හොසේන් සලාමි: ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉරාන විප්ලවවාදී ආරක්ෂක ප්‍රධානියා කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කෙලී එන්ග්
- Role, බීබීසී ප්‍රවෘත්ති
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී හොසේන් සලාමි සිකුරාදා අලුයම එල්ල කෙරුණ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය අතර, එම ප්‍රහාරවලින් මියගිය ජේෂ්ඨතම ඉරාන හමුදා නායකයා ඔහු විය.
65 හැවිරිදි සලාමි, ඊශ්‍රායලයට සහ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව දැඩි ස්ථාවරයක් දැරූ අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඉරානයට පහර දුන හොත් ''අපායේ දොරටු විවෘත කරන" බවට මෑතකදී ඔහු විසින් අනතුරු අඟවා තිබිණි.
න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩාකප්පල් නොකරන ලෙස ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබියදීත්, ඊශ්‍රායලය න්‍යෂ්ටික ස්ථාන සහ හමුදා නායකයින් ඉලක්ක කර ගනිමින් ඉරානයට ප්‍රධාන පෙලේ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ප්‍රහාරයට සම්බන්ධ නොවූ බව පවසන ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සඳහා "බරපතල වන්දියක්" ගෙවනු ඇති බවට ටෙහෙරානය අනතුරු අඟවා ඇති අතර, මෙය දැනටමත් කලාපය තුළ පුළුල් යුද්ධයක් කරා රැගෙන යනු ඇති බවට වන බිය මතු කරයි.
ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගෙරි, ඉරාන සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ගොලමලි රෂීඩ් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ද මිය ගියහ.
ප්‍රහාරයට දින කිහිපයකට පෙර සලාමි පැවසුවේ ඉරානය ඕනෑම තත්වයකට මුහුණ දීමට සම්පූර්ණයෙන්ම සූදානම් බවයි.
"ඊශ්‍රායල වටලෑමකට ලක්ව සිටින අසරණ පලස්තීනුවන්ට එරෙහිව සටන් කරන ආකාරයටම ඉරානයට එරෙහිව සටන් කළ හැකි යැයි සතුරා සිතනවා, නමුත් අපි යුද්ධයේදී ශක්තිමත් සහ පළපුරුදු අයයි." ඔහු පැවසිය.
සලාමි 1980 දී ඉරාන-ඉරාක යුද්ධයේදී විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ වූ අතර, 2009 දී නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු ලෙස සහ 2019 දී අණදෙන නිලධාරියා බවට පත්විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2000 ගණන්වල සිට, ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා වැඩසටහන්වල ඔහුගේ භූමිකාව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය ඔහුට සම්බාධක පැනවීය.
ඉරාන හමුදාව ශක්තිමත් බවත්, එම රට ලෝක බලවතෙකු වීමට ආසන්න බවත් සලාමි ආඩම්බරයෙන් පැවසීය.
ඔහු ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ සටන් කිරීමේ අදහසට සහාය දුන් අතර, 2019 දී සිරියාවේ පිහිටි ඉරාන ඉලක්ක වෙත එල්ල කෙරුණ ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, දේශපාලන සිතියමින් "සියොන්වාදී පාලනය අතුගා දමන බවට" ඔහු පොරොන්දු විය.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක බලකායේ භටයින් හත් දෙනෙකු මිය ගිය පසු, සලාමි ද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ "අපගේ නිර්භීත මිනිසුන් සියොන්වාදී පාලනයට දඬුවම් කරනු ඇත." යනුවෙනි.
1979 ඉරාන විප්ලවය තෙක් ඉරානය සහ ඊශ්‍රායලය මිත්‍ර පාක්ෂිකයින් වූ අතර, ඉන් පසුව නව පාලනය ඊශ්‍රායලයට විරුද්ධ වීම ඔවුන්ගේ විශ්වාසයන්ගේ ප්‍රධාන අංගයක් බවට පත් විය.
