ඊශ්‍රායලය, ඉරාන ප්‍රතිප්‍රහාර ගැන විවාද කරද්දී එක්සත් ජනපදයට සහ මිත්‍ර රටවලට පූර්ණ යුද්ධයකට තල්ලු නොවී සිටිය හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ජෙරමි බෝවන්
- Role, බීබීසී ජාත්‍යන්තර සංස්කාරක
ඊශ්‍රායලයේ යුද්ධ කැබිනට් මණ්ඩලය ඉරානයට එරෙහිව ඔවුන් තබන මීළඟ පියවර විස්තර කිරීම සඳහා, මීට පෙර උත්සහ කළ සහ විශ්වාස කළ වාක්‍ය ඛණ්ඩයක් භාවිත කර තිබේ. එනම්, ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වනු ඇත්තේ, "අප තෝරා ගන්නා ආකාරයට සහ වේලාවටයි".
ඔක්තෝබර් 7 වන දා, හමාස් ප්‍රහාරයෙන් පසු යුද්ධ කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වූ විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් ඊශ්‍රායලය සහ එහි බටහිර මිත්‍ර රටවල් එක්සත් විය යුතු බව අවධාරණය කළේය.
"ඉරානයට එරෙහිව ඊශ්‍රායලය, ඒ කියන්නේ ඉරානයට එරෙහිව ලෝකය. ඒක තමයි ප්‍රතිඵලය. ඒක ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අප ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගික ජයග්‍රහණයක්."
බෙනී ගාන්ට්ස් භාවිත කළ වචන ඉරාන ඉලක්කයකට එල්ල වන තවත් ප්‍රහාරයක් හෝ ඉරානය තුළ පළමු වරට කල්තබා දැනුම් දුන් ඊශ්‍රායල ප්‍රහාරයක් වැළැක්වූයේ නැත. (සයිබර් ප්‍රහාර, නිලධාරීන් සහ විද්‍යාඥයින් ඝාතනය කරමින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අඛණ්ඩව පහර දී තිබේ). එහෙත් ධනවත් ම බටහිර රටවල් වන G7 කණ්ඩායම කැඳවා ඇති රැස්වීමෙන් ජනාධිපති ජෝ බයිඩ්න්ට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයට කාලය ලැබෙනු ඇත.
හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ දා සිට මැදපෙරදිග පුරා පැතිර ගිය යුද්ධයේ මෙම මෑතකාලීන තීව්‍රතාව ආරම්භ වූයේ, සති දෙකකට පෙර ඊශ්‍රායලය, ඩැමස්කස්හි ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රයට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී ය. අප්‍රේල් 01 වන දා එල්ල වූ එම ගුවන් ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ ජෙනරල්වරයෙකු, ඔහුගේ දෙවැන්නා සහ තවත් සහයකයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පහර දීමේ තීරණය ඇමරිකානුවන් සමග සම්බන්ධීකරණයෙන් සිදු වූයේ නැත. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් ඝාතනය කිරීම, ඊශ්‍රායලය විසින් තක්සේරු කරනු ලැබ ඇත්තේ, එය ගත යුතු අවදානමක් ලෙස සලකා විය යුතු ය.
රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රඳවා සිටීමෙන්, එම ගොඩනැගිල්ල නීත්‍යනුකූල ඉලක්කයක් බවට පත් වන බවට, ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ ඒත්තු ගැන්විය නොහැකි තර්කයක් ඉදිරිපත් කරයි. වඩා වැදගත් කරුණ වන්නේ, ඉරානය එම ගුවන් ප්‍රහාරය තම භූමියට එල්ල කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීමයි.
