ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට පහර දීමට ඇමෙරිකාව භාවිත කළ බලගතු 'බංකර් බස්ටර්' බෝම්බය කුමක් ද?

A demonstration test launch of the B-2 Spirit, known as the stealth bomber, dropping a Massive Ordnance Penetrator (MOP) bomb ස්ටෙල්ත් බෝම්බ යානා ලෙස හැඳින්වෙන B-2 ස්පිරිට් යානය පරීක්ෂණ දියත් කිරීමක් සඳහා දැවැන්ත ඕර්ඩනන්ස් විනිවිදක (MOP) බෝම්බයක් හෙළන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, US Air Force

ඡායාරූප ශීර්ෂ වැකිය, US B-2 Spirit බෝම්බ හෙළන යානා නිපදවා ඇත්තේ, GBU-57A/B Massive Ordnance Penetrator (MOP) බෝම්බ රැගෙන යාම සඳහා ම ය.
    • Author, ලුයී බරූචෝ
    • Role, බීබීසී ලෝක සේවය

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාර අතරතුර ප්‍රථම වරට සටන් සඳහා බලවත් අවියක් භාවිතා කරන ලදී: ඒ, ලොව විශාලතම න්‍යෂ්ටික නොවන "බංකර් බස්ටර්" බෝම්බය ලෙස සැලකෙන GBU-57 Massive Ordnance Penetrator නමැති බෝම්බයයි.

රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600) බරින් යුතු නියත නියෙමු අනුව ක්‍රියාත්මක, එක්සත් ජනපදය සතුව පමණක් ඇති මෙම බෝම්බයට කඳුකරයක් තුළ ගැඹුරින් භූගතව ඉදිකර ඇති ඉරානයේ න්‍යෂ්ටික යුරේනියම් බලගැන්වීමේ ෆෝඩෝ සංකීර්ණය වෙත කඩා වැදීමට හැකියාව ඇති එකම අවිය යැයි විශ්වාස කෙරේ.

US military personnel managing a Massive Ordnance Penetrator (MOP) bomb positioned atop a truck ට්‍රක් රථයක් මත ස්ථානගත කර ඇති දැවැන්ත ඕර්ඩනන්ස් විනිවිදක (MOP) බෝම්බයක් සකස් කරන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, Whiteman Air Force Base

ඡායාරූප ශීර්ෂ වැකිය, MOP බෝම්බය පුපුරා යාමට පෙර මතුපිට සිට අඩි 200ක් (මීටර් 61) පමණ ගැඹුරට විනිවිද යාමට හැකියාව ඇති බව විශ්වාස කෙරේ.

නමුත් මෙම ආයුධය කුමක් ද - සහ එය භාවිත කළේ කෙසේ ද?

ඇමෙරිකානු රජයට අනුව, GBU-57A/B යනු, "භූගතව පිහිටා ඇති බංකර් සහ උමං මාර්ගවලට පහර දී විනාශ කිරීම සඳහා නිර්මාණය කරන ලද විශාල බෝම්බයකි"

මීටර් හයක් දිගැති මෙය, පිපිරීමට පෙර මතුපිට සිට අඩි 200ක් (මීටර් 61) පමණ ගැඹුරට කිඳා බැසීමට සමත් බව පැවසේ. එකිනෙක පිපිරීමෙන් පොළොව හාරමින් ගැඹුරට යන ආකාරයෙන් බෝම්බ කිහිපයක් ම අනුපිළිවෙළින් පුපුරුවා හැරීමට එයට හැකියාව පවතී.

බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම දැවැන්ත අවිය (MOP), අද දක්වා කිසි විටෙකත් සටන් සඳහා භාවිත කර නොමැති නමුත් නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා පරීක්ෂණ ප්‍රදේශයක් වන වයිට් සෑන්ඩ්ස් මිසයිල භූමි කලාපයේදී අත්හදා බලා තිබේ.

