ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙළීමෙන් ඇති විය හැකි අවදානම් මොනවා ද?

Maxar satellite imagery shows multiple buildings destroyed at the Natanz enrichment facility following recent airstrikes.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images / Maxar Technologies.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික බලාගාරය ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරවල ඉලක්කයක් වී ඇත
    • Author, රෙබෙකා මොරේල්, ඇලිසන් ෆ්‍රැන්සිස් සහ වික්ටෝරියා ගිල්
    • Role, බීබීසී පුවත් - විද්‍යා කණ්ඩායම

ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එහිදී ප්‍රධාන වශයෙන් ම අවධානය යොමු වී ඇත්තේ භූගත යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන වෙත ය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට (IAEA) අනුව, රට මධ්‍යයේ පිහිටි නටාන්ස් බලාගාරයට දැඩි හානි සිදුවී ඇත.

තවත් බලාගාරයක් වන ෆෝඩෝ, කන්දක් අභ්‍යන්තරයේ ඉදිකර තිබේ. මෙම භූගත බලාගාරය වෙත ළඟා වීමට නම් ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් හිමි ප්‍රබල "බංකර් නාශක" බෝම්බ අවශ්‍ය වේ.

යම් හෙයකින් ෆෝඩෝ බලාගාරය බෝම්බ ප්‍රහාරයකට ලක් වුවහොත්, ඉන් ඇතිවන අවදානම් මොනවා ද?

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර "දැඩි ලෙස කනස්සල්ලට කරුණක්" ලෙස ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විස්තර කර ඇත.

සඳුදා, එහි අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රෝසි පැවසුවේ, "ගැටුම් ඉහළ යාම මිනිසුන්ට සහ පරිසරයට බරපතළ හානි ඇති කළ හැකි විකිරණ පිටවීමේ අවදානම ඉහළ දමන බවයි."

යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන නිශ්චිත වර්ගයක යුරේනියම්, එනම් යුරේනියම් සමස්ථානික නිෂ්පාදනය වැඩි කිරීමට භාවිත කරයි.

"ඔබ පොළොවෙන් යුරේනියම් ගන්නකොට, ඒක ආකාර දෙකකින් හම්බ වෙනවා: 99.3% යුරේනියම්-238 සහ 0.7%, නැත්නම් යුරේනියම් පරමාණු 150කට එක පරමාණුවක් පමණ යුරේනියම්-235 වන අතර ඔබේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රමාණය" සරේ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ National Physical Laboratoryහි මහාචාර්ය පැඩී රේගන් පැහැදිලි කරයි.

එකවර විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හැරීම

න්‍යෂ්ටික බලගැන්වීමේ කිරීමේ ක්‍රියාවලිය යනුවෙන් මූලික වශයෙන් හඳුන්වන්නේ, යුරේනියම්-235 ප්‍රමාණය වැඩි කිරීමයි.

මහාචාර්ය රේගන් පැවසුවේ, මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ යුරේනියම් වායු තත්ත්වයට හරවා කෙන්ද්‍රාපසාරක යන්ත්‍ර තුළ භ්‍රමණය වීමට සැලැස්වීමෙන් බව ය.

යුරේනියම්-235ට වඩා යුරේනියම්-238 බරින් වැඩි වීම නිසා, භ්‍රමණය වන විට ඒවා වෙන්වීම සිදුවේ. බලගැන්වීම සඳහා මෙය නැවත නැවතත් සිදු කෙරේ.

න්‍යෂ්ටික බලාගාරවලට සාමාන්‍යයෙන් ආරක්‍ෂිත ලෙස ශක්තිය සෑදීම සඳහා න්‍යෂ්ටික බලාගාරවලට සාමාන්‍යයෙන් බලගැන්වූ 3-5%ක් පමණ යුරේනියම් අවශ්‍ය වේ.

නමුත් ඉලක්කය න්‍යෂ්ටික අවියක් සෑදීම නම් ඒ සඳහා යුරේනියම්-235 විශාල ප්‍රමාණයක් එනම්, 90%ක් පමණ අවශ්‍ය වේ.

මූලික වශයෙන් යුරේනියම් ශක්තිමත් වන තරමට, එය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී භාවිත කරන විට ඉන් වැඩි ශක්තියක් නිකුත් කරයි.

A satellite-style map shows a mountainous area with labeled features including “Entrances to underground complex,” “Support building,” “Security checkpoint,” “Road to nearby support site,” and a yellow dashed “Security perimeter.” A red box notes that “Fordo’s tunnel complex is estimated to be 80–90m (262–295 ft) below ground.” A small inset map of Iran with a red dot marks the facility’s location. A scale is included at the bottom left, and the source is listed as Nuclear Threat Initiative/Institute for Science & International Security, with BBC branding.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පැවසුවේ, ඉරානයේ යුරේනියම්වල දැන් 60% යුරේනියම්-235 අඩංගු වන අතර එය න්‍යෂ්ටික අවියක් සෑදීමට අවශ්‍ය මට්ටමට ආසන්න වෙමින් සිටින බවයි.

