව යුතු බව ත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම, වසරකුත් මාස 8ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් සදහන් කළා ය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දෙන ලද ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම එලෙස පැවසුවා ය.
චෝදනා එල්ල වූ අය කවුද?
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ සිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බාල ඖෂධ ගෙන් වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා (Isolez Biotech Pharma) සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටි සැකකරුවෝ ද අධිකරණයේ පෙනී සිටියහ.
සිද්ධියේ සැකරුවන් වශයෙන් බාල ඖෂධ ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී ඇත), වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය නම් කර ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන 'ඉමියුනෝග්ලොබියුලීන්' නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් 'අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්‍ෂකවරයෙක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ජර්මන් රසායනාගාරයෙන් ලැබුණු වාර්තාව
නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින්, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබා දෙන ලද ද්‍රාවණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත ජර්මානු රසායනාගාරයක් ලවා පරීක්‍ෂාවක් කළ බවත් එම පරීක්‍ෂණ සම්බන්ධ වාර්තාව එවා ඇති බවත් දැනුම් දුන්නා ය.
ස්නායු රෝගීන් සඳහා භාවිත කරන 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබා දෙන ලද ද්‍රාවණයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවට ත්, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබා දෙන ලද ද්‍රාවණයේ අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවට ත් ලෝක සෞඛ්‍ය සංවිධානය එවා ඇති වාර්තාවේ සඳහන් බව දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම, ප්‍රශ්නගත බාල ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතු වසරකුත් මාස 08යි දින 06කින් අවසන් කළ බව දැනුම් දුන්නා ය.
'අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලකට අනුව 2023 ඔක්තෝබර් 13 වන දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ බව ත්, අවුරුද්දයි මාස 08ක් තුළ විමර්ශන අවසන් කර සිද්ධියට අදාළ විමර්ශනවල උද්ධෘත පසුගිය පෙබරවාරි 06 වන දා, නීතිපතිවරයාට යොමු කළ බවත් දැනුම් දුන් ගිරිහාගම ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැවරූ නඩුව ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිත බවත් පැවසුවා ය.
'එන්නත්වල තිබිලා තියෙන්නේ මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වූ පරීක්‍ෂණවලින් අනතුරුව 2024 මැයි 06 වන දා අධිකරණයෙන් දුන් නියෝග මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මානු රසායනාගාරයකින් ද ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වූ බවත්, එම පරීක්‍ෂණ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් පැවසූ ලක්මිණී ගිරිහාගම, පළමු සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමට ලබා දී ඇති ඖෂධවල කිසිදු ඖෂධමය ගුණාත්මකභාවයක් නොමැති බවත්, එම ජර්මානු රසායනාගාරය දැනුම් දී ඇතැයි එහිදී ඇය කරුණු දැක්වූවා ය.
ස්නායු රෝගීන් සඳහා ලබා දෙන ප්‍රතිදේහ එන්නතක් වන 'හියුමන් ඉමියුනොග්ලෝබියුලීන්' නමැති ඖෂධය මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත මාරාන්තික බැක්ටීරියා සහිත දියරයක් බව ත් පිළිකා රෝගීන් සඳහා දෙන පිළිකා නාශක ඖෂධයක් වන 'රිටොක්සිමැප්' නමැති ඖෂධයේ පිළිකා නැසිය හැකි ප්‍රෝටීන සංඝටක කිසිවක් අඩංගු නොවන බවට ත් එහි 'සෝඩියම් ක්ලෝරයිඩ්' සිංහලෙන් කියනවා නම් 'ලුණු වතුර' පමණක් අඩංගු බවට ත් ජර්මානු රසායනාගාර වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා ය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වැය කර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දෙනු ලැබ ඇත්තේ මරාන්තික බැක්ටීරියා සහිත වතුරත්, 'නිකන් ම නිකන් ලුණු වතුරත්' යැයි එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
ඒ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, "මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා පළමු සැකකරු ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා ද?" යනුවෙන් විමසුවා ය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම, "රේගු නිලධාරීන්ගේ සහය ඇතිව පළමු සැකකරු ආනයනය කරන ලද අමුද්‍රව්‍ය මොනවා ද? යන්න හෙළි කර ගැනීම සඳහා පරීක්‍ෂාවක් කළා. සැකකරු රේගු අමුද්‍රව්‍ය ආනයන වර්ගීකරණය 3006.60.00 දරණ රේගූ වර්ගීකරණ අංකය යටතේ භාණ්ඩ ගෙන්වා ඇති බව හෙළි වූ නිසයි එම පරීක්‍ෂාව කළේ. රේගු වර්ගීකරණ අංකය යටතේ එම භාණ්ඩ පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා පළමු සැකකරු අමුද්‍රව්‍ය වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කර ඇත්තේ රසායනික උපත් පාලන වර්ගයි. ඒ බව රේගු නිලධාරීන් විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. මේ සිද්ධියේ ප්‍රථම සැකකරුවන් සාපරාධී අපරාධයක් කරන්න හිතාමතා ම දායක වෙලා තියෙනවා," යැයි සිටියා ය.
'කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සතුයි' - රනිල් වික්‍රමසිංහ CIDයට ලබා දුන් ප්‍රකාශය
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් 2025 ජූනි 11 වන දා ප්‍රකාශ සටහන් කර ගත් බව යි.
'හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය' යටතේ ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බවට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බවත් පවසා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අනුව, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සතු බව පවසා ඇතැයි දැනුම් දුන්නා ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2025 ජුනි 11 වන දා දුන් ප්‍රකාශට අනුව, මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ බවට පැහැදිලිව ම කරුණු අනාවරණය වු බවත්, සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බව කියමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් බවත් රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් කී ලක්මිණි ගිරිහාගම කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සියලු වගකීම විෂය භාර අමාත්‍යවරයා සතුවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇතැයි ද පැවසුවා ය.
සිද්ධියට අදාළව රහස් පොලිස් නිලධාරීන් කළ විමර්ශනවලදී සැකකරුවන් දොළොස් දෙනාගේ දුරකතන දත්ත වාර්තා පරීක්ෂාවට ලක් කළ බවත්, එම දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කිරීමේදී සිද්ධියේ 10 වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක නමැත්තා සිද්ධියේ පළමු සැකකරු වන බාල ඖෂධ සැපයූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක නමැත්තා සමග 31 වතාවක් ඍජුව දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බව හෙළි වූ බවත්, 12 වන සැකකරු පළමු සැකකරු සමග ඍජුව දුරකතනයෙන් සම්බන්ධ වී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් අනාවරණය වී ඇතැයි දැනුම් දුන්නාය.
ඒ අනුව, මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිතාසි ලැබුණු විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රත්වරිය සැකකරුවන්ට නියම කළා ය.