එය 2017 වසරේදී ඇෆ්ඝනිස්ථානයේ සටන් වලදී භාවිත කරන ලද "සියලු බෝම්බවල මව" ලෙස හැඳින්වෙන රාත්තල් 21,600 (කිලෝග්‍රෑම් 9,800) බරැති දැවැන්ත "Massive Ordnance Air Blast" (MOAB) නමැති බෝම්බවලට වඩා ප්‍රබල ය.

"ඇමෙරිකානු ගුවන් හමුදාව MOAB විශාලත්වයට බොහෝදුරට සමාන ආයුධ නිර්මාණය කරන්න උත්සහ කළත්, ඒවායෙහි පුපුරනසුලු ආරෝපිත ද්‍රව්‍ය අතිශයින් දෘඪ ලෝහ ආවරණයක් ඇතුළෙ දාලා තිබුණෙ. ඒ නිසා ඔවුන් GBU-57A/B කියන දැවැන්ත බෝම්බය හැදුවා," එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සාම අධ්‍යයන පිළිබඳ සම්මානිත මහාචාර්ය පෝල් රොජර්ස් පවසයි.

"ඇමෙරිකාවේ ගුවන් හමුදාව MOAB ප්‍රමාණයට බොහෝ දුරට සමාන ප්‍රමාණයේ ආයුධ නිර්මාණය කිරීමට සැලකිය යුතු උත්සහයක් දැරූ අතර ඒ අතිශය දෘඩ ලෝහ පෙට්ටියක් තුළ අඩංගු පුපුරන සුලු ආරෝපණ සහිතවය. එහි ප්‍රතිඵලය වූයේ GBU-57A/B Massive Ordnance Penetrator" එක යැයි එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සාම අධ්‍යයන පිළිබඳ සම්මානිත මහාචාර්ය පෝල් රොජර්ස් පවසයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකාව භාවිත කළ B-2 යානය සහ බලගතු 'බංකර් බස්ටර්' බෝම්බය යනු කුමක් ද?
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දැනට, බංකර් බස්ටර් හෙවත් MOP ලෙස හැඳින්වෙන මෙම බෝම්බ හෙළිය හැක්කේ, ඇමෙරිකා එක්සත් ජනපදය සතු B-2 Spirit යානයට පමණක් වන අතර එය රහසිගත බෝම්බකරු ලෙස ද හැඳින්වේ. නෝත්‍රොප් ග්‍රුමන් විසින් නිෂ්පාදනය කරන ලද මෙය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ වඩාත් ම දියුණු ගුවන් යානාවලින් එකකි.

ගුවන් යානයේ නිෂ්පාදකයාට අනුව, B-2 යානයට රාත්තල් 40,000ක (කිලෝග්‍රෑම් 18,000) බරක් රැගෙන යා හැකි ය. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව පවසා ඇත්තේ, GBU-57A/B බංකර් බස්ටර් දෙකක් රැගෙන යමින් B-2 යානය සාර්ථකව අත්හදා බැලූ බව ය. එහි මුළු බර රාත්තල් 60,000ක් (කිලෝග්‍රෑම් 27,200) පමණ වේ.

මෙම දිගු දුර බර බෝම්බ හෙළන ගුවන් යානයට ඉන්ධන පිරවීමකින් තොරව සැතපුම් 7,000ක (කිලෝමීටර් 11,000) පමණ පරාසයක් පියාසර කළ හැකි අතර, එක් ඉන්ධන පිරවීමකින් පසුව සැතපුම් 11,500ක් (කිලෝමීටර් 18,500) දක්වා පරාසයක් පියාසර කරයි. එමගින් පැය කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනෑ ම ස්ථානයකට ළඟා වීමට හැකි බව නෝත්‍රොප් ග්‍රුමන් පවසයි.

B-2 හි ස්ටෙල්ත් තාක්‍ෂණයට (සැඟවී යාමට ඇති හැකියාව) රේඩාර්-අවශෝෂක ද්‍රව්‍ය සහ සතුරු ගුවන් ආරක්ෂක පද්ධති වෙත හසු වීම අවම කරන හැඩයකින් යුක්ත වේ. එය රේඩාර් තිරයේ කුඩා කුරුල්ලෙකු හා සමානව දිස්වන බවට වාර්තා වන අතර, එය සාම්ප්‍රදායික රේඩාර්වලට හසු නොවන තරම් ය.

