ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට ඇති උපක්‍රම මොනවා ද?

Exterior of Nuuk, Greenland. ග්‍රීන්ලන්තයේ නූක්හි බාහිර පෙනුම.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රීන්ලන්තය ඉතා විශාල වුව ද, එහි ජනගහනය ඉතා සුළු පිරිසකි. එබැවින් හමුදා මෙහෙයුමක් ඉක්මනින් කළ හැකි වුව ද, බොහෝ විශේෂඥයින් සිතන්නේ එය කළ නොහැකි බව ය.
    • Author, බර්න්ඩ් ඩෙබියුස්මන්
    • Role, ධවල මන්දිරයේ සිට
    • Author, නික් බීක් සහ කේලා එප්ස්ටීන්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට අවශ්‍ය වී තිබේ. ධවල මන්දිරය පවසන්නේ, හමුදා බලය යෙදවීම ඇතුළුව සියලු විකල්ප සලකා බලමින් බව ය.

සාකච්ඡා කෙරෙන ආර්ථික සහ දේශපාලන විකල්ප කිහිපයෙන් හමුදා ක්‍රියාමාර්ග එකක් පමණක් වුව ද, එයින් අදහස් වන්නේ එක් නේටෝ රටක් තවත් රටකට පහර දීම, නේටෝ සන්ධානයට බියකරු සිහිනයක් වන අතර ඇතැම් විට බරපතළ තර්ජනයක් බවට පත් කිරීමකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය ඉතා වැදගත් වන අතර, රුසියානු සහ චීන නැව් දිවයින පුරා සෑම තැනක ම ඇති බවට (සාක්‍ෂි ඉදිරිපත් නොකර) ට්‍රම්ප් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඩෙන්මාර්ක් විශේෂඥයින්ගේ සහය ඇතිව, අපි ජනාධිපතිවරයාගේ සෑම විකල්පයක් සඳහා ම කළ හැකි සාධාරණීකරණය කිරීම් පිළිබඳව විමසා බලමු.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය අවශ්‍ය ඇයි?

හමුදාමය ක්‍රියාමාර්ග

ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ, ග්‍රීන්ලන්තය ඉක්මනින් අල්ලා ගත හැකි නමුත් ප්‍රතිවිපාක විශාල වනු ඇති බව ය.

භූගෝලීය වශයෙන් දැවැන්ත වුව ද, ග්‍රීන්ලන්තයේ ජනගහනය 58,000ක් පමණ වන අතර ඉන් තුනෙන් එකක් පමණ කේන්ද්‍ර වී ඇත්තේ අගනුවර වන නූක් වටා වන අතර ඉතිරි පිරිසෙන් වැඩි කොටසක් එහි බටහිර වෙරළ තීරයේ වාසය කරති.

ග්‍රීන්ලන්තයට තමන්ගේ ම හමුදාවක් නොමැති අතර ඩෙන්මාර්කය එහි ආරක්ෂාව සඳහා වගකිව යුතු ය. නමුත් එතරම් විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කිරීම සඳහා ඩෙන්මාර්කය සඳහා ඇත්තේ සීමිත ගුවන් හා නාවික වත්කම් ප්‍රමාණයකි.

එහි විශාල කොටසක් නඩත්තු කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් සුනඛයින් යොදාගෙන භාණ්ඩ හා ජනතා ප්‍රවාහනය මත යැපෙන ඩෙන්මාර්ක විශේෂ මෙහෙයුම් ඒකකයක් වන Sirius Patrol බළකාය විසිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, ඩෙන්මාර්කය පසුගිය වසර තුළ ග්‍රීන්ලන්තය ඇතුළු ආක්ටික් සහ උතුරු අත්ලන්තික් කලාපවල ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත.

ග්‍රීන්ලන්තයේ විශාල භුමි ප්‍රමාණය, කුඩා ජනගහනය සහ තමන්ට ම වෙන්වූ හමුදාවක් නොමැතිකම නිසා එක්සත් ජනපදයට පහසු ඉලක්කයක් විය හැකි ය. දැනටමත් දූපතේ වයඹ දෙසින් පිහිටි පිටුෆික් කඳවුරේ 100කට වැඩි භට පිරිසක් ස්ථානගත කර ඇත.

එම පහසුකම, න්‍යායාත්මකව, අනාගත මෙහෙයුම් සඳහා ආධාරකයක් ලෙස භාවිත කළ හැකි ය.