ඉතා ඉක්මනින්, ඉරානය ප්‍රතිචාර දක්වන බව පැහැදිලි විය. ඉරානයේ පණිවුඩය සම්ප්‍රේෂණය වූයේ, තට්ටු කිරීමකින් හෝ ඇසිපිය ගැසීම්වලින් නොව, එහි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පැහැදිලි ප්‍රකාශ මගිනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊශ්‍රායලයට, එක්සත් ජනපදයට සහ ඔවුන්ගේ මිත්‍ර රටවලට අනතුරු ඇඟවීම් රාශියක් ලැබී තිබිණි. ජෝ බයිඩ්න් සති අන්තයේ ඔහු උපන් ප්‍රාන්තය වන ඩෙලවෙයර් වෙත ගිය ගමනකින් ආපසු ධවල මන්දිරයට පැමිණීමට කාලය තිබිණි. ඉරානය ප්‍රහාරය ආරම්භ කිරීමට තෝරා ගත්තේ, සුපර්සොනික් බැලස්ටික් මිසයිලවලින් නොව, ඉලක්ක වෙත ළඟා වීමට පැය දෙකක කාලයක් ගත වන රේඩාර් තිරවල තිබූ මන්දගාමී ඩ්‍රෝන යානා ය.
එය ඊශ්‍රායලයේ දරුණුතම සතුරාගෙන් බොහෝ විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා විශාල ප්‍රහාරයක් විය. බොහෝ ඊශ්‍රායල ජාතිකයින්ට තමන්ගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට හේතු රැසක් තිබේ. ඉරානය ප්‍රථම වරට ඩ්‍රෝන යානා, කෲස් සහ බැලස්ටික් මිසයිල 300ක් පමණ වූ ආයුධ භාවිත කළේ, ඊශ්‍රායලයේ තමන්ට ම අයත් භූමියකිනි.
ඔවුන්ගේ මිත්‍ර රටවල්, විශේෂයෙන් එක්සත් ජනපදය, රාත්‍රිය පුරා ඔවුන්ට විශාල ලෙස සහය දුන්හ. ජනාධිපති ජෝ බයිඩ්න් තම පොරොන්දුව යළිත් අවධාරණය කළේය: අනිවාර්යයෙන්ම ම 'අපි ඔබේ ආරක්ෂාවට ඉන්නවා' ඊශ්‍රායලයට "නොබිඳිය හැකි" ආරක්ෂාවක් ලබා දෙන බව එයින් කියවිණි.
අනෙක් අතට, එක්සත් ජනපදයට ඊශ්‍රායලෙයන් යම් පාලනයක් අවශ්‍ය වී තිබේ. ජනාධිපති බයිඩ්න්, අගමැති බෙන්ජමින් නේතන්යාහුට පැහැදිලි පණිවිඩයක් යවා ඇත. 'ඉරාන ප්‍රහාරය ව්‍යර්ථ වී ඇති බවත්, ඊශ්‍රායලයට ජයග්‍රහණයක් ලැබී ඇති බවත් එබැවින් ඉරාන භූමිය තුළ හමුදා ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වීමෙන් මෙය තවදුරටත් තීව්‍ර නොකරන්න' යන්න එම පණිවිඩයයි.
යම් සීමාවකට යොමු වීම ඉරානයේ ද බලාපොරොත්තුව බව පෙනේ. ඩමස්කස් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලැබී ඇති බවට ඉන් සංඥාවක් ලැබී තිබේ; එය තවත් උත්සන්න වන්නේ, නැවත පහර දුන්නොත් පමණි. ඩමස්කස්හි පිහිටි ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයට කළ ඊශ්‍රායල ප්‍රහාරය නිසා ඇති වූ සති දෙකක අර්බුදය සහ තර්ජනවලින් සහනයක් ලැබීමට ඉරාන වැසියන්ට අවශ්‍ය බව පෙනී යයි.
ඇතැම් විට, තමන්ට සිදුවූ හානියට වඩා වැඩි හානියක් කිරීමට ඉරානය බලාපොරොත්තු වනවා විය හැකි ය. එසේත් නැතිනම් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා හේතු අවම කිරීමට ඉරානය සැලසුම් කරනවා විය හැකි ය.
