බර අඩු කර ගැනීමට අධිෂ්ඨාන ශක්තිය පමණක් ප්‍රමාණවත් ද?

- Author, නික් ට්‍රිගල්
- Role, සෞඛ්‍ය වාර්තාකරු
"තරබාරු පුද්ගලයින්ට හුඟක් ම අවශ්‍ය වෙන්නේ ස්වයං පාලනයක් ම තමයි." "ඒක පෞද්ගලික වගකීමක්" "ඒක සරල දෙයක්, අඩුවෙන් ආහාර ගන්න."
මේ, බර අඩු කර ගැනීමේ එන්නත් පිළිබඳ මා පසුගිය වසරේ ලියූ ලිපියකට පාඨකයින් විසින් පළ කරන ලද අදහස් 1,946න් කිහිපයකි.
ඇතැම් වෛද්‍ය වෘත්තිකයින් ද ඇතුළුව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ තරබාරුකම යනු, හුදෙක් අධිෂ්ඨාන ශක්තිය නොමැතිකම නිසා සිදුවන්නක් බව ය.
එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට අනුව, තරබාරුකම ජීවන රටාව වෙනස් කිරීම මගින් මුළුමනින් ම වළක්වාගත හැකි බව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් අට දෙනෙකු පැවසූ අතර එය, වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ පළවන සඟරාවක් වන ද ලාන්සට්හි ද ප්‍රකාශයට පත් කෙරිණි.
නමුත් තරබාරු සහ අධිබරින් යුතු රෝගීන් සමග වසර 20ක් පමණ කටයුතු කර ඇති ආහාරවේදියෙකු වන බිනී සුරේෂ්, මෙම අදහස සමග එකඟ නොවෙයි.
මෙය එහි එක් පැතිකඩක් පමණක් පෙන්නුම් කරන බව ඇය විශ්වාස කරයි.
"බර අඩු කර ගන්න ඇත්තට ම කැමති, කළ යුතු දේ තේරුම් ගෙන, උත්සහ කරමින් සිටින ඒත් තාමත් බර අඩු කර ගන්න අරගල කරන රෝගීන් මම නිතර ම දකිනවා."
"'අධිෂ්ඨාන ශක්තිය' සහ 'ස්වයං පාලනය' වගේ යෙදුම් වැරදි වචන," යන්න සමග WeightWatchersහි වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කිම් බොයිඩ් එකඟ වේ. "දශක ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ, අඩුවෙන් ආහාර අරගෙන වැඩිපුර ව්‍යායාම කළොත් බර අඩු වෙනවා කියලයි... [ඒත්] තරබාරුකම ඊට වඩා සංකීර්ණයි."
ඇය මෙන් ම මා සමග අදහස් බෙදා ගත් අනෙකුත් විශේෂඥයින් යෝජනා කරන්නේ, පුද්ගලයෙකු තරබාරු වීමට හේතු අසංඛ්‍යාත ගණනක් ඇති බවත්, ඒවායින් ඇතැම් ඒවා තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බවත් ය. නමුත් පැහැදිලි දෙය නම්, බර අඩු කර ගැනීම සෑම කෙනෙකුට ම එක හා සමානව පහසු නොවන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙය සමග සටන් කිරීම සඳහා රජය නියාමනයක් වෙත යොමු වී තිබේ.
ඔවුන් මෑත කාලීනව ගත් පියවර ලෙස, රාත්‍රී 9:00ට පෙර රූපවාහිනිය ඔස්සේ ක්ෂණික ආහාර ප්‍රචාරණය තහනම් කිරීම සහ ඒවා මාර්ගගත වේදිකා ඔස්සේ ප්‍රවර්ධනය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම පෙන්වා දිය හැකි ය.
එසේ වුව ද බොහෝ දෙනෙකු සිතන්නේ මෙය ද එක්සත් රාජධානියේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි දෙනෙකුට බලපාන අධික තරබාරුකම ගැටලුව මුළුමනින් ම නොවිසඳනු බව යි.