ජර්මනිය, ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමෙන් පසු දෙවන ලෝක යුද්ධයේ සිට ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව සිය හමුදා සහ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස එම කඳවුර පවත්වාගෙන යයි.

ඩෙන්මාර්ක ආරක්ෂක විශේෂඥයෙකු සහ Risk Intelligence ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන හාන්ස් ටිටෝ හැන්සන්, ග්‍රීන්ලන්තය අල්ලා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුමක් සිදුවිය හැකි ආකාරය පැහැදිලි කළේ ය.

හැන්සන්ට අනුව, පැරෂුට් හෝ හෙලිකොප්ටර් මගින් යෙදවිය හැකි ආක්ටික්-පුහුණුව සහිත ඇලස්කාව පදනම් කරගත් 11 වන ගුවන් සංග්‍රාමික ඒකකය, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සහය ඇතිව ඕනෑ ම ආක්‍රමණයකට නායකත්වය දෙනු ඇති බව ය.

ඔහුගේ එම ප්‍රකාශය, අවදානම් තක්සේරු කිරීමේ සහ ඔත්තු සේවා සමාගමක් වන සිබිලයින්හි ප්‍රධානී බ්‍රිතාන්‍ය හමුදාවේ අතිරේක නිලධාරියෙකු වන ජස්ටින් ක්‍රම්ප් විසින් ද තහවුරු කරන ලදී.

"ඇමෙරිකා එක්සත් ජනපදයට විශාල නාවික බලයක් ඇති අතර යාත්‍රාවලින් විශාල භට පිරිසක් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබෙනවා. ග්‍රීන්ලන්ත ජනගහනය කුඩා කණ්ඩායම්වලට බෙදුවොත් එම කණ්ඩායම්වලට වෙන් වූ භට පිරිසක් පහසුවෙන් ගුවන් මගින් ගෙන යන්න පුළුවන්," ඔහු පැවසීය.

මෙම විකල්පය අනුකම්පා විරහිත වනු ඇති අතර, එය ලේ වැගිරීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත්තේ, ප්‍රතිරෝධයක් එල්ල කිරීමට ඉඩක් නොමැති හෙයින් බව ක්‍රම්ප් පැවසීය.

ග්‍රීන්ලන්තයේ අගනුවර වන නූක්, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කයේ පිහිටීම නිරූපණය කරන සිතියමක්

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ හිටපු නිලධාරීන් සහ ආරක්ෂක විශ්ලේෂකයින් කිහිප දෙනෙකු පැවසුවේ, එක්සත් ජනපද-යුරෝපීය සන්ධාන සඳහා එහි දුරදිග යන අර්බුද සැලකිල්ලට ගැනීමේදී, මිලිටරි මෙහෙයුමක් සිදුවීමේ සම්භාවිතාව ඉඩා අඩු බව ය.

"එය පැහැදිලිව ම සියලු ම ජාත්‍යන්තර නීතිවලට පටහැනි ක්‍රියාවක් වේවි. ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයට තර්ජනයක් නොවෙනවා පමණක් නොවෙයි ඔවුන් ඇමෙරිකාවේ ගිවිසුම්ගත සගයෙක්" හිටපු නාවික, CIA පැරාමිලිටරි නිලධාරී සහ නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් මික් මල්රෝයි පැවසීය.

ධවල මන්දිරය මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහ කළහොත්, කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා ක්‍රියාත්මක වීම නැවැත්වීමට යුද බලතල පනත භාවිත කරමින් නීති සම්පාදකයින් එයට විරුද්ධ වනු ඇතැයි මල්රෝයි පැවසීය.

'නේටෝ සන්ධානය විනාශ කිරීමට කොංග්‍රසයේ සහයෝගයක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ,' ඔහු පැවසීය.

ග්‍රීන්ලන්තය මිල දී ගැනීම

ඇමෙරිකා එක්සත් ජනපදයට විශාල මුදලක් ඇති නමුත් නූක් සහ කෝපන්හේගන් බලධාරීන්ට අනුව ග්‍රීන්ලන්තය අලෙවිය කිරීමට තීරණයක් ගෙන නොමැත.