ඉරානයට අවශ්‍ය වූයේ, ඊශ්‍රායලය ඩමස්කස් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම මගින් තමන්ගෙන් ගිලිහි ගිය ප්‍රතිවිපාක පිළිබඳ සැකය හා බිය අධෛර්යමත් කිරීමේ ක්‍රියාව නැවත ඇති කිරීම ය. ඊශ්‍රායලය සහ එහි මිත්‍ර පාර්ශව විසින් දියත් කරන ලද මිසයිල් ප්‍රහාර සියල්ල ම පාහේ නතර කිරීමෙන් පසු එය තවත් දුෂ්කර විය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එය ඊශ්‍රායලයට එරෙහි පූර්ණ-පරිමාණයේ ප්‍රහාරයක් නොවේ. ඉරානය වසර ගණනාවක් තිස්සේ සිය රොකට් සහ මිසයිල බලය ගොඩනගමින් සිටී. එය තවත් බොහෝ ආයුධ භාවිත කිරීමට ඉඩ තිබිණි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සම්පූර්ණ ප්‍රහාරයකට සම්බන්ධ වීමට ඉඩ තිබූ අතර එය එසේ නොවීය. රොකට් සහ මිසයිල අවි ගබඩාවක් සහිත ලෙබනන් ආරක්ෂක සහ දේශපාලන ව්‍යාපාරය, ඉරානයේ බලවත් ම මිතුරා වේ.
ඉරාන ප්‍රහාරය නිසා ගාසා තීරය මාධ්‍ය සිරස්තලවලින් ඉවත් කළ ආකාරය ගැන අගමැති නේතන්යාහු තෘප්තිමත් විය හැකි ය. එය ඔහුට මානුෂීය ව්‍යසනයකින් මෙන් ම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සහ හමාස් විනාශ කර දැමීමේ ඊශ්‍රායලයේ යුද්ධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සහනයක් සලසයි.
දින කිහිපයකට පෙර ජාත්‍යන්තර අවධානය යොමු වූයේ, ඊශ්‍රායලය ගාසා තීරය අවහිර කිරීම නිසා ඇති වූ සාගතය සම්බන්ධයෙන් බයිඩ්න් සහ නෙතන්යාහු අතර ඇති වූ විරසකය කෙරෙහි ය. ඔවුහු දැන් එක්සත්භාවය සම්බන්ධයෙන් කතා කරති. ඊශ්‍රායලයේ සිටින ඔහුගේ බොහෝ සතුරන්ට ඔහු තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය වුව ද, නේතන්යාහුට තම ජනතාවගේ ආරක්ෂකයා වන අධිෂ්ඨානශීලී සහ සාධාරණ නායකයෙකු ලෙස පෙනී සිටිය හැකි ය. ඔක්තෝබර් 7 වන දාට පෙර ඔහුගේ හදිසි, අනාරක්ෂිත ප්‍රතිපත්ති ඊශ්‍රායලය අවදානමට ලක්වීමට හේතු වනු ඇතැයි හමාස් සංවිධානයට විශ්වාස කිරීමට හේතුවක් වූ බව ඔවුහු පවසති.
වෙනස් වී නැති දෙය නම්, අමෙරිකානුවන්ට මැද පෙරදිග යුද්ධයක් දක්වා යාම නැවැත්වීමට මගක් සෙවීමට ඇති අවශ්‍යතාව යි. ඊශ්‍රායලය රාජ්‍ය තාන්ත්‍රික ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ ඉරානය ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීම මගින් සීමා ඉක්මවා ගොස් තිබේ. ක්ෂණයකින්, ඇතැම් ඊශ්‍රායල දක්ෂිණාංශිකයෝ ප්‍රතිචාරයක් ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම් නතර වෙන්නේ නැත.
G7 කණ්ඩායම නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කාර්යය වනු ඇත්තේ, කලාපය හානිදායක පුළුල් ගැටුමකට අවතීර්ණ වීම වැළැක්වීම ය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගතවූ මාස හයක කාලය තුළ යුද්ධයක් කරා යන ගමන මන්දගාමී නමුත් ස්ථායීව සහ එක් දිශාවකට එනම්, ව්‍යසනයක් දෙසට ගමන් කර ඇත.
ආපසු පහර නොදෙන ලෙස ජනාධිපති බයිඩ්න් දුන් උපදෙස් ඊශ්‍රායලය පිළිගන්නේ නම්, මැද පෙරදිග කලාපයට හුස්ම ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇත. මෙම භයානක කථාංගයේ අවසානය එය වනු ඇතැයි කිසිසේත් සහතික විය නොහැක.













