ට්‍රම්ප් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඉවත් කිරීම නීති විරෝධීද?

ඇමරිකානු හමුදා විසින් වෙනිසියුලාවෙන් රැගෙන යෑමෙන් පසු වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ පින්තූර රැගෙන වෙනිසියුලාවේ තොප්පි සහ වර්ණවත් ඇඳුම් ඇඳගත් වැඩිහිටියන් පිරිසක් විරෝධතාවයේ යෙදෙන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Federico PARRA / AFP via Getty Images

    • Author, නික් එරික්සන්
    • Role, බීබීසී ලෝක සේවය

වෙනිසියුලාවේ සිදු වූ නාට්‍යාකාර සිදුවීම් පෙළ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ධනයන් සමඟ, ජනාධිපති නිකොලස් මදුරෝ බලහත්කාරයෙන් බලයෙන් ඉවත් කළ විට ට්‍රම්ප් පරිපාලනය නීතිය තුළ ක්‍රියා කළේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කර තිබේ.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් ඇමෙරිකානු අධිකරණයක ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ඔවුන්ට දිගු සිර දඬුවම් නියම වීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීති විශේෂඥයින් පවසන්නේ මෙහෙයුම සිදු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට නීතිමය පූර්වාදර්ශයක් හෝ ජාත්‍යන්තර නීති සහායක් තිබේද යන්න පැහැදිලි නොමැති බවයි.

මීට පෙර, මදුරෝ තමන් කාටෙල් නායකයෙකු ලෙස හැඳින්වීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, තමා බලයෙන් ඉවත් කර වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිත වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා නිදහසට කරුණක් ලෙස "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය" භාවිතා කළ බවට ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරය හෝ සැබෑ ආත්මාරක්ෂාව වැනි සීමිත අවස්ථාවන්හිදී හැර, ජාත්‍යන්තර නීතිය යටතේ සාමාන්‍යයෙන් බලය භාවිතා කිරීම තහනම් කරයි.

Donald Trump stands at the podium addressing the audience in a blue tie and gesturing with one hand. Behind him stand the Secretary of State Marco Rubio, Secretary of Defense Pete Hegseth and Chairman of the US Joint Chiefs of Staff General Dan Caine dressed in military uniform. ඩොනල්ඩ් ට්‍රම්ප් නිල් පැහැති ටයි පටියක් පැළඳ වේදිකාවේ සිටගෙන සිටින අතර. ඔහුට පිටුපසින් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් හමුදා නිල ඇඳුමින් සැරසී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Jim Watson / AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සමීපතමයන් පිරිසක් විසින් සෙනසුරාදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී මදුරෝ "ඇමෙරිකානු යුක්තියෙන් පලා ගිය අයෙකු" ලෙස හැඳින්විණි

සාධාරණීකරණය

වෙනිසියුලාවට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමෙන් සහ මදුරෝ අල්ලා ගැනීමෙන් පැය කිහිපයක් ඇතුළත, ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් නිව්යෝර්ක්හි ගොනු කර ඇති අපරාධ චෝදනා පෙන්වා දෙමින් එම මෙහෙයුම සාධාරණීකරණය කිරීමට උත්සාහ කලහ. ඔවුන් මෙම ක්‍රියාව දේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙසත් "මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයට" එරෙහිව ආත්මාරක්ෂක පියවරක් ලෙස විස්තර කළහ.

චෝදනාවට ප්‍රමුඛත්වය දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි ය. ඔහු මදුරෝ සහ ඔහුගේ බිරිඳ "ඉක්මනින් ඇමෙරිකානු අධිකරණවලදී ඇමෙරිකානු යුක්තියේ සම්පූර්ණ බලයට මුහුණ දෙනු ඇත" යනුවෙන් සිය X ගිණුමේ සටහනක් පළ කළේය.

සෙනසුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ජෙනරාල් ඩෑන් කේන් පැවසුවේ මෙම වැටලීම එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ ඉල්ලීම පරිදි සිදු කළ බවයි.

