ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, රාෆි බර්ග්, ටොම් ස්පෙන්ඩර් සහ ජොනතන් බේල්, ආරක්ෂක පුවත් වාර්තාකරු
- Role, බීබීසී පුවත්
සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ප්‍රතිඥා දීමෙන් පසු ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී.
ඉරාන කොන්සල් කාර්යාලය ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර නොමැත. නමුත් එය පිටුපස ඊශ්‍රායලය සිටින බව බොහෝ දෙනා විශ්වාස කරති.
ඉරානය සෘජුවම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර ඊශ්‍රායලය සහ ඉරානය වසර ගණනාවක් පුරා ඡායාත්මක යුද්ධයක නිරතව සිටි අතර ඔවුන් වගකීම භාර ගැනීමකින් තොරව එකිනෙකාගේ දේපල වලට පහර දෙමින් සිටියි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලයට පලස්තීන හමාස් කණ්ඩායම විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ආරම්භ වූ ගාසා තීරයේ ක්‍රියාත්මක වත්මන් යුද්ධය අතරතුර ඉරාන - ඊශ්‍රායල ප්‍රහාර සැළකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ.
ඊශ්‍රායලය සහ ඉරානය සතුරන් වන්නේ ඇයි?
ඊශ්‍රායලයට විරුද්ධ වීම සිය මතවාදයේ ප්‍රධාන අංගයක් ලෙස පාලන තන්ත්‍රය මගින් හඳුන්වා දුන් 1979 ඉස්ලාමීය විප්ලවය තෙක් දෙරට මිත්‍රයන් ලෙස කටයුතු කළහ.
ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතිය ඉරානය හඳුනා නොගන්නා අතර එය මුලින් උපුටා දැමීමට උත්සාහ කරයි.
ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි මීට පෙර ඊශ්‍රායලය හඳුන්වනු ලැබුවේ "පිළිකා ගෙඩියක්" ලෙසයි. එය "සැකයකින් තොරව මුලිනුපුටා දමා විනාශ කළ යුතු එකක් බව " ඔහු පවසා තිබේ.
ඊශ්‍රායලය විනාශ කිරීමට දිවුරුම් දුන් ප්‍රොක්සි බලවේග ගොඩනැගීම, පලස්තීන හමාස් සහ ලෙබනන් ෂියා සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඇතුළු කණ්ඩායම්වලට අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම මෙන්ම න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළද, රහසිගතව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම හේතුවෙන් ඉරානයේ පැවැත්මම තර්ජනයක් ඇති කළ හැකි බව ඊශ්‍රායලය විශ්වාස කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිරියාවේ පිහිටි කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයට අවශ්‍ය විය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉරානය පවසන්නේ ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඊශ්‍රායලයට බෝම්බ හෙලීම සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයට සහ ඉන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධියට දැක්වූ ප්‍රතිචාරයක් බවයි.
එම ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට චෝදනා කරන අතර එය සිය රටේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමක් ලෙස සලකනු ලබයි.
එම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර නොමැති නමුත් ඔවුන් එය සිදු කර ඇති බව පාර්ශව රැසක් උපකල්පනය කරයි.
එම ප්‍රහාරයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ විදේශීය ශාඛාව වන කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු වන බ්‍රිගේඩියර් ජෙනරල් මොහොමඩ් රීසා සහේඩි ඇතුළු 13 දෙනෙක් මිය ගියේය.
ඔහු ලෙබනනයේ ෂියා සන්නද්ධ කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය සන්නද්ධ කිරීම සඳහා වූ ඉරාන මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් විය.
කොන්සල් කාර්යාලට එල්ල වූ ප්‍රහාරය ඊශ්‍රායලයට පුළුල් ලෙස සම්බන්ධ කර ඇති ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන රටාව අනුගමනය කරන බව පැවසේ. පසුගිය මාස කිහිපය තුළ සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මිසයිල ඇතුළු ආයුධ සහ උපකරණ සිරියාව හරහා හිස්බුල්ලා සංවිධානය වෙත සැපයේ. මෙම බෙදාහැරීම් නැවැත්වීමට මෙන්ම ඉරානය සිරියාවේ සිය හමුදා බලය ශක්තිමත් කිරීම වැළැක්වීමට ද ඊශ්‍රායලය උත්සාහ කරයි.

ඉරානයේ මිතුරු පාර්ශව කවුරුන්ද?
කලාපය තුළ අමෙරිකානු සහ ඊශ්‍රායල අවශ්‍යතා සඳහා අභියෝග කරන ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු බව පැවසෙන ඉරානය, මැද පෙරදිග මිත්‍ර පාර්ශවයක් සහ ප්‍රොක්සි හමුදා ජාලයක් ගොඩනගා ඇත. ඉරානය විවිධ අංශ ඔස්සේ එම කණ්ඩායම්වලට සහාය ලබා දෙයි.
සිරියාව යනු ඉරානයේ වැදගත්ම මිතුරායි. ඒ ඉරානය, රුසියාව සමඟ එක්ව වසර දහයක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් බේරීමට ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සිරියානු රජයට උපකාර සිදු කර තිබේ.
