වෙනිසියුලාවට කොපමණ තෙල් සංචිත ප්‍රමාණයක් තිබේ ද? ඔවුන් එක්සත් ජනපදයට කොපමණ ණය ද?

ඇමෙරිකානු හමුදාව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය වෙනිසියුලාවේ තෙල් සංචිතවලට අත තබන බවයි.
"ලෝකේ තියෙන ලොකු ම සමාගම් වන විශාල ඇමෙරිකානු තෙල් සමාගම් මැදිහත් වී ඩොලර් බිලියන ගණනක් වැය කරලා, හානියට පත් තෙල් යටිතල පහසුකම් අලුත්වැඩියා කර, රටට මුදල් උපයා ගැනීමට පටන් ගන්නවා," ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ගෝලීය තෙල් වෙළඳපොලේ අතිරික්ත සැපයුමක් පවතින අවස්ථාවක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කළේ ය. තෙල් මිල සාපේක්ෂව අඩු වන අතර, ලෝකය විදුලි වාහන වෙත මාරු වන විට තෙල් ඉල්ලුම සඳහා දිගුකාලීන ඉල්ලුම වඩාත් අවිනිශ්චිත වේ.
වෙනිසියුලාවේ තෙල් සංචිත කොතරම් විශාල ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ලොව විශාලතම ඔප්පු කරන ලද තෙල් සංචිතය වෙනිසියුලාවට අයත් වන අතර එය බැරල් බිලියන 303 ක් ලෙස ගණන් බලා ඇත. 'ලෝකයේ මුළු සංචිතයෙන් 17%ක් පමණ' යැයි බීබීසී මූල්‍ය හා රැකියා වාර්තාකරු ගිඩියොන් ලෝන්ග් පැවසීය.
ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයට (OPEC) අනුව, සෞදි අරාබිය බැරල් බිලියන 267.2ක් සමග දෙවන ස්ථානයේ සිටින අතර, ඉරානය බැරල් බිලියන 208.6ක් සහ ඉරාකය බැරල් බිලියන 145ක් සමග පසු පසින් සිටී. මෙම රටවල් හතරට ලෝකයේ තෙල් සංචිතවලින් අඩකට වඩා හිමි ය.
නමුත් වෙනිසියුලාවේ වත්මන් තෙල් නිෂ්පාදනය ඊට සාපේක්ෂව ඉතා කුඩා ය.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ නවතම තෙල් වෙළඳපොළ වාර්තාවට අනුව, නොවැම්බර් මාසයේදී වෙනිසියුලාව දිනකට බැරල් 860,000ක් පමණ නිෂ්පාදනය කළේ ය.
එය දශකයකට පෙර ඔවුන් සිදු කළ නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණක් වන අතර, ගෝලීය තෙල් පරිභෝජනයෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එයට වෙනස්ව, එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව, එක්සත් ජනපදය දිනකට තෙල් බැරල් මිලියන 13ක් පමණ නිෂ්පාදනය කරයි.
වෙනිසියුලාවේ තෙල් සංචිත බොහොමයක් "heavy, sour" බොරතෙල් වේ. එනම් එවා අධික සල්ෆර් සහිත (0.5% ට වැඩි සල්ෆර්) ඝනත්වයෙන් වැඩි බොරතෙල් වන අතර පිරිපහදු කිරීමට අපහසුය. මෙම වර්ගයේ බොර තෙල් බොහෝ විට ඩීසල් සහ ඇස්ෆල්ට් සෑදීමට භාවිතා කරයි.
"වෙනිසියුලාවේ තෙල් සංචිත වලින් වැඩි ප්‍රමාණයක් රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තියෙන නිසා ඒවා වෙත ළඟා වීම දුෂ්කරයි. බොහෝ ස්ථාන විශාල වනාන්තරවල තියෙන නිසා ඒවා නිස්සාරණය කිරීම දුෂ්කරයි," ලෝන්ග් පැවසීය.
"ඒවා හරිම බර බොරතෙල්. ගොඩක් තියෙනවා, නමුත් ඒක අඩු ගුණාත්මක භාවයෙන් යුක්තයි, ඒ වගේ ම ගොඩක් පිරිපහදු කරන්න අවශ්‍යයි. ලෝකයේ පිරිපහදු කිහිපයකට පමණයි ඒවා කරන්න පුළුවන්, ඒවායින් සමහරක් ටෙක්සාස්වල තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
සියලු ම තෙල් දහනය කිරීම දේශගුණික විපර්යාසවලට දායක වේ. කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ ගෝලීය උණුසුම ලෙස ගත් විට වෙනිසියුලාවේ බොරතෙල් නිස්සාරණයෙන් සහ සැකසීමෙන් නිකුත් වන ඉහළ විමෝචනය හේතුවෙන් 'අපිරිසිදු ම' ඒවා අතර ඇති බව යි.
