ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාරවල අවසන් අරමුණ කුමක් ද?

A treated image of Benjamin Netanyahu and Ali Hosseini Khamenei
ඉරානයට එරෙහි ඊශ්‍රායල් මෙහෙයුමේ අවසන් අරමුණ කුමක් ද?
    • Author, ලීස් ඩුසේ
    • Role, ප්‍රධාන වාර්තාකරු - ජාත්‍යන්තර පුවත්
  • කියවීමේ කාලය: මිනිත්තු 11

පසුගිය සිකුරාදා [ජූනි 13] ඉරානයට ඊශ්‍රායලය විසින් පෙර නොවූ විරූ ආකාරයකින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරාන ජනතාව ඍජුව ම ආමන්ත්‍රණය කළේ ය.

ඉංග්‍රීසි බසින් ඔහු පැවසුවේ, "අශිෂ්ට සහ මර්දනාකාරී පාලනයට" එරෙහිව නැගී සිටීමට කාලය පැමිණ ඇති බව ය.

ඊශ්‍රායල් හමුදා මෙහෙයුම් යනු "ඔබේ නිදහස වෙනුවෙන් මාර්ගය පැහැදිලි කිරීමක්," යැයි ඔහු නිවේදනය කළේ ය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර මිලිටරි ගැටුම තීව්‍ර වන විට සහ එහි ඉලක්කයන්හි පරාසයන් පුළුල් වන විට බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයක් තිබේ; ඊශ්‍රායලයේ සැබෑ අවසන් අරමුණ කුමක් ද?

People look over the aftermath of an Israeli airstrike that destroyed buildings in Tehran, Iran, on 13 June 2025

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කළේ ය

පළමු ප්‍රහාරය එල්ල කළ සිකුරාදා රාත්‍රියේ නෙතන්යාහු ප්‍රකාශයට පත් කළ ආකාරයට එය සරලව ම, "ඉස්ලාමීය පාලන තන්ත්‍රයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජනය" අවසන් කිරීමට සිදු කරන්නක් වූයේ ද?

එය එක්සත් ජනපදය සහ ඉරානය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වීම අවසන් කර, පීඩාකාරී සම්බාධක ඉවත් කිරීම වෙනුවට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මැඩලීම සඳහා නව සාකච්ඡාමය එකඟතාවකට එළඹීමට ගත් පියවරක් ද?

එසේත් නැතිනම්, ඉරාන වැසියන්ට නිදහස ලබා ගැනීමේ මාවතක් එළි පෙහෙළි කිරීම පිළිබඳ එම පණිවිඩය, ඉරානයේ පූජක පාලනය අවසන් කිරීමට උත්සහ කිරීම වැනි ඊටත් වඩා විශාල අරමුණකට මග පාදයි ද?

ජෙනරල්වරුන්ගේ සිට ට්‍රම්ප් දක්වා: ඔහුට බලපෑම් කරන්නේ කවු ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඔහු විසින් බෝම්බයක කාටූනයක් පෙන්වීමේ සිට, පසුගිය මාස 20ක ගිනි ගන්නා කලාපීය යුද්ධයේදී ඉරානය විශාලතම තර්ජනය බවට ඔහු නැවත නැවතත් ප්‍රකාශ කිරීම දක්වා, ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් සේවය කළ අගමැතිවරයා වන නෙතන්යාහු තම දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් අවධානය යොමු කර ඇත්තේ, ඉස්ලාමීය ඉරාන ජනරජයෙන් එල්ල කරන තර්ජන පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට අනතුරු ඇඟවීම සඳහා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇමරිකානු ජනාධිපතිවරුන් සහ නෙතන්යාහුගේ ජෙනරල්වරුන්, වසර ගණනාවක් පුරා කිහිප වතාවක් ම ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට එරෙහිව මිලිටරි ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමෙන් ඔහුව වළක්වා ගත් බව ප්‍රසිද්ධ කරුණකි.

තමන් කොළ එළියක් ලබා නොදුන් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. නමුත්, අවම වශයෙන් ඇම්බර් පැහැයක් ලෙස පෙනෙන දේ පවා ප්‍රමාණවත් වූ බව පෙනෙන්නට තිබේ.