බීබීසීහි ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති සහකරු වන CBS වාර්තා කළේ, නීති සම්පාදකයෙකු සහ දැනුවත් මූලාශ්‍රයකට අනුව, ග්‍රීන්ලන්තය මිල දී ගැනීම පරිපාලනය කැමති සැලැස්ම වන අතර එය ධවල ​​මන්දිරයේ සුපුරුදු ස්ථාවරයට වඩා වෙනස් එකක් බව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කොංග්‍රසයට පවසා තිබේ.

ග්‍රීන්ලන්තය විකිණීමට අවශ්‍ය වුව ද, ගනුදෙනුව ඉතා සංකීර්ණ වනු ඇත.

ඕනෑ ම අරමුදලක් කොංග්‍රසය මගින් අනුමත කර ගත යුතු අතර, ගිවිසුම මගින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා සෙනෙට් සභාවේ තුනෙන් දෙකක සහය අවශ්‍ය වනු ඇත. නමුත් ප්‍රවීණයන් පවසන පරිදි එය සාක්ෂාත් කර ගැනීම දුෂ්කර වනු ඇත.

යුරෝපා සංගමයට ද මෙම ගිවිසුමට අත්සන් කිරීමට සිදුවනු ඇත.

Protests outside the US consulate in Greenland in March 2025. 2025 මාර්තු මාසයේදී ග්‍රීන්ලන්තයේ ඇමෙරිකා එක්සත් ජනපද කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාව.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ ග්‍රීන්ලන්ත වැසියන් ඩෙන්මාර්කයෙන් නිදහස ලබා ගැනීමට කැමති බව මත විමසුම්වලින් පෙනී ගිය නමුත් එක්සත් ජනපදයේ කොටසක් වීමට කැමති වන්නේ ඉන් සීමිත පිරිසක් පමණි.

ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය හෝ කොංග්‍රසය සම්බන්ධ කර නොගෙන ඒකපාර්ශ්විකව ගිවිසුමකට එළඹීමට න්‍යායාත්මකව උත්සහ කළ හැකි වුව ද, විශේෂඥයින් විශ්වාස කරන්නේ එයට ඉඩක් නොමැති බව ය.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීති විශේෂඥයෙකු වන මහාචාර්ය මොනිකා හකිමි පැවසුවේ, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ග්‍රීන්ලන්තය භූමිය පැවරීම සඳහා කොන්දේසිවලට එකඟ වන තත්ත්වයක් "යමෙකුට සිතාගත හැකි" බව ය.

"[නමුත්] එය ජාත්‍යන්තර නීතියට සම්පුර්ණයෙන් ම අනුකූල වීමට නම්, එවැනි ගිවිසුමකට ස්වයං නිර්ණය සඳහා ග්‍රීන්ලන්ත සහභාගීත්වය ද සම්බන්ධ කර ගැනීමට සිදුවනු ඇත," ඇය තවදුරටත් පැවසුවාය.

දූපත මිලදී ගැනීම සඳහා කොපමණ මුදලක් වැය වේ ද යන්න පැහැදිලි නැත. මෙය "ඇමෙරිකාව පළමුවෙන්" යනුවෙන් වේදිකාවේ සිදුකළ ප්‍රකාශයත් සමග ට්‍රම්ප්ට එය සංකීර්ණ තත්ත්වයක් ගෙන දිය හැකි ය.

අයිස්වලින් වැසී ගිය දූපතක් සඳහා එක්සත් ජනපද බදු ඩොලර් බිලියන ගණනක් හෝ ට්‍රිලියන ගණනක් වියදම් කිරීමේ අපේක්ෂාව ඔහුගේ MAGA කඳවුර කලබලයට පත්කළ හැක.

විශේෂයෙන් වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෑත මෙහෙයුමෙන් පසුව, ඇමෙරිකා එක්සත් ජනපදය ග්‍රීන්ලන්ඩ් යටවෙගගා මිල දී ගැනීමට අපොහොසත් වුවහොත් ට්‍රම්ප් හමුදා ක්‍රියාමාර්ගයකට එළෙඹීම සම්බන්ධයෙන් වඩාත් බැරෑරුම් ලෙස සලකා බැලිය හැකි බව ක්‍රම්ප් සිතයි.

"ඔහු කියයි, 'හොඳයි, අපි ඒක ගන්නයි යන්නේ'," ක්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ගැන පැවසීය.

රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ගැන සලකා බැලූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ට්‍රම්ප් නොවන බවයි.

