'මට ගල් වෙලා වගේ දැනෙන්නේ, එක දිගට සිද්ධ වෙන්නේ අනපේක්ෂිත දේවල්' එක්සත් ජනපද ප්‍රහාරයෙන් පසුව ඉරානයෙන් ඇසෙන හඬ

Iranians wave national flags during an anti-US and anti-Israel demonstration in Tehran, Iran, 22 June 2025

ඡායාරූප මූලාශ්‍රය, EPA

    • Author, ඩේවිඩ් ග්‍රිටන්
    • Role, බීබීසී පුවත්

"මට දවල් රෑ දෙක ම එක වගේ. මට ගල් වෙලා වගේ දැනෙන්නේ. මම මුළු දවස පුරා ම සිවිලිම දිහා බලාගෙන ඉන්නවා."

"ඊළඟට වෙන්නේ මොකක් ද කියලා මම හිත හිත ඉන්නවා, ඒ වගේ ම එක දිගට අනපේක්ෂිත දේවල් වෙමින් තියෙනවා."

එක්සත් ජනපදය එක රැයක් තුළ සිය රටේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බෝම්බ හෙලීමෙන් පසු තම බිය සහ කෝපය ප්‍රකාශ කිරීම සඳහා බීබීසී පර්සියානු සේවය ඇමතූ ඉරාන ජාතිකයන් අතර, ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් නමකින් පෙනී සිටින ෂහිලා ද සිටියි.

ඉස්ෆහාන්, නටාන්ස් සහ ෆෝඩෝ මධ්‍යස්ථාන " විනාශ කළ" බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ අතර, දැන් ඉරාන නායකයන්ට "සාමය හෝ ඛේදවාචකය" තෝරා ගත හැකි බව පැවසුවේ ය.

නමුත් එක්සත් ජනපදය "බරපතල උල්ලංඝණයක්" කළේ යැයි පවසමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි අනතුරු හැඟවූයේ මෙම තත්ත්වය "සදාකාලික ප්‍රතිවිපාක" ඇති කරනු ඇති බවට ය.

ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල නිසා [ඊශ්‍රායලයට ඇති] පැවැත්මේ තර්ජන ඉවත් කිරීම එහි අරමුණ බව පවසමින් ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් මෙහෙයුමක් දියත් කිරීමෙන් සතියකට පමණ පසු මෙම ප්‍රහාර එල්ල විය.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 430 දෙනෙකු මිය ගොස් ඇති බව වන නමුත් එක් මානව හිමිකම් කණ්ඩායමක් මරණ සංඛ්‍යාව දෙගුණයක් බව ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ඉරානය ඊශ්‍රායලයේ නගරවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, ඉන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් 1,270 දෙනෙකු තුවාල ලබා තිබේ.

Traffic passes a billboard showing various Iranians including military personnel and Iranian Foreign Minister Abbas Araghchi (3rd right) saluting and a message reading, "We all are soldiers of Iran", at Vali Asr square in Tehran, Iran (22 June 2025)

ඡායාරූප මූලාශ්‍රය, EPA

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් ජනපද ප්‍රහාර සම්බන්ධයෙන් හඬ පණිවුඩයක් එවමින් මෙහ්රි [ඇගේ සැබෑ නම නොවේ] බීබීසී පර්සියානු සේවයට පැවසුවේ "මට මේ වෙච්ච දේ ගැන හරි ම කේන්තියක් සහ කලකිරීමක් තියෙන්නේ. මගේ ජීවිතේ කිසිම දෙයක් ගැන මේ තරම් දුකක්, කෝපයක් මට දැනිලා නෑ කියලා මම හිතනවා," යනුවෙන් ය.

"නමුත් එක්තරා විදිහකින්, ඒක මට අමුතු පැහැදිලි බවක් දෙනවා, ඒක මට මතක් කරලා දෙන්නේ මම මගෙන් එහාට ගිය දෙයකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා."

"මේ යුද්ධය, ඉරාන යුද්ධය, මූලිකව ම පුද්ගලයන් තුන්දෙනෙක් අතර තියෙන ගැටුමක්. රටවල් තුනක, තමන්ගේම මතවාදයන්ගෙන් මෙහෙයවනු ලබන නායකයින් තුන්දෙනෙක් අතර තියෙන එකක්," යැයි ඇය වැඩිදුරටත් පැවසූ ප්‍රකාශයෙන් අදහස් වන්නේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ගැන බව පෙනී යයි.