Infographic showing US 'bunker buster' bomb works

මෙහෙයුම සිදු වූයේ කෙසේ ද?

ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති එක්සත් ජනපද ජෙනරල් ඩෑන් කේන් පැවසුවේ, මිඩ්නයිට් හැමර් (Midnight Hammer) මෙහෙයුමට B-2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා හතක් ඇතුළුව එක්සත් ජනපද හමුදා ගුවන් යානා 125ක් සම්බන්ධ වූ බවයි.

එහිදී ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගත් බව එක්සත් ජනපදය පවසයි.

පෙන්ටගනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී, කේන් පැවසුවේ, බෝම්බ රැගත් යානා පැය 18ක ගුවන් මෙහෙයුමකට එක්සත් ජනපදයෙන් පිටත් වූ බවත්, සමහරක් "රැවටීමක්" ලෙස පැසිෆික් සාගරය ඔස්සේ බටහිර දෙසට ගමන් කළ බවත්, ප්‍රධාන ප්‍රහාරක යානා වන B-2 යානා හත ඉරානය දෙසට ගමන් කළ බවත් ය.

යානය ඉරාන ගුවන් සීමාවට ඇතුළු වීමට මද වේලාවකට පෙර, ඇමෙරිකානු සබ්මැරීනයකින් ඉස්ෆහාන් මධ්‍යස්ථානයේ ඉලක්ක වත ටොම්හෝක් කෲස් මිසයිල 12කට වඩා එල්ල කළ බව ඔහු පැවසීය.

බෝම්බ රැගත් ප්‍රහාරක යානා ඉරාන ගුවන් කලාපයට ඇතුළු වූ විට, එක්සත් ජනපදය "රැවටීමේ උපක්‍රම කිහිපයක්" යෙදවූ අතර, ප්‍රහාරක ජෙට් යානා ඔවුන්ට ඉදිරියෙන් ඇති ගුවන් අවකාශයේ ඇති බාධක ඉවත් කරමින් සතුරු ගුවන් යානා පැමිණෙන්නේ ද යන්න සහ භූමියේ සිට ගුවන් ප්‍රහාර එල්ල වන්නේ ද යන්න පරීක්ෂා කළ බව කේන් සඳහන් කළේ ය.

ඉන්පසු පෙරමුණේ සිටි B-2 යානය ෆෝඩෝ න්‍යෂ්ටික භූමියට GBU-57 Massive Ordnance Penetrator (MOP) බෝම්බ දෙකක් හෙළුවේ ය. සමස්තයක් වශයෙන්, ඉලක්කගත ප්‍රදේශ දෙකක් මත MOP බෝම්බ 14ක් හෙළනු ලැබූ බව කේන් පැවසීය.

ඉරාන න්‍යෂ්ටික යටිතල පහසුකම් ඉලක්ක තුන වෙත ඉරාන වේලාවෙන් අලුයම 02:10ත් අලුයම 02:35ත් අතර පහර දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඉන්පසු මෙම යානා ඉරාන ගුවන් සීමාවෙන් ඉවත් වී එක්සත් ජනපදයට ආපසු ගමන් කිරීම ආරම්භ කළේ ය.

"ඉරානයේ ප්‍රහාරක යානා පියාසර කළේ නැහැ, සහ පේන විදිහට ඉරානයේ ගුවන් යානා නාශක මිසයිල පද්ධති අපිව දැක්කේ නැහැ," කේන් පැවසීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දීම අදහස් දක්වමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ, මෙම මෙහෙයුම ඉරාන හමුදා හෝ ඉරාන ජනතාව ඉලක්ක කර නොගත් බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ මෙහෙයුම "පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වූවක් නොවන බවත්, එය එසේ වී නැති බවත්" ය.