වෙනිසියුලාවේ නිෂ්පාදනය පහත වැටුණේ ඇයි?
2000 දශකයේ මුල් භාගයේ සිට වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය තියුණු ලෙස පහත වැටී ඇත. මදුරෝගේ පූර්වගාමියා සහ උපදේශකයා වූ හිටපු ජනාධිපති හියුගෝ චාවේස් සහ පසුව මදුරෝ රජය එරට රාජ්‍ය තෙල් සමාගමක් වන PDVSA මත පාලනය වැඩි කළ අතර එනිසා බොහෝ පළපුරුදු කාර්ය මණ්ඩලය ඉවත් විය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින්, හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේදී 2015 දී ප්‍රථම වරට පනවන ලද ඇමෙරිකානු සම්බාධක හේතුවෙන්, රටට අවශ්‍ය ආයෝජන සහ අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම බොහෝ දුරට කපා හැර තිබේ.
"ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව යටිතල පහසුකම්," දකුණු අප්‍රිකාවේ සහ එක්සත් රාජධානියේ බැංකු සහ ධන කළමනාකරණ කණ්ඩායමක් වන Investecහි භාණ්ඩ අංශයේ ප්‍රධානී කැලම් මැක්ෆර්සන් පැවසීය.
ඔක්ස්ෆර්ඩ් බලශක්ති අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර බිල් ෆැරන් ප්‍රයිස් බීබීසීයට පැවසුවේ වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය "දශක ගණනාවකට පෙර හොඳම තත්ත්වයේ පැවති" බවත්, පසුගිය වසර 20 තුළ එය තියුණු ලෙස පහත වැටෙමින් පවතින බවත් ය.
"සංකීර්ණ සැපයුම් දාමය සහ යටිතල පහසුකම් බොහොමයක් කොල්ලකෑමට, විසුරුවා හැරීමට සහ විකුණා දැමීමට ලක්ව තියෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
එක්සත් ජනපදය කලක් වෙනිසියුලානු තෙල් මිලදී ගන්නා ප්‍රධාන රට වූ නමුත් මදුරෝ බලයට පත්වීමෙන් පසු, පසුගිය දශකය තුළ චීනය ප්‍රධාන මිලදී ගන්නා බවට පත්වී තිබේ.
"මෙක්සිකෝ බොක්කෙහි පිරිපහදු යන්ත්‍ර තිබීම නිසා එක්සත් ජනපදය සෑම වසරකම වෙනිසියුලාවේ තෙල්වලින් 40%ක් පමණ මිලදී ගත්තා," බීබීසී වාර්තාකරු ලෝන්ග් පැවසීය.
"ඇත්තට ම ඒක ස්වර්ගයේ සිදු කරන ලද විවාහයක්. වෙනිසියුලාව අසල බර බොරතෙල් සඳහා එක්සත් ජනපදයට ප්‍රවේශය තිබුණා, ඒ සඳහා මැද පෙරදිගට හෝ රුසියාවට යාමට අවශ්‍ය වුණේ නෑ, සැකසුම් ධාරිතාවක් තිබුණා, ඒක රටවල් දෙකට ම හොඳට වැඩ කළා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
වෙනිසියුලාවේ ක්‍රියාත්මක වන තෙල් සමාගම් මොනවා ද?
වෙනිසියුලාවේ ක්‍රියාකාරී එකම ඇමෙරිකානු තෙල් නිෂ්පාදකයා වන ෂෙව්රොන් ඇතුළු සමහර බටහිර තෙල් සමාගම් තවමත් එහි ක්‍රියාකාරීව කටයුතු කරයි.
කෙසේ වෙතත්, ජනාධිපති මදුරෝගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙත ප්‍රවේශය සීමා කිරීම අරමුණු කරගෙන ඇති එක්සත් ජනපදය සම්බාධක පුළුල් කිරීම සහ තෙල් අපනයන සීමා කිරීම හේතුවෙන් අදාළ සමාගම්වල මෙහෙයුම් බෙහෙවින් අඩු වී ඇත.
