Double XL: තරුබාරු තැනැත්තන් සමච්චලයට ලක්කිරීම ඉන්දියාවේ බහුල ඇයි?

Kerala minister for general education V Sivankutty (2R) with students inside a re-modified low-floor old defunct public transport bus transformed into a classroom for pre-nursery school children through an initiative 'Education on Wheels' taken by the state government at Thiruvananthapuram on June 13, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෑතක දී, කේරළයේ අධ්‍යාපන අමාත්‍ය වී. සිවන්කුට්ටි ශරීර ස්වභාවය හේතුවෙන් අපහාසයට ලක්වීම පිළිබඳව ඔහුගේම උදාහරණයක් විස්තර කළේ ය
    • Author, ගීතා පාන්ඩේ
    • Role, බීබීසී පුවත්, දිල්ලි

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අමාත්‍යවරයෙකු පසුගිය දා තරුබාරු තැනැත්තන් ලැජ්ජාවට පත්කිරීමට එරෙහි ප්‍රතිචාරයක් ෆේස්බුක් වෙත ගෙන ගියේ ය.

මලයාලම් භාෂාවෙන් පළකර තිබූ පෝස්ට් එකක දී, කේරළ අධ්‍යාපන අමාත්‍ය වී. සිවන්කුට්ටි දේහ ස්වභාවය ලැජ්ජාවට පත්කිරීම හෙවත් 'ශරීර අපහාසය' (Body shaming) සම්බන්ධයෙන් තමා උදාහරණයට ගත්තේ ය.

දින කිහිපයකට පෙර ඔහු සමග සිසුන් කිහිපදෙනෙකු සෙල්ෆි ඡායාරූපයක් ගන්නා පින්තූරයක් ඔහු ෆේස්බුක් පළකළ අවස්ථාවේ, අයෙක් "ඔයා බඩ ටිකක් අඩුකර ගන්න" යනුවෙන් කමෙන්ට් කර තිබුණි.

අමාත්‍යවරයා එම ප්‍රකාශයට පිළිතුරු දෙමින්, ශරීර ස්වභාවයට අපහාස කිරීම "අතිදුෂ්ට ක්‍රියාවක්" ලෙස හැඳින්වීය.

"කවුරු කොහොම කිව්වත්, බොඩි ෂේමිං කියන්නේ නරක දෙයක්. මෙය අපේ සමාජයේ බොහෝ මට්ටම්වලින් සිදුවෙමින් පවතිනවා. බොඩි ෂේමිංවලට ගොදුරුවී මානසිකව පවා දුක් විඳින බොහෝදෙනෙක් අප අතර ඉන්නවා," ඔහු සටහන් කළේ ය.

"අපි බොඩි ෂේම් කිරීම අවසන් කළ යුතු යි. අපි නවීන [යුගයේ] මිනිස්සු," ඔහු වැඩිදුරටත් සටහන්කර තිබුණි.

එම සිදුවීම නිසා ශරීර ස්වභාවයට ලැජ්ජා කිරීම කෙතරම් අහිතකර ද යන්න තමාට වැටහුණු බව පැවසූ සිවන්කුට්ටි, "ප්‍රාන්ත රජය සිසුන් සහ ගුරුවරුන් අතර දැනුවත්භාවය ඇති කරනු ඇති අතර, එය පාසල් විෂය මාලාවේ කොටසක්බවට පත් කිරීමට ද සලකා බලනු ඇතැ"යි කියා සිටියේ ය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් සහ මෑතකාලීන බොලිවුඩ් චිත්‍රපටයක් වන Double XL, ඉන්දියාවේ ශරීර ස්වභාවය මත පදනම්ව පුද්ගලයන්ට අපහාස කිරීම පිළිබඳ අවධානය යොමුකරවා ඇත.

