කටාරය තුළ පිහිටි 'අල් උඩෙයිඩ් කඳවුර' ගැන ඔබ දැනගත යුතු දේ

An aerial shot of the Al Udeid Air Base in 2004 2004 දී අල් උඩෙයිඩ් ගුවන් කඳවුරේ ගුවනින් ගත් ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, USAF

ඡායාරූප ශීර්ෂ වැකිය, අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර 2024 දී.

කටාර් හී අගනුවර වන දෝහා අසල පිහිටා ඇති අල් උඩෙයිඩ්, මැද පෙරදිග ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ගුවන් මෙහෙයුම් සඳහා මූලස්ථානය ලෙස කටයුතු කරන අතර ඇමරිකානු හමුදා භටයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරයි.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සති අන්තයේ ප්‍රහාර එල්ල කිරීමට පෙර පූර්වාරක්ෂාවක් ලෙස බොහෝ ගුවන් යානා ධාවන පථයෙන් ඉවතට ගෙන ගොස් ඇති බව මෑත චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යයි.

මෙම ප්‍රහාරය මුළුමනින්ම පුදුමයට කරුණක් නොවන බව බීබීසී උතුරු ඇමරිකානු සංස්කාරක සාරා ස්මිත් වාර්තා කරයි. සති අන්තයේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් පසු මෙවැනි දෙයකට මුහුණ දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය කල් තියා සූදානම්ව සිට ඇත.

මැදපෙරදිග සිටින සියලුම ඇමෙරිකා එක්සත් ජනපද හමුදා මෙවැනි ප්‍රහාරයකට දැඩි අවධානයෙන් හා සූදානමින් සිටියි.

මෙය දැනට ඉරාකයේ ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම් සඳහා මූලස්ථානය සහ සැපයුම් මධ්‍යස්ථානය ලෙස සේවය කරන අතර ගල්ෆ් කලාපයේ ඇති දිග ම ගුවන් ධාවන පථය ද ඊට ඇතුළත් වේ.

බ්‍රිතාන්‍ය හමුදා ද එම කඳවුර භාවිතා කරන අතර එය ඇතැම් විට අබු නක්ලා ගුවන්තොටුපළ ලෙස ද හැඳින්වේ.

2000 දී කටාර් රාජ්‍යය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අල් උඩෙයිඩ් කඳවුර භාවිතා කිරීමට අවසර දුන්නේය. 2001 දී ඇමෙරිකා එක්සත් ජනපදය එහි පාලනය භාර ගැනීමෙන් පසු, එක්සත් රාජධානිය පදනම් කරගත් බුද්ධි සමාගමක් වන ග්‍රේ ඩයිනමික්ස්ට අනුව, කටාර් රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2002 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු හමුදාව එහි සිටීම නිල වශයෙන් පිළිගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.

2024 දී, ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය තවත් වසර 10 ක් කටාර්හි රැඳී සිටීමට එකඟ වූ බවයි.

Missiles and anti-missile fire in ths night sky above Doha on 23 June 2025 2025 ජුනි 23 වන දින දෝහාට ඉහළින් රාත්‍රී අහසේ මිසයිල සහ ප්‍රති මිසයිල නාශක ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු කඳවුරට එල්ල කරන ලද මිසයිල සියල්ලම තම මිසයිල නාශක පද්ධතිය මගින් බිම හෙළන බව කටාර් පවසයි.

'ප්‍රතිචාර දැක්වීමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට පීඩනයක් දැනෙනු ඇත'

කටාර් සිට වාර්තා ලැබෙන විට ජනාධිපති ට්‍රම්ප්, ඔහුගේ ආරක්ෂක ලේකම් සහ ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ධවල මන්දිරයේ මෙහෙයුම් කාමරයේ රැස්ව සිටි බව වොෂින්ටන් ඩීසී හි උතුරු ඇමරිකානු ප්‍රධාන වාර්තාකරු ගැරී ඕ'ඩොනෝගු වාර්තා කරයි.

මැයි මාසයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් කලාපයේ සංචාරය අතරතුර කඳවුරට ගියේය.

"ජනාධිපතිවරයා ලෙස, මට අවශ්‍ය වන්නේ ගැටුම් අවසන් කිරීමට මිස ඒවා ආරම්භ කිරීමට නොවේ. නමුත් ඇමරිකාව හෝ අපගේ මිත්‍ර පාක්ෂිකයින් ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලය භාවිතා කිරීමට මම පසුබට වෙන්නේ නැහැ." ඔහු සිය කතාවේදී හමුදා නිලධාරීන්ට එලෙස පැවසීය.