එක්සත් ජනපද සම්බාධක නොතකා ක්‍රියාත්මක වීමට 2022දී හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යටතේ ෂෙව්රොන් සමාගම බලපත්‍රයක් ලබා ගත්තේ ය.
වෙනිසියුලානු තෙල් නිස්සාරණයෙන් පහෙන් එකක් පමණ පමණ දැනට සිදු කරන එම සමාගම, තම සේවකයින්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් "අදාළ සියලුම නීති සහ රෙගුලාසි" වලට අනුකූල වන බවත් පැවසීය.
එක්සත් ජනපද තෙල් සමාගම්වලට වෙනිසුලාව ණයයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිය මාධ්‍ය හමුවේදී ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය ගොඩනැගුවත් එහි සමාජවාදී පාලනය "එය අපෙන් සොරකම් කළ" බවයි.
"අපි වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය ඇමෙරිකානු දක්ෂතාවයෙන්, ධෛර්යයෙන් සහ කුසලතාවයෙන් ගොඩනගා ගත්තා, නමුත් සමාජවාදී රජය පෙර පරිපාලන සමයේදී ඒක අපෙන් හොරකම් කළා," ඔහු පැවසීය.
"ඒ වගේ ම ඔවුන් එය සොරකම් කළේ බලහත්කාරයෙන්. මේක අපේ රටේ ඉතිහාසයේ ඇමෙරිකානු දේපළ සොරකම් කළ විශාලතම දේවලින් එකක්," ඔහු තවදුරටත් පැවසීය.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය, තෙල් නිෂ්පාදනය ජනසතු කිරීමට, වෙනිසියුලාවේ මීට පෙර පැවති රජයන් ගත් තීරණ ගැන සඳහන් කරයි.
ජාත්‍යන්තර නීතිය පවසන්නේ වෙනිසියුලාව එහි තෙල් සංචිත පාලනය කරන බවත්, එක්සත් ජනපදයට ඒවාට නීතිමය හිමිකම් පෑමක් නොමැති බවත් ය.
එක්සත් ජාතීන්ගේ ස්වභාවික සම්පත් කෙරෙහි ස්ථිර ස්වෛරීභාවය පිළිබඳ මූලධර්මය යටතේ, රාජ්‍යයන්ට තමන්ගේ ම භූමියේ සම්පත් කළමනාකරණය කිරීමට සහ ප්‍රයෝජන ගැනීමට අයිතියක් ඇත.
කෙසේ වෙතත්, විදේශීය සමාගම්වලට ඔවුන්ගේ වත්කම් අත්පත් කර ගනු ලැබුවහොත් වන්දි ඉල්ලා සිටිය හැකි ය.
2007 දී චාවේස් රජය තෙල් අංශයේ කොටස් ජනසතු කිරීමෙන් පසුව, ඇමෙරිකානු තෙල් සමාගම් වන ExxonMobil සහ ConocoPhillips ඩොලර් බිලියන ගණනක බේරුම්කරණ තීන්දු දිනා ගත්හ. වෙනිසියුලාව එම තීන්දුවලට අභියෝග කළ අතර ස්වේච්ඡාවෙන් තීරණවලට අනුකූල නොවීය.
"චාවේස්ගේ අත්පත් කර ගැනීම් හැසිරවූයේ දුර්වල විදිහට. වෙනිසියුලාව දැන් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවා. නමුත් මෙයින් අදහස් කරන්නේ වෙනිසියුලානු තෙල් ඇමෙරිකානු සමාගම්වලට අයත් බව නොවෙයි. ඒක කවදාවත් එහෙම වුණේ නෑ; ඔවුන්ට එය සංවර්ධනය කිරීම සඳහා සහන පමණක් තිබුණා," එක්සත් ජනපදය පදනම් කරගත් බේකර් ආයතනයේ ලතින් ඇමෙරිකානු බලශක්ති වැඩසටහනේ අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස්කෝ මොනාල්ඩි පැවසීය.

තෙල් මිල කෙරෙහි ඇති වන බලපෑම කුමක්ද?
වෙනිසියුලානු සංචිත සූරාකෑමට බලාපොරොත්තු වන තෙල් සමාගම්වලට ඇති ප්‍රධාන බාධක නීතිමය සහ දේශපාලනික බව Kpler දත්ත වේදිකාවේ ජ්‍යෙෂ්ඨ වෙළඳ භාණ්ඩ විශ්ලේෂක හෝමයුන් ෆලක්ෂාහි පවසයි.
බීබීසීයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ සමාගම්වලට රජය සමඟ ගිවිසුමක් අවශ්‍ය වනු ඇති බවත්, මදුරෝගේ අනුප්‍රාප්තිකයා ක්‍රියාත්මක වන තුරු එය කළ නොහැකි බවත් ය.
අනාගත වෙනිසියුලානු රජයක ස්ථාවරත්වය සඳහා සමාගම් ඩොලර් බිලියන ගණනක් සූදුවට දමනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.
"දේශපාලන තත්ත්වය ස්ථාවර වුවත්, එය මාස ගණනක් ගතවන ක්‍රියාවලියක්" ඔහු පැවසීය.
ට්‍රම්ප්ගේ සැලැස්මෙන් ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන සමාගම්, වෙනිසියුලාවේ යටිතල පහසුකම් සඳහා ආයෝජන වේගවත් කිරීමට පෙර නව රජයක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය වනු ඇත.
වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් අවශ්‍ය වන අතර දශකයක් දක්වා කල් ගතවනු ඇතැයි විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
කැපිටල් ඉකොනොමික්ස්හි සමූහ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නීල් ෂියරිං පැවසුවේ ට්‍රම්ප්ගේ සැලසුම් ගෝලීය තෙල් සැපයුම සහ මිල ගණන් කෙරෙහි සීමිත බලපෑමක් ඇති කරනු ඇති බවයි.
"ජයගත යුතු ප්‍රධාන අභියෝග රාශියක් ඇති අතර, කාලරාමුව ඉතා දිගු," යැයි පෙන්වා දෙමින් ඔහු පැවසුවේ 2026 දී තෙල් මිල ගණන් බොහෝ වෙනස් වීමට ඉඩක් නොමැති බවයි.
ස්ථාවර රජයක් ක්‍රියාත්මක වන තුරු සමාගම් ආයෝජනය නොකරන බවත්, ව්‍යාපෘති "බොහෝ, බොහෝ කාලයක්" යන තුරු ප්‍රතිඵල ලබා නොදෙන බවත් ෂියරිං තවදුරටත් පැවසීය.
"මෙම ගැටළුව සෑම විටම දශක ගණනාවක් තිස්සේ පැවති ඌන ආයෝජන, වැරදි කළමනාකරණය වගේ ම ඒවා නිස්සාරණය කිරීම ඇත්තෙන්ම මිල අධිකයි," ඔහු පැවසීය.
වෙනිසියුලාව දිනකට බැරල් මිලියන තුනක් පමණ වූ පෙර නිෂ්පාදන මට්ටමට නැවත පැමිණිය ද, එය තවමත් ලොව ඉහළ ම නිෂ්පාදකයින් 10 දෙනාගෙන් පිටත සිටිනු ඇතැයි ෂියරිං තවදුරටත් පැවසීය.
ඔපෙක්+ රටවල් අතර ඉහළ නිෂ්පාදනයක් ද ඔහු පෙන්වා දුන් අතර, ලෝකය දැනට "තෙල් හිඟයකින් පීඩා විඳින්නේ නෑ" යනුවෙන් ඔහු පැවසීය.
වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය නැවත පණ ගැන්වීම "ඉතා දිගුකාලීන ව්‍යාපෘතියක්" බව BP හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජෝන් බ්‍රවුන් බීබීසීයට පැවසීය.
"මිනිස්සු බොහෝ විට දේවල් සඳහා කොපමණ කාලයක් ගතවේ ද යන්න අවතක්සේරු කරනවා. සියලුම සම්පත්, විශේෂයෙන් ද්‍රව්‍ය සහ කම්කරුවන් එකට ගෙන ඒමට බොහෝ කාලයක් ගත වෙනවා."
සමහර නිෂ්පාදනවල 'ඉක්මන් ආරම්භයක්' තිබිය හැකි වුව ද, කර්මාන්තය ප්‍රතිසංවිධානය වන විට සමස්ථ නිෂ්පාදනය මුලින් පහත වැටිය හැකි බව ඔහු පැවසීය.
සමාගම් උනන්දු වන්නේ "විවිධ කලාපවල ව්‍යාපාරික අවස්ථා තිබීම හොඳ නිසා" යැයි බ්‍රවුන් පැවසීය.
"ව්‍යාපාරික කෝණයකින්, ඔබ සමාගමක් පවත්වාගෙන යන්නේ නම්, ඔබට ඉතා ඉක්මනින් සම්බන්ධ වීමට අවශ්‍ය වෙනවා."