Double XL චිත්‍රපටයට ජනප්‍රිය නිළියන් වන හූමා කුරේෂි සහ සෝනාක්ෂි සිංහා රංගනයෙන් දායක වූ අතර, ඔවුන් දෙදෙනාම ශරීර ස්වභාවයට අපහාස කිරීම පිළිබඳව අතීතයේ කතාබහ කර ඇත. සිංහා ඇගේ ශරීර බර නිසා සමාජ මාධ්‍යවල අපහාසයට ලක්වූ අතර, මුල්කාලීනව විචාරකයින් විසින් කුරේෂි "[චිත්‍රපට] වීරවරියක් වෙන්න තිබුණා, ඒත් බර කිලෝග්‍රෑම් 5ක් විතර වැඩියි" යනාදී ලෙස නින්දාවට පත්කර තිබේ.

අධ්‍යක්ෂ සාත්‍රම් රාමණි BBC වෙත පැවසුවේ ඔහුගේ චිත්‍රපටය, "කාන්තාවන් දෙදෙනෙකු තම සිහින ජයගැනීම හරහට දේහබර පැමිණෙන බව දැක, එය ජයගන්නා ආකාරය" පිළිබිඹු කරන බව යි.

Huma Qureshi and Sonakshi Sinha in Bollywood film Double XL
ඡායාරූප ශීර්ෂ වැකිය, හුමා කුරේෂි සහ සෝනාක්ෂි සිංහා මෑතකාලීන බොලිවුඩ් චිත්‍රපටයක් වන Double XLහි තරබාරු කාන්තාවෝ දෙදෙනෙක් ලෙස රඟපෑහ

"මම දකිනවා ගොඩක් දක්ෂතා ඇති, තමන්ගේ ඉලක්කය ජයගන්න උත්සාහ කරන අයව ඔවුන්ගේ දේහබර නිසා පහත්කොට සලකන හැටි. ඒක කොහෙත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි," ඔහු පැවසීය.

විචාරකයින් පවසන්නේ තරබාරුබව අවලස්සනක් ලෙසත්, සිහින්බව ලස්සනක් ලෙසත් ජනගතවීමට ඉන්දියාවේ ජනප්‍රිය හින්දි චිත්‍රපට කර්මාන්තය අඩ වශයෙන් වගකිව යුතු බව ය.

සාර්ථක නිළියන් බහුතරය උස, සිහින් සහ පැහැපත් වන අතර, මීට වසර කිහිපයකට පෙර බොලිවුඩ් නිළි කරීනා කපූර් අධික සිහින් සිරුරක් දැරීම සිරස්තල මවන්නක් විය.

රාමණි පවසන්නේ "තමන්ට ඕන නිසා බර අඩුකර ගත්තාට කමක් නැහැ. නමුත් ඒක අනිත් අය මත පැටවිය යුතු අදහසක් නොවෙයි".

ඔහුගේ චිත්‍රපටිය හරහා ඔහුට අවශ්‍ය වන්නේ "ඔබේ හැඩය, ප්‍රමාණය හෝ සමේ වර්ණය කුමක්වුවත් ඔබ ලස්සන බව පිළිගන්න" සහ "සාර්ථකවීමට එක්තරා දේහ ප්‍රමාණයක් හෝ හැඩයක් දැරීම අනවශ්‍ය" බවට මිනිසුන්ට පණිවිඩයක් දීමට යි.

ගීත හා නැටුම් සහිත සාමාන්‍ය බොලිවුඩ් චිත්‍රපටියක් වන Double XL වාණිජමය වශයෙන් සාර්ථකවූයේ නැත. නමුත් රාමණි පවසන්නේ "ලොව පුරා පවතින ගැටලුවක් සහ කාලීන මාතෘකාවක් වුණු බොඩි ෂේමිං ගැන කතාබහක් ඇතිවීම" ගැන තමා සතුටු වන බව යි.

ඉන්දියානු පුද්ගලික ආයතනයක සේවය කරන තරබාරු කිවිඳියක සහ ලේඛිකාවක වන හර්නිද් කෞර්, තම තීරු ලිපිවල සහ සමාජ මාධ්‍යවල මෙම මාතෘකාව නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන්කරයි.