නෙතන්යාහුගේ සූදානම ගැන බටහිර නිලධාරියෙකු විස්තර කළේ, "දැන් ඔහු මේ වැඩේ ඉන්නවා, සම්පූර්ණයෙන් ම ඔහු ඉන්නවා," යනුවෙනි. ඉරානයේ න්‍යෂ්ටික මෙහෙයුම් අඩපණ කිරීම ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය බවට වන සිය මතය ද ඔහු අවධාරණය කළේ ය.

එම තීරණය කලාපය පුරා රාජ්‍යයන් විසින් මෙන් ම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ද පුළුල් ලෙස හෙළා දැක ඇති අතර, එහි අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොස්සි මෙලෙස ඒ පිළිබඳව අවධාරණය කළේ ය: "සන්දර්භය හෝ තත්ත්වයන් මොකක් වුණත්, න්‍යෂ්ටික මර්මස්ථානවලට කොයි වෙලාවකවත් පහර දෙන එක සුදුසු නෑ කියලා මම නොනවත්වා ම කියලා තියෙනවා." ජාත්‍යන්තර නීතිය යටතේ මෙම ප්‍රහාර නීතිවිරෝධී යැයි තර්ක කරන නීති විශාරදයින් ද එය හෙළා දැක තිබේ.

නමුත්, බොහෝ දෙනෙකු දැන් විමසන්නේ, ඊශ්‍රායල අගමැති, ඔහුගේ ඉහළ ම උපදේශකයින් සහ සහචරයින් අනුගමනය කරන ඉලක්ක ම අනුගමනය කරනවා ද යන්න ය.

Vehicles move along the Karim Khan Zand Bridge past the "Down with the USA" mural painted on the side of a building in central Tehran on June 13, 2025

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය මෑතකදී එල්ල කළ ප්‍රහාරවලට තමන් කොළ එළියක් නොදුන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

"නෙතන්යාහු පෞද්ගලිකව ම පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ඔහුගේ අනාගතය අවදානමේ හෙළා තියෙන අතරතුර, ඊශ්‍රායල් දේශපාලන හා ආරක්ෂක අංශය ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් බරපතළ විදිහට පසුබස්සවන්න කැපවෙලා ඉන්නවා," යැයි චැතම් හවුස් බුද්ධි මණ්ඩපයේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය සනම් වකිල් පවසයි.

"දෙවැනි එක අභියෝගාත්මක වුණත් යම් ප්‍රමාණයකට සාර්ථක වෙන්න පුළුවන්," ඇය ප්‍රකාශ කළා ය. "වේගයෙන් උත්සන්න වන ගැටුමක් හමුවේ පළවෙනි එක ඉටු කර ගන්න අමාරු බව පේනවා."

ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන විනාශ කිරීම

නෙතන්යාහු ඉරානයට එරෙහි ඊශ්‍රායල් මෙහෙයුම හැඳින්වූයේ, තම රටේ පැවැත්මට ඇති තර්ජනයක් විනාශ කිරීම සඳහා වූ මුලින් පහර දෙන ප්‍රහාරයක් ලෙස ය. ඉරානයේ ඉදිරි ගමන "90 වන මිනිත්තුවේදී" න්‍යෂ්ටික බෝම්බයක් සංවර්ධනය කිරීම දෙසට යන්නක් බව ඔහු ප්‍රකාශ කළේ ය.

ටෙහෙරානයට මෙම සීමාව පැනීමට ඉඩ නොදිය යුතු බවට ඔහු කළ ප්‍රකාශය බටහිර පාක්ෂිකයන්ගෙන් ප්‍රතිරාවය වී තිබේ. නමුත් නෙතන්යාහුගේ ක්‍රියා කලාපය පිළිබඳව ද පුළුල් ලෙස ප්‍රශ්න කෙරී ඇත.

ඔවුන් බෝම්බයක් නිෂ්පාදනය කිරීමට තීරණයක් ගෙන නැතැයි පවසමින්, නෙතන්යාහුගේ චෝදනා ඉරානය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර තිබේ. මාර්තු මාසයේදී, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබර්ඩ් සාක්ෂි දෙමින් කියා සිටියේ, එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රජාව "ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනගන්නේ නැති බවට තක්සේරු කිරීම දිගට ම කරගෙන යන," බව ය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සිය නවතම කාර්තුමය වාර්තාවේ සඳහන් කළේ, ඉරානය 60%ක සංශුද්ධතාවයකින් යුත් යුරේනියම් ප්‍රමාණයක් රැස්කරගෙන ඇති බව ය. - එය න්‍යෂ්ටික බෝම්බ නවයක් නිපදවීමට හැකි යුරේනියම් ප්‍රමාණයකි.