කෙසේ වෙතත්, නිසි ලෙස ගබඩා කර ඇති බලගැන්වූ යුරේනියම්වලට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ෆුකුෂිමා හෝ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයන්හි සිදුවූ ආකාරයේ න්‍යෂ්ටික ව්‍යසනයක් ඇති නොවේ.

"බලගැන්වූ යුරේනියම් සාමාන්‍ය යුරේනියම්වලට වඩා තුන් ගුණයක් පමණ විකිරණශීලීයි. නමුත් ඇත්ත වශයෙන් ම, අනෙක් න්‍යෂ්ටික ද්‍රව්‍ය හා සංසන්දනය කරලා බලද්දී ඒ දෙක ම අතිශයින් විකිරණශීලී නැහැ. ඒකෙන් පරිසරයට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ, යැයි චර්නොබිල් ව්‍යසනයෙන් පසු ඇති වූ තත්ත්වය අධ්‍යයනය කළ පෝර්ට්ස්මූත් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජිම් ස්මිත් පවසයි.

"අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ, යුරේනියම් විඛණ්ඩන ක්‍රියාවලියේදී ඇති වෙන්න පුළුවන් දේවල් ගැන - යුරේනියම් ප්‍රතික්‍රියාකාරකයක නැත්නම් බෝම්බයක තියෙනකොට නිර්මාණය වෙන්න පුළුවන් දේවල් ගැන. ඒ කියන්නේ, විකිරණශීලී ද්‍රව්‍ය වන සීසියම්, ස්ට්‍රොන්ටියම් සහ අයඩීන් වගේ දේවල් ගැන. ඒවායෙන් වැඩි පාරිසරික හානියක් සිදු වෙන්න පුළුවන්."

නමුත් බලගැන්වීමේ මධ්‍යස්ථානවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු නොවන නිසා සහ බෝම්බ පිපිරීමකින් එවැනි ප්‍රතික්‍රියාවක් සිදු නොවන නිසා හානිකර "විකිරණශීලී අතුරු ද්‍රව්‍ය" නිර්මාණය නොවනු ඇත.

ඒ වෙනුවට, පිපිරීමකින් අවට ප්‍රදේශය පුරා යුරේනියම් පැතිර යා හැකි ය.

එක් ප්‍රදේශයකට පමණක් සීමා වූ තර්ජනය

නටාන්ස් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව, ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය එම ස්ථානය අවට විකිරණවලින් දූෂිත වී ඇති බව සොයා ගත් නමුත් ඉන් පිටත විකිරණ නොවෙනස්ව සාමාන්‍ය පරිදි පැවතිණි.

"යුරේනියම් සම්බන්ධයෙන් ගත්තා ම... විකිරණ ඇත්තට ම ඒ තරම් දුරක් ගමන් කරන්නේ නැහැ," බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ ඛනිජ විද්‍යාව සහ විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සභාපතිනී, මහාචාර්ය ක්ලෙයාර් කෝක්හිල් පවසයි.

නමුත් එම ස්ථානයට ආසන්න පුද්ගලයින්ගේ සෞඛ්‍යය අවදානමට ලක් විය හැකි බව ඇය පැවසුවා ය.

"මිනිස් සිරුරට විෂ සහිත වීම සම්බන්ධයෙන් ගත්තා ම, ඔබ යුරේනියම් අංශු ආශ්වාස කරන්න හරි ඒවා ශරීරගත කර ගන්න හරි ඕන වෙන එකක් නැහැ," ඇය සඳහන් කළා ය.

"ඒ මොකද යුරේනියම් අංශු, ඔබේ පෙනහලුවල හෝ ආමාශයේ තැන්පත් වෙලා සෙමින් ක්ෂය වෙද්දී විකිරණ මුදා හරින්න පුළුවන් සහ ඒකෙන් හානියක් වෙන්න පුළුවන්."

විකිරණශීලීතාවට අමතරව, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඒ අසල සිටින ඕනෑ ම කෙනෙකුට ගැටලු ඇති විය හැකිය.

"යම් සිද්ධියක් සිදුවී කේන්ද්‍රාපසාරක යන්ත්‍ර මගින් යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ්, ඒ කියන්නේ ඒ යන්ත්‍ර තුළ අඩංගු වායුව මුදා හැරියහොත්, ඒක සැබවින් ම දරුණු රසායනික සිද්ධියක් වෙන්න පුළුවන්," බැන්ගෝර් විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාඥයෙකු වන මහාචාර්ය සයිමන් මිඩ්ල්බර්ග් පැවසීය.

"මේ යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් වාතයේ තියෙන ජල අංශු සමග එකතු වුණොත්, ඒක ඉතා ශක්තිමත් හා හානිකර අම්ලයක් බවට පත්වීමේ හැකියාව පවතිනවා," ඔහු පැවසීය.

"නමුත් එය අසල ප්‍රදේශයෙන් ඔබ්බට දැවැන්ත පරිසරික බලපෑමක් ඇති කරන්නේ නැහැ."

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පැවසුවේ, එහි සිදුවීම් සහ හදිසි අවස්ථා මධ්‍යස්ථානය පැය විසි හතර පුරා ම ක්‍රියාත්මක වන බැවින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල තත්ත්වය සහ එහි ස්ථානවල විකිරණ මට්ටම නිරීක්ෂණය කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.