ජීව විද්‍යාවට එරෙහි සටනක්
"පුද්ගලයෙකුගේ බර කොපමණ ප්‍රමාණයක් වැඩි වෙනවා ද යන්න බොහෝ දුරට බලපාන්නේ ඔවුන්ගේ ජාන අනුව, මේ ජාන සෑම කෙනෙකුට ම වැදගත් වෙනවා," ස්ථූලභාවය සහ ඒ ආශ්‍රිත අන්තරාසර්ග ආබාධ ඇති රෝගීන්ට ප්‍රතිකාර කරන අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සදාෆ් ෆාරුකි පැහැදිලි කරයි.
ඇය පවසන්නේ ආමාශයෙන් මොළයට යොමු කරන සංඥාවලට ප්‍රතිචාර වශයෙන් කුසගින්න සහ කුස පිරුණු බව දැනවීමට ඇතැම් ජාන බලපෑම් එල්ල කරන බවයි.
"මෙම ජානවල ප්‍රභේද හෝ වෙනස්කම් ස්ථූලභාවය ඇති පුද්ගලයින් තුළ දක්නට ලැබෙනවා, එයින් අදහස් කෙරෙන්නේ ඔවුන්ට වැඩි කුසගින්නක් දැනෙන අතර, ආහාර ගැනීමෙන් පසු කුස පිරුණු බවක් දැනීමට ඇති ඉඩකඩ අඩු බව."

ඡායාරූප මූලාශ්‍රය, In Pictures via Getty Images
ඇතැම් විට මෙම ජානවලින්, දැනට දන්නා ඒවා අතරින් වඩාත් ම වැදගත් වන්නේ MC4R ජානය විය හැකි ය. අධික ලෙස ආහාර ගැනීම දිරිමත් කරන සහ අපට අඩුවෙන් තෘප්තිමත් බවක් දැනෙන මෙම ජානයේ විකෘතියක් ගෝලීය ජනගහනයෙන් පහෙන් එකක් පමණ පිරිසකට පවතී.
"අනෙකුත් ජාන පරිවෘත්තීය ක්‍රියාවලියට බලපෑම් කරනවා, ඒ කියන්නේ අපේ ශරීරය කෙතරම් වේගයෙන් ශක්තිය දහනය කරනවා ද කියන එක," මහාචාර්ය ෆාරුකි තවදුරටත් පවසයි.
"එමගින් අදහස් කරන්නේ එක ම ආහාර ප්‍රමාණය අනුභව කළත් සමහර අයගේ අනෙක් අයට වඩා බර ගොඩක් වෙනවා කියන එක, නැත්නම් ව්‍යායාම කරද්දී ඔවුන්ගේ අඩු කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා කියන එක."
පුද්ගලයෙකුගේ බරට බලපෑම් කරන ජාන දහස් ගණනක් තිබිය හැකි බව ඇය ඇස්තමේන්තු කරන අතර, ඒවායෙන් අපට විස්තරාත්මක වශයෙන් දැනුමක් ඇත්තේ 30 සිට 40 දක්වා ගණනක් පිළිබඳව පමණි.
'යෝ-යෝ' ආහාර පාලන ක්‍රමය පසුපස ඇති විද්‍යාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තවමත් මෙය පවා කතාවේ කොටසක් පමණි.
ස්ථූලභාවය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකු සහ Why We Eat Too Much ග්‍රන්ථයේ කතුවරයෙකු වන ඇන්ඩෲ ජෙන්කින්සන් පැහැදිලි කරන්නේ, සෑම කෙනෙකුට ම සෞඛ්‍ය සම්පන්න ද නොවේ ද යන්න නොසලකා ඔවුන්ගේ මොළය තේරුම් ගන්නා හෝ ඔවුන්ට සුදුසු බර යැයි සිතන ශරීර ස්කන්ධයක් හිමි බවයි.
එය 'set weight point theory' ලෙස හඳුන්වයි.
"මේක [set weight] ජාන විද්‍යාව මගින් තීරණය කරනවා, නමුත් ඔබේ ආහාර රටාව, ආතති මට්ටම සහ නින්දේ රටාව වැනි අනෙකුත් සාධක මගින් ද ඒක තීරණය වෙනවා."