1946 දී ජනාධිපති හැරී ටෲමන් ග්‍රීන්ලන්තය මිල දී ගැනීම සඳහා ඩෙන්මාර්කයට ඩොලර් මිලියන 100ක රත්‍රන් ලබා දීමට යෝජනා කළ බව ඔහු සඳහන් කළේ ය.

ග්‍රීන්ලන්ත වැසියන් දිනා ගැනීම

ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් බහුතරයකට ඩෙන්මාර්කයෙන් නිදහස අවශ්‍ය බව මත විමසුම්වලින් පෙනී යයි.

එහෙත් ඔවුන් එක්සත් ජනපදයේ කොටසක් වීමට ද කැමැත්තක් නොදක්වන බව මත විමසුම්වලින් අනාවරණය වෙයි.

එසේ වුව ද, කෙටි කාලීන මූල්‍ය දිරිගැන්වීම් හෝ අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් දූපත්වාසීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමේ උත්සහයක් ඇමෙරිකාවට දියත් කළ හැකිය.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ, බුද්ධි අංශ ග්‍රීන්ලන්තයේ නිදහස් ව්‍යාපාරය අධීක්ෂණය කිරීම වැඩි කර ඇති අතර පරිපාලනයේ අරමුණු සඳහා සහය දක්වන පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ කරමින් සිටින බව ය.

භූ මූලෝපායික විශේෂඥයෙකු වන ඉම්රාන් බයෝනි බීබීසීයට පැවසුවේ, හමුදා ක්‍රියාවකට යොමු වීමට වඩා "බලපෑම්සහගත ව්‍යාපාරයක්" දියත් කිරීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි බව ය.

මෙම ව්‍යාපාරය ග්‍රීන්ලන්තය නිදහස කරා රැගෙන යාමට දිරිමත් කළ හැකි බව ඔහු පැවසීය.

"ග්‍රීන්ලන්තය ස්වාධීන වූ පසු, ඇමෙරිකා එක්සත් ජනපදයේ හවුල්කරුවෙකු විය හැකි බවත්, හමුදා ක්‍රියාමාර්ග සඳහා වන පිරිවැය අධික වනු ඇති බවත්" ඔහු පැවසීය.

මෙවැනි ගනුදෙනු මීට පෙර සිදුවී ඇත.

නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය ඔවුන්ගේ ආරක්ෂක අයිතීන් භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ඉඩ දෙන ස්වාධීන රටවල් වන පලාවු, මයික්‍රොනීසියාව සහ මාෂල් දූපත් සමග සමාන ගනුදෙනු කර ඇත.

ඒ වෙනුවට, මෙම රටවල් තුනේ පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට අවස්ථාව හිමි වේ.

එහෙත්, දැනට පවතින ගිවිසුම් යටතේ ග්‍රීන්ලන්තයට අවශ්‍ය තරම් හමුදා භට පිරිසක් ගෙන ඒමේ බලය දැනටමත් ඇති ට්‍රම්ප්ට මෙයින් සෑහීමකට පත් නොවිය හැකි ය.

එවැනි ගනුදෙනුවක් ආක්ටික් අයිස් යට පිහිටි ග්‍රීන්ලන්තයේ විශාල ඛනිජ සංචිතවල අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා නොදෙනු ඇත.

ඩෙන්මාර්ක් විශ්ලේෂක හැන්සන් පැවසුවේ, ග්‍රීන්ලන්ත ජනතාව එයට විරුද්ධ නම් හමුදාව භාවිත නොකර ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට දරන ඕනෑ ම උත්සාහයක් අසාර්ථක වන බව ය.

මේ වන විට ග්‍රීන්ලන්තයේ කිසිදු දේශපාලන පක්ෂයක් එක්සත් ජනපදයට සම්බන්ධ වීමට උත්සහ නොකර යි.

"ග්‍රීන්ලන්තය නැවතත් යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වීමට වැඩි ඉඩක් ඇත," ඔහු පැවසීය.

"එසේ ම, වත්මන් එක්සත් ජනපද පරිපාලනයට ඇත්තේ තවත් වසර තුනක් පමණයි, ග්‍රීන්ලන්තයේ ජනතාවට සමහර විට වසර 1,000ක ක්ෂිතිජයක් තියෙන්න පුළුවන්."