මුල් දින කිහිපය තුළ නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆොර්ඩෝව් යන ඉරානයේ ප්‍රධාන සහ දැවැන්ත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක විය. IAEA පවසා ඇත්තේ, නටාන්ස්හි පොළොවට ඉහළින් පිහිටි යුරේනියම් සුපෝෂණය කිරීමේ නියමු කම්හලක් විනාශ වූ බව ය.

ඉස්ෆහාන්හි "ඉතා වැදගත් ගොඩනැගිලි" හතරකට හානි සිදුවී ඇති බව IAEA ද වාර්තා කළේ ය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුවූ හානිය "සැලකිය යුතු" බව ඊශ්‍රායලය විස්තර කරන අතර ඉරානය පවසන්නේ එය සීමාසහිත එකක් බව ය.

මේ දක්වා අවම වශයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයින් නව දෙනෙකු සහ ඉහළ ම හමුදා අණ දෙන නිලධාරීන් මාලාවක් ඝාතනය කිරීමෙන් ඊශ්‍රායලය "දැනුමේ මූලාශ්‍ර" ද ඉලක්ක කර තිබේ. හමුදා කඳවුරු, මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ කර්මාන්ත ශාලා ඇතුළත් එහි ඉලක්ක ලැයිස්තුව දැන් ආර්ථික හා තෙල් පහසුකම් දක්වා පුළුල් වෙමින් පවතියි.

රටවල් දෙකෙහි ම සිවිල් වැසියන්ට සිදුවන හානි ඉහළ යද්දී, ඉරානය ද ඔවුන්ගේ පුළුල් වන ප්‍රහාර ඉලක්ක ලැයිස්තුවක් සමග ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

Maxar satellite imagery overview of the Fordow facility

ඡායාරූප මූලාශ්‍රය, Maxar Technologies/ Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆොර්දෝව් යනු ඉරානයේ දෙවන විශාලතම සහ වඩාත් ම ආරක්‍ෂිත ප්‍රදේශය වේ

නමුත් ඉරානයේ දැවැන්ත න්‍යෂ්ටික වැඩසටහනට තීරණාත්මක පහරක් එල්ල කිරීමට නම්, ඊශ්‍රායලය එහි දෙවන විශාලතම සහ දැඩි ලෙස ආරක්ෂිත ස්ථානය වන ෆොර්දෝව් මධ්‍යස්ථානයට සැලකිය යුතු හානියක් සිදු කළ යුතු ය. කන්දක් තුළ ගැඹුරු භූගත ස්ථානයක පිහිටි මෙම සංකීර්ණයේ, ඉරානය එහි ආයුධ නිපදවීමට සුදුසු යුරේනියම් බොහොමයක් ගබඩා කර ඇති බව ඇතැම් විශේෂඥයෝ විශ්වාස කරති.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පවසන්නේ, [ඊශ්‍රායලයේ] වත්මන් අරමුණ මෙම මධ්‍යස්ථානයට ප්‍රවේශ වීම අවහිර කිරීම බව ය.

පර්වත කඩා බිඳ දමා බංකර් බිඳීමට තරම් බෝම්බ ඊශ්‍රායලයට නොමැත. නමුත් එක්සත් ජනපද ගුවන් හමුදාව සතුව ඒවා ඇත. MOP [Massive Ordnance Penetrator] ලෙස හැඳින්වෙන මේවා රාත්තල් 30,000ක් බර නිශ්චිත ඉලක්කයකට නිවැරදිව පහර දිය හැකි යුද්ධ අවි වර්ගයකි. නමුත් විශාල හානියක් සිදු කිරීමට තවත් දින ගණනාවක් පුරා විශාල ප්‍රහාර එල්ල කිරීමට සිදු වනු ඇත.