එමගින් අදහස් කෙරෙන්නේ ශරීරයේ බර උෂ්ණත්ව පාලකයක් ලෙස ක්‍රියා කරන බව යි. එනම් ඔබේ ශරීරය එය කැමති පරාසයේ ශරීර බර පවත්වා ගැනීමට අරමුණු කරයි. එම න්‍යායට අනුව, තාප පාලකයක් අධික සිසිලසේදී තාපය වැඩි කරනවා සේ ම ශරීරයේ බර මෙම පරාසයට වඩා පහත වැටේ නම්, කුසගින්න වැඩි වන අතර පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වීම සිදුවේ.
එය [set point] ස්ථාපනය වූ පසු, අධිෂ්ඨානයෙන් පමණක් එය වෙනස් කිරීම ඉතා අපහසු බව ආචාර්ය ජෙන්කින්සන් තර්ක කරයි.
මෙය යෝ-යෝ ආහාර පාලන ක්‍රමය පැහැදිලි කිරීමට උපකාරී වේ. "නිදසුනක් වශයෙන් ඔබේ බර කිලෝග්‍රෑම් 127ක් සහ ඔබේ මොළයට ඔබේ බර කිලෝග්‍රෑම් 127ක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය නම්, ඔබ අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වේලක් අරගෙන බර යම් ප්‍රමාණයකින් අඩු කර ගත්තොත්, ඒ සඳහා ඔබේ ශරීරය දක්වන ප්‍රතිචාරය ඔබ කුසගින්නේ සිටියා හා සමාන වෙනවා," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"එතැනදී අධික ආහාර රුචිය, ආහාර සෙවීමේ හැසිරීම සහ අඩු පරිවෘත්තීය ක්‍රියා අඩු වීම වගේ ප්‍රතික්‍රියා ඇති වෙනවා," ඔහු තවදුරටත් පවසයි. "මේ ආහාර ගැනීමේ ආසාව ඇති කරන සංඥා හරි ම ශක්තිමත්. ඒවා පිපාසය දනවන සංඥාවක් තරම් ශක්තිමත්, ඒවා පවතින්නේ අපේ ජීවිතාරක්ෂාවට උපකාර කරන්න...
"අධික ආහාර රුචිය කියන්නේ ඇත්තට ම, නොසලකා හරින්න බැරි ම දෙයක්."
මේ පිටුපස ඇති විද්‍යාව ලෙස ආචාර්ය ජෙන්කින්සන් පෙන්වා දෙන්නේ, මේද සෛල මගින් නිපදවන හෝමෝනයක් වන ලෙප්ටින්වල කාර්යභාරයයි.
"ශරීරයේ කොපමණ ශක්තිය ගබඩා කර තිබේදැයි පැවසීමට එය, ඔබේ weight set point එක මූලික වශයෙන් පාලනය කරන මොළයේ කොටස වන හයිපොතැලමසය වෙත යවන සංඥාවක් ලෙස ක්‍රියා කරනවා."
"හයිපොතැලමසය මගින් ලෙප්ටින් මට්ටම නිරීක්ෂණය කරන අතර, අපි ප්‍රමාණය ඉක්මවා ශක්තියක් හෝ අධික මේදයක් ගබඩා කරන බව පෙනෙන්නට තිබේ නම්, එය අපගේ ආහාර රුචිය අඩු කිරීමෙන් සහ අපගේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කිරීමෙන් අපගේ හැසිරීම ස්වයංක්‍රීයව වෙනස් කරනවා."
"අඩු ම තරමින් ලෙප්ටින් ක්‍රියා කළ යුත්තේ එහෙමයි. විශේෂයෙන් බටහිර ආහාර රටාව තුළදී බොහෝ විට ඒක අසාර්ථක වෙනවා," ඔහු පැහැදිලි කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊට හේතුව ලෙප්ටින් සංඥාව සහ ඉනිසියුලින් සංඥාව එම මාර්ගයකින් මුදා හරින බැවිනි. "ඒ නිසා, ඉන්සුලින් මට්ටම ගොඩක් වැඩි වුණොත්, ඒක ලෙප්ටින් සංඥාව දුර්වල කරලා මොළයට ක්ෂණිකව කොපමණ මේදය ගබඩා වී ඇති ද යන්න තේරුම් ගැනීමට බැරි කරනවා."
