ඊශ්‍රායලයේ සහ ඉරානයේ රෝහල් දෙකකට එල්ල වූ ප්‍රහාර: ගෝලීය මාධ්‍ය වාර්තාකරණයේ තියුණු වෙනසට හේතුව

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, පාරිසාඩ් නෝබැක්ට්
- Role, බීබීසී පුවත් පර්සියානු
රට තුළ සහ විදෙස්ගතව සිටින ඉරාන ජාතිකයන් එක හා සමාන ඛේදවාචක දෙකක් පිළිබඳ ගෝලීය මාධ්‍ය වාර්තාකරණයේ තියුණු වෙනස පිළිබඳව ආසන්න දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සිය කළකිරීම ප්‍රකාශ කර තිබිණි.
ඊශ්‍රායලයේ බියර්ෂීබාහි රෝහලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍යයන්ගෙන් ක්ෂණික හා පුළුල් අවධානයක් දිනා ගත්තේ ය. මේ අතරතුර, දින කිහිපයකට පෙර, බටහිර ඉරානයේ කෙර්මෙන්ෂාහි රෝහලකට ද ප්‍රහාරයක් එක්ක වූ අතර, එය ගෝලීය ප්‍රවෘත්ති චක්‍රයේ පළවුයේ යන්තමින් ය.
දුක් වේදනා පිළිගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙම වර්ධනය වන අසමානතාවයේ හැඟීම බොහෝ දෙනෙකු නොසලකා හැර ඇති අතර අවප්‍රමාණය කර ඇත. එය වඩාත් වැදගත් ප්‍රශ්නයක් ද මතු කර තිබේ: ලෝකය සමහර ඛේදවාචක පමණක් දකිමින් අනෙකුත් ඛේදවාචක නොදැක සිටින්නේ ඇයි?
එහි පිළිතුර භූ දේශපාලනය පමණක් නොව, ප්‍රවේශය, ද්‍රශ්‍යභාවය සහ තොරතුරු උපායමාර්ගිකව හැසිරවීම තුළ ද පවතියි.
ඊශ්‍රායලය මාධ්‍ය තේරුම්ගෙන තිබේ. එහි රජය සහ හමුදා ආයතන විදේශීය මාධ්‍ය සම්බන්ධ කර ගැනීම සඳහා හොඳින් ක්‍රියාත්මක වූ පද්ධතියක් වර්ධනය කර ගෙන තිබේ.
කුමක් හෝ විශාල සිදුවීමක් වූ විට, දැනටමත් ටෙල් අවිව් හෝ ජෙරුසලමේ ස්ථානගතව සිටින විදේශීය වාර්තාකරුවන් බොහෝ දෙනෙකුව වහා ම එම ස්ථානයට ගෙන යනු ලැබේ.
එහිදී, ඔවුන්ට වීඩියෝ කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ වින්දිතයින්ට හෝ නිලධාරීන්ට කතා කිරීමට අවසර තිබේ. එහි වේගවත්, විනිවිදභාවය සහිත එකක් අතර, ගෝලීය ප්‍රවෘත්ති චක්‍රය පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර තිබේ.
මෙම තත්ත්වය ගාසා තීරයට අදාළ නොවේ. ගාසා තීරය තුළ ගමනා ගමනය ඊශ්‍රායලය විසින් සීමා කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රවෘත්ති කණ්ඩායම්වලට භූමියේ තත්ත්වය වාර්තා කිරීමට අවසර නොමැත.
තොරතුරු රික්තකය
අනෙක් අතින් ඉරානය සම්පුර්ණයෙන් ම පාහේ විදේශීය මාධ්‍යවේදීන් සඳහා වසා දමා ඇත. මේ මොහොතේ පවා ටෙහෙරානයේ සිට වාර්තා කිරීමට බීබීසී මාධ්‍යවේදීන්ට වීසා ලැබී නොමැත. රට තුළ සිටින ඉරාන වාර්තාකරුවන්ට පවා දැඩි සීමාවන් සහ පුළුල් වාරණයන් පනවා තිබේ.
කෙර්මෙන්ෂා වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුලින් ම මතු වූයේ ජංගම දුරකථනවලින් ගත් බොඳ වූ, අඳුරු ඡායාරූප අතලොස්සකි. මාධ්‍ය සාකච්ඡාවක් නොතිබූ අතර, මාධ්‍ය ප්‍රවේශයට සම්බන්ධීකරණයක් සහ නිසැකව ම සිද්ධිය වූ ස්ථානයෙන් සජීවී වාර්තාකරණයක් ද නොතිබිණි.
ප්‍රශ්නය තවත් ගැඹුරට යයි.