මෙහෙයුම මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම, වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාරවලට පෙර සහ මදුරෝ ඉවත් කිරීමට පෙර කොංග්‍රස් අනුමැතියක් නොලැබීම පිළිබඳ ඇති කනස්සල්ල සමනය කිරීමේ උත්සාහයක් විය හැකිය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මදුරෝ නොමැතිවිමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව පාලනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා සඳහන් කළේය. මෙය ට්‍රම්ප් පරිපාලනයට උපක්‍රමශීලී ගැටළුවක් විය හැකිය. නීතියට අනුව, වෙනිසියුලාවේ සිදුකරන දිගුකාලීන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා මෙහෙයුමක් සඳහා ජනාධිපතිවරයාට කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය වේ.

නොවැම්බර් මාසයේදී ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී සුසී වයිල්ස් වැනිටි ෆෙයාර් සඟරාවට පැවසුවේ වෙනිසියුලාවේ ගොඩබිම් ප්‍රහාරයක් සඳහා කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය වන නමුත් එම මාසයේ අගභාගයේදී ට්‍රම්ප් මෙම මතයට ප්‍රසිද්ධියේ විරුද්ධ වූ බවයි.

කොංග්‍රසය නොමඟ යවා ඇති බවට විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක රුබියෝ සෙනසුරාදා පැවසුවේ, මෙම වැටලීම "මූලික වශයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයක්" මිස යුද ක්‍රියාවක් නොවන බවත්, එය සිදු කිරීම සඳහා "යුද දෙපාර්තමේන්තුව අධිකරණ දෙපාර්තමේන්තුවට සහාය දුන්" බවයි. එබැවින් මෙහෙයුමට පෙර ඇමෙරිකා එක්සත් ජනපද නීති සම්පාදකයින්ට දැනුම් දීමක් සිදුකර නොමැති බව ද ඔහු පැවසුවේය.

තම කරුණ පැහැදිලි කිරීම සඳහා ඔහු මදුරෝව "ඇමෙරිකානු යුක්තියෙන් පලාගිය අයෙකු" ලෙස හැඳින්වීය.

Fire at Fuerte Tiuna, Venezuela's largest military complex, is seen from a distance after a series of explosions in Caracas. Smoke is seen to rise into a darkened sky behind a number of high-rise buildings with a mountain in the background. වෙනිසියුලාවේ විශාලතම හමුදා සංකීර්ණය වන ෆුවර්ටේ ටියුනා හි ගින්න, කරකාස් හි පිපිරීම් මාලාවකින් පසු දුර සිට දැකගත හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ මෙම චෝදනා වෙනිසියුලාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට මිලිටරි ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාවට අනුකූල නොවන බව විශ්ලේෂකයෝ පවසති

කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට දින 60ක් දක්වා කෙටි කාලීන හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ඉඩ සලසන යුද බලතල යෝජනාව මත ක්‍රියා කළ බවට ට්‍රම්ප් පරිපාලනයට පෙන්වා දිය හැකි අතර, පැය 48ක් ඇතුළත කොංග්‍රසයට දැනුම් දෙන තෙක්, කොංග්‍රසයේ අනුමැතියකින් තොරව දින 60ක් දක්වා සහ ඊට අමතරව එම මෙහෙයුම් ඉවත් කර ගැනීම සඳහා තවත් දින 30ක කෙටි කාලීන හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමේ හැකියාව පවතී.

මෙම රාමුව යටතේ, කොංග්‍රසයට පූර්ව දැනුම්දීමකින් තොරව වෙනිසියුලාවට ප්‍රහාරය දියත් කිරීම සඳහා නීතිමය බලයක් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයාට අවසර ඇත. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති සම්පාදකයින්ට තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග සීමා කිරීමට හෝ අවසන් කිරීමට ද්විපාර්ශ්වික පදනමක් මත ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඉදිරි දිනවලදී ඡන්දයක් අපේක්ෂා කෙරේ.