සුබ ආරංචිය, මෙය ස්ථාවරය නොවීමයි. එය ජීවන රටාවේ දිගුකාලීන වෙනස්කම්, නින්ද වැඩි කිරීම, ආතතිය අඩු කිරීම සහ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්න පුරුදු හරහා ක්‍රමයෙන් වෙනස් විය හැකි ය.
තාප පාලකයක් යළි සකස් කරන්නාක් මෙන් කාලයත් සමග, ක්‍රමවත්, ස්ථිර වෙනස්කම් සිදු කිරීම මගින් ශරීරයට නව, සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකට පත් වීමට උපකාරී වේ.
එක්සත් රාජධානියේ ස්ථූලභාවය පිළිබඳ ගැටලුව
මෙම සාධක පමණක් ස්ථූලභාවය වැඩි වීමට හේතුව සම්පූර්ණයෙන් ම පැහැදිලි නොකරයි. මන්ද අපගේ ජාන සහ ශරීරයේ ජීව විද්‍යාත්මක සැකැස්ම වෙනස්ව නොමැති බැවිනි.
පසුගිය දශකය තුළ අධිබර හෝ තරබාරු ලෙස වර්ගීකරණය කරන ලද වැඩිහිටියන්ගේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, Health Foundationහි 2025 විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ, එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසක් (ස්ථූලභාවයෙන් පෙළෙන 28%ක් පමණ ඇතුළුව) දැන් මෙම කාණ්ඩයට අයත් බවයි.
මෙයට එක් හේතුවක් වන්නේ ගුණාත්මක බවින් අඩු, ඉහළ කැලරි ප්‍රමාණයක් සහිත ආහාර සහ, විශේෂයෙන් අධිසැකසූ ආහාර සුලබ වීම සහ ඒවායේ අඩු මිලයි. ඊට අමතරව, ක්ෂණික ආහාර සහ සීනි සහිත පාන වර්ගවල ආක්‍රමණශීලී අලෙවිකරණය සහ ප්‍රචාරණය, පිළිගන්වනු ලබන ආහාර ප්‍රමාණය වැඩිවීම සහ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ඇති අවස්ථා සීමා වීම (බොහෝ විට නාගරික සැලසුම් හෝ කාල සීමා හේතුවෙන්) එකතු වන අතර, එය දැඩි අර්බුදයක් නිර්මාණය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"[එහි ප්‍රතිඵලයක් ලෙස] අපි ජනගහනයක් ලෙස ස්ථූලභාවයට පත් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් ම බර වැඩි වීමට ජානමය වශයෙන් වැඩි බලපෑමක් තියෙන අය, එහෙම වෙලා තියෙනවා," යනුවෙන් මහාචාර්ය ෆාරුකී පවසයි.
මහජන සෞඛ්‍ය විශේෂඥයෝ මෙය 'obesogenic environment' ලෙස හඳුන්වති. පර්යේෂකයන් ආහාර ලබා ගැනීමේ හැකියාව, අලෙවිකරණය සහ නාගරික සැලසුම් වැනි බාහිර සාධක සමග තරබාරු බව ඉහළ යාමේ අනුපාත සම්බන්ධ කිරීමට පටන් ගත් 1990 දශකයේ, මෙම යෙදුම ප්‍රථම වරට භාවිත කෙරිණි.
විශේෂඥයින් පවසන්නේ මෙම සියලු සාධක එක්ව මිනිසුන් වැඩියෙන් ආහාර ගැනීමට සහ අඩුවෙන් චලනය වීමට නිරන්තරයෙන් තල්ලු කරන බැවින්, ඉතා අධිෂ්ඨානශීලී පුද්ගලයින්ට පවා නිරෝගී බරක් පවත්වා ගැනීම දුෂ්කර බවයි.
