'මිහිපිට අපාය': නිකොලස් මදුරෝ රඳවා සිටින නිව්යෝර්ක් රැඳවුම් මධ්‍යස්ථානය ගැන අප දන්නා කරුණු

Cilia Flores and Nicolás Maduro are escorted by US agents on their way to a New York court. They are handcuffed and are being escorted by US law-enforcement officials

ඡායාරූප මූලාශ්‍රය, EPA

    • Author, ජුවාන් ෆ්‍රැන්සිස්කෝ ඇලෝන්සෝ
    • Role, බීබීසී මුන්ඩෝ සේවය

වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ රඳවා සිටින බෘක්ලින් රැඳවුම් මධ්‍යස්ථානය "මිහිපිට අපාය" ලෙස එක්සත් ජනපදයේ නීතිඥයෙකු විස්තර කර ඇත. ඇතැම් විනිසුරුවන් වරදකරුවන් එහි ‍යොමු කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇත.

ඇමෙරිකානු මත්ද්‍රව්‍ය මර්දන පාලනාධිකාරියේ නියෝජිතයන් දෙදෙනෙකු විසින් මාංචු දමා දැඩි ආරක්ෂක රැකවල් සහිතව රැගෙන ගිය මදුරෝ නිව්යෝර්ක් වෙත පැමිණි විට විහිළු සහගත ප්‍රකාශයක් සිදු කළේ ය. "සුබ රාත්‍රියක් කියන්නේ බුවෙනාස් නෝචස් කියලා නේද? සුභ රාත්‍රියක්! සුභ නව වසරක් වේවා!"

ඔහු සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් මත්ද්‍රව්‍ය සහ ආයුධ සම්බන්ධ චෝදනාවලට (ඔවුන් දෙදෙනාම ඒවා ප්‍රතික්ෂේප කරයි) මුහුණ දෙමින් සිටින අතරතුර රඳවා සිටිනු ඇතැයි අපේක්ෂා කළ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ (MDC) සිර මැදිරියක සිර කිරීමට පෙර, ඔහු ඉක්මනින් මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ (DEA) මූලස්ථානය හරහා රැගෙන ගියේ ය.

Heavily armed police officers walk around the prison where Maduro is being held.

ඡායාරූප මූලාශ්‍රය, Adam Gray/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිඥයින් 'මිහිපිට අපාය' ලෙස විස්තර කරන ස්ථානයක නිකොලස් මදුරෝ සිර කර තිබේ

වානේ බාධක සහ කැමරා

මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය (MDC) තට්ටු කිහිපයක් උසට පවතින කොන්ක්‍රීට් සහ වානේවලින් තැනූ පරිශ්‍රයක් වන අතර එය බෘක්ලින් දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. එය වරායේ සිට මීටර් කිහිපයක් දුරින් සහ පස්වන මාවත, මධ්‍යම උද්‍යානය සහ අනෙකුත් ප්‍රසිද්ධ ආකර්ෂණීය ස්ථාන වලින් සැතපුම් 3 (කිලෝමීටර් 5) පමණ දුරින් පිහිටා ඇත.

නගරයේ බන්ධනාගාරවල පැවැති අධික තදබදය විසඳීම සඳහා 1990 දශකයේ මුල් භාගයේදී විවෘත කරන ලද මෙම බන්ධනාගාරය පිහිටා ඇත්තේ වරායට පැමිණෙන නෞකාවල හෝ වරායෙන් පිටත් වන නෞකාවල පවතින භාණ්ඩ ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා භාවිතා කළ පැරණි ගබඩා පහසුකම් තිබූ ස්ථානයේ ය.

මෑන්හැටන් සහ බෘක්ලින් උසාවිවල සිදු කෙරෙන නඩු විභාග සඳහා පෙනී සිටීමට නියමිත පිරිමි සහ කාන්තා රැඳවියන් රඳවා තැබීමට මෙම පහසුකම විවෘත කිරීමේ අරමුණ වුව ද, ෆෙඩරල් බන්ධනාගාර කාර්යාංශයේ (BOP) වෙබ් අඩවියට අනුව කෙටිකාලීනව සිර දඬුවම් විඳිමින් සිටින වරදකරුවන් සිරගත කිරීම සඳහා ද මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය භාවිතා කර තිබේ.