ආරක්ෂක ලේකම්වරයා "ඊශ්‍රායලයේ අපගේ මිතුරු හමුදා" දැක්වූ සහයෝගයට ස්තූති කළ අතර මෙහෙයුම "මාස සහ සති ගණනක් සැලසුම් කළ" බව පැවසීය.

ධවල මන්දිරයේ සිට කළ කතාවකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ පැවසීය: "අපෙ අරමුණ වූණේ ඉරානයේ න්‍යෂ්ටික බලගැන්වීමේ හැකියාව විනාශ කිරීම සහ ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී අනුග්‍රාහක රාජ්‍යය විසින් එල්ල කරන න්‍යෂ්ටික තර්ජනය නැවැත්වීමයි."

"අද රාත්‍රියේ, මට ලෝකයට වාර්තා කරන්න පුළුවන්, මේ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් කියලා. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන් ම සහමුලින් ම විනාශ කර දමා තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

Infographic showing US's B-2 stealth bomber

ෆෝඩෝ යනු කුමක් ද — එය වැදගත් වන්නේ ඇයි?

Satellite images over Fordow underground complex, before and after the US struck the underground nuclear facility a day ago

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදය භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දීමට පෙර සහ පසු ෆෝඩෝ භූගත සංකීර්ණයේ චන්ද්‍රිකා ඡායාරූප

දූරස්ථ ප්‍රදේශයක කඳු බෑවුමක සැඟවී ඇති ෆෝඩෝ න්‍යෂ්ටික භූමියේ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන්ට අත්‍යවශ්‍ය වන යුරේනියම් බලගැන්වීමේ බලාගාරයක් පිහිටා තිබේ.

ටෙහෙරානයට දකුණින් පිහිටා ඇති මෙය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය සම්බන්ධ කරන චැනල් උමගට වඩා ගැඹුරින් භූගතව පිහිටා ඇතැයි විශ්වාස කෙරේ.

ෆෝඩෝ පිහිටා ඇති ගැඹුරට ළඟා වීමට තරම් විශාල හා බලවත් බෝම්බයක් ඇත්තේ එක්සත් ජනපදය සතුව පමණි. MOP බෝම්බ සාර්ථක වන බවට සහතික විය නොහැකි නමුත් එය ආසන්නයට ම ගමන් කළ හැකි එක ම බෝම්බය එයයි.

"වර්තමානයේ පවතින වෙනත් ඕනෑ ම ආයුධයකට වඩා, මේ විශේෂිත අවිය පොළොව අභ්‍යන්තරයේ ඇති ඉරාන න්‍යෂ්ටික හැකියාවන්ට හානි කිරීමට ඇති හොඳ ම විකල්පය. නමුත් ඒකට ඒ දේ කරන්න පුළුවන් ද? - කවුද දන්නේ?" මහාචාර්ය රොජර්ස් ප්‍රශ්න කරයි.

ප්‍රහාර සඳහා යෙදවූ "නියත නියෙමු ආයුධ 75" කොටසක් ලෙස B-2 Spirit බෝම්බ ප්‍රහාරක යානා හතෙන් MOP බෝම්බ 14ක් හෙළූ බව කේන් තහවුරු කළේ ය.

ප්‍රහාරවල බලපෑම පිළිබඳව දන්නා දේ මොනවා ද?

Satellite images show craters at Iran's Fordo nuclear site following US bombing

ඡායාරූප මූලාශ්‍රය, Maxar

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික භූමියේ ආවාට ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වේ

ඇමෙරිකානු ප්‍රහාරවලින් සිදු වූ හානියේ ප්‍රමාණය සම්පූර්ණයෙන් තක්සේරු කිරීමට කාලයක් ගතවනු ඇතැයි ජෙනරල් කේන් පැවසීය.