නමුත් මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අධිෂ්ඨානය වඩාත් බැරෑරුම් අර්ථයක් ගෙනෙන පදයක් බවට පත්ව ඇත්තේ ඇයි ද යන්නයි.
පෞද්ගලික වගකීම් පිළිබඳ විවාදය
නිව්කාසල් නගර සභාවේ ඇගේ කාර්යාලය තුළ අසුන් ගෙන සිටින මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂිකා ඇලිස් වයිස්මන්ට සෑම තැනක ම පවතින ආහාර දැකිය හැකි ය. "කෝපි හල්, බේකරි සහ ක්ෂණික ආහාර රැගෙන යා හැකි ස්ථාන (takeaways) එහි තියෙනවා. ඔබට ආහාර අලෙවි කරන ස්ථානයක් පසුකර යාමකින් තොරව පාසලට හෝ කාර්යාලයට යන්න බෑ."
"පේන එක ගැටලුවක් - ඔබ රැකියාවට යන අතරමග ක්ෂණික ආහාර අලෙවි කරන තැන් ගොඩක් පසුකර යනවා නම්, ඔබ යමක් මිල දී ගැනීමට වැඩි ඉඩක් තියෙනවා. ඔබගේ ශරීරය අවට ඇති ආහාර සඳහා ප්‍රතිචාර දක්වනවා."
ඇය මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ගේට්ස්හෙඩ්හි ද, 2015 සිට උණුසුම් ක්ෂණික ආහාර ගෙන යා හැකි ස්ථාන ස්ථාපනය කිරීමේ සැලසුම් සඳහා අවසරය ලබා දී නොතිබිණි.
නමුත් රට පුරා පුළුල් ලෙස, ක්ෂණික ආහාර සහ 'takeaway' කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වී ඇත. එහි වටිනාකම වසරකට පවුම් බිලියන 23කට වඩා වැඩි වේ.
නවතම Ofcom Communications Market වාර්තාවට අනුව, එක්සත් රාජධානියේ ආහාර වෙළෙඳ දැන්වීම් සඳහා වැඩි වශයෙන් මුදල් වෙන් වන්නේ රසකැවිලි වැනි මේද, ලුණු සහ සීනි අධික නිෂ්පාදන, සීනි සහිත පාන වර්ග, ක්ෂණික ආහාර සහ කෙටි ආහාර ප්‍රවර්ධනයට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් වයිස්මන් යෝජනා කරන්නේ ක්ෂණික ආහාර හෝ සෞඛ්‍යසම්පන්න බවින් අඩු ආහාර සඳහා රූපවාහිනී සහ මාර්ගගත දැන්වීම් සීමා කිරීමට හඳුන්වා දුන් නව නීති ප්‍රමාණවත් තරම් උපකාරී නොවනු ඇති බව ය.
පසුගිය වසරේ The Food Foundation විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වෙනුවෙන් කැලරි එකකට වැය කරන මුදල සෞඛ්‍ය සම්පන්න බවින් අඩු ආහාරවලට වැය කරන මුදලට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි බවයි.
"මූල්‍ය අපහසුතා තියෙන පවුල්වලට සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය දරාගන්න අමාරුයි," වයිස්මන් පවසයි.
"පෞද්ගලික වගකීමක් නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් ඔබ ඒ ගැන සිතන විට ඔබට අහන්න වෙනවා වෙනස් වෙලා තියෙන්නේ මොකක් ද කියලා. අපේ අධිෂ්ඨාන ශක්තිය එක පාර අඩු වෙලා ගිහින් නැහැ."
"අපි ජීවත් වන්නේ අධික පරිභෝජනය සඳහා නිර්මාණය කරන ලද පරිසරයක," සුරේෂ් පවසයි.