ඇත්ත වශයෙන් ම, එය දැනට නිව්යෝර්ක් හි ෆෙඩරල් බන්ධනාගාර කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද එක ම පහසුකම වන අතර, 2021 දී මෑන්හැටන්හි එම ආයතනය විසින් මෙහෙයවන ලද ඊට සමාන බන්ධනාගාරයක් වසා දමන ලදී. එය සිදුවූයේ 2019 වසරේදී වරදකරුවෙකු වී සිටි ලිංගික අපරාධකරුවෙකු මෙන්ම එක්සත් ජනපද‍යේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් අභිරහස් ලෙස සියදිවි නසාගැනීමෙන් පසුව ය.

රැඳවුම් මධ්‍යස්ථානය එක්සත් ජනපද නීතිපති කාර්යාලය සහ ෆෙඩරල් අධිකරණ දෙකක් අතර පිහිටා ඇති අතර, දුර සිට ඡායාරූප ලබා ගත හැකි පරිදි යකඩ බාධක සහ කැමරා වලින් වටකර ඇත.

මදුරෝගේ පැමිණීමෙන් පසු එහි බාහිර ආරක්ෂාව තර කර ඇත.

පබ්ලික් බ්‍රෝඩ්කාස්ටින් (PBS) සේවයට අනුව එහි සැලසුමට අමතරව රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ, එළිමහන් ක්‍රීඩා ප්‍රදේශයක් මෙන් ම වෛද්‍ය ඒකක සහ පුස්තකාලයක් පවා ඇත.

කෙසේ වෙතත්, මාධ්‍ය වාර්තා යෝජනා කර ඇත්තේ රැඳවියන් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ තදබදයෙන් යුතු සිර මැදිරි තුළ බව යි. මේ සඳහා නිල තොරතුරු හෝ ප්‍රතිචාරයක් නොමැත.

නිව් යොක්හි සිතියමකි

'අමානුෂික තත්ත්වයන්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජනමාධ්‍ය වාර්තා අනුව පුද්ගලයින් 1,000ක් රඳවා තැබීම සඳහා ඉදිකරන ලද මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ 2019 වනවිට රඳවා සිටි සංඛ්‍යාව 1,600ක් දක්වා ළඟා විය. ෆෙඩරල් බන්ධනාගාර කාර්යාංශයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි, එහි මේවනවිට රැඳවියෝ 1,330 කට වඩා වැඩි සංඛ්‍යාවක් රඳවා සිටිති.

මීට අමතරව, අධිකරණ ලේඛන උපුටා දක්වන AP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව 2024 නොවැම්බර් මාසයේදී, මෙම රැඳවුම් මධ්‍යස්ථානය එහි නිර්දේශිත කාර්ය මණ්ඩල සංඛ්‍යාවෙන් අඩක් පමණ වන පිරිසක් සමග ක්‍රියාත්මක වෙමින් තිබිණි.

විශේෂඥයින් පවසන්නේ අධික තදබදය සහ කාර්ය මණ්ඩල හිඟය ඒකාබද්ධ වීම මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය තුළ නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස පවතින එක් හේතුවක් බවයි.

ගොඩනැගිල්ලේ භෞතික යටිතල පහසුකම් ද කනස්සල්ලට හේතුවකි. 2019 ශීත ඍතුවේ මැද භාගයේදී විදුලිය ඇණහිටීමක් හේතුවෙන් එහි සිටි පුද්ගලයින්ට දින කිහිපයක් උණුසුම නොලැබ සිටීමට සිදුවූ අවස්ථාවේදී මෙය හොඳින් පැහැදිලි විය.