"මම හිතන්නේ ගොඩක් දුරට වෙන්න පුළුවන් දේ තමයි නෙතන්යාහු ට්‍රම්ප්ට කතා කරලා කිය යි, 'මම මේ වැඩේ ඔක්කොම කරලා තියෙන්නේ, බෝම්බ හෙලන B-2 යානා සහ එක්සත් ජනපදයේ හමුදාවලට කිසි ම ප්‍රශ්නයක් නොවෙන්න මම වගබලා ගත්තා, හැබැයි මට න්‍යෂ්ටික අවි ටික ඉවර කර ගන්න බෑ,' කියලා," යැයි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ගෝලීය බලශක්ති ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ හිටපු ඇමෙරිකානු නිලධාරියෙකු සහ ඉරාන විශේෂඥයෙකු වන රිචඩ් නෙෆියු, බීබීසීයේ Newshour වැඩසටහනට පැවසුවේ ය. "මේකට ට්‍රම්ප් මැදිහත් වෙන්නේ මොන විදිහට ද කියන එක තාම පැහැදිලි නෑ," බටහිර නිලධාරියෙක් මට පැවසීය.

සාම සාකච්ඡා බිඳ වැටෙන කාලයක් ද?

ට්‍රම්ප් දිගින් දිගට ම සිය ස්ථාවරයන් වෙනස් කරමින් සිටියි. පසුගිය සතිය ආරම්භයේදී, ඔහු ඉරානයට පහර නොදෙන ලෙස ඊශ්‍රායලයට බල කළේ, ඔහුට වඩාත් අවශ්‍ය යැයි ඔහු පැවසූ ඉරානය සමග පවත්වන න්‍යෂ්ටික බලය පිළිබඳ සාකච්ඡා මෙවැනි ප්‍රහාරයකින් "බිඳ වැටිය" හැකි නිසා ය.

ඊශ්‍රායලය පහර දුන් විට ඔහු ප්‍රහාරයන් "උත්කෘෂ්ට" බවට වර්ණනා කරමින් "තව වෙන්න දේවල් තියෙනවා, ගොඩක් දේවල්," යැයි අනතුරු හැඟවූයේ ය. නමුත් ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ඉරානය තල්ලු කරවා ගැනීමට ඒවා උපකාරී වනු ඇතැයි ඔහු සිතුවේ ය.

ඉන්පසුව, ඉරිදා ඔහුගේ Truth සමාජ මාධ්‍ය වේදිකාවේ ඔහු පළ කළ සටහනක ඔහු සඳහන් කර තිබුණේ, "අපිට සාමය ලැබෙනවා, ඉක්මනින් ම, ඊශ්‍රායලය සහ ඉරානය අතර! දැන් ගොඩක් ඇමතුම් ගනිමින් සහ රැස්වීම් පවත්වමින් ඉන්නේ," යනුවෙනි.

ඉරිදා ඕමානයේ අගනුවර වන මස්කට්හිදී නැවත ආරම්භ කිරීමට නියමිත සාකච්ඡා, ඉහළ යන ආතතීන් නොතකා, ඊශ්‍රායල් ප්‍රහාරයක් ළඟදී ම සිදු නොවන බවට ටෙහෙරානය නොමග යැවීමේ කූටෝපායක් පමණක් යැයි ඉරාන සාකච්ඡාකරුවෝ දැන් සැක කරති. සිකුරාදා උදෑසන [ජූනි 13] ඊශ්‍රායලයේ දැඩි ප්‍රහාර ඔවුන් පුදුමයට පත් කළේ ය.

Donald Trump greets Benjamin Netanyahu as he arrives at the White House on 7 April 2025 in Washington DC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතිය ආරම්භයේදී, ට්‍රම්ප් ඉරානයට පහර නොදෙන ලෙස ඊශ්‍රායලයට බල කළේ ය

මේ මොහොත වැදගත් බවට අනෙක් අය ද දකිති. "ඊශ්‍රායලය එක්ක කරපු පෙර නොවූ විරූ ප්‍රහාර සැලසුම් කරලා තිබුණේ ම ඉරාන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට ජනාධිපති ට්‍රම්ප්ට ඇති හැකියාව විනාශ කරන්න," විදේශ සබඳතා පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රධානියා වන එලී ගෙරන්මේයේ පවසයි.

