ඇමෙරිකාවේ ග්‍රහණයට නතුවූ වෙනිසියුලාවේ බලවත්ව සිටි ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිලියා ෆ්ලෝරස් වෙනිසියුලාවේ ජනාධිපති ආර්යාවගේ භූමිකාව ඉක්මවා ගිය භූමිකාවක් ඉටු කර ඇත.
ජනාධිපති නිකොලස් මදුරෝගේ බිරිඳ රජයේ කැපී පෙනුණු කාන්තාවන්ගෙන් අයෙකු වන අතර, ආධාරකරුවන් විසින් බොහෝවිට ඇය හඳුන්වනු ලැබුවේ, "පළමු රණශූරිය" ලෙස ය.
1956 වසරේදී උපත ලැබූ ඇය, තම සැමියාගේ දේශපාලන ජීවිතය හා සමාන්තරව තමන්ගේ ම දේශපාලන ජීවිතයක් ගොඩනගා ගත් අතර, ඇතැම් අවස්ථාවල ඔහුට වඩා ඉහළ තනතුරු දරා තිබිණි.
විශේෂයෙන් 2013 වසරේදී මදුරෝ ජනාධිපති වීමෙන් පසු, රටේ දේශපාලන දිශාව හැඩගැස්වීමේදී ඇය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළා ය.
පසුගිය සෙනසුරාදා, ඇය සහ ඇගේ සැමියා වෙනිසියුලාව තුළ එක්සත් ජනපද හමුදා මෙහෙයුමක් අතරතුර අල්ලා ගනු ලැබූ අතර, දෙදෙනා ම නිව්යෝර්ක් අධිකරණයකදී මත්ද්‍රව්‍ය ජාවාරම සහ ආයුධ චෝදනාවලට මුහුණ දෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆ්ලෝරස් සහ මදුරෝ යන දෙදෙනා ම හිටපු වෙනිසියුලානු නායක හියුගෝ චාවේස්ගේ සෙවණැල්ල තුළින් බලයට පත්වූවන් වෙති.
චාවේස්ගේ මරණයෙන් පසු 2013 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී, මදුරෝ ෆ්ලෝරස්ව "පළමු රණශූරිය" ලෙස හැඳින්වූ අතර, "පළමු කාන්තාව" යන යෙදුම ප්‍රතික්ෂේප කරමින් එය උසස් සමාජයේ අදහසක් බව පැවසීය.
වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ අභ්‍යන්තර කවය ඉලක්ක කර ගැනීමේ උත්සහයක කොටසක් ලෙස එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් 2018 සැප්තැම්බර් මාසයේදී ෆ්ලෝරස්ට එරෙහිව මූල්‍ය සම්බාධක පනවන ලදී.
කුඩා තැනකින් සිදුවූ ආරම්භය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මදුරෝට අනුව ෆ්ලෝරස් උපත ලැබුවේ, කරාකාස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ටිනාකිලෝ නගරයේ, "මඩ සහිත ගොවිපොළක" වන අතර, ෆ්ලෝරස්ට වයස අවුරුදු හතරක් වූ විට ඇගේ පවුල එම නගරය අතහැර කරාකාස් වෙත ගිය බව මදුරෝ පවසා ඇත.
එහිදී සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් බාලයා වූ ෆ්ලෝරස්, ඇගේ පවුල සමග නගරයේ බටහිරින් පිහිටි ජනාකීර්ණ ආසන්න ප්‍රදේශ දෙකක් වන කාටියා සහ බොකෙරොන්හි ජීවත් වී ඇත.
වයස අවුරුදු 32 දී, ඇය සැන්ටා මාරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගත් අතර, පසුව අපරාධ සහ කම්කරු නීතිය පිළිබඳ විශේෂඥවරියක වූවා ය.
කෙසේ වෙතත්, 1992 පෙබරවාරි මාසයේදී හියුගෝ චාවේස් විසින් මෙහෙයවන ලද අසාර්ථක කුමන්ත්‍රණයෙන් අනතුරුව ඇගේ ජීවිතය නව හැරවුමක් ලැබී ය.
කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා වූ නීති කණ්ඩායමට ෆ්ලෝරස් සම්බන්ධ වූ අතර, අවසානයේ ඇය ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ විය.