ඇය පවසන්නේ, "බොහෝ ඉන්දියානුවන්ට පුද්ගල සීමාවන් ගැන අවබෝධයක් නැති නිසාත්, අපේ පවුල්වල හැමෝම අනෙක් අයගේ පෙනුම ගැන අදහස් දක්වන නිසාත්" එය බහුලව දක්නට ලැබෙන බව යි. එසේම එය කාන්තාවන්ට වඩාත් බලපාන්නේ, විවාහවීමේ දී ඔවුන් නොසලකා හැරීමට භාජනය කෙරෙන ආකාරයේ මිනුමක් බවට තරබාරුබව පත්වන බැවිනැ යි ඇය ප්‍රකාශ කරයි.

කෞර්ට වයස අවුරුදු 12 දී, ඩිම්බ කෝෂ සම්බන්ධයෙන් ඇතිවන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය (PCOS) ඇයට ඇතැ යි හඳුනාගෙන තිබේ. කුඩාකල පටන්ම ඇයට තරබාරුබව සම්බන්ධයෙන් අපහාස විඳීමට සිදුවී තිබේ. මෙම රෝග තත්ත්වය ශරීර බර වැඩිවීමට, අක්‍රමවත් ඔසප්වීමට සහ හිසකෙස් තුනීවීමට මෙන්ම සරුභාවය නැතිව යාමට ද හේතු විය හැකි ය.

"බොඩි ෂේමිං කරන එක සැමවිටම සෘණාත්මක විදියට වෙන්නේ නැහැ. සමහර වෙලාවල් තියෙනවා, උදාහරණයක් විදියට, දෙමාපියන් ඔබේ බර ගැන කතා කරන්නේ කනස්සල්ලෙන්, බියෙන් වෙන්න පුළුවන්. නමුත් තරබාරු බව නිසා යමෙකු ලැජ්ජාවට පත් කරන එක ජීවිතයට බලපාන්න පුළුවන්."

භාණ්ඩ විකුණන්නෙකු ඇය වෙත පැමිණ "මම බර අඩුකරගන්න මොනවහරි නිෂ්පාදනයක් භාවිතා කරලා බැලුවා ද" යනුවෙන් ඇසූ අවස්ථාවත්, අවන්හලක දී අසල මේසයේ වාඩි වී සිටි කාන්තාවක් තම දියණියට "බිස්කට් කන එක නවත්වන්න, නැත්නම් එයත් මම වගේ වේවි"යි පැවසූ අවස්ථාවත්, ඩේටිං ඇප් එකකින් කථා කළ පිරිමි අයෙකු දෙදෙනාම එකට ව්‍යායාම කිරීමට යෝජනා කරමින් "ඔයා කෙට්ටු වුණොත් ගොඩක් ලස්සන වේවි"යි කියූ අවස්ථාවත් ඇය සිහිපත් කරයි.

An illustration on Body shaming

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශරීර බර නිසා ලජ්ජාවට පත්කිරීම, බරපතල සමාජ හා මානසික බලපෑම් ඇති කළ හැකි ය

නමුත් ඇය පවසන පරිදි විශාලම ගැටළුව වන්නේ "විමසීමකින් ‍තොරව බර අඩු කරගන්න උපදෙස් ලැබීම" හෝ "ඇන්ටි කෙනෙක් මට මහතයි කියන එක" නොව, රැකියා වෙළඳපොළ තුළ දී තරබාරුබව අලසබවට සාධකයක් ලෙස සැලකීම බව යි.

ඇය තවදුරටත් පවසන්නේ බොහෝදෙනෙකු තරබාරුබවට අපහාස කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද, එහි වෛද්‍ය, සමාජයීය සහ දේශපාලනික කෝණයක් ද ඇති බව යි.