නමුත්, "මූලික හානි තක්සේරුවකින් පෙනී යන්නේ, ස්ථාන තුනට ම අතිශයින් දරුණු හානියක් සහ විනාශයක් සිදුවී ඇති බවයි," ඔහු තවදුරටත් පැවසීය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පැවසුවේ, භාවිත කරන ලද පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සහ එම ස්ථානයේ ඇති යුරේනියම් බලගැන්වීමේ කේන්ද්‍රාපසාරක යන්ත්‍රවල සංවේදී බව අනුව, සැලකිය යුතු හානියක් සිදුවී ඇතැයි පෙනෙන්නට ඇති බවයි.

කෙසේ වෙතත්, භූගතව සිදුවී ඇති හානියේ ප්‍රමාණය සම්පූර්ණයෙන් තක්සේරු කිරීමට දැනට කිසිවෙකුට නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජූනි 22 වන දින ගන්නා ලද නව චන්ද්‍රිකා ඡායාරූපවලින් ෆෝඩෝ න්‍යෂ්ටික භූමියේ නව ආවාට හයක් [බොහෝ දුරට ඇමෙරිකානු යුධෝපකරණ පිවිසි ස්ථාන], කඳු බෑවුමේ විසිරී ඇති අළු දූවිලි සහ සුන්බුන් සමග දිස්වෙයි.

ප්‍රහාරය සඳහා MOP භාවිත කළ බවට ඇමෙරිකා එක්සත් ජනපදය තහවුරු කිරීමෙන් පසුව, මැකෙන්සි බුද්ධි සේවාහි ජ්‍යෙෂ්ඨ රූප විශ්ලේෂක ස්ටු රේ බීබීසී වෙරිෆයි වෙත මෙසේ පැවසීය:

"පිවිසුම් ස්ථානයේ විශාල පිපිරුමක් වෙලා කියලා ඔබට පේන එකක් නැහැ. මොකද ඒක හදලා තියෙන්නේ ඇතුළු වෙද්දී පුපුරලා යන්න නෙවෙයි, ගැඹුරට ගිහින් පුපුරලා යන්න නිසා."

ඔහු පැවසුවේ, ස්ථාන දෙකකට බෝම්බ ත්‍රිත්වයක් හෙළා ඇති බව පෙනෙන බවත් භූමියේ ඇති අළු පැහැයෙන් දිස්වන්නේ පිපිරීම්වලින් විසිරී ගිය කොන්ක්‍රීට් කැබලි බවත් ය.

උමං පිවිසුම් අවහිර වී ඇති බව පෙනෙන බව ද රේ පැවසීය. ඒවා අසල දෘශ්‍යමාන ආවාට හෝ බෝම්බ ගැටුණු බවක් නොමැති බැවින්, මෙය ඍජුව "එම පිවිසුම් මාර්ග ඉලක්ක කර ගැනීම අවම කිරීමට" ඉරානය ගත් උත්සහයක් විය හැකි බව ඔහු යෝජනා කරයි.

ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය (AEOI) මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට බෝම්බ හෙළීම ජාත්‍යන්තර නීතිය "ම්ලේච්ඡ ලෙස උල්ලංඝණය කිරීමක්" ලෙස හැඳින්වීය.

ප්‍රහාරයෙන් පසු විකිරණ මට්ටම්වල කිසිදු වැඩිවීමක් සිදුවී නොමැති බව සෞදි අරාබිය සහ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය යන දෙක ම පැවසීය.

ඉරාන රාජ්‍ය විකාශන ආයතනයේ නියෝජ්‍ය දේශපාලන අධ්‍යක්ෂ හසන් අබෙදිනි පැවසුවේ, ඉරානය "ටික කලකට පෙර" න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන ඉවත් කළ බවයි. රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටිමින් ඔහු කියා සිටියේ, "ඒ වන විටත් එහි තිබූ ද්‍රව්‍ය ඉවත් තිබිණු නිසා එය ඉරානයට විශාල පහරක් නොවූ" බවයි.

ඉරානය නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත්තේ, තම න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් ම සාමකාමී බවත් තමන් කිසි විටෙකත් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට උත්සහ කර නොමැති බවත් ය.