සති අන්තයේ ප්‍රහාරවලින් පසුව, ඉරානයේ ඕනෑම පළිගැනීමකට "ඊට වඩා විශාල බලයක් යොදන බව" ජනාධිපතිවරයා පැවසීය.

මුල් වාර්තාවලින් කිසිදු හානියක් සිදු නොවූවත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සහ සිය තර්ජනයන් හිස් නොවන බව ඔප්පු කිරීම සඳහා ජනාධිපතිවරයාට දැවැන්ත පීඩනයක් දැනෙනු ඇත.

කටාර් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයුධ

ඇමෙරිකා එක්සත් ජනපදයට කටාර් සමඟ ශක්තිමත් සබඳතාවක් ඇති අතර, විදේශ හමුදා විකිණුම් පද්ධතිය යටතේ ඩොලර් බිලියන 26 කට වඩා වටිනා හමුදා උපකරණ සහ සේවා අලෙවි කර ඇත. මෙය කටාර් රාජ්‍යය ඇමරිකාවේ දෙවන විශාලතම හමුදා උපකරණ ගැනුම්කරුවා බවට පත් කරයි.

ප්‍රෙට්ට්‍රියට් දිගු දුර මිසයිල පද්ධතිය, ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල පද්ධතිය සහ AN/FPS-132 වර්ගයේ පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතිය ඇතුළු ඒකාබද්ධ ගුවන් සහ මිසයිල ආරක්ෂක පද්ධති, වඩාත්ම දියුණු නිෂ්පාදනයන් වන F-15 සහ F-15QA ප්‍රහාරක ගුවන් යානා සහ AH-64E ඇපාචේ වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් ද මෑත කාලීන සහ සැලකිය යුතු විදේශ හමුදා විකුණුම් පද්ධතියේ අලෙවි අතරට ඇතුළත් වේ.

මෙම සෑම වැඩසටහනකටම ගොඩනැගිලි පහසුකම්, ආයුධ සැපයීම සහ සැපයුම් සහ පුහුණු සහාය සැපයීම ඇතුළත් වේ.

ඇමරිකානු කඳවුරට එල්ල කළ ප්‍රහාරය සාර්ථක බව ඉරානය පවසයි

ඉරානයේ ඉහළම ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ තමන් කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුරට පහර දුන් නමුත් ප්‍රහාරය කටාර් හෝ එහි ජනතාවට තර්ජනයක් නොවන බවයි. ඉරානය කටාර් සමඟ ශක්තිමත්, දිගුකාලීන සබඳතා පවත්වා ගැනීමට කැමති බවත් එහි සඳහන් විය.

"ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකා එක්සත් ජනපදය භාවිතා කළ බෝම්බ සංඛ්‍යාවට සමාන මිසයිල සංඛ්‍යාවක් ඊට භාවිත කළා"යනුවෙන් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශය උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

A map of Qatar and surrounding countries, including Bahrain and Saudi Arabia. The map highlights the location of Doha on the east coast and Al Udeid Air Base, locally more centrally in Qatar. An inset map shows the broader region with Iran labelled.
ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් සහ අවට රටවල සිතියමක්

ඉරාන මිසයිල සියල්ල බිම හෙළූ බව කටාරය කියයි

"මෙය කටාර් රාජ්‍යයේ ස්වෛරීභාවය, එහි ගුවන් අවකාශය, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් ලෙස අපි සලකනවා." කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක මජෙඩ් අල්-අන්සාරි X හි සටහනක් තබමින් කියා සිටියේය.

කටාර්හි ගුවන් ආරක්ෂක පද්ධති "ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කළ අතර ඉරාන මිසයිල මැඩපැවැත්වූ" බවත්, කඳවුර කලින් ඉවත් කර ඇති බවත් ඔහු පැවසීය.

"කටාර් හමුදා සාමාජිකයින් සහ මිත්‍ර හමුදා පාක්ෂිකයින් ඇතුළුව කඳවුරේ සිටින සියලු දෙනා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබු" බව ඔහු තවදුරටත් පැවසීය. "ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී හෝ ජිවිත හානි වී නැහැ" ඔහු තහවුරු කළේය.

"ප්‍රහාරයේ බරපතලකමට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමේ අයිතිය කටාර් රාජ්‍යයට ඇති බව" ප්‍රකාශකයා පැවසීය.

අතිරේක වාර්තාකරණය, බීබීසී පර්සියානු පුවත් සේවයේ ගොන්චේ හබිබියාසාඩ් විසිනි