"රාජ්‍ය තාන්ත්‍රික මාවතේ ඇමෙරිකානු ලීවරය ශක්තිමත් කිරීම මේ ප්‍රහාරවල අරමුණ වුණා කියලා සමහර ඊශ්‍රායල් නිලධාරීන් තර්ක කරන අතරේ, ඔවුන් තෝර ගත්ත වෙලාව සහ [ප්‍රහාරවල] දැවැන්ත ස්වභාවය සම්පූර්ණයෙන් ම සාකච්ඡා අසාර්ථක කරවන්න කරපු දෙයක් කියන එක පැහැදිලි යි."

මෙම සාකච්ඡා පිළිබඳ අවබෝධයක් ඇති නිලධාරීන් පසුගිය සතියේ මා සමග පැවසුවේ, "යම් ගනුදෙනුවක් පැමිණිය හැකි," බව ය. නමුත් සියල්ල රඳා පැවතියේ, සිවිල් වැඩසටහනකට අනුකූල වන අඩු, තනි ඉලක්කම් මට්ටම්වලදී පවා, ඉරානය සියලු න්‍යෂ්ටික සුපෝෂණය කිරීම් සම්පූර්ණයෙන් ම නතර කළ යුතු බවට වන දැඩි ඉල්ලීමෙන් එක්සත් ජනපදය ඉවත් වීම මත ය. ටෙහෙරානය එය "රතු ඉරක්" ලෙස දුටුවේ ය.

අර්ධ වශයෙන් නෙතන්යාහු දිගින් දිගට ම කළ ඉල්ලීම් ද සැලකිල්ලට ගෙන ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ පළමු ධූර කාලය තුළ 2015 දී ඇති කර ගත් ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, වාණිජ න්‍යෂ්ටික බලාගාර සඳහා ඉන්ධන නිෂ්පාදනය කිරීමට භාවිත කරන [න්‍යෂ්ටික මිනුම්] මට්ටමක් වන 3.67% දක්වා සුපෝෂණය කිරීම සීමා කිරීමේ වගකීමෙන් ඉරානය ඉවත් වී තොග වශයෙන් [න්‍යෂ්ටික ද්‍රව්‍ය] රැස් කිරීම ද ආරම්භ කළේ ය.

මෙම දෙවන උත්සහයේදී, ඇමෙරිකානු නායකයා ඉරානයට විරාමයක් ඇති කර ගැනීමට "දින 60ක" කාලයක් ලබා දී තිබු අතර, එය මෙම ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් සහ දැනුම ඇති මැදිහත්කරුවෝ මෙතරම් සංකීර්ණ ගැටලුවකට [නොගැලපෙන] ඉතා කුඩා කවුළුවක් ලෙස සැලකූහ.

ඊශ්‍රායලය 61 වන දිනයේදී පහර දුන්නේ ය.

"වෙලාව පටන් ගන්නකොට ඕමාන මැදිහත්වීමත් නැවතිලා," ආචාර්ය වකිල් පවසයි. "නමුත් වැඩිදියුණු වෙමින් යන තත්ත්වය සමනය කර ගැනීමට සහ මෙම මාර්ගයෙන් බැහැර වීමට ක්‍රමයක් සොයා ගැනීම සඳහා වන කලාපීය ප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා."

නෙතන්යාහුගේ 'චර්චිලියානු මනෝභාවය'

ටෙහෙරානයේ සිට බලන විට, මෙම [ගැටුම්] උත්සන්න වීම සංචිත, තාක්ෂණික උපකරණ සහ අතිශය වේගවත් මිසයිල සඳහා බලපාන්නක් පමණක් නොවේ.

"ඔවුන් ඒක දකින්නේ රාජ්‍යයක් විදිහට ඉරානයේ හැකියාවන්, එහි හමුදා ආයතන වගේ ම ඉරානය සහ ඊශ්‍රායලය අතර බල තුලනය තීරණාත්මක ආකාරයකින් වෙනස් කිරීමට සහ, පුළුවන් නම් සමස්තයක් ලෙස ඉස්ලාමීය ජනරජය පෙරළා දැමීමට ඊශ්‍රායලයට අවශ්‍ය වෙලා ඇති ලෙස යි," ජෝන්ස් හෝකින්ස් උසස් ජාත්‍යන්තර අධ්‍යයන විද්‍යාලයේ මැද පෙරදිග අධ්‍යයන සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්ය සහ 2025 දී පල වූ Iran's Grand Strategy නම් ග්‍රන්ථයේ කතුවරයා ද වන මහාචාර්ය වාලි නසර් පවසයි.