ඉරානයේ වත්මන් පාලනය ඊශ්‍රායලයේ පැවැත්මේ අයිතිය පිළිනොගනී. ඊශ්‍රායලය " පිළිකාවක්" ලෙස හැඳින්වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එය "නිසැකවම උදුරා දමා විනාශ කරන බව"පැවසුවේ ය.
ඊශ්‍රායලය පැවසුවේ ඉරානය ප්‍රධාන තර්ජනයක් ලෙස සලකන්නේ ඔවුන්ගේ සතුරු භාෂාව සහ ඊශ්‍රායලය විනාශ කිරීමට ඉලක්ක කරගත් හිස්බුල්ලා වැනි කණ්ඩායම් සඳහා සහයෝගය දැක්වීම නිසා බවයි.
සලාමි සහ විප්ලවවාදී ආරක්ෂක බළකායේ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් ඉරානයේ උත්තරීතර නායකයාට නිතිපතා උපදෙස් දෙයි.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් කවුද?
ඉරානයේ ආගමික නායකයත්වය විසින් වසර 40 කට පෙර ඉස්ලාමීය ක්‍රමය ආරක්ෂා කිරීමට සහ ඔවුන් සම්පූර්ණයෙන්ම විශ්වාස නොකරන එරට නිත්‍ය හමුදාව පාලනය කිරීමටත් විප්ලවවාදී ආරක්ෂක බලකාය නිර්මාණය කළහ.
190,000 කට අධික ක්‍රියාකාරී කාර්ය මණ්ඩලයක් සහ තමන්ගේම ගොඩබිම්, නාවික සහ ගුවන් හමුදාවක් සහිත විප්ලවවාදී ආරක්ෂක බලකාය, රටේ බලවත්ම සහ වඩාත්ම බිය ගෙන දෙන හමුදා සහ දේශපාලන බලවේල වලින් එකකි.
ඉරාන හමුදාව රට ආරක්ෂා කරන අතර, විප්ලවවාදී ආරක්ෂකයින් පාලක තන්ත්‍රය ආරක්ෂා කරයි.
කණ්ඩායම උත්තරීතර නායකයාට පමණක් ඍජුව වාර්තා කරන බැවින්, එහි බලය අනෙකුත් ආයතන විසින් පහසුවෙන් පරීක්ෂා නොකෙරේ.
එය ඉරානයේ උපායමාර්ගික අවි සහ විරෝධතා මර්දනය කිරීම සඳහා බොහෝ විට භාවිතා කරන බසීජ් බලකාය පාලනය කරයි.
ඉරාන ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ පාලනය කිරීමට විප්ලවවාදී ආරක්ෂකයින් අනුබද්ධිත සමාගම් සහ භාරකාර ආයතන මාලාවක් හරහා කටයුතු කරන බව සැලකේ. ඉදිකිරීම් සහ ඉංජිනේරු කොන්ත්‍රාත්තු සඳහා ඩොලර් බිලියන ගණනක අයිතියක් ද ඔවුන් සතුව ඇත.
මැද පෙරදිග, මෙම කණ්ඩායම මිත්‍ර පාක්ෂික රජයන්ට මුදල්, ආයුධ, තාක්ෂණය, පුහුණුව සහ උපදෙස් ලබා දෙමින් සහාය දක්වයි.
විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ ඇතැම් ඉහළ සාමාජිකයින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලෙබනනය, පලස්තීනය සහ යේමනය වැනි ස්ථානවල ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් සමඟ කටයුතු කරන රහසිගත කුඩ්ස් බලකාය පවත්වාගෙන යයි.
හිටපු විප්ලවවාදී ආරක්ෂක නිලධාරීන් තවමත් ඉරාන රජයේ සහ දේශපාලනයේ වැදගත් තනතුරු දරන අතර, ඒ අතර හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් සහ හිටපු පාර්ලිමේන්තු කථානායක අලි ලරිජානි ද වේ.
අතිරේක වාර්තාකරණය කෝ ඊව් සහ රෆි බර්ග්.