නීතිමය සැකය

එලෙස තිබියදීත්, මෙම සති අන්තයේ සිදුවීම් ජාත්‍යන්තර නීතිය සහ නීති මත පදනම් වූ පිළිවෙල සඳහා අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇතැම් විශේෂඥයින් කනස්සල්ලට පත්ව සිටින අතර ඔවුන් වෙනිසියුලාව සම්බන්ධයෙන් වොෂින්ටනය ගත් පියවර සඳහා වූ නීතිමය පදනම පිළිබඳ සැක පහළ කර ඇත.

ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවේ ඔවුන්ගේ ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීමට භාවිතා කළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ කල්ලි ප්‍රචණ්ඩත්වය අපරාධ ගැටළු වන අතර ජාත්‍යන්තර නීතිය යටතේ හමුදා ප්‍රතිචාරයකට ඉඩ සලසන සන්නද්ධ ගැටුමක් ලෙස සුදුසුකම් නොලබන බව විශ්ලේෂකයෝ පවසති.

සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවේදී ට්‍රම්ප්, ඇමෙරිකානු ඉන්ධන වත්කම් සොරකම් කිරීම සම්බන්ධයෙන් වෙනිසියුලාවට දොස් පැවරීය. වොෂින්ටනය වෙනිසියුලාව පාලනය කරන විට ඒවා ආපසු ලබා ගන්නා බව ද ඔහු නිශ්චිත කරුණු ඉදිරිපත් නොකරමින් පැවසීය.

"මේක නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් කියලා කියන්න බෑ, ඊට පස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයට රට පාලනය කරන්න ඕනේ කියලා කියන්න බෑ,ඒකෙන් කිසිම තේරුමක් නැහැ" ඊසානදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවස්ථාමය නීති මහාචාර්ය ජෙරමි පෝල් රොයිටර් පුවත් සේවයට පැවසීය.

"සන්නද්ධ ප්‍රහාරක අවස්ථාවකදී හෝ ක්ෂණික අනතුරකට මුහුණ දෙන ජනතාව බේරා ගැනීම සඳහා හැර ජාත්‍යන්තර නීතිය, ජාතික ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස බලය භාවිතා කිරීම තහනම් බව ලන්ඩනයේ චැතම් හවුස් හි මහාචාර්ය මාක් වෙලර් පවසයි. එවැනි ක්‍රියාමාර්ගයකට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ද අවශ්‍ය බව ඔහු තවදුරටත් පවසයි.

"පැහැදිලිවම, වෙනිසියුලාවේ සිදුකළ ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම මෙම අවශ්‍යතා කිසිවක් සපුරාලන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ ඇමෙරිකා එක්සත් ජනපද අවශ්‍යතා හෝ මදුරෝගේ රජය මූලික වශයෙන් අපරාධකාරී බව ප්‍රකාශ කිරීම නීතිමය සාධාරණීකරණයක් සපයන්නේ නැහැ." ඔහු සඳහන් කළේය.

පැනමා පූර්වාදර්ශය

A mugshot of the Panamanian military leader, Manuel Noriega wearing a brown shirt and looking directly at the camera after being arrested by US authorities in 1990. 1990 දී ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දුඹුරු පැහැති කමිසයක් ඇඳගෙන කැමරාව දෙස කෙලින්ම බලන පැනමානියානු හමුදා නායක මැනුවෙල් නොරීගාගේ ඡායාරූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, Bureau of Prisons/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 35 කට පෙර එක්සත් ජනපදය අතින් පැනමා හමුදා නායක මැනුවෙල් නොරීගාට අත්වූ ඉරණම, වෙනිසියුලාවේ මෑත කාලීන සිදුවීම් සාධාරණීකරණය කිරීමට හොඳ පූර්වාදර්ශයක් නොවන බව විශේෂඥයෝ පවසති

ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම 1989-1990 දී පැනමාවේ සිදුවීම මදුරෝ ඉවත් කිරීම සඳහා ආදර්ශයක් හෝ සාධාරණීකරණයක් ලෙස සලකා ඇති බවයි.