"ස්ථූලභාවය කියන්නේ පුද්ගලයෙකුගේ අසාර්ථකත්වයක් නොවේ. එය ජීව විද්‍යාව සහ අධික ලෙස තරබාරුකමට හේතු වන පරිසරයක් මගින් හැඩගස්වා ඇති සංකීර්ණ, නිදන්ගත තත්ත්වයක්. දැඩි අධිෂ්ඨානයක් පමණක් ප්‍රමාණවත් නෑ, බර අඩු කර ගැනීම ස්වයං පාලනයක් පමණක් යැයි කීම හානිකරයි."
කෙසේ වෙතත්, අනෙක් පාර්ශවවලට අධිෂ්ඨානය යන වචනය පිළිබඳව වෙනස් අදහසක් ඇත.
"A Calorie Is a Calorie" නම් ග්‍රන්ථයේ කතුවරයා වන මහාචාර්ය කීත් ෆ්‍රේන් එකඟ වන්නේ අද දින අධික බරින් පෙළෙන බොහෝ දෙනෙකුට වසර 40කට පෙර අධික බර නොතිබෙන්නට ඇති බවයි. "වෙනස් වී ඇත්තේ ඔවුන්ගේ කැමැත්ත හෝ වෙනත් කිසිවක් නොවේ, පරිසරයයි," ඔහු පවසයි.
නමුත්, "අධිෂ්ඨාන ශක්තිය කිසිසේත් ම වැදගත් නොවන බව පැවසීම මිනිසුන් තම සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උත්සහ කිරීම නතර කිරීමට හේතු විය හැකි බවට මම කණස්සල්ලට පත්ව වෙනවා," ඔහු පවසයි.
බර අඩු කර ගැනීමට සාර්ථකව සමත් වූ සහ, එම බර අඩු කර ගැනීම පවත්වා ගෙන ගිය පුද්ගලයින්ගේ විශාල දත්ත සමුදායන් ඔහු පෙන්වා දෙයි. සහභාගිවන්නන් 10,000කට වඩා සිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ National Weight Control Registry එයට උදාහරණයකි.
"ඒ අය විස්තර කරන්නේ බර අඩු කර ගැනීම සහ එය පවත්වා ගැනීම යන දෙක ම දුෂ්කර බවයි, දෙවැන්න පෙර එකට වඩා දුෂ්කරයි...
"මම යෝජනා කරන්නේ ඔබ ඒ අයට කිව්වොත් අධිෂ්ඨාන ශක්තිය ඒකට කිසිදු සම්බන්ධයක් නැහැ කියලා, ඔවුන්ගේ හිත් රිදෙන්න පුළුවන්."
'ඔබට මිනිසුන් හැඩගස්වන්න නීති සම්පාදනය කරන්න බෑ'
"බ්‍රිතාන්‍යය දැනටමත් ජීවන වියදම සමග පොරබදමින් සිටින අවස්ථාවක ජනතාව පරිභෝජනය කරන ආහාර මත තහනම් සහ බදු පැනවීම ඵලදායී වන්නේ ජනතාවගේ ජීවිතය දුෂ්කර, විනෝදජනක බවින් අඩු සහ මිල අධික ජීවන රටාවක් බවට පත් කිරීමට පමණයි."
දක්ෂිණාංශික බුද්ධි මණ්ඩපයක් වන Economic Affairs ආයතනයේ ජීවන රටා ආර්ථික විද්‍යා ප්‍රධානී ක්‍රිස්ටෝෆර් ස්නෝඩන් ද විශ්වාස කරන්නේ ස්ථූලභාවය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොව "පෞද්ගල ගැටලුවක්" බවයි.
"[ස්ථූලභාවය] ඇති වන්නේ එම පුද්ගලයා විසින් සිදු කරන තේරීම් නිසා," ඔහු තර්ක කරයි. "එබැවින් අවසානයේ, ඔබට පුද්ගලයාගෙන් ඔබ්බට යන්න බෑ. ජනතාව කෙට්ටු කරන එක රජයේ වගකීමක් කියන එක මට තරමක් අමුතු අදහසක් වගේ පේනෙන්නේ."
