ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම: කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 13ක් යටතේ නඩු

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා මීට පෙර අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව, මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කරනු ලැබ තිබේ.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම අධිචෝදනා ඉදිරිපත් කළේ ය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කරනු ලැබ තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විභාග වන නඩු: මෙතෙක් සිදු වූයේ මොනවා ද?

Image copyright by GETTY

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලදී.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය එදින කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස අටකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇපමත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

2023 වසරේ ජනමාධ්‍ය, පරිසර හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්යමණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු ඇතුළත් කොට, ඔවුන්ට හිමි වැටුප් දීමනා සහ අතිකාල දීමනා යනාදිය ලබාගෙන දේශපාලන හිතවතුන්ට බෙදා දීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලදී. එදින සවස ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

Image copyright by BBC

ඉහත චෝදනාවලට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

රුපියල් මිලියන 97කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ඇතුළු සැකකරුවන් තුන්දෙනා එදින සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට ගන්නා ලදී. එදින සවස ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. එදින ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ ය.

නඩුවේ සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් ඇමතිවරුන් පිරිසක්

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර තිබේ.

ඒ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රහසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරු ද වෙති.

ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් ද සාක්ෂිකරුවන් අතරට අයත් වෙති.

එමෙන් ම, මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.