අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට එල්ල වී ඇති දූෂණ චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, SJGH
- Author, බීබීසී සිංහල
'දූෂණය' නම් වරද සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු ජූනි 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාර සහකාරවරයකු වන කැකුළන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරිය විසින් අනීතිකව පවත්වා ගෙන යනු ලබන බව කියන පෞද්ගලික ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා ජූනි 17 වන දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එම සැකකරුවන් තිදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ විමර්ශන අවසන් නොමැති බව පැවසූ අල්ලස් කොමිසමේ නිලධාරීහූ සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.
සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනාව කුමක් ද?
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD (External Ventricular Drain) සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
එමෙන් ම, "තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතුසහගත ලාභයක් උපයා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව උක්ත විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගන්නා ලදී," යනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
EVD අයිතම 2022 වර්ෂයේදී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500ක් බවත් එහි වත්මන් මිල 46,500ක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අදාළ විශේෂඥ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශව මගින් රෝගීන් එම අයිතම මිලට ගෙන ඇත්තේ රු. 120,000 සිට 250,000 දක්වා මුදලක් වැය කරමින් බව අනාවරණය වී තිබේ.
'ශල්‍යකර්මවලට භාජනය වූ පිරිසක් මිය ගිහින්'
මෙලෙස ශල්‍යකර්මයන්ට භාජනය වූ රෝගීන් 300 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත්, ඉන් 77 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එම ප්‍රකාශ සටහන් කර ගත් රෝගීන්ට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් වී ඇති බව මෙන් ම ශල්‍යකර්මවලට භාජනය වූ සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වූ බව අල්ලස් කොමිසම පවසයි.
ඇය කවුද?
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් සමග ඇති වූ ගැටුමේදී හිසට වෙඩි වැදීමෙන් සිදුවූ හානියට ප්‍රතිකාර කර ඇත්තේ ද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසිනි.
එමෙන් ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔහු නැවත අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ප්‍රතිකාර ලබමින් සිටියේ ද එම විශේෂඥ වෛද්‍යවරියගේ අධීක්ෂණය යටතේ ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට දිගට ම ප්‍රතිකාර කළ මෙම විශේෂඥ වෛද්‍යවරිය ඔහු සම්බන්ධව අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
කොළඹ තරු පන්තියේ හෝටලයකදී කාන්තාවකට විදුරු කටුවලින් ඇණ තුවාල සිදු කිරීමේ චෝදනාවට විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න 2015 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවට ද එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.