ලෙබනනයේ හිස්බුල්ලා යනු ඉරානය සහය දෙන සන්නද්ධ කණ්ඩායම් අතරින් බලවත්ම සංවිධානයයි. එය ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වූ දා සිට දෛනිකව ඊශ්‍රායලය සමඟ දේශසීමාවේදී ප්‍රහාර එල්ල කරමින් සිටියි.
ඒ හමුවේ දේශසීමා දෙපස සිටින දස දහස් ගණනක් වූ සිවිල් වැසියන්ට තම නිවෙස් හැර යාමට සිදුව ඇත.
ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට රොකට් ප්‍රහාර එල්ල කරන ඉරාකයේ ෂියා සන්නද්ධ කණ්ඩායම් කිහිපයකට ඉරානය සහයෝගය ලබාදෙයි. ජෝර්දානයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් සිය සොල්දාදුවන් තිදෙනෙකු ඝාතනය වීමෙන් පසු ඇමෙරිකාව එම කණ්ඩායම් ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කරයි.
යේමනයේ ජනගහනය වැඩිම ප්‍රදේශ පාලනය කරන හූති සටන්කාමීන්ට ද ඉරානය සහාය දක්වයි. ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයට සහය දැක්වීම සඳහා හූති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
එමෙන්ම ඊශ්‍රායලයේ වෙරළ ආසන්න මුහුදු සීමාවේ යාත්‍රා කෙරෙන වාණිජ නෞකා ගමනාගමනයට බාධා එල්ල කරමින් ප්‍රහාර එල්ල කරන අතර අවම වශයෙන් එක් යාත්‍රාවක්වක් හෝ ගිල්වා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇත.
ගාසා තීරයේ වත්මන් යුද්ධය අවුළුවා ලමින් සහ මැදපෙරදිග ගැටුම් ඇති කරමින් ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය සිදු කළ හමාස් ඇතුළු පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වලට ද ඉරානය ආයුධ සහ යුද පුහුණුව ලබා දෙයි.
මේ වනවිට ඉරානය හා ඉරානයේ ප්‍රොක්සි සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායලයේ මැද පෙරදිග මිත්‍ර රටවල් අතර ගැටුම් ඇවිලෙමින් තිබේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ වූ බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.
ඉරානයේ සහ ඊශ්‍රායලයේ යුධ හැකියාවන්
භූ ගෝලීය පිහිටීම අතින් ඉරානය ඊශ්‍රායලයට වඩා විශාල වන අතර මිලියන 90කට ආසන්න ජනගහනයක් එහි සිටියි. එය ඊශ්‍රායලය මෙන් දස ගුණයකට ආසන්න ප්‍රමාණයකින් විශාල වේ. නමුත් එය විශාල හමුදා බලයක් බවට පරිවර්තනය නොවේ.
ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානා සදහා විශාල වශයෙන් ආයෝජනය කර තිබේ. ඉරානයට අයත් විශාල අවි ගබඩාවක් ද ඇත, නමුත් ඉරානය සිය ප්‍රොක්සි සන්නද්ධ කණ්ඩායම් වන යේමනයේ හූති සහ ලෙබනනයේ හිස්බුල්ලා සදහා ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් සපයනු ලබයි.
මේ වනවිට ඉරානයට අඩුපාඩුවකට පවතින්නේ නවීන ගුවන් ආරක්ෂක පද්ධති සහ ප්‍රහාරක ජෙට් යානා යි. යුක්රේන යුද්ධයේදී ඉරානය රුසියාවට හමුදාමය සහයෝගය ලබා දෙන බැවින් ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව ඉරානය සමග සහයෝගයෙන් කටයුතු කරන බවට විශ්වාස කෙරේ.
යුක්‍රේන යුද්ධයේදී ඉරානය රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දී ඇති අතර රුසියාව දැන් තමන් විසින්ම ආයුධ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන බව වාර්තා වේ.
ඒ අතරතුර, ලෝකයේ වඩාත්ම දියුණු ගුවන් හමුදාවක් ඊශ්‍රායලයට ඇත. උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාවකට අනුව ඊශ්‍රායලය සතුව F-15, F-16 සහ නවීනතම F-35 ජෙට් යානා ඇතුළුව අවම වශයෙන් ජෙට් යානා බලඇණි 14ක් ඇත.
ඊශ්‍රායලයට ද සතුරු ඉලක්ක පිහිටි ප්‍රදේශය තුළ ප්‍රහාර එල්ල කිරීමේ අත්දැකීම් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉරානය සහ ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි තිබේද?
ඊශ්‍රායලය සතුව ඔවුන්ගේම න්‍යෂ්ටික අවි ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන්ම අපැහැදිලි නිල ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනු ලබයි.
කෙසේවෙතත් ඉරානය සතුව න්‍යෂ්ටික අවි නොමැත. න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ රාජ්‍යයක් බවට පත්වීම සදහා එහි සිවිල් න්‍යෂ්ටික වැඩසටහන භාවිතා කිරීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනා ද ඉරානය ප්‍රතික්ෂේප කරයි.