එය ඇයට මදුරෝ මුණගැසුණු කාලය වූ අතර, පොදු උත්සවවලදී ඔහු චාවේස් සමග ආරක්ෂක නිලධාරියෙකු ලෙස එක්ව සිටින අයුරු එම කාලයේදී ලබා ගත් ඡායාරූපවල දැකිය හැකි ය.
"මට සිලියාව පෞද්ගලිකව ම මුණ ගැසුණා. ඇය සිරගත කර සිටි දේශප්‍රේමී හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ නීතිඥවරිය ලෙස කටයුතු කළා. නමුත් ඇය කමාන්ඩර් චාවේස්ගේ නීතිඥවරිය ද වුණා, සිරගෙදරදී කමාන්ඩර් චාවේස්ගේ නීතිඥවරිය ද වූවා... ඇය ඉතා දැඩි යි," මධුරෝ සිහිපත් කළේ ය. "ඒ අවුරුදු ගණනාවක අරගලයේදී මම ඇයව මුණ ගැසුණා, පසුව ඇය මගේ ඇසට හසු වුණා, ඇයත් මා වෙත ඇස් යොමු කරන්න පටන් ගත්තා."
එතැන් පටන් ඔවුන්ගේ ඉරණම චාවේස් සහ චාවෙස්මෝ ලෙස හැඳින්වෙන ඔහුගේ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නීතිඥ ධූරවලට පත්වීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1990 ගණන්වලදී ෆ්ලෝරස් චාවෙස්මෝ සමග සම්බන්ධ වී තිබූ සංවිධානවලට සම්බන්ධ වූ අතර, 1998 ජනාධිපතිවරණවලදී චාවේස් බලයට පත්වීමත් සමග, ඇය ඉතා වැදගත් තනතුරු දැරීම ආරම්භ කළා ය.
2000 වසරේදී, ෆ්ලෝරස් ජාතික සභාවට තේරී පත්වූ අතර, දෙවන වරටත් ජයග්‍රහණය කිරීමෙන් පසු, 2006දී ඇය ව්‍යවස්ථාදායකයේ සභාපතිත්වය දැරූ පළමු කාන්තාව බවට පත්විය.
විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණවලට සහභාගී නොවීමට තීරණය කළ බැවින්, වසර හයක් පුරාවට ඇය ඒකපාර්ශවික පාර්ලිමේන්තුවක් මෙහෙයවූවා ය.
ෆ්ලෝරස් චාවේස්ගේ සටන්කාමී සහයෝගිතාකරුවෙකු බව පෙන්නුම් කළ අතර, ජාතික සභාවේ ප්‍රධානියා ලෙස ඇයගේ ධූර කාලය මතභේද සහිත විය. ඇය පාර්ලිමේන්තු සභාවට මාධ්‍ය ප්‍රවේශය පවා තහනම් කළා ය.
මෙම පියවර 2016 ජනවාරි දක්වා ක්‍රියාත්මක වූ අතර, නව ව්‍යවස්ථාදායක මැතිවරණයෙන් අනතුරුව වෙනිසුවෙලානු විපක්ෂය ජාතික සභාවේ පාලනය ලබා ගත්තේ ය.
වෘත්තීය සමිති විසින් ෆ්ලෝරස්ට ඥාති සංග්‍රහය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කරනු ලැබූ අතර, ඇය 40 දෙනෙකු රජයේ පත්වීම් සඳහා බඳවා ගැනීමට බලපෑම් කළ බවත්, ඒ අතර ඇගේ පවුලේ සාමාජිකයින් බොහෝ දෙනෙකු සිටි බවත් පෙන්වා දුන්හ.
"මගේ පවුල මෙහි ආවා, ඔවුන් මගේ පවුල වීම ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා. මම මෙම ජාතික සභාවේදී ඔවුන්ව කම්කරුවන් ලෙස ආරක්ෂා කරනවා, මහජන බඳවා ගැනීම් සඳහා මම සහය දෙනවා," ඇය දේශීය මාධ්‍ය වෙත පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2012 මුල් භාගයේදී, චාවේස් ඇයව ජනරජයේ නීතිපති ධූරයට පත් කළ අතර, 2013 මාර්තු මාසයේදී ජනාධිපතිවරයා මිය යන අවස්ථාව දක්වා ඇය එම තනතුර දැරුවා ය.