ඊශ්‍රායලයේ, පැය 24 පුරා ම චන්ද්‍රිකා ඡායාරූප, ඩ්‍රෝන් දර්ශන සහ ටෙල් අවිව් අහසේ සජීවී විකාශන සුලභ ය.
ඊට පරස්පර ලෙස, ඉරානය ක්‍රියාත්මක වන්නේ තොරතුරු රික්තකයකයකි.
රට තුළ බොහෝ සිදුවීම් පිළිබඳ වීඩියෝ දර්ශන සිවිල් වැසියන් ඔවුන්ගේ දුරකථනවලින් රහසිගතව පටිගත කර, අස්ථාවර අන්තර්ජාලය සම්බන්ධතා ඔස්සේ බෙදාගෙන, ඉක්මනින් මකා දමනු ලබන්නේ ඉලක්ක ගතවීමේ අවදානම හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිල සංඛ්‍යාලේඛන පිළිබඳ කාරණයද මෙහි තිබේ. බියර්ෂීබා රෝහලට ප්‍රහාරයක් එල්ල වූ විට, ඊශ්‍රායල බලධාරීන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉක්මනින් ම ප්‍රකාශයට පත් කරමින්, රෝගීන්ගේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබා දුන් අතර ප්‍රහාරයේ පසුබිම ද ඉදිරිපත් කළේය.
ඊශ්‍රායල ප්‍රහාරවල පළමු රැල්ලෙන් දින දෙකකට ආසන්න කාලයකට පසු ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රට පුරා මුල් අවස්ථාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 224ක් ලෙස නිකුත් කරන ලදී.
එතැන් සිට, කෙර්මන්ෂාහි රෝහල ඇතුළු නිශ්චිත ස්ථාන පිළිබඳ සවිස්තරාත්මක විස්තර හෝ විශ්වාසදායක යාවත්කාලීන කිරීමක් සිදු වී නොමැත.
නිල වශයෙන් පැහැදිලි බවක් නොමැති තත්ත්වයකදී අලුත් තොරතුරු ලැබෙන්නේ, ශෝකයට පත් පවුල් විසින් දරුවන්ගේ, මව්වරුන්ගේ සහ අනෙකුත් සිවිල් වින්දිතයින්ගේ ඡායාරූප අන්තර්ජාලයේ පළ කිරීමෙන් පමණක් වන එතර මේ සියල්ල රාජ්‍යයේ නිහඬතාවයෙන් ඇති වූ හිස්තැන පුරවන පුද්ගලික කතා ය.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ඉරානයේ අන්තර්ජාලය සබඳතා ඇනහිට ඇත. කලක් රටින් පිටත සිට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රවෘත්ති වෙබ් අඩවි දැන් අර්ධ වශයෙන් පූරණය [load] වීම හෝ සම්පූර්ණයෙන්ම පූරණය වීමට අසමත් ය. රජයේ අනුබද්ධිත වෙබ් අඩවිවල ඇතුළත් කර ඇති ඡායාරූප සහ වීඩියෝ බොහෝ විට විදේශයන්හි සිට විවෘත නොවේ. බොහෝ අවස්ථාවලදී, මුල් පිටු [Home Page] පවා පූරණය නොවේ.
එහි ප්‍රතිඵලය වන්නේ රෝහලකට බෝම්බ හෙලීම වැනි එකම ආකාරයේ සිදුවීමක් වාර්තා කිරීමේදී සැලකිය යුතු අසමතුලිතතාවයක් ඇතිවීම වන අතර එය සිදුවන ස්ථානය අනුව වෙනස් වේ.
ඉරානයේ මාධ්‍ය සම්බන්ධ දැඩි පාලනය සහ එහි දැඩි ලෙස වාරණය කරන ලද අන්තර්ජාල වපසරිය නිසා විදේශීය මාධ්‍යවේදීන්ට ඉරාන භූමියේ සිට වාර්තා කිරීම දුෂ්කර වන අතර දේශීය මාධ්‍යවලට නිදහසේ ක්‍රියාත්මක වීම ද අපහසු වේ.
එවැනි පරිසරයක, සිදුවීමක සම්පූර්ණ විෂය පථය, එහි ජීවිත හානි, සන්දර්භය සහ එම සිද්ධිය පිළිබඳ පසුවිපරම් කිරීම කළ නොහැකි තරම් එකකි. එම නිසා ගෝලීය මට්ටමේ සංවාදයේදී ඉරානය අවාසිදායක තත්ත්වයකට පත් වේ.
මිසයිල තරමට ම වචන හරඹය වැදගත් වන යුද්ධයකදී, ඉරානය ප්‍රබල ලෙස තමන්වම නිහඬ කර ගෙන තිබේ.