පැනමාවේ දැඩි ලෙස අප්‍රසාදයට පත් නිල නොවන හමුදා නායක මැනුවෙල් නොරීගා එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ පරිපාලනය විසින් කරන ලද හමුදා මැදිහත්වීමකින් පසු බලයෙන් ඉවත් කරන ලද අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට පෙනී සිටීම සඳහා ඇමෙරිකාව වෙත රැගෙන එන ලදී.

විශේෂඥයින් පවසන්නේ වසර 35 කට පෙර පැනමා ඇළ සුරක්ෂිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ගත් උත්සාහයන් සහ අද වෙනිසියුලාවේ තෙල් බිම් වැනි පැහැදිලි සමානකම් ඇති නමුත් ප්‍රධාන වෙනස්කම් ද සටහන් කරන බවයි.

මහාචාර්ය වෙලර් පවසන්නේ, නොරීගා ඉවත් කිරීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපද අවශ්‍යතාවලට ආසන්න අනතුරක් ප්‍රකාශ කරමින්, එදා මෙන්ම අදත් වොෂින්ටනය ස්වයං-ආරක්ෂාව සාධාරණීකරණයක් ලෙස භාවිතා කළ බවයි.

In this photo illustration, a smartphone displays a Truth Social post by US President Donald Trump claiming that Venezuelan President Nicolás Maduro and his wife Cilia Flores were captured and flown out of Venezuela, with the Venezuelan national flag seen in the background. මෙම ඡායාරූප නිදර්ශනයේ, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අල්ලාගෙන වෙනිසියුලාවෙන් පිටතට ගෙන ගිය බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද Truth Social හි සටහනක් ස්මාර්ට් ජංගම දුරකථනයේ පෙනෙන අයුරු සඳහන් කර ඇති අතර, පසුබිමේ වෙනිසියුලානු ජාතික ධජය දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Cheng Xin/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලානු මෙහෙයුම මුලින්ම එක්සත් ජනපද කොංග්‍රසයට දැනුම් දීම වෙනුවට සමාජ මාධ්‍ය හරහා නිවේදනය කළේය

හිටපු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ජෝන් ෆීලි ඇතුළු විශ්ලේෂකයින් පවසන්නේ ප්‍රධාන වෙනස වන්නේ නොරීගා ඉවත් කිරීමෙන් පසු පැනමාවේ විපක්ෂ කණ්ඩායම් බලය අත්පත් කර ගැනීමට සූදානම්ව සිටීම සහ කල් පවතින ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියකට මඟ පෑදීම සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ඉක්මනින්ම රට හැර යාම බවයි.

වෙනිසියුලාවේ තත්ත්වය මෙය නොවන බවත්, එහිදී කිසිදු විපක්ෂයක් බලය අත්පත් කර ගැනීමට සූදානම් නැති බවත් සති අන්තයේදී ට්‍රම්ප් දැක්වූ අදහස්වලින් පෙනී යයි.

දැන් මොකද වෙන්නේ?

දැන් මදුරෝව වෙනිසියුලාවෙන් නිව්යෝර්ක් වෙත ගෙන ගොස් ඇති අතර ඔහුට එරෙහිව නඩු විභාගයක් ඉදිරියට ගෙන යමින් පවතියි.

"නීති විරෝධී සන්නද්ධ මැදිහත්වීමක් හෝ පැහැර ගැනීමක්" හරහා වුවද, සැකකරුවෙකු ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙන එන ආකාරය නොසලකා නඩු විභාගයක් ඉදිරියට ගෙන යාමට ඉඩ සලසන ඇමෙරිකානු අධිකරණය, කර්-ෆ්‍රිස්බි න්‍යාය අනුගමනය කරන බව මහාචාර්ය වෙලර් පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවේදී ගත් ක්‍රියාමාර්ග සඳහා කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ නොදුන්නත්, අනෙකුත් ගෝලීය ගැටුම් සඳහා ඉන් ඉතා බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි බව විචාරකයෝ පවසති. විශේෂයෙන් ජාත්‍යන්තරව යම් ආකාරයක නීතිරීති මත පදනම් වූ පිළිවෙලක් පවත්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ හැකියාව මෙහිදී පැහැදිලිව අභියෝගයට ලක් වේ.