එම වසරේ ජූලි මාසයේදී, මදුරෝ ජනාධිපති ධූරයට පත්වීමෙන් මාස තුනකට පසු, ඔවුන් දෙදෙනා ම විවාහ වූ විට ෆ්ලෝරස් නිල වශයෙන් ජනාධිපති ආර්යාව බවට පත්වූවා ය.
මෙයින් වසර ගණනාවක පැවති සම්බන්ධතාවකට නිල පිළිගැනීමක් ලැබුණු අතර, එම කාලය තුළ ඔවුන් පෙර සබඳතාවලින් සිටි දරුවන් ඇති දැඩි කළහ. තිදෙනෙකු ඇයගේ වූ අතර එක් අයෙකු ඔහුගේ විය.
2015 ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, ෆ්ලෝරස් ජාතික සභාවට නැවත තේරී පත්වූ අතර, එහිදී චාවිස්මෝ වසර 15කට පසු පළමු වරට සුළුතරය බවට පත්විය.
අවසානයේදී වසර දෙකකට පසු, 2017 අගෝස්තු මාසයේදී, ඇය එම ආයතනයෙන් ඉවත් වී අලුතින් තේරී පත්වූ සහ මතභේදාත්මක වූ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකාවක වූවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පවුල
2015 මැයි මාසයේදී, ෆ්ලෝරස් රාජ්‍ය රූපවාහිනී නාලිකාවක "With Cilia, As a Family" නමින් රූපවාහිනී වැඩසටහනක් ආරම්භ කළ අතර, වසරකට පසුව, රාජ්‍ය ගුවන් විදුලිය ඔස්සේ 'Decisions' නම් වැඩසටහනක් විකාශය කිරීමට පටන් ගත්තා ය.
නමුත් පසුගිය වසර කිහිපය තුළ, සැබෑ මාධ්‍ය අවධානය ඇය කෙරෙහි නොව ඇගේ පවුල කෙරෙහි යොමු වී තිබිණි.
2015 නොවැම්බර් මාසයේදී ඇගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු හයිටියේදී අත්අඩංගුවට ගෙන එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයට (DEA) භාර දීමෙන් පසු නිව්යෝර්ක් නඩු පවරන්නෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ ය.
එක්සත් ජනපද බලධාරීන් සිය බෑණනුවන් "පැහැරගෙන" ගිය බවට චෝදනා කරමින් ෆ්ලෝරස් ප්‍රතිචාර දැක්වූ නමුත්, 2017 දෙසැම්බර් මාසයේදී විනිසුරුවරයෙක් තරුණයන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වසර 18ක සිර දඬුවමක් නියම කළේ ය.
කරාකාස්හි මයිකෙටියා ගුවන් තොටුපළේ ජනාධිපති ගුවන් යානා ගබඩාව භාවිත කිරීමට කුමන්ත්‍රණය කළ බවට පැමිණිලි පාර්ශවය ඔවුන්ට චෝදනා කර තිබූ අතර, එතැන් සිට ඔවුන් කොකේන් කිලෝග්‍රෑම් 800ක් හොන්ඩුරාස් වෙත සහ අනතුරුව එක්සත් ජනපදයට යැවීමට අදහස් කළ බවත් කියනු ලැබේ.
වෙනිසියුලාවේ සිරගතව සිටි එක්සත් ජනපද පුරවැසියන් හත් දෙනෙකු ආපසු පැමිණීමට හේතු වූ හුවමාරුවකින් එවකට ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සමාව ලබා දෙනු ලැබීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා 2022 ඔක්තෝබර් මාසයේදී නිදහස් කෙරිණි.
ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීමත් සමග, මෙම ඥාති පුත්‍රයින් දෙදෙනා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් නැවතත් සම්බාධකවලට ලක් කර ඇති නමුත් වඩාත් ඉක්මනින් ගැටලුවට මුහුණ දෙන්නේ මදුරෝ සහ ෆ්ලෝරස් ය.
වාර්තාකරණය: බීබීසී මුන්ඩෝ සේවය සහ බීබීසී ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායම














