අවාබායි වාඩියා: ඉන්දියාවේ පවුල් සැලසුම්කරණයේ පුරෝගාමියා වූ ලාංකික නීතිඥවරිය

ඡායාරූප මූලාශ්‍රය, TopFoto
සාරි හැඳගත් මේ යෞවනිය 1933 දී ජාත්‍යන්තර සිරස්තලයක් බවට පත්වූ තැනැත්තියකි.
දහනව හැවිරිදි අවාබායි වාඩියා එක්සත් රාජධානියේ දී නීති විභාගය සමත්කළ පළමු ලාංකික කාන්තාව යි. ඇගේ සාර්ථකත්වය, ලංකාවේදීම නීතිය හැදෑරීම සඳහා කාන්තාවන්ට ඉඩ සැලසීමට ලංකා රජය දිරිමත් කළේ ය.
වාඩියා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ රජයේ ප්‍රතිපත්ති වෙත බලපෑම් එල්ලකළ එකම අවස්ථාව මෙය නොවේ. 2005 වසරේ දී මියයන විට ඇය පවුල් සැලසුම් ව්‍යාපාරයේ ලෝ ප්‍රකට හා ගෞරවාදරයට පාත්‍රවූ චරිතයක් බවට පත්ව සිටියා ය. ඇය කාන්තාව සමාජයීය වශයෙන් නඟා සිටුවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ අතර ඇගේ නීතීඥ පසුබිම ද ඊට පිටුබලයක් විය.
වාඩියා උපන්නේ 1913 වසරේ කොළඹ දී, ප්‍රගතිශීලී පාර්සි පවුලකට ය. නීතීඥවරියක් ලෙස සුදුසුකම් ලැබීමෙන් පසු ඇය පිරිමින්ගේ අවතක්සේරුකිරීම් හා වෙනස්කොට සැලකීම් නොතකා ලන්ඩනයේ සහ කොළඹ සේවයේ යෙදුනා ය.
දෙවන ලෝක සංග්‍රාම සමයේ දී ඉන්දියාවේ බොම්බේ නගරයට (දැන් මුම්බායි) පදිංචිය සඳහා ගිය ඇය නිතර සමාජ සේවයේ නිරතවූ නමුත්, පවුල් සැලසුම්කරණය යනු තමාගේ ප්‍රියතම විෂයය බව හඳුනාගත්තා ය.
"මම ජීවන වෘත්තීය ලෙස කළ වැඩකටයුතු මම සොයාගියේ නැහැ, ඒවා මා සොයාගෙන ආ බව පෙනෙන්නට තිබුණා," ඇය සිය ස්වයං චරිතාපදානය වන The Light is Oursහි සඳහන් කර තිබුණි. "නීතිගන වෘත්තියේ ඉදිරියට නොයෑම නාස්තියක් ලෙස මට දැනුණේ නැහැ, මන්ද නීතිය මා කළ සෑම දෙයකම ශක්තිමත් අංගයක් වුණා."
1940 ගණන්වල අගභාගයේ ඇය ක්ෂේත්‍රයේ වැඩ කිරීම ඇරඹි සමයේ දී පවුල් සැලසුම්කරණය ලොව පුරා තහනම් මාතෘකාවක් විය.
ආගමික ගතානුගතිකයින්ගේ විරුද්ධත්වය හැරුණු විට, ඊට ජාතිවාදය සහ සුජනන විද්‍යාව (eugenics) සමග අඳුරු සම්බන්ධතා ද තිබුණි.
"උපත් පාලන" යන වචන මට ඇසුණු පළමු අවස්ථාවේ දී මට මහත් පිළිකුලක් දැනුණා," වාඩියා සඳහන්කර තිබේ. නමුත් බොම්බේහි කාන්තා වෛද්‍යවරියක් නිසා ඇයගේ සිතුම් පැතුම් වෙනස්විය. ඉන්දියානු කාන්තාවන් "මරණය විසින් ඔවුන්ගේ කණගාටුදායක ජීවිතය කෙලවර කරනා තෙක් ගැබ්ගැනීම හා මවුකිරි දීම අතර දෝලනය වෙමින් කල් ගෙවන" බව එම වෛද්‍යවරිය වාඩියාට පවසා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, TopFoto
සමාජයෙන් පිටමං කිරීමේ අවදානම ද නොතකා වාඩියා පවුල් සැලසුම්කරණය වෙනුවෙන් කැපවුණා ය.
1949 දී ඇය ඉන්දියානු පවුල් සැලසුම් සංගමය (FPAI) පිහිටුවීමට සහාය දුන්නී ය. ඇය වසර 34ක් පුරාවට එහි නායකත්වය ද දැරුවා ය.
FPAIහි සේවාවන් උපත්පාලන ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ සිට සරුබව හා සම්බන්ධ සේවා සැපයීම දක්වා විහිදේ. වාඩියා ද ගබ්සාවීම්වලට ලක්ව සිටි, දරුවන් නොසිටි කාන්තාවක් වූ බැවින් දෙවැනි සේවාව ඇයට "සැබෑ තෘප්තිමත් හැඟීමක්" ලබාදුන්නේ ය. 1951-52 අතර කාලයේ දී, පවුල් සැලසුම් ප්‍රතිපත්ති නිල වශයෙන් ප්‍රවර්ධනය කළ ලොව පළමුවැනි රජය බවට ඉන්දීය රජය පත්වූයේ වාඩියාගේ ප්‍රයත්නයන් නිසා ය.
වාඩියා යටතේ FPAI සංවිධානය ඉන්දියාවේ නාගරික දුප්පතුන් සහ වඩාත් දිළිඳු ප්‍රදේශ කිහිපයක ගම්වැසියන් සමඟ කටයුතු කරමින් විමධ්‍යගත, ප්‍රජාමූලික ප්‍රවේශයක් අනුගමනය කළේ ය.
මින් අදහස් වූයේ, බොහෝ අවස්ථාවල දී FPAI "පවුල් සැලසුම්කරණය හැර අන් සියල්ල" සිදුකළ බව යි. වනවගාවේ සිට මාර්ග ගොඩනැගීම දක්වා ව්‍යාපෘති ඒ අතර විය.
පවුල් සැලසුම්කරණය අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ සෞඛ්‍යය යන විෂයයන් හා බැඳි සාකල්‍ය සැලැස්මක් සමග සම්බන්ධ කළ වාඩියා සහ ඇගේ කණ්ඩායම, සමාජ පණිවිඩ අඩංගු භජන් (භක්ති ගීත) ගැයීම සහ දුම්රියෙන් රට පුරා යැවුණු පවුල් සැලසුම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම වැනි නවමු සන්නිවේදන ක්‍රම භාවිතා කළෝ ය.
FPAIහි සිත්ගන්නා සුළු ක්‍රියාකලාපය නිසා මහජන විශ්වාසය වර්ධනය වූ අතර ඉන්දීය සංවර්ධන දර්ශකයන්හි කැපී පෙනෙන දියුණුවක් ඇති කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Hulton-Deutsch Collection/Corbis via Getty
නිදසුනක් වශයෙන්, 1970 ගණන්වල දී කර්ණාටක ප්‍රාන්තයේ මාලූර්හි ආරම්භ වූ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස ළදරු මරණ සංඛ්‍යාව අඩුවීම, විවාහවන වයස් මට්ටමේ සාමාන්‍යය සැලකිය යුතු ලෙස ඉහළයෑම සහ සාක්ෂරතා අනුපාතය දෙගුණවීම සිදුවිය. මෙම ව්‍යාපෘතියට කෙතරම් ජනතා සහයෝගයක් ලැබුණේ ද යත්, FPAI ඉන් ඉවත්වූ පසු ගම්වැසියන් එහි කළමනාකාරීත්වය භාරගත්තේ ය.
ඇතැම්විට වාඩියා ලබා තිබූ ජාත්‍යන්තර අත්දැකීම් නිසාවෙන් දෝ ඇය ඉන්දියානු පවුල් සැලසුම්කරණයට ගෝලීය දැක්මක් ද ගෙන ආවා ය.
කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශ තුළ පවුල් සැලසුම්කරණය සඳහා පුළුල් පිළිගැනීමක් ලබාදුන් දකුණු කොරියානු මව් සමාජයන්ගේ සාර්ථකත්වයෙන් ආදර්ශ ලැබූ ඇය, දෑවැද්දේ සිට දේශපාලනයේ තුළ අඩු කාන්තා නියෝජනය දක්වා වූ සමාජ ගැටලු කාන්තාවන්ට සාකච්ඡා කළ හැකි අන්දමේ සමීප කණ්ඩායම් සංවිධානය කළා ය. ඒ අතරම, ඇය ජාත්‍යන්තර සැලසුම්ගත මාපිය සම්මේලනයේ (IPPF) ප්‍රමුඛ චරිතයක් බවට පත්වූ අතර, වේගයෙන් ඉහළ යන ජනගහණය පාලනය කිරීමේ දී ඉන්දියාව මුහුණ දෙන අද්විතීය අභියෝගයන් ඉස්මතු කළා ය.
දේශපාලනය මෙම අභියෝග තවත් සංකීර්ණ කළේ ය.
1975 සිට 1977 දක්වා ඉන්දියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබූ සමයේ දී, ඉන්දියානු රජය බලහත්කාර වන්ධ්‍යාකරණය ඇතුළු දරදඬු ජනගහණ පාලන ක්‍රියාමාර්ග අනුගමනය කළේ ය. වාඩියා මෙය හෙළාදුටු අතර, පවුල් සැලසුම්කරණ වැඩපිළිවෙලවල් සඳහා බලහත්කාරයෙන් සහභාගී කරවාගැනීමට විරෝධය පාමින්, සහභාගීත්වය ස්වේච්ඡාවෙන් සිදුවිය යුත්තක් බව ප්‍රකාශ කළා ය. පවුල් සැලසුම්කරණය යහපත් ප්‍රතිඵල පෙන්වීමට පටන්ගෙන ඇති නමුත්, හදිසි තත්ත්වය "මුළු වැඩසටහනම අපකීර්තියට පත්කළා," ඇය ශෝකයෙන් යුතුව සටහන්කර තිබේ.
1980 ගණන්වල මුල් භාගයේ දී IPPFහි සභාපතිනිය ලෙස වාඩියා තවත් බලවත් අභියෝගයකට මුහුණ දුන්නා ය. ඇය, ගබ්සා සේවා සපයන හෝ අනුමත කරන සියලු සංවිධානයන්ගේ අරමුදල් කපාදැමූ එක්සත් ජනපද ජනපති රොනල්ඩ් රේගන්ගේ පරිපාලනය සමග ගැටුමකට මැදිවූවා ය.
IPPF ගබ්සාව නිල වශයෙන් ප්‍රවර්ධනය නොකළ ද, ගබ්සාව නීත්‍යානුකූලව පවතින රටවල දී එහි ඇතැම් අනුබද්ධිත ආයතන ගබ්සාකරණ සේවා සැපයීය.

ඡායාරූප මූලාශ්‍රය, Courtesy FPAI
IPPF එක්සත් ජනපදය මෙම ක්‍රියාපටිපාටියට විරුද්ධව එල්ලකළ බලපෑම්වලට යටත්වීම ප්‍රතික්ෂේප කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එහි වැඩසටහන් සඳහා වූ අරමුදල් ඩොලර් මිලියන 17ක් එයට අහිමිවිය.
නිදහස් වෙළඳපොළ ආර්ථිකය ජනගහණ වර්ධනයට එරෙහිව සටන් කරනු ඇතැ යි යන රේගන්ගේ මතය වාඩියා අවඥාවට ලක්කළා ය. එම මතය විශ්වාස කළ කිසිදු තැනැත්තෙකු "සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ කොහේටවත් ගිහින් නැහැ - එහෙ අන්ත දරිද්‍රතාවයේ ඉන්න මිනිස්සු ඕනෑවටත් වැඩියෙන් ඉන්නවා වගේම, [පවුල් සැලසුම්කරණය] ලෙසි-ෆෙයාර් ක්‍රමයට (රජයේ බලපෑමකින් තොර නිදහස් සමාජ ආර්ථික ක්‍රමයකි) අත්හැරලා නිකන් ඉන්න බැහැ," ඇය ස්ථිරව ප්‍රකාශකර සිටියා ය.