"ඔවුන් ඉස්ෆහාන් වගේ නම් ගැන කියනකොට වගේ ම එක පාරට ම 'අපි ඉරානයේ ගුවන් අවකාශයේ පාලනය අරන් තියෙන්නේ' වගේ ප්‍රකාශ කරනකොට මම කෝපාවිෂ්ට වෙනවා. මේවා මට නිකන් ම නිකන් වචන නෙවෙයි, ඒවා මට ගොඩක් වටින දේවල්."

ඉරානය සාමයට එකඟ නොවන්නේ නම් තවත් ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවට ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීම හමුවේ, මාකුහි වයඹ දිග ප්‍රදේශයේ ජීවත් වන අයෙකු වන හෝමායුන් නොබියව සිටියි.

"ඔව්, අපි අමාරු කාලයක් පහු කරමින් ඉන්නේ, නමුත් අපි අවසානය දක්වා අපේ රට වෙනුවෙන් නැගී හිටිනවා. ඒ වගේ ම අවශ්‍ය වුණොත් අපි අපේ මව්බිම වෙනුවෙන් ගෞරවයෙන් අපේ ජීවිත වුණත් දෙන්න ලෑස්තියි," ඔහු පැවසුවේ ය. "ඇමරිකාවට සහ එයාලගේ ගෝලයන්ට අපේ රට ඇතුළේ කිසිඳු වැරදි පියවරක් ගන්න අපි ඉඩ දෙන්නේ නෑ."

සෙනසුරාදා [ජූනි 21] ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවූයේ එක්සත් ජනපදයට එරෙහි ඕනෑ ම පළිගැනීමක් "අද රාත්‍රියේ දැක්ක ප්‍රමාණයට වඩා සෑහෙන්න ලොකු ප්‍රමාණයකින් පහර දෙන," බව ය.

ඉරිදා [ජූනි 22] තුර්කියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අරග්චි ප්‍රකාශ කළේ ඉරානය "තම ආරක්ෂාව, අවශ්‍යතා සහ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විකල්ප" යොදනු ඇති බව ය.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දියත් කිරීමට පෙර, ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහනට එල්ල කරන ඕනෑ ම ප්‍රහාරයකට සහභාගී වුවහොත් මැද පෙරදිග ඇමරිකානු කඳවුරුවලට පහර දෙන බවට තර්ජනය කර තිබිණි.

තවත් ඉරාන ජාතිකයෙකු බීබීසී පර්සියානු සේවයට පැවසුවේ මෙය, "යුද්ධයේ උච්ඡතම අවස්ථාව සහ මෙතැන් සිට දේවල් වෙන එක අඩු වෙයි කියලා," හෙතෙම බලාපොරොත්තු වන බව ය.

"ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල කරන ඕනෑ ම ප්‍රහාරයක් සම්පූර්ණයෙන් ම සියදිවි නසාගැනීමක් කියලා දැනගන්න ඉරානය තාර්කිකයි," ඔහු පැවසීය.

"මගේ දරුවා තවත් දවස් කිහිපයකින් ඉපදෙන්න ඉන්නේ, ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තරව සහ අභ්‍යන්තර කටයුතු යන දෙකෙන් ම නව ප්‍රවේශයකට එළැඹුණු නව ඉරානයක උපත සහ දරුවගේ උපත කියන දෙක ම එක මොහොතක වෙයි කියලා."

2022 දී රාජ්‍ය විරෝධී මහජන විරෝධතා සහ දැඩි මර්දනයකට තුඩු දුන් කාන්තාවන්ට හිස් ආවරණ පැළඳිය යුතු බවට වන ඉරානයේ දැඩි නීති ගැන සඳහන් කරමින් ඔහු වැඩි දුරටත් පැවසුවේ, "ඒ වගේම ආරක්ෂක හමුදා වලට ආවේක්ෂණ කැමරා සහ හිජාබ් එක පළඳිනවා ද කියන ඒවා නැතුව ඇත්ත තර්ජන ගැන අවධානය යොමු කළ යුතු බව දැනගෙන ඔවුන් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා," යනුවෙන් ය.

"වෙච්ච දේ ගැන මම සතුටු නැහැ, නමුත් ඉස්ලාමීය ජනරජයේ කලින් ක්‍රියාකලාපය දරාගන්න බෑ. ඉරානයට හොඳ අනාගතයක් ලැබෙයි කියලයි මම බලාපොරොත්තු වෙන්නේ," යනුවෙන් ෆර්හාඩ් [ඔහුගේ සැබෑ නම නොවේ] පැවසීය.