"මේ ප්‍රතිපත්ති පිළිබඳ වගකීම්සහගත ස්වාධීන ඇගයීමක් සිදුවෙනවා දකින්න මම කැමතියි, ඒවායින් වැඩක් වෙන්නේ නැත්නම් නම් ඒවා අවලංගු කළ යුතුයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධිෂ්ඨාන ශක්තිය සම්බන්ධයෙන් ගත් කල, මෙය සැමවිට ම යම් ආකාරයක කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර, වෙනස් වන්නේ විශේෂඥයින් ඒ ගැන සිතන ආකාරයයි.
සුරේෂ් විශ්වාස කරන්නේ එය විශාල ජවනිකාවක එක් කොටසක් පමණක් බවයි. පළමු පියවර වන්නේ වෙනත් සාධක මොනවා ද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.
"මෙම දෘෂ්ටිකෝණය, කැමැත්ත පිළිබඳ සදාචාරාත්මක විනිශ්චයක සිට, දිගුකාලීන සාර්ථකත්වය සඳහා වඩා හොඳ අවස්ථා ලබා දෙන, දයානුකම්පිත, විද්‍යාව පිළිබඳ දැනුවත් ආධාරක පද්ධතියකට අවධානය යොමු කරනවා."
අධිෂ්ඨානය ශක්තිමත් කිරීමට ක්‍රම ද ඇති බව බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ආචාර්ය එලිනෝර් බ්‍රයන්ට් තර්ක කරයි. "එය සෑම විට ම නියතයක් නොවෙයි. එය ඔබේ මනෝභාවය, ඔබ කෙතරම් වෙහෙසට පත්ව සිටිනවා ද යන්න සහ ආහාර ගැනීම සම්බන්ධයෙන් සලකා බලන විට ඔබ කෙතරම් කුසගින්නෙන් සිටිනවා ද යන්න බලපානවා..."
වැදගත් වන්නේ ඔබ ඒ ගැන සිතන ආකාරය යි. නම්‍යශීලී සහ දැඩි යනුවෙන් අධිෂ්ඨානයේ වර්ග දෙකක් තිබේ.
දැඩි කෙනෙකු එය කළු සුදු ලෙස දකී. "ඔබ පෙළඹවීමට යටත් වුවහොත් ඔබ මූලික වශයෙන් යටත් වෙනවා. ඔබ එම විස්කෝතු අනුභව කර පසුව ඔබ ආහාර ගැනීම අඛණ්ඩව සිදු කරනවා."
මනෝවිද්‍යාත්මකව, මෙය පමණ ඉක්මවා ආහාර ගැනීම ලෙස හැඳින්වෙනවා. "නමුත්, නම්‍යශීලී කෙනෙකු පවසන්නේ, 'හරි, මම බිස්කට් එකක් කෑවා... මම එතනින් නවතිනවා' කියලා," යනුවෙන් ආචාර්ය බ්‍රයන්ට් පවසයි. "වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ, නම්‍යශීලී වීම බොහෝ දුරට සාර්ථක බව කියන්න පුළුවන්."
නමුත් ඇය පවසන්නේ: "ආහාර සමග අධිෂ්ඨානය කියන දේ ක්‍රියාත්මක කිරීම [ජීවිතයේ] අනෙකුත් ක්ෂේත්‍රවලට වඩා දුෂ්කර විය හැකියි."
සුරේෂ් එකඟ වන නමුත්, මිනිසුන් කැමැත්තෙහි සීමාවන් තේරුම් ගත් පසු, එය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට ඇති හැකියාව සැබවින් ම ශක්තිමත් වන බව ඇය පවසයි.
"රෝගීන් තමන්ගේ දුෂ්කරතාවට හේතුව විනයක් නොමැතිකම නොව ජීව විද්‍යාව බව තේරුම් ගත් විට සහ ඔවුන්ට ව්‍යුහගත පෝෂණය, නිතිපතා ආහාර රටා, මනෝවිද්‍යාත්මක සහය සහ යථාර්ථවාදී ඉලක්ක ලැබුණු විට, ආහාර සමග ඔවුන්ගේ සම්බන්ධතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වෙනවා."