වාඩියාගේ වෘත්තීය ජීවිතය පවුල් සැලසුම්කරණයේ කාලීන උභතෝකෝටිකයන්ට විවිධාකාරයෙන් අදාළ විය.
එක්සත් ජනපදයේ, කොන්සර්වේටිව්වරුන් තර්ක කර ඇත්තේ රෝ ට එරෙහිව වේඩ් නඩුවේ දී ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ඉවත් කිරීමට පෙර, උපත් පාලනයට ඉඩ සලසන තීන්දු නැවත සලකා බලා සිටිය යුතු බවයි.
ඉන්දියාවට ම ආවේණික ගබ්සා නීතියක් සැකසීමට කටයුතු කරමින් සිටි වාඩියා කනස්සලු වූයේ ගබ්සාව; උපත් පාලනයට එරෙහි අවියක් බවට පත් වන ආකාරය ගැන ය. "ගබ්සාව පවුල් සැලසුම්කරණයට සමාන කරමින් මහජනතාව ව්‍යාකූල කරන්න උත්සාහ කරන අය මානව සහ පුද්ගල අයිතීන් විනාශ කරන්න උත්සාහ කරනවා," ඇය තර්ක කළාය.
අද ඉන්දියාවේ, පවුල්වල විශාලත්වය සීමා කිරීම සඳහා දරුවන් සෑදීම අධෛර්යයමත් කිරීමේ ක්‍රමයන් හා පවුල් සැලසුම් ක්‍රම භාවිතා කිරීමට බලපෑම් කිරීමේ ක්‍රමයන් පිළිබඳ දේශපාලන විවාද බහුල වේ. වාඩියා එවැනි ප්‍රවේශයන්ට එරෙහිව අවවාද කර තිබුණි.
"මූලික මානව හිමිකම් උල්ලංඝණය වන නිසා අපට බලෙන් උපත්පාලනය කරන්න දෙන්න බැහැ," 2000 වසරේ දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පවුලකට දරුවන් දෙදෙනෙකු පමණක් සිටිය යුතු බවත්, තෙවන දරුවාට ආහාර සලාක සහ නොමිලේ අධ්‍යාපනය ලබානොදෙන බවටත් සම්මතයක් බලාත්මක කිරීමට ගත් උත්සාහයක දී ඇය පැවසුවා ය. "උපත්පාලනයට බල කිරීම සාර්ථක නැති බව ප්‍රායෝගිකව අපට පෙනීගිහින් තියෙනවා."
පවුල් සැලසුම්කරණය නීතියට සහ දේශපාලනයට නෛසර්ගිකව බැඳී ඇති බව මෙම සිදුවීම්වලින් පෙනේ. එවන් තත්ත්වයක් යටතේ, ප්‍රමුඛ පෙළේ කාන්තා නීතීඥවරියක් ඉන්දියාව තුළ පවුල් සැලසුම්කරණයේ නියමුවෙකු ලෙස කටයුතු කිරීම ඇතැම් විට වාසනාවන්ත අහම්බයක් විය හැකි ය.
වාඩියාගේ වෘත්තීය ජීවිතයෙන් පිළිබිඹු වන වැදගත්ම කරුණ වන්නේ, පවුල් සැලසුම්කරණය සමස්ත සමාජ ආර්ථික සංවර්ධනයෙන් වෙන්කළ නොහැකි බව ය.
වාඩියාගේ මරණයට වසර කිහිපයකට පෙර, ඉන්දියාවට ආහාර සුරක්‍ෂිතතාව ළඟාකර දුන් හරිත විප්ලවයට නායකත්වය දුන් විද්‍යාඥ එම්. එස්. ස්වාමිනාදන් මේ සම්බන්ධයෙන් ඇයට උපහාර දැක්වීය.
"අපේ ජනගහණ ප්‍රතිපත්ති වැරදිලා ගියොත් කිසිම දේකින් ගොඩඒමක් නැතිබව [වාඩියා] අනිත් කාටත් වඩා හොඳට දැනගෙන හිටියා," ඔහු පැවසුවේ ය.