පසුගිය වසරේදී 'The global nuclear watchdog' විසින් ඉරානයට භූගතව යුරේනියම් අංශු 83.7% ක් ඇති බව අනාවරණ කරන ලදී.
එය න්‍යෂ්ටික ආයුධ ශ්‍රේණිගත කිරිමට ඉතා ආසන්නව දියුණු කර ඇති බව ද සොයා ගෙන තිබේ. එහිදී ඉරානය පැවසුවේ යුරේනියම් ක්‍රියාකාරීත්ව මට්ටම්වල අනපේක්ෂිත උච්චාවචනයන් සිදු විය හැකි බවයි.
ලෝක බලවතුන් සමඟ 2015 දී එළඹි න්‍යෂ්ටික ගිවිසුම කඩ කරමින් ඉරානය වසර දෙකකට වැඩි කාලයක් පුරාවට විවෘතව යුරේනියම් නිස්සාරණය 60% ක් දක්වා වර්ධනය කරයි.
කෙසේ වෙතත් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකපාර්ශ්විකව න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී 2018 වසරේදී ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීම හමුවේ ගිවිසුමේ කටයුතුවලට බාධා එල්ල විය. ඊශ්‍රායලය එම න්‍යෂ්ටික ගිවිසුමට මුලින්ම විරුද්ධ වී තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරානය සිය ප්‍රහාරය හරහා දෙන පණිවිඩය කුමක්ද?
"අපි ඉරානයේ ප්‍රහාර අවහිර කළා. අපි බාධා කළා. අපි එකතුවෙලා දිනනවා,” යනුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කරුණු දක්වා ඇත.
කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විදේශ ප්‍රතිපත්ති උපදේශකයෙකු සහ ලෙබනනයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිවරයෙකු වන ටොම් ෆ්ලෙචර් පැවසුවේ ඉරානයේ ප්‍රහාර මාලාව යනු ඉරානයේ හැකියාව සහ ප්‍රවේශය පිළිබඳ ලබාදෙන සියුම් සංඥාවක් බවයි.
"ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් ද්විත්වයේම නායකයින් සිය රට තුළ පීඩනයට ලක්ව සිටිනවා, ජාත්‍යන්තරය තුළ විවේචනවලට මුහුණ දී සිටිනවා. එමෙන්ම ඔවුන් මේවනවිට පැහැදිලිවම ගින්දර සමග සෙල්ලම් කිරීමට සූදානම් " ඔහු අනතුරු ඇඟවීය.
'එහෙත් ඉරානයේ පෙර නොවූ විරූ ප්‍රහාරය ප්‍රවේශමෙන් මැන බැලීමකට ලක් කර ඇති බව පෙනෙන බව' ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.
ඉරානය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් කල්තියා සංඥා ලබා දුන් අතර එමඟින් එම ප්‍රහාර වළක්වා ගැනීම පහසු වූ බව ද ටොම් ෆ්ලෙචර් පැවසීය
ඔහු එහිදී ලෙබනනයේ තානාපතිව සිටියදී තමන් දුටු වෙඩි හුවමාරු සමග ඉරානයේ මෙම ප්‍රහාරය සංසන්දනය කරන ලදී. එහිදී ඔහු පැවසුවේ මෙම ප්‍රහාර මාලාවෙන් ඉරානයේ අභිප්‍රාය වන්නට ඇත්තේ හැකියාව ප්‍රදර්ශනය කිරීම මිස ආතතිය උත්සන්න කිරීම නොවන බවයි.
එමෙන්ම හිස්බුල්ලා සංවිධානය හරහා ප්‍රතිචාර දැක්වීමට වඩා සෘජුව ප්‍රතිචාර දැක්වීමට ඉරානය තීරණය කිරීම ධනාත්මක බව ද ඔහු පැවසීය.
ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම දේශසීමාවෙන් ඉවත් කිරීම සඳහා ප්‍රහාර තීව්‍ර කරන ලෙස හමුදාවට පවසා ඇත.
මේ අතර චැතම් හවුස් බුද්ධි මණ්ඩපයේ සනම් වකිල් පැවසුවේ ඉරානයේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රහාරය සාර්ථක වූ බවයි. ඉරානය එම ප්‍රහාරය "ඊශ්‍රායලයට කළ ව්‍යාජ තර්ජනයක්" ලෙස හඳුන්වා ඇති බව ද ඇය පවසයි.
"ඉරානය සෘජුවම ඊශ්‍රායලයේ ස්වෛරීභාවය උල්ලංඝණය කළ පළමු අවස්ථාව මේ" ඇය BBC පුවත් සේවය වෙත පැවසුවාය.
"ප්‍රහාර නිසැකවම පූර්ව සැකසුමකින් අනතුරුව එල්ල කළ, දැඩි හානියක් සිදු කිරීමේ හෝ කිසිවෙකුට හානියක් කිරීමේ අරමුණින් නොකළ හමුදා ඉලක්ක වෙත පමණක් යොමු කර තිබෙන්නක්"