ඉරානයේ මහජනතාව මෙයට කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇති ද යන්න පැහැදිලි නැත.

People look over damage to buildings in Nobonyad Square following Israeli airstrikes on June 13, 2025 in Tehran, Iran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර ගණනාවක් තිස්සේ ඉරාන ජනතාව දැඩි ජාත්‍යන්තර සම්බාධකවල දරුණු බලපෑම සහ දූෂණයේ දරුණු බලපෑම නිසා පීඩා විඳිති

වසර ගණනාවක් තිස්සේ මිලියන 90ක ජනතාවක් සිටින ඉරානය, ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ මෙන් ම පාලන ක්‍රමයේ ඇති දූෂණයේ බලපෑම්වලින් පීඩා විඳිති.

ඉහළ උද්ධමනයේ සිට විරැකියාව, ජල සහ විදුලි හිඟය, සදාචාර පොලිසිය විසින් කාන්තාවන්ගේ ජීවිත සීමා කරනු ලැබීමට ඇති උනන්දුව වැනි කරුණු සම්බන්ධයෙන් වසරින් වසර විරෝධතා ඇවිළී තිබේ. 2002 දී, පෙර නොවූ විරූ විරෝධතා රැල්ලකින් වඩා වැඩි නිදහසක් ඉල්ලා සිටි අතර එම විරෝධතාවලට එරෙහිව ඒවාට දැඩි මර්දනයක් එල්ල විය.

මහ ජනතාවගේ මනෝභාවය ගැන සිය තක්සේරුව නසර් ඉදිරිපත් කරයි. "සමහර විට පටන් ගන්නකොට, මිනිස්සු අකමැති ජෙනරල්ලා හතර පස් දෙනෙක් මැරෙනකොට ඔවුන්ට පොඩි සහනයක් දැනෙන්න ඇති, නමුත් දැන් ඔවුන්ගේ අපාට්මන්ට් බිල්ඩින්වලට ප්‍රහාර එල්ල වෙමින් තියෙනවා වගේ ම රටේ බලශක්ති හා විදුලි යටිතල පහසුකම් ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා," ඔහු පවසයි.

"ඉරාන ජාතිකයන්ගෙන් බහුතරයක් තමන්ගේ රටට බෝම්බ හෙළද්දී ආක්‍රමණිකයෙක්ගේ පැත්ත ගනීවි කියන එක හෝ මොන ආකාරයෙන් හරි ඒක විමුක්තියක් විදිහට සලකන අවස්ථාවක් එයි කියලා මට නම් පෙන්නේ නෑ."

නමුත් නෙතන්යාහුගේ ප්‍රකාශය දේශසීමා ඉලක්ක කිරීමක් සම්බන්ධයෙන් දිගින් දිගට ම ඉඟි ලබා දෙයි.

People hold pictures of Major General Gholam Ali Rashid, senior commander of Iran's Islamic Revolutionary Guard Corps (IRGC), as they gather for a protest in central Tehran on 13 June 2025

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නුදුරු අනාගතයේදී මෙය කාලෝචිත අවසානයකට ගෙන ඒමට හැක්කේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් බව එක්සත් ජනපද මැද පෙරදිග ව්‍යාපෘතියේ සභාපති ඩැනියෙල් ලෙවි පවසයි

සෙනසුරාදා [ජූනි 14] නෙතන්යාහු අනතුරු ඇඟවූයේ, ඔහුගේ රට "හැම [න්‍යෂ්ටික] මධ්‍යස්ථානයකට ම සහ අයතුල්ලාගේ පාලනයේ හැම ඉලක්කයකට ම" පහර දෙන බවට ය.

ඉරිදා [ජූනි 15], ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රයත්නයේ කොටසක් දැයි ෆොක්ස් නිවුස් විසින් විශේෂයෙන් ම විමසූ විට, ඊශ්‍රායල අගමැති පිළිතුරු දෙමින් පැවසුවේ, "ඉරාන පාලනය ඉතා දුර්වල නිසා අනිවාර්යයෙන් ම ඒක වෙන්න පුළුවන් ප්‍රතිඵලයක්," බව ය.

"ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔවුන්ගේ මානසික යුද්ධයේ කොටසක් ලෙස පාලන බලය අහිමි වීමේ බයත් එක්ක සෙල්ලම් කරන්න," යැයි The Economist සඟරාවේ ඊශ්‍රායල් වාර්තාකරු සහ Netanyahu චරිතාපදානයේ කර්තෘ ඇන්ෂෙල් පෙපර් පවසයි.

"ඊශ්‍රායල් බුද්ධි අංශ ඇතුළේ තියෙන එකඟතාව තමයි ඉරාන පාලන තන්ත්‍රයේ බිඳවැටීම පුරෝකථනය කිරීම හෝ සිතා මතා සැලසුම් කිරීම නිෂ්ඵල යි කියන එක. ඒක ඉක්මනින් ම වෙන්නත් පුළුවන්, නැත්නම් වසර 20කින් වෙන්නත් පුළුවන්."

නමුත් පෙපර් විශ්වාස කරන්නේ, අගමැතිවරයාගේ සිතිවිලි ඇතැම්විට වෙනස් විය හැකි බව ය. "මම හිතන්නේ ඔහුගේ ඔත්තු සේවා ප්‍රධානීන් වගේ නෙවෙයි, නෙතන්යාහුට හොඳ අවස්ථාවක් තියෙනවා, ඔහු ඉන්නේ චර්චිලියානු මනෝභාවයක කියන පණිවුඩය ඇත්තට ම විශ්වාස කරන්න."

ඉරිදා [ජූනි 15] සවස වන විට, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල් සැලැස්මක් ජනාධිපති ට්‍රම්ප් ආසන්න කාලයේදී නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කළ බවට ඇමෙරිකානු මාධ්‍යවල වාර්තා පළ වීමට පටන් ගත් අතර, ඒ සෑම එකක් ම තමන්ගේ ම මූලාශ්‍ර උපුටා දක්වමින් එය වාර්තා කර තිබිණි. නිර්නාමික එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මුලින් ම පුවත වාර්තා කළ විට මෙම කලබලය ආරම්භ විය.

ඊශ්‍රායලයේ අරමුණු පිළිබඳව ප්‍රශ්න කරන ලද ඊශ්‍රායල පුද්ගලයින්ගෙන් විදේශ අමාත්‍ය ගිඩියන් සාර්ගේ සිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී සාහි ඛනෙග්බි දක්වා නිලධාරීන් අවධාරණය කර ඇත්තේ, ඔවුන්ගේ අවධානය ඇත්තේ ඉරානයේ දේශපාලන නායකත්වය කෙරෙහි නොවන බව ය. නමුත් ඛනෙග්බි අවසන් වශයෙන් මෙලෙස පැවසුවේ ය. "නමුත් 'මේ වෙලාව' කියන සංකල්පය වලංගු සීමිත කාලයකට විතර යි."

අවසානයේදී, මෙම අවසාන ක්‍රීඩාවේ හැඩය තීරණය වන්නේ භයානක හා අනපේක්ෂිත ගැටුමක දිග හැරීම සහ ඒ හා සමානව අනපේක්ෂිත එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුගේ ක්‍රියාමාර්ග මගිනි.

"සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ප්‍රබල විදිහට තීරණය වෙන්නේ එක්සත් ජනපදයට මේක ඇදගෙන යන්න පුළුවන් ද කියන අර්ථ දැක්වීමෙන්," එක්සත් ජනපද මැද පෙරදිග ව්‍යාපෘතියේ සභාපති සහ ඊශ්‍රායල් රජයේ හිටපු උපදේශක ඩැනියෙල් ලෙවි තක්සේරු කරයි. "වෙන්න පුළුවන් ප්‍රතිඵල සහ නවතින තැන් තීරණය කිරීමෙන් නුදුරු අනාගතයේදී ම ම මේක කාලෝචිත අවසානයකට ගෙන එන්න පුළුවන් එක්සත් ජනපදයට විතර යි."

පළමු ඡායාරූපය සඳහා මූලාශ්‍ර: Anadolu via Getty, ATEF SAFADI/EPA - EFE/REX/Shutterstock