"මට අසාත්මිකතාවක් ඇවිත් ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම, එයා කිව්වා මම හුස්ම ගන්න බැරුව ඇත්තේ මහත වැඩි නිසා කියලා. මගේ වළලුකර අස්ථිය කැඩුණු වෙලාවෙ ඩොක්ටර් කෙනෙක් කිව්වා ඇඟේ බර මෙච්චර වැඩි නොවුණා නම් එහෙම කැඩෙන එකක් නැහැ කියලා."

අන්තරාසර්ග වෛද්‍ය විශේෂඥ චිත්‍රා සෙල්වන් පවසන්නේ වෛද්‍යවරුන් "සන්නිවේදන කලාව පිළිබඳ මනා පුහුණුවක් ලබා නොමැති" බව යි. එසේම, තරබාරුබවට අපහාස කිරීම ගැන කතා කරන විට බොහෝදෙනා සිතන්නේ "එය පළමු ලෝකයේ රටවල ගැටලුවක්" ලෙසයැ යි ද ඇය පවසයි.

"නමුත් තරබාරුබවට අපහාස කරන එක බරපතල සමාජයීය හා මානසික බලපෑමක් ඇති කරන්න පුළුවන්. දිනපතා අපකීර්තියට මුහුණදෙන එක ඔවුන්ගේ ආත්ම අභිමානයට සහ මානසික සෞඛ්‍යයට බලපානවා. එය ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට තුඩුදෙන්න පුළුවන්. සමාජයෙන් ඉවත් වී හුදෙකලා වෙන්න හේතු වෙන්න පුළුවන්."

වෛද්‍ය සෙල්වන් වෛද්‍යවරුන් 900ක් යොදාගෙන කළ අධ්‍යයනයක දී හෙළිවූයේ බොහෝ වෛද්‍යවරු විශ්වාස කරන්නේ තරබාරුබව ගැන ලැජ්ජාවට පත්කිරීමෙන් තම රෝගීන් බර අඩුකර ගැනීමට පෙළඹෙනු ඇති බවකි.

"ඒත් ඒක හරියන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ උදව් ගන්න එයාලා බය වෙන එක," ඇය පවසයි.

ඉන්දියාවේ ස්ථුලතාවය හා තරබාරුබව සහිත පුද්ගලයින් මිලියන 135කට වඩා සිටින අතර, රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව නිරන්තරයෙන් වර්ධනය වන බව යි. එසේම, ඉන්දියාවේ වෛද්‍යවරුන් "තරබාරු වසංගතයක්" පිළිබඳව ද අනතුරු අඟවයි.

"බර වැඩිවුණාම දියවැඩියාව එන්න අවදානමක් තියෙනවා," වෛද්‍ය සෙල්වන් කියයි. "ඒත් බර වැඩිවෙන්න අහිතකර ජීවන රටාව විතරක්ම බලපාන්නේ නැහැ. ‍හෝමෝන, මානසික ආතතිය, සංකීර්ණ ආබාධතා වගේ ගොඩක් දේවල් ඒකට බලපාන්න පුළුවන්."

වෛද්‍යවරුන් රෝගීන් ලජ්ජාවට පත් නොකළ යුතු බව ඇය පවසන්නී ය.

"අපි ස්ථුලතාව නැති රෝගීන්ට මහත යි කියලා ලැජ්ජ කරන්නේවත්, දොස් කියන්නේවත් නැහැ. ඒත් මම අධ්‍යයනයක දී දැනගත්තා දියවැඩියාව තියෙන ගොඩක් දෙනෙක්ව ලැජ්ජාවට පත්කරපු බව. ඒක එයාලගේ මානසික ආතතියට ලොකු හේතුවක් වෙලා තිබුණා."

"දොස්තර කෙනෙක් සමච්චලේට ඇහිබැමක් ඔසවලා හිනාවෙන එකත් ඇති රෝගියෙක්ගේ ආතතිය වැඩිවෙන්න."