එම රැඳවුම් මධ්‍යස්ථානයේ පැවැති විනාශකාරී තත්ත්වය පිළිබඳ පවසමින් ෆෙඩරල් රජයට එරෙහිව නඩු පැවරූ එවකට නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් ප්‍රකාශ කළේ "මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ පවතින තත්ත්වයන් කිසිසේත් අනුමත කළ නොහැකි සහ අමානුෂික එකක්," යනුවෙනි.

"සිරගත කිරීම යනු මානව හිමිකම් ප්‍රතික්ෂේප කිරීමක් නොවිය යුතුයි," ජේම්ස් තවදුරටත් පැවසුවා ය.

Journalists and police around the prison where Maduro is being held.

ඡායාරූප මූලාශ්‍රය, BBC NEWS

ඡායාරූප ශීර්ෂ වැකිය, මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සිර කර තැබූ ස්ථානය මහල් කිහිපයක් උසින් යුක්ත වන අතර එය බිත්ති සහ කැමරාවලින් වටවී ඇත

ඇන්ඩෲ ඩලක් වැනි නීතිඥයින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ බන්ධනාගාරය "මිහිපිට අපායක්" බවයි. ඔහු මේ බව පවසා තිබුණේ 2024දී ඩලක්ගේ සේවාදායකයෙකු වන එඩ්වින් කෝඩෙරෝ වෙනත් සිරකරුවන් විසින් පිහි ඇනුමකින් ඝාතනය කිරීමෙන් අනතුරුව ය.

සිරකරුවන් ගණනාවක් 2021 සහ 2024 අතර කාලය තුළ සියදිවි නසා ගත් බව ද වාර්තා වේ.

විනිසුරුවරුන් ද බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් නොවන අතර, එමගින් පෙන්නුම් කෙරෙන්නේ රැඳවියන් ඒ වෙත යොමු කිරීමට ඔවුන් තුළ පවතින අකමැත්තයි.

ඔවුන්ගෙන් එක් අයෙක් වූයේ, 2024 අගෝස්තු මාසයේදී බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ 75 හැවිරිදි පුද්ගලයෙකු ෆෙඩරල් බන්ධනාගාර කාර්යාංශය මගින් ඔහු බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළහොත් තමන් විසින් නියම කරන ලද මාස නවයක සිර දඬුවම අවලංගු කරන බවත්, ඔහුව නිවාස අඩස්සියේ තබන බවත් පැවසූ දිස්ත්‍රික් විනිසුරු ගැරී බ්‍රවුන් ය.

"මෙවැනි සිදුවීම් (ගැටුම් පිළිබඳ සඳහන් කරමින්) මගින් පෙන්නුම් කරන්නේ අධීක්ෂණයේ පවතින කණගාටුදායක අඩුපාඩු, මහජන සාමය බිඳවැටීම සහ පිළිගත නොහැකි, නින්දිත සහ කළමනාකරණයේ දෝෂ සහිත අරාජික පරිසරයක්," යැයි බ්‍රවුන් උපුටා දක්වමින් ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ සඳහන් විය.

දූෂණ චෝදනා හේතුවෙන් ද මෙම රැඳවුම් මධ්‍යස්ථානය ගැන පුවත්පත්වල මුල් පිටුවල පළ වී තිබේ. පසුගිය වසරේ මාර්තු මාසයේදී එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී භාණ්ඩ ළඟ තබා ගැනීමට අදාළ වෙන වෙන ම නඩු 12 ක් සඳහා රැඳවියන් සහ හිටපු නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකුට එරෙහිව නඩු පවරන බවයි.

මීට පෙර නිකුත් කරන ලද නිවේදනයකින් ෆෙඩරල් බන්ධනාගාර කාර්යාංශය පැවසුවේ එය, ''තම භාරයේ සිටින පුද්ගලයින් ආරක්ෂිතව තබා ගැනීම, ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සහ ප්‍රජාව ද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන රාජකාරිය බැරෑරුම් ලෙස සලකා කටයුතු කරන,'' බව යි.

කාර්යංශයේ ප්‍රකාශකයෙකු, එහි ගැටළු විසඳීම අපේක්ෂා කරමින් හදිසි ක්‍රියාකාරී කණ්ඩායමක් නිර්මාණය කිරීම සහ තවත් කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට පවතින අඛණ්ඩ උත්සාහය මෙන් ම, නඩත්තු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී පැවැති පසුබෑම විසඳීම ද පෙන්වා දී ඇත.

කෝඩෙරෝ සහ අනෙකුත් පුද්ගලයින්ගේ මරණවලින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් ගණනාවක් ද සිදු කර තිබේ.

Sean “Diddy” Combs dressed in a yellow shirt and dark trousers and wearing sunglasses waves to the cameras and smiles, before being arrested. A man dressed in black - also with sunglasses on - walks beside him.

ඡායාරූප මූලාශ්‍රය, Hollywood To You/Star Max/GC Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රැප් ගායක සහ සංගීත නිෂ්පාදක ෂෝන් 'ඩිඩී' කොම්බ්ස් සිර දඬුවම් නියම වන තෙක් නිව්යෝර්ක් රැඳවුම් මධ්‍යස්ථානයේ මාස කිහිපයක් ගත කළේ ය

අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්

බෘක්ලින් රැඳවුම් මධ්‍යස්ථානයේ දුර්වල තත්ත්වයන් තිබියදීත්, එක්සත් ජනපද බලධාරීන් අනෙකුත් ඉහළ පෙළේ පුද්ගලයින් එහි යොමු කිරීම අඛණ්ඩව සිදු කර ඇත.

උදාහරණයක් වශයෙන් මදුරෝ එහි සිර මැදිරියක සිර කරන ලද පළමු ලතින් ඇමෙරිකානු දේශපාලනඥයා නොවේ.

හොන්ඩියුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩෙස් පසුගිය ජූනි මාසය දක්වා මෙට්‍රෝපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ වසර තුනකට වැඩි කාලයක් ගත කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයක් විසින් වසර 45ක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලදී. කැපී පෙනෙන සිදුවීමක් වූයේ, පසුගිය දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට සමාව ලබාදීම යි.

මෙක්සිකෝවේ හිටපු මහජන ආරක්ෂක ලේකම් ජෙනාරෝ ගාර්ෂියා ලූනා ද නිව්යෝර්ක් බන්ධනාගාරයේ සිර කුටියක කාලය ගත කළේ ය.

මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අයෙකු වන ජොකින් "එල් චාපෝ" ගුස්මාන් ද එහි රඳවා සිටි අතර, සිනාලෝවා කාටෙල්හි නායකයින්ගෙන් කෙනෙකු වන ඉස්මයිල් "එල් මායෝ" සැම්බාඩා ගාර්ෂියා ද මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඔහුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයකට මුහුණදීම සඳහා එම පරිශ්‍රයේ රඳවා සිටියේ ය.

අනෙකුත් ප්‍රසිද්ධ රැඳවියන් අතර ජෝන් ගොට්ටි වැනි සංවිධානාත්මක අපරාධකරුවන් සහ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් අල් කයිඩා සාමාජිකයෝ ඇතුළත් වෙති.

රැප් ගායක සහ සංගීත නිෂ්පාදක ෂෝන් "ඩිඩී" කොම්බ්ස් පවා මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ මාස කිහිපයක් සිරගත ගත කළ නමුත්, දශකයකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවමක් නියම වූ පසු නිව් ජර්සිහි වෙනත් බන්ධානාගාරයකට මාරු කරන ලදී.

එප්ස්ටීන්ගේ හවුල්කාරියක සහ හිටපු සහකාරිය වූ ගිලෙන් මැක්ස්වෙල්, අසාර්ථක ක්‍රිප්ටෝ වේදිකාවක් වන FTXහි නිර්මාතෘ සෑම් බෑන්ක්මන්-ෆ්‍රයිඩ් සහ, මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවමක් නියම වූ ට්‍රම්ප්ගේ හිටපු පුද්ගලික නීතිඥ මයිකල් කොහෙන් එම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අනෙකුත් සිරකරුවෝ